” ආන්ටි අපරාදේ මහන්සි උනේ ?”
” මේක මොන මහන්සියක්ද දරුවෝ.? ඉස් ඉස්සෙල්ලා සුබ වැඩකට යද්දි කිරිබත් කෑල්ලක් නොහදා කොහොමද ?”
” මිස්ටර් ශමෙල් ආවා.”
අෂ්මිල ඉදිරිපස ද්වාරයේ සිට එසේ පවසමින් ඇවිද එද්දී ඔහු පසුපසින්ම මුව පුරා සිනහවක් නඟා පැමිණෙන ශමෙල් කිරිඇල්ල දුටු මිහිදුමී ඉක්මන් ගමනින් ගොස් ඔහුව තදින් වැළඳ ගත්තාය.
” කියන දේ අහන්නම බෑනේ අනේ ඔයාට. මං කිව්වනේ තනියම යන්නං කියලා. ?”
” පුළුවන්නං ඕක ඔයාගේ මාමාට තේරුම් කරන්නකෝ. නැත්තන් මිනිහා ආයේ එද්දි මට යන්න වෙන රටක් හොයාගන්න වෙනවා. “
සිනහ සපිරි උවනින් තරුණිය වෙත පිළිතුරු බැඳි ශමෙල් පසුපස සිටි මහීකා දෙස බලාද ලෙංගතු සිනහවක් නැඟුවේය.
” දූ..! අන්කල් එක්කම එන්න. එන්න මිස්ටර් ශමෙල් ! කිරිබත් ටිකක් කමු. “
” අම්මා ලඟ නෑ කියලා පාඩු වෙලා නෑ නේද ?”
ශමෙල් නැවත වතාවක් තරුණිය වෙත හැරුණු අතර ඈ අසරණව ඔහු දෙස මඳ සිනහවක් පෑවාය.
” වාඩිවෙන්න මිස්ටර් ශමෙල්. “
අෂ්මිල කෑම මේසය පෙන්වා එහි වූ අසුනක් පසුපසට ඇදි අතර ආහාර ගෙන අවසන්ව මුළුතැන්ගෙහි සිට පැමිණ අස්නක වෙත ශමෙල්ගේ දෑස නිරායාසයෙන්ම යොමු විය.
” මේ මගේ ලොකු පුතා. අස්නක. “
ශමෙල්ගේ බැල්ම හොඳින් තේරුම් ගත් මහීකා අස්නක දෙස බලා නැවතත් ශමෙල් දෙස බලා පැවසුවාය.
” හෙලෝ..! මං ශමෙල් කිරි ඇල්ල “
ඔහු හිඳ ගැනීම මඳක් පසෙකට තබා ඉලන්දාරියා වෙත අත දිගු කළේය.
” අස්නක.. අස්නක විජේසිංහ. ”
එසේ පිළිතුරු දුන් ඔහුද පෙරළා ශමෙල්ට අතට අත දී මඳ සිනහවක් පෑවේය.
” ගිහින් එන්නං “
පළමුව මව දෙස බලා දෙවනුව නැවත ශමෙල් වෙතට ළං කළ දෑසින් එසේ පැවසූ ඔහු සියල්ලන්ටම එක විට සමුදී නිවසින් පිටතට බැස්සේය.
***************************************
” ඔයා කොහෙද ?”
ශමෙල්ගේ මෝටර් රථයෙන් බැස ගත් තරුණිය හිස නොඔසවාම දුරකතනයෙන් කෙටි පණිවිඩයක් කෙටුවාය.
” Auditorium එක ලඟ. “
” යාළුවා ඇවිල්ලද ?”
” ඇවිල්ලා අන්කල් ”
ශමෙල්ගේ අතෙහි එල්ලුණු තරුණිය කුඩා එකියක මෙන් උත්සව ශාලාව වෙත පියවර තැබූ අතර ඈට පෙර එහි ගොස් සිටි ඇගේ මිතුරිය වහා දිව විත් ඈ වැළඳ ගත්තාය.
