පසළොස්වක මල් – 4

0
722

”  oh.. I’m extremely sorry..! මං ඔහොම කතාවක් ඇත්තටම දැනගෙන හිටියේ නෑ. Sorry. මං ඇත්තටම දැනගෙන හිටියේ ආන්ටි විශාඛාගේ අර නැතිවුණු දුව ගැන විතරයි. “

ඈ නැවත වතාවක් අෂ්මිල දෙස බලා සිහින් සිනාවක් පෑවාය. 

” ඒකට කමක් නෑ. මින්දුලා මහවලතැන්න. ජ’පුර කැම්පස් එකටමයි ඇවිත් තියෙන්නේ. කැම්පස් එකේ ස්ට්‍රෙස් එකට සුයිසයිඩ් කරන් තිබ්බා. “

” ඒ සිද්ධියෙන් පස්සේ විශාඛා අක්කා කොළඹ අතෑරලම දැම්මා “

විසල් සුසුමක් හෙළූ මහීකා අසුනක් පසුපසට ඇද කෑම මේසයෙන් අසුන් ගත්තාය.

” ඒ සිද්ධියෙනුත් අවුරුදු දෙකකට වගේ පස්සෙ තමා මට මහවලතැන්න පවුල මුණ ගැහුණේ. අදටත් ඒ ගෙදර කවුරුවත් ඒ සිද්ධිය ගැන කතා කරන්නෑ. අම්මා වගේම මාමත් අදටත් කොළඹ පදිංචියට එන්න කැමති නැත්තේ ඒ හින්දා. අහලා තිබුණට මාත් ඔය ගැන වැඩි විස්තරයක් දන්නෑ. “

” මින්දුලාගේ මරණෙන් පස්සේ එයාලා සෑහෙන්න ඩවුන් උනා දූ. ඔය භරණ නංගිට පණ  ඇරලා හිටියේ. මං දන්නෑ භරණයි , විශාඛා අක්කයි ඒ දුක කොහොම ඉවස ගත්තද කියලා. කොහොමහරි සංසාරේ ඔයාලා හැමෝම කරපු පවක් වගේම පිනකුත් තියෙන්නම ඇති. නැති උනු අය නැති උනේත් අද ඔයාලා පවුලක් වගේ ඉන්නෙත් ඒ නිසාම තමා. මට හොඳට මතකයි ඔයාව හම්බ උනු මුල් කාලේ විශාඛා අක්කා කෝල් කරපු වෙලාවක කිව්වා මහීකා.., මං මෙච්චර කල් හිටියේ හුස්මක් කටක් ගන්න බවක් නොතේරී. මේ චූටි කෙල්ලගේ මූණ දැක්කම මට හුස්ම ගන්නවා කියලා තේරෙනවා මහීකා… කියලා. “

මිහිදුමී යළිත් වරක් දෙනෙතට ඉනූ කඳුළක් පිස දැමූ අතර එතෙක් නිහඬවම උන් වැඩිමල් තරුණයා අසුන පසුපසට කර නැඟී සිටියේය. 

” ලොකූ කාලා ඉවරද ?”

” හ්ම්ම්..”

එතෙක් මෙතෙක් ඔහු දුටු මුල් මොහොතේ සිට මේ වන තෙක් ඔහුගෙන් පිටවූ එකම හඬ එය වූයේය. අතැති පිඟානත් රැගෙන මුළුතැන්ගෙය දෙසට ඇවිද ගිය ඔහු තවත් සුළු මොහොතකින් කෑම කාමරය හරහා උඩු මහල දෙසට ඇවිද ගියේය. 

” ඒ එයාගේ හැටි. නෝ කතා නෝ සිනා. “

තමා දෙස බැල්මක් හෝ නොහෙළා පිටව ගිය තරුණයාගේ ගමන් මඟ දෙසටම බැල්ම හෙළා සිටි තරුණිය අෂ්මිලගේ වදනින් මඳක් තිගැස්සී ගියාය. 

