“දූ ඉන්නෙ මං එක්ක මොකක් හරි තරහකින්ද?” කියා නෙත්මලී විමසන්නට අතුලට හේතු කාරණා සැපයුවේ එදා නෙත්මලීගේ කටෙන් පිටවුණ ඒ කතන්දරයයි.
“කොහොමත් මට පිට මිනිස්සු විස්වාස කරන්න උවමනාවක් නෑ අම්මෙ. ගෙදර ඉන්න මිනිස්සුවත් දැන් විස්වාස කරන්න බැරුව ඉද්දි පිට මිනිස්සුන්ව කොහොම විස්වාස කරන්නද?” කියා දරුවෙකුගේ කටෙන් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට අසන්නට ලැබීම හිත කීරිගස්සන්නට හේතුවෙන කාරණාවක් බව අතුල සමරසිංහට පවා තේරුණේ ඒ වචන තම ප්‍රාණසම වන් දියණියගේ කටහඬෙන් සවන් පත් මොහොතේය.
තමා වරදක් කර තිබෙන්නට හැක. එයට තමන්ගේ පැත්තෙන් කතාවක් තිබෙන්නට ද හැක. එහෙත් දරුවෙක්ට තාත්තා කෙනෙකු ගැන එයාකාර කතාවක් කියන්නට හැකිද කියා හිත විමසද්දී, ඒ හිතේ වේදනාව, රිදීම කඳුළු බිඳක් වී නෙතු සසල කරන්නට ගන්නා වෑයම අතුල සමරසිංහ ඉවසුවේ බොහෝ වෑයමෙනි.
චන්ද්‍රාගේ කටුක වචන, ඇණුම් බැණුම් ඔහුට අලුත් දේවල් නොවේ.
ඒ සියල්ල දිනපතාම, විසි වයස් වියැති විවාහ දිවිය පුරාවට දරාගත් අතුලගේ හිතට, දුවගේ එකම එක වචනයකින් වැදුණේ කිසිදා නොසිතූ තරම් දරුණු පාරකි.
“ගෙදර ඉන්න මිනිස්සුන්වවත් දැන් විශ්වාස කරන්න බැරුව ඉද්දී” කියද්දී නෙත්මලීගේ දෑසේ තිබූ ඒ හිස් බව, ඒ අප්‍රසාදය, අතුලගේ පපුව අස්සෙන් මහා යකඩ ඉන්නක් බස්සවා ඇතුළට ඇතුළට ගැඹුරට ගැඹුරට කරකවද්දී මෙන් රිදුම් දුන්නේය.
එකම දියණියගේ ලෝකයේ දෙවියෙක් වී උන් තාත්තා, එක මොහොතකින් ඒ පීඨිකාවෙන් බිමට ඇද වැටී අවසන් බව අතුල සමරසිංහ පවා තේරුම් ගත්තේ ඒ වචන ඔස්සේය.
වෙනදාට මොන තරම් ප්‍රශ්න ආවත් දුවගේ එක හිනා පොදක් ඉදිරියේ ඒ හැම බරක්ම නිවී ගිය හැටි අතුලට මතකය. එහෙත් අද ඇගේ ඒ සැකය හමුවේ තමන්ට තමන්වම සාධාරණීකරණය කරගන්නට විදියක් නැති බව මතක් වෙද්දී අතුලට දැනුණේ මුළු සිරුරම පණ නැති වී යන අන්දමේ අසරණකමකි. තමන් කළ වරදේ තරම ඔහු නොදන්නවා නොවේ. ඒ වරදේ බරින් ගෙදරටත්, දරුවන්ගේ අනාගතයටත් එල්ල වී ඇති තර්ජනය අතිවිශාලය. ඒත් ඒ සියල්ල කළේ මනුස්සකම නිසාවෙන් දිගු කල හස්තයක් වැරදි අතක පැටළීමෙන් නොසිතූ අගාධයකට ඇද වැටීමෙන් බව දුවට කියන්නේ කොහොමද?