” තනියමද ආවේ ?”
” නෑ. අම්මයි , අයියයි එක්ක. ඒ දෙන්නා එහා පැත්තේ ඉන්නවා. “
” අන්කල් ! මේ පියවි. “
වහා ශමෙල් දෙසට හැරුණු තරුණිය තම මිතුරිය හඳුන්වා දුන්නාය.
” කොහොමද දරුවෝ. පියවි කොහෙද එතකොට ?”
” මං හෝමාගම අන්කල් “
” ආහ්.. එතකොට මේ ෆේස්බුක් යාලුවද ?”
ශමෙල් පෙරට වඩා සිනහවකින් තරුණියන් දෙදෙනා දෙස බැලුවේය.
” ඔව්. අන්කල් ශමෙල් , පියවිව අඳුරගත්තේ ඒලෙවල් කරද්දි ජොයින් වෙලා හිටපු ගෲප් එකකින්. අවුරුදු දෙක තුනක්ම යාලුවො උනාට අපි දෙන්නත් දැක්කේ අද. “
මිහිදුමී සතුටින් ඉපිලෙමින් තිබුණාය.
” මචං..! everything is fine. She is doing well. “
සියල්ල හොඳින් හා යහපත් බව සියයට සියයක්ම තහවුරු කර ගත් ශමෙල් කිරිඇල්ල මිතුරු භරණ මහවලතැන්නට එසේ පවසමින් කෙටි පණිවිඩයක් තැබුවේය.
**************************************
” විජේරාම හන්දියට ගිහින් 138 ගත්තනං හරි. හැබැයි මුල් දවස් ටික නිසා ඔයා ට්‍රයිශෝ එකක් දාන් යන්න දුමී. එතකොට පාර බලාගන්නත් ලේසියිනේ. “
” අම්මයි , මාමයි දෙන්නම කිව්වේ හැමදාම එන්නයි , යන්නයි එහෙම කරන්න කියලා තමා. ඒත් .. මට එහෙමත් ඕන්නෑ. බස් එකටම හුරු උනානං හොඳයි කියලා හිතෙනවා. “
” අර මොකෝ ?”
” විශේෂයක් නෙමෙයි. ඒත්.. තනියම හුරු වෙන එක හොඳයි කියලා හිතුණා. “
” එහෙනං යංකෝ. මං ඔයාව විජේරාම හන්දියෙන් දාගෙන යන්නං “
” එපා පියවි. මට රෙෆරන්ස් හෝල් එකට යන්න ඕනේ. “
“ශුවර්ද ?”
” ඔව් ඔව්..”
උත්සව , දේශන හා ජ්‍යේෂ්ඨ සිසුන්ගේ වැඩසටහන් වලින් ඇරඹි පළමු දිනයෙන් පසුව ගෙවී ගිය දින කිහිපයකින් අනතුරුව මිහිදුමී විශ්ව විද්‍යාලයට සෙමින් සෙමින් හුරුවෙමින් උන්නාය. වැදගත් තොරතුරු කිහිපයක් එකතු කර ගැනීමේ අදිටනින් වූ ඈ හිතැති මිතුරියට එසේ සමුදී සෙමින් සෙමින් අඩි තබා කලමනාකාර පීඨ පරිශීලන කාමරය වෙත ඇවිද ගියාය.
කිසිදු ආකාරයක සැක කටයුතු ලෙස හෝ විශේෂයක් නොහැඟවෙන පරිදි හෝරාවක් පමණ එහි වූ විශ්ව විද්‍යාල තොරතුරු සටහන් , පුවත් පත් අතර තනිව සිටි ඈ ඊට මඳක් ඔබ්බෙන් වූ වාර්ෂික සඟරා (University Magazines & Annual Reports) කොටසට ඇවිද ආවාය. ඉන් පසුව සෙමින් සෙමින් ගතව ගිය වසර කිහිපයකම වාර්ෂික සඟරා කිහිපයක් තෝරා ගත් ඈ ඒ සියල්ල එකින් එක පිරික්සමින් සිටියාය.