” එයා එහෙම උනාට එයාටත් හරියන්න මෙයා ඉන්නවා. “

මහීකා එසේ පවසා අෂ්මිලගේ උරහිසට පහරක් ගැසුවාය.

” ලොකූ එහෙම තමයි පුතේ. වැඩිය කාත් එක්කවත් කතාවක් නෑ. එයාගේ තාත්තත් එහෙමයි. “

තව දුරටත් තමා පවසා සිටි කතාව ස්ථීර කළ ඈ යළිත් කෑම මේසයෙන් නැඟී සිටි අෂ්මිල දෙසට හැරුණාය. 

” ඔයා දැන් කොහෙ හරි යනවද ?” 

” ශනූව මෙඩිකල් සෙන්ටර් එකෙන් අරන් ගෙදරට දාලා එන්නං අම්මා.. “

එසේ පැවසූ ඔහුද අතැති පිඟානත් සමඟම මුළුතැන්ගෙය දෙසට පිටව ගියේය. 

” ශනූ කියන්නේ අෂ්මිලගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. කැම්පස් කාලේ ඉඳන්. එයත් ඩොක්ටර් කෙනෙක්. “

” එතකොට අර කටු අත්තක් ගිලපු බැබුන් කෙනෙක් වගේ හිටපු කෙනාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද ?” 

ආයාසයෙන් සිතට ආ පැනය මුවින් පිට නොකර සිටි තරුණිය තවත් මොහොතක් මහීකා සමඟ කතා බස් කරමින් ආහාර ගනිමින් සිටියාය. ඉන්පසුව මුළුතැන්ගෙහි සේවිකාව වූ සරෝජාත්, මහීකාත් සමඟම එක්ව මහීකාගේ දැඩි විරෝධය මතම එහි පිරිසිදු කටයුතු වලට සහයෝගය දී , අවසානයේ දෙදෙනාටම සමුදී නිදන කාමරය වෙතට අඩි තැබුවාය. 

” හෙලෝ..!” 

” ඇති යන්තං මාව මතක් උනා “

අනෙක් පසින් නැඟුණේ නෝක්කාඩුවක් වුවද එහි වූ ආදරණීය බව නිසාම ඇගේ මුවඟ මත  මන්දස්මිතයක් නැඟිණි. 

” නින්ද ගියා අනේ. ආන්ටි මහීකා ඇවිත් කතා කරද්දි ඇහැරුණේ. “

” ගමන් මහන්සිය ඇති දුමී.. “

” වෙන්නැති මාමා. “

” කොහොමද මහීකාගේ ගෙදර ?” 

” ශෝක්..”

” ආහ් .. ඇත්තට..?” 

” හ්ම්ම්… ! “

එසේ පවසමින්ම ඈ නිදන කාමරයට යාබද සදළුතලයට විවර වන ද්වාරය විවර කළාය. රත්නපුරයේ සැනසිලිදායක සිසිල් සුළඟ කොළඹ කාෂ්ඨක උණුසුමෙන් කොහෙත්ම නොලැබුණු අතර විවර වූ සදළුතලයට හමා එන රැයේ සිහින් සුළඟින් විසල් හුස්මක් ගත් ඈ දුරකතනය තවත් සවනට තද කර ගත්තාය. 

” ආන්ටි මහීකා හරි හොඳයි. ආ.. තව එයාට පුතාලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්නං හරි හොඳයි. හොඳට කතා කළා. එයා ඩොක්ටර් කෙනෙක්. “

” එතකොට අනිත් කෙනා. ?” 

” සමන් දෙයියනේ..! එයා නිකන් අර ගලේ පන්සලේ තියන පිළිමයක් වගේ. හයේ හතරේ මොඩ්ල් එකට , කහ පාටට , ලස්සනට හිටියට එක වචනයක් කටින් පිට කළේ නෑ. අඩුම මූණ දිහාවත් බැලුවේ නෑ.” 