“තාත්තා එහෙම අහන්නෙ මට තාත්තා එක්ක තරහා වෙන්න හිතෙන විදියෙ මොකක් හරි දෙයක් තාත්තා කරපු හන්දද?” කියා නෙත්මලී ඇහුවේ එක එල්ලේම තාත්තගෙ දෙනෙත් දිහා බලාගෙනය. අතුල සමරසිංහ ගොළුවුණේ එයට කිව යුත්තේ කුමක්ද කියා හිතාගන්නට බැරුවය. දරුවා කවදාවත් තමන්ගෙන් මෙයාකාර ප්‍රශ්නයක් අහන එකක් නැතැයි තමා සිතූ බව ඇත්තකි. එහෙත් “ඒලෙවල් ආට්ස් කරා කියලා ලැජ්ජ වෙන්න ඕන නෑ පුතේ. ඔය අම්මා අනං මනං කිව්වට අරයා මෙයා සයන්ස් කරා කියලා හැමෝම සයන්ස් කරන්න ඕන කියලා එක්ක නෑ. කලාකාරයොත් මේ ලෝකෙට ඕන. කලා කරොත් මලා කිව්වෙ ඉස්සර. දැන් කලා කරලා ලෝ කොලේජ් යන්න ඔයාට බැරිකමක් නෑනෙ. අනික ඔයා ඔය ඩිබෙටින් එහෙමත් කරන්න ආස එකේ ලෝයර් කෙනෙක් උනොත් මොකෝ නරකද? කොච්චර වැදගත් රස්සාවක්ද?” කියා චන්ද්‍රාගේ අධෛර්‍යමත් වචන හමුවේ ඇයව දිරිගැන්වුවේ තමන් වූ එකේ නෙත්මලී තමන්ගෙන් හරස් ප්‍රශ්න අහද්දී එය මගහරින්න විදියක් හෝ කෝපගන්නට හැකියාවක් අතුලට තිබුණේ නැත.
“ඇයි පුතා එහෙම දෙයක් අහන්නේ එකපාර?”
“තාත්තා ඇයි එහෙනම් මගෙන් එකපාර එහෙම දෙයක් ඇහුවෙ? තාත්තා ඇවිත් මගෙන් එකපාර මං තාත්තා එක්ක තරහකින්ද ඉන්නෙ කියලා අහන්නෙම තාත්තගෙ හිත දන්න හන්දනෙ මොකක් හරි අවුලක් තියෙනවා කියලා නේද?”
“මං… මං කිව්වේ පුතේ… මේ ටිකේ ඔයා වෙනදා වගේ මාත් එක්ක හිනාවෙලා කතා කරන්නේ නැති නිසා. ඉස්සරහා ඔයා ඉස්කෝලේ වෙන දෙයක් උනත්, පංතිවල වෙන දෙයක් උනත් ගෙදර ආ හැටියෙ මං එක්කලා කියනවා. හවස තේ බොද්දි කතා කර කර ඉන්නවා. හැබැයි දැන් ඔයාගෙ හැසිරීම සම්පූර්ණ වෙනස් වෙලා. ඔයා දැන් කාමරේමයි ඉන්නෙ. පාඩං කරන්න කියලා කියන්නෙපා පුතේ මොකෝ මං හොඳටෝම දන්නවනෙ ඔයා ගැන. ඔයා කියන්නෙ මේ එහෙම විභාගෙ හෙට තියාගෙන අද පාඩං කරන්න පටන් ගන්න ජාතියෙ මනුස්සයෙක් නෙවෙයි කියන එක මම නොදන්නවා නෙවෙයිනෙ.
අනික… අර එදා අම්මා ඉස්සරහා ඔයා කියපු කතාව…”
“තාත්තා හිතන්නේ මං ඒ කතාව නිකන්ම නිකන් කටට ආපු පලියට කිව්වා කියලද? තාත්තා ඇත්තටම දන්නේ නැද්ද මං එහෙම කිව්වේ ඇයි කියලා? නැත්නම් තාත්තා දන්නෙ නෑ වගේ මගහරින්න හදනවාද?
තාත්තා හැමදාම මට කිව්වෙ මොකද්ද? අපිට මොන ප්‍රශ්නෙ ආවත් කෙළින් ඉන්න, කාටවත් බයෙන් හැංගෙන්න ඕන නෑ කියලා නේ?