2010 වසරේදී ඉතා දරුණු ආකාරයට විශ්ව විද්‍යාල සිසුවියන් පස් දෙනෙකු ඝාතනයට ලක් වීමත් , ඒ පිළිබඳව කලක් පුරාවට නොයෙක් අන්දමේ පොලිස් විමර්ෂන කටයුතු පවත්වා තිබුණද මේ වනතුරුත් ඒ කිසිදු මරණයක් හේතුවෙන් වග කිවයුතු සැකකරුවෙක් අත් අඩංගුවට ගැනීමට නොහැකි වීම පිළිබඳවත් ඈ මේ වනවිටත් බොහෝ තොරතුරු සොයා හමාර කර තිබුණාය. මෙකී විශ්ව විද්‍යාලීය සිසුවියන් පස් දෙනා පිළිබඳව විශ්ව විද්‍යාලය තුළ තොරතුරු මොනවාද යන්න පිළිබඳව දැනගැනීමට බොහෝ උත්සාහ කළ ඈ අවසානයේ 2010 වසර අවසානයේ නිකුත් කර තිබූ දැනටත් යම් මට්ටමකට දුර්වර්ණ වී තිබූ සඟරා කිහිපයක් සොයා ගත්තාය.
ශාලාවේ පිරිස අඩු කෙළවරක් වෙත ඇවිද ගිය ඈ එකී සඟරා එකින් එක පෙරළමින් තමා අතැති කුඩා දින පොතක ඒ සියල්ල සටහන් කර ගනිමින් සිටියාය.
2010 වසර ඇතුළත විශ්ව විද්‍යාලයේ දෙවන වසර වාණිජ පීඨයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවන් පස් දෙනෙකුගේ තොරතුරු මතින් ඇගේ දින පොතෙහි පිටු කිහිපයක් පිරෙමින් තිබුණේය.
1.
ආරාධි කැකුණවෙල .
වයස අවුරුදු 21
පදිංචිය – පිළියන්දල
2010/ 03 / 21 දින රාත්‍රී අටට පමණ විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව නිවස බලා යමින් සිටියදී පිළියන්දල මැදි වත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී ගෙල කපා ඝාතනය කොට දමා තිබුණේය.
2. ඉෂාරා හර්ෂණී.
වයස අවුරුදු 22
පදිංචිය – අනුරාධපුරය
2010 / 04/ 05 වන දින අළුයම හතරට පමණ ඇය නවාතැන්ගෙන සිටි නාවින්න උඩහමුල්ල ප්‍රදේශයේදී මාර්ගයක තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර දමා තිබියදී සොයා ගෙන තිබුණේය.
3. දර්ශි නාඔටුන්න.
වයස අවුරුදු 23
පදිංචිය – මතුගම
2010/ 07/ 24 වන දින රාත්‍රී නවයට පමණ ඇය නවාතැන්ගෙන සිටි මහරගම පමුණුව පාරේ කුලී නිවස වෙත ගමන් කරමින් තිබියදී උල් ආයුධයකින් ගෙල සිදුරු කර ඝාතනය දමා තිබුණේය.
4. ප්‍රාර්ථනා කල්හාරි.
වයස අවුරුදු 22
පදිංචිය – හේවාහැට
2010/ 07/ 26 වන දින රාත්‍රියේ විශ්ව විද්‍යාලීය නේවාසිකාගාරය තුළ ගෙල කපා ඝාතනය කොට තිබුණේය.
5. සින්දුමී ආලෝක්‍යා.
වයස අවුරුදු 21
පදිංචිය – නිවිතිගල
2010/ 08 / 06 දින තම නිවසේ රැඳී