එහා පසින් නැඟුණේ භරණගේ විසල් සිනහවකි. එකී සිනහවට ප්‍රතිචාර ලෙසද ඇයද සිනහවක් නැඟූ අතර සිහින් සුළං රැල්ලක් ඇගේ නාසය මත නිකොටින් ගන්ධයක් තබා ගියේය. ක්ෂණිකව ඈ අනෙක් පස හැරී සඳලුතලයේ එහා කෙළවර දෙස බැලූ අතර ඒ වනවිටත් තමා දෙස එක එල්ලේ බලා සිටිනා සෙල් පිළිරුව හා ඔහු අතැති දුම්වැටිය දැක ඈ වහා ගොළු වූවාය. 

” දුමී..!” 

” ආ.. මා..මාමා..?” 

වචන මෙන්ම දෙපයද පැටළී ගිය අතර වහා විවර වූ ද්වාරයෙන් ඇතුළට පැමිණි ඈ ඉක්මනින් එය වසා දැමුවාය. 

” ඔයාට තව අඩුපාඩු මොනාහරි ගන්න තියනවද ?” 

” දැනට නෑ මාමා.. මං ඕන උනොත් මෙහෙන් ගන්නං. ආන්ටි මහීකා කිව්වා මොනාහරි ගන්න ඕනෙනං කියන්න. එයා එක්කන් යන්නං කියලා. “

” හ්ම්ම්.. ! දැන් රෑ වෙලානේ , ගිහින් නිදාගන්න දුමී. පරිස්සමින් ඉන්න ඕනේ. හරිද,?” 

” හොඳයි මාමා. සමන් දෙයියන්ගෙම පිහිටයි…!” 

හදවතෙහි ස්පන්දනය භරණ හා කතාවෙන් මඟ හැරී ගියද , ඇමතුමෙන් පසුව එය නැවතත් වැඩිවූ සෙයක් ඇයට දැනුණාය. අන්ධකාරය මැදින් ඔහු තමා දෙස බලා සිටි අන්දමත් , දුම්වැටියේ රතු පැහැ ආලෝකයත් , ඔහු වටා පැතිර ගිය දුම් වළලුත් යළි යළිත් ඔහු පිළිබඳව ඇගේ මනසේ විකාරරූපී අදහසක් නිර්මාණය වූ අතර යහන මත ඇති කොට්ටයට මුහුණ තද කර ගත් ඈ යළිත් ඒ මත වැතිරුණාය. 

***************************************

රන්.. ඔං..චිලි චිල්..ල මලී..ඊ

දුකට අඬනවා…ආ..

රන් ඔංචිලි චිල්ල මලී

කඳුළු පිහිනවා..ආ..

කඩන්න බැරි කටූ.. අකුලක

මලක් පිපෙනවා…ආආ..

රන් ඔංචිල්ලාවේ.. ගොස්

එමල නෙළනවා…ආ..

රන් කෙන්දෙන් රනින් සැදූ

රන් ඔංචිල්ලා..

අපට කොයින්දෝ රා..න්වන්

රන් ඔංචිල්ලා..ආ..

රන් කෙන්දෙන් රනින් සැදූ

රන් ඔංචිල්ලා..

