සෙත්සිරි බැංකුවේ Fathers Day එක වෙනුවෙන් කරන්නට තිබුන පිච් එක හිතට කොච්චර බරක් ගෙන ආවාද කියා වචනයෙන් විස්තර කරන්නට නෙත්මලීට හැකියාවක් තිබුණේ නැත.
තාත්තා අහිමි වූ දරුවෙක්ට තාත්තා ගැන කතාකරන එක මෙච්චරටම අපහසු බව නෙත්මලී පවා පලමුවරට තේරුම්ගත්තේ ඒ මොහොතේය.
“තාත්තා නැතිවෙච්ච දරුවන්ට එයාගෙ තාත්තා ගැන කියන එක කොච්චර අමාරුවෙන්න ඇතිද කියලා මට තේරුණේ එහෙම පිච් එකක් කරන්න තියෙනවා කියලා ඔෆිස් එකෙන් මට ඉන්ෆෝම් කරාම සාරා” කියා හිතවන්තිය සමග තේ කෝප්පයක් රස විඳින අතරවාරයේ බෙදාගත්තේ ඒ සිතුවිල්ලය.
“ඒත් උඹට තාත්තෙක් හිටියනෙ බං” කියා සාරා කියද්දී නෙත්මලී මඳ වේලාවක් කිසිවක් නොකියා සිටියාය.
“හිටියා තමයි,” කියා අවසානයේ ඇය සිනාසෙන්නට උත්සාහ කළාය.
“ඒක තමයි අමාරු.” එහෙම කියා ඇය තේ කෝප්පය දෙස බලාගෙන සිටියාය. තාත්තා නැති කෙනෙකුට තාත්තා ගැන කතා කරන එක අමාරු වන්නේ ඔහු කිසිදා නොසිටි නිසා නොව, ඔහු සිටි බව මතක ඇති නිසා බව ඒ මොහොතේ නෙත්මලීට තේරෙමින් තිබුණි. පොඩි කාලයේදී තාත්තා කියන්නේ තමන්ට වඩා හැම දෙයක්ම දන්නා කෙනාය. බයිසිකලය කැඩුණොත් හදන්න දන්නා කෙනාය. ගෙදර මොනවා හරි කැඩුණොත් ඒක හදන්න දන්නා කෙනාය. ඉල්ලන දේ පුළුවන් විදියට ගෙනත් දෙන කෙනාය. තමන් බය වූ විට “බය වෙන්න දෙයක් නෑ” කියා කියන කෙනාය. ඒ වයසට තාත්තා කෙනෙකු කියන්නේ එච්චරටම ලොකු මිනිසෙකි. තාත්තා බැරි දෙයක් නැතැයි සිතාගෙන, තාත්තා සුපිරි වීරයෙක් යැයි සිතාගෙන ජීවත් වීමට දරුවන්ට හැකි වන්නේද ඒ නිසාය.
නමුත් දරුවෙකු ටික ටික ලොකු වෙද්දී ඒ විශ්වාසය වෙනස් වෙන්නට පටන් ගනී. තාත්තාටත් හැම දෙයක්ම නොතේරෙන බවත්, ඔහුටත් බය හිතෙන බවත්, ඔහුටත් සමහර ප්‍රශ්නවලට උත්තර නොතිබෙන්නට පුළුවන් බවත් තේරෙන්නට පටන් ගන්නේ ඒ අනුවය. ඒත් සමහර දරුවන්ට ඒ දේවල් තේරුම් ගන්න ලැබෙන්නේ තාත්තාත් එක්ක ඒ ගැන කතා කරන්න පුළුවන් කාලය ඉවර වූ පසුවය.
නෙත්මලී උන්නේද එයාකාරම සිතුවිලි සමුදායක් අස්සේ ගිලී යමිනි. තාත්තාටත් තමන් නොදැන සිටි දුක් තිබෙන්නට ඇතැයිද ඔහුටත් තමන්ට කියාගන්නට බැරි දේවල් තිබෙන්නට ඇතැයිද සිතෙන්නට පටන් ගත්තේ තාත්තා දවසෙන් දවස මතකයක් වී යන්නට පටන් ගනිද්දීය.
හැමදෙනාම කරන අයුරෙන් “තාත්තට මං ආදරෙයි” කියා මේ කතාව අවසන් කරන්නට නෙත්මලීට උවමනා උනේ නැත්තේ එනිසාය.
“මං හිතන්නෙ ඕනම දරුවෙක් තාත්තා කෙනෙක්ව දකින්නෙ පොඩි කාලෙ ඉඳන්ම හරිම වෙනස් විදියකට” ඉන්ටර්නල් පිච් එක දවසේ එසේ කතාව පටන් ගත් නෙත්මලී ටිකක් නතර වුණේ හිතේ තිබුන බර ගතිය කඳුළු බවට පත් වී නෙත්වලින් වැගිරෙන්නට යාම වලකන්නටය.