තාත්තා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තාත්තා එදා ඒ කිව්ව වචනවල තාත්ත අද පිහිටුවලද ඉන්නෙ කියලා?” කියාගෙනම නෙත්මලී හුන් තැනින් නැගිට යද්දී අතුල සමරසිංහට සිදුවුණේ වෙනදා මෙන් ඇගේ පසුපස ගොස් උරහිසට අත තබා සන්සුන් කරන්නට පවා වාරු නොමැතිව ඒ පියවර හඬ කාමරයේ දොර අසලින් නතර වන තෙක් බිම බලාගත් වනම ගල් වී සිටින්නටය.
තමන් එදා දුන් ඒ උතුම් උපදෙස අද තමන්ටම කැඩපතක් වී තමන්ගේම නිරුවත පෙන්වා දෙද්දී, දුවගේ එකම එක ප්‍රශ්නයක් හමුවේ තාත්තා කෙනෙකුගේ අභිමානය සාලයේ මැද මෙසේ කැබලි වී යාවි යැයි අතුල හීනෙකින්වත් නොසිතන්නට ඇත.
සමරසිංහ නිවසේ රාත්‍රී බෝජන නිමේෂයන් එදායින් පසුව වෙනදා මෙන් තාත්තාගෙන් දුවගේත් කිචි බිචියෙන් පිරුණේ නැත.
තරුණ වයසේ ඉන්නා දුවෙකුට හෝ පුතෙකුට නොගැලපෙන ප්‍රේම සබඳතාවයක් ඇතැයි සිතා අම්මා කෙනෙකු හෝ තාත්තා කෙනෙකු දරුවන්ගෙ හොර අල්ලන්නට යාම එක්තරා අයුරකින් සාමාන්‍ය මනුස්ස ස්වභාවය යැයි කිව හැක. එහෙත් තුරුණු වියේ පසුවන දියණියක “අපේ තාත්තට වෙන සම්බන්ධයක් තියෙනවද කොහෙද?” කියා සිතා තාත්තාගේ හොර අල්ලන්නට යාම වනාහී නොකල යුත්තක් බවත්, දරාගන්නට අපහසු දෙයක් බවත් නෙත්මලීට තේරුණේ එය කරන්නට පටන් ගත්තයින් පසුවය. නෙත්මලී උන්නේ තාත්තාගේ රැකවලින් ඔහුගේ කුඩා බට්න් දුරකතනය මද අවසරයකට හෝ මිදෙන තුරු ය. එහෙත් එවන් අවස්තා ආවේ ඉතාම කලාතුරකිනි.
එදා රෑ අතුල නාන කාමරයට රිංගුවේ ජංගම දුරකථනය නිදන කාමරයේ කන්නාඩි මේසය උඩ අමතක කර දමාය. චන්ද්‍රා උන්නේ මහන මහන මැශිම හා ඔට්ටු වෙමිනි. හදවත තදින් ගැහෙද්දී කාමරයට පියමැන්න නෙත්මලී ඒ කළු පැහැති පුංචි බට්න් ෆෝන් එක අතට ගත්තාය. වෙවුලන ඇඟිලිවලින් එහි පණිවිඩ එකතුව විවෘත කරද්දී හිත කොපමණ ගැස්සුණාද කියා දැනගෙන උන්නේ නෙත්මලීම පමණකි.
හිත බලාපොරොත්තු වූයේ කිසිවක් සේව් කර නොමැති අංකයකින් ආ තර්ජනාත්මක හෝ සෙනෙහෙබර වචන පෙළකි.
එහෙත් ඉන්බොක්ස් එක තිබුණේ මුළුමනින්ම හිස්වය.
එකදු කෙටි පණිවිඩයක්වත් එහි තිබුණේ නැත.
වෙනදාට ඩයලොග් එකෙන්, එන දැන්වීම් පණිවිඩද, නිව්ස් ඇලර්ට්ස් පවා එකක් නෑරම ඩිලීට් කර දමා තිබීමෙන්ම තාත්තා යම්කිසි දෙයක් මහා පරිස්සමෙන් මේ කුඩා තිරය ඇතුළේ සඟවන බවට නෙත්මලීට සැක කරන්නට හොඳටම කරුණු කාරණා සැපයීය.
කිසිවක් නැති ඒ හිස් තිරය දෙස බලා සිටි ඇගේ හිතට නැගුණේ මහා බියකරු හැඟීමකි.
ඇය ෆෝන් එක නැවත තිබූ තැනින් තබන්නට හදද්දීම ඒ කුඩා තිරය එකපාරටම දැල්වෙමින් කම්පනය වන්නට විය.