අපට කොයින්දෝ රා..න්වන්

රන් ඔංචිල්ලා..ආ…

අපට කොයින්දෝ රා..න්වන්

රන් ඔංචිල්ලා..ආ…

එක පේළියට දහස් පෙතියා හා අට පෙතියා වැවුණු වැට මායිමේ විසල් හඬකින් ගීතයක් ගයමින් දිව ගිය කුඩා දැරිය එහි කෙළවර වූ කඩුල්ල පන්නා දමා ගෙමිදුලට ඇතුළු වූවාය. කඩුල්ල අද්දර වූ අඹ ගසෙහි සිටි වඳුරු පැටවෙකු දෙස බලා විරිත්තු ඈ තව දුරටත් එක් අතක්ද දිගු කර වඳුරු පැටවාට උසුළු විසුළු කළාය. ක්ෂණිකව ඈ හැඳ උන් චීත්ත ගවුමේ සාය කොටසෙහි එකතු කරගෙන රැගෙන ගුලි කර ආ රත් පැහැ ගත් ජම්බු ගෙඩි කිහිපයක් ඩොග් ඩොග් ගාමින් බිමට වැටුණු අතර යළිත් එය රැගෙන ගවුමේ ගුලි කර ගත් ඈ නැවත වතාවක් වඳුරු පැටවාට විරිත්තා උඩ පනිමින් කුඩා ලී නිවස වෙත දිව ගියාය. 

” සුදාක්කේ…! සුදාක්කේ…! අක්කේඒඒඒ…! නෝනාහාමි ආච්චිලෑ වත්තෙන් ජම්බු කැඩුවා. අර දේවකයා මගේ ජම්බු ටිකත් උස්සන්න හැදුවේ. ඌට ගහට නැඟ ගන්නත් බෑ. නෝනාහාමි ආච්චි එනවද කියලා බලන්න කිව්වම ඒක බලන්නත් බෑ. ඒකා හෙණ කම්මැලියා. පේන්නැද්ද අලි පැටියා වගේ බඩ ගෙඩියක් තියන් ඉන්නේ ඒකනේ. ඌ දන්නෙම නිකන් ඉඳන් කන්න. නෝනාහාමි ආච්චි පන්සල් යනකන් ඉඳලා ඉඳලා බොහොම අමාරුවෙන් වත්තට පැනලා කඩා ගත්තු ජම්බු ගෙඩි ටික. ඌට දෙන්න නිකන්.. ? හිතන් ඇති. “

තනිවම එසේ පවසමින් කුඩා ආලින්දය මැද ගවුම අත හැරි කුඩා දැරිය බිම දිගේ රෝල් වී ගිය ජම්බු කිහිපය එක ගොඩකට ගැසුවාය. 

” සුදාක්කේ…! එනවකෝ කන්න. අම්මා උදෙත් බැන බැන ඉඳලා ගියේ. යකෙක් දැකලා වගේ කැන්පස් එකේ ඉඳන් ආපු වෙලාවේ ඉඳන් බලාගත්තු අත බලන් ඉන්නව කියලා. ඇත්තටම යකෙක් දැක්කද ඕයි ? කවුද යකා ? මහසෝනාද ? කොළඹ යක්කු ගමේ යක්කුන්ට වඩා වෙනස්ද සුදාක්කේ ? කොළඹ හින්දා උන් ලස්සන ඇති නේද ? අර ටීවී එකේ නාට්ටි වල රඟපාන අයත් කොච්චර ලස්සනද ? අක්කේ..මේ…” 

තනිවම කියවමින් වැඩිමහලු සොයුරිය සිටි කාමරයෙහි දොර රෙදි තීරයෙන් හිස යොමා බැලූ කුඩා එකිය නිදන කාමරය මධ්‍යයේ රුධිර ගංගාවක් මැද වැටී සිටි තම සොයුරියත් , ඈ පසෙක සිට ගෙන සිට ඇගේ මළ සිරුර දෙස බලා සිටින මුහුණ මුකවාඩමකින් බැඳ උන් පිරිමි පුද්ගලයෙකුත් දැක දෙපය අප්‍රාණික වීමෙන් වහා පොළොව මතට කඩා වැටුණාය. 

දහදියෙන් පෙඟී ගිය වතින් වහා අවදිව යහන මත හිඳගත් මිහිදුමී වේගයෙන් හති ළෑවාය. 

” ඇ.. ඇයි මේ.. ? ඇ.. ඇයි මේ ආයේ ආයෙම..?” 

ඈ තමාගෙන්ම ප්‍රශ්න කරමින් අපහසුවෙන් කෙළ පිඬක් ගිල්ලාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here