“මං හිතන්නෙ තාත්තලා කියන්නෙ සෑහෙන pride එකකින් දරුවො ඉස්සරහා ජීවත්වෙන කට්ටියක්. ඒ නිසාම තාත්තලා හැමතිස්සෙම උත්සහ කරනවා දරුවො ඉස්සරහා තමන් හැමදේම දන්නවා කියලා පෙන්නන්න. දරුවෙක්ට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඒකට උත්තරයක් දෙන්න. මොනවා හරි දෙයක් නොදන්නවා නම් දන්න කෙනෙක්ගෙන් අහලා හරි ඒක හොයලා දෙන්න. මොකද තාත්තෙක් ඉස්සරහා දරුවෙක්ට මට මේක තේරෙන්නෙ නෑ කියලා කියන්න තාත්තලා එච්චර කැමති නෑ.
තාත්තලා හරි කැමතියි දරුවන්ට ජීවිතේ ගැන එක එක ජාතියෙ practical පාඩම් කියලා දෙන්න. සල්ලි පරිස්සම් කරගන්නෙ කොහොමද, මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද, වැටුණම ආයෙ නැගිටින්නෙ කොහොමද, කවුරුහරි තමන්ව රවට්ටන්න හදනවා නම් ඒක අඳුරගන්නෙ කොහොමද ඔය වගේ දේවල්. සමහර වෙලාවට එකම දේ අපිට දහපාරක් කියනවා. අපිට එපා වෙනවා. හරි තාත්තෙ, දන්නවා කියලා අපිත් කියනවා.”
හැබැයි අපි පොඩි කාලෙදි තේරෙන්නෙ නැති දෙයක් තියෙනවා. ඒ තමයි තාත්තලා අපිට ජීවිතේ ගැන කියලා දෙන ඒ පාඩම්වලට වඩා, එයාලා අපි එක්ක කරන ඒ ගනුදෙනුවෙන් අපිට ලැබෙන පාඩම ලොකුයි කියන එක.
මොකද තාත්තා කෙනෙක් අපි වෙනුවෙන් කරන ගොඩක් දේවල් අපිට ඒ වයසෙදි සාමාන්‍ය දේවල්. උදේ අපිව ඉස්කෝලෙට ගෙනියන එක. අපිට කෑම අරගෙන එන එක. අපි අසනීප උනාම රෑට ඇහැරගෙන ඉන්න එක. අපිට මොනවා හරි ඕනෙ උනාම තමන්ට තියෙන විදියට ඒක අරගෙන දෙන එක. ඒවා කරලා තාත්තලා කවදාවත් අපෙන් අහන්නෙ නෑනෙ, මං මේක කළා, ඔයා ඒ වෙනුවට මං වෙනුවන් මොනවද කරන්නෙ?’ කියලා.
එයාලා කරනවා. අපි ගන්නවා. එච්චරයි” කියා නෙත්මලී මඳ වේලාවක් නතර වූවාය.
“හැබැයි අපි ලොකු වෙන්න වෙන්න තමයි ඒ ගනුදෙනුවේ තේරුම අපිට ටික ටික තේරෙන්න පටන් ගන්නෙ. එදා අපිට තේරුණේ නැති සමහර දේවල් පස්සෙ තේරෙනවා. තාත්තා අපිට දෙයක් අරගෙන දුන්නෙ තමන්ට පුළුවන් නිසා නෙවෙයි කියන එක, දරුවන්ට හොඳම දේවල් අරන් දෙන්න තාත්තලා හැමතිස්සෙම කටයුතු කරනවා කියන එක අපිට තේරුං යන්න පටන් ගන්නවා. අපි වෙනුවෙන් මහන්සි වුණේ ඒක එයාගෙ යුතුකමක් නිසා විතරක් නෙවෙයි කියන එක අපිට තේරුං යන්න පටන් ගන්නවා.
ඒ වෙලාවෙ තමයි අපිට තේරෙන්නෙ අපි හිතාගෙන හිටපු විදියට තාත්තා කියන්නෙ හැමදේම දන්න, හැමදේම කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා. එයාටත් බය හිතෙන, දුක හිතෙන තැන් තියෙනවා කියන එක අපිට තේරුං යන්නෙ එතකොට. එයාටත් සල්ලි ගැන, රස්සාව ගැන, ජීවිතේ ගැන ප්‍රශ්න තිබිලා තියෙනවා කියලා අපිට තේරුං යන්නෙ එතකොට. හැබැයි ඒ කිසිම දෙයක් අපිට දැනෙන්න නොදී, අපි ඉස්සරහා එයා තාත්තා වෙලා ඉඳලා තියෙනවා”
අපි පොඩි කාලෙදි කවදාවත් තාත්තගෙන් අහන්නෙ නෑනෙ තාත්තට මහන්සිද? කියලා. තාත්තට බයද? කියලා. තාත්තටත් දුක හිතෙනවද? කියලා. අපිට ඕනෙ තාත්තා අපිට ඒ ප්‍රශ්න අහන්න නොදෙන තරම් හයිය කෙනෙක් වෙලා ඉන්න. ඒත් අපි ලොකු වෙලා ඒ දේවල් තේරුම් ගන්නකොට සමහර වෙලාවට තාත්තා ළඟ නෑ.
අන්න ඒ නිසා තමයි මම හිතුවෙ මේ campaign එකට අපි අරගෙන එනවා කියලා මේ ගනුදෙනුවේ හොඳම පාඩම කියන line එක.
මොකද තාත්තලා අපිට ජීවිතේ ගැන කියලා දෙන පාඩම් කොච්චර තිබුණත්, ඒ හැම පාඩමකටම වඩා අපිට එයාලා එක්ක තිබුණ ගනුදෙනුවෙන් ඉගෙනගන්න ලැබෙන දේ ලොකුයි කියලා මට හිතෙනවා.
තාත්තා අපිට කියලා දෙනවා සල්ලි පරිස්සම් කරගන්න. මිනිස්සු එක්ක පරිස්සමින් ගනුදෙනු කරන්න. වැටුණම ආයෙ නැගිටින්න. කවුරුහරි රවට්ටන්න හදනවා නම් ඒක අඳුරගන්න. හැබැයි එයා අපි එක්ක කරන ගනුදෙනුවේදී කවදාවත් ගණන් හදන්නෙ නෑ. මං ඔයා වෙනුවෙන් මෙච්චර කළා, ඔයා මං වෙනුවෙන් මොනවද කළේ කියලා අහන්නෙ නෑ. අපිට දෙන්න පුළුවන් දෙයක් තිබුණත්, නැතත්, එයා දෙන්න පුළුවන් දේ දෙනවා.
ඒක අපිට තේරෙන්නෙ පස්සෙ. අපිට තේරෙන්නෙ අපිටත් ජීවිතේ බරක් දැනෙන්න පටන් ගත්තට පස්සෙ. අපිට සල්ලි හොයාගන්න අමාරු වෙද්දි. අපිට මහන්සි දැනෙද්දි. අපිට බයක් දැනෙද්දි. එතකොට තමයි අපිට මතක් වෙන්නෙ, ඒ හැම දෙයක්ම දැන දැනත් තාත්තා අපි ඉස්සරහා හයියට හිටියා කියලා.
ඉතින් මට හිතෙන්නෙ තාත්තා කෙනෙක් දරුවෙක්ට දෙන හොඳම පාඩම එයා කියලා දෙන එකක් නෙවෙයි. එයා දරුවො වෙනුවෙන් ජීවත් වෙලා පෙන්නන එක.
එයා අපිට කියලා දුන්න පාඩම් අපිට අමතක වෙන්න පුළුවන්. හැබැයි එයා අපි වෙනුවෙන් කරපු දේවල් අමතක වෙන්නෙ නෑ.
ඒකයි මට මේක “ගනුදෙනුවේ හොඳම පාඩම” කියලා කියන්න හිතුණෙ.
මොකද” කටහඬ බිඳී ගියේ ඒ අවසරයේය. මෙතෙක් වේලා හිත අස්සේ හිරකරගෙන උන් වේදනාව කඳුළු පටලයක් වි දෑස් වසාගෙන ඇති බව නෙත්මලීට තේරුණේ ඉදිරිය බලාගෙන සිටියද කාමරයේ සිටි කිසිවෙකුත් නොපෙනුණ නිසාවෙනි. ලැප්ටොප් ස්ක්‍රීන් එක තිබුණේද බොඳ වී ගොසිනි.
“අපිට තාත්තලාගෙන් ඉගෙනගන්න තියෙන හොඳම පාඩම” කටහඬ නැවත වරක් බිඳී යද්දී නෙත්මලී මඳ වේලාවකට නතර වූවාය.
“තාත්තා අපිට කොච්චර දේවල් දුන්නද කියන එක නෙවෙයි” කියද්දී මෙතෙක් වේලා පටලයක් ලෙස දෙනෙත් ඉදිරියේ සිරව තිබූ කඳුළු ඇස්වලින් මිදී කම්මුල් දිගේ පහළට වැටෙන්නට පටන් ගත්තේය.
“එයාට කොච්චර තිබුණද කියලා නොබලා අපිට දෙන්න එයා කොච්චර උත්සහ කළාද කියන එක. ඒක තේරෙනකොට…”
නෙත්මලී තවත් වචනයක් කියන්නට උත්සාහ කළද හඬ පිට නොවීය. මඳ වේලාවකට පසු ඇය යන්තමින් සිනාසුණාය. එතැනින් පසුව නෙත්මලීට තවදුරටත් කතා කරගෙන යාමට නොහැකි විය.
ඇය හිස පහත් කරගෙන කඳුළු පිස දමන්නට පටන් ගත්තාය. තාත්තා ළඟ නැති බව ඇත්තකි. එහෙත් තාත්තා පිළිබඳ මතකය හිතේ තිබෙන තාක්කල් තමන්ට මෙසේ අඬන්නට සිදුවෙන බව නෙත්මලී තේරුං ගත්තේ ඒ මොහොතේය.
තාත්තා ගොස් තිබුණේ තමන්ව දුර්වල තරුණියක කර බව නෙත්මලී තේරුං ගත්තේ ඒ මොහොතේය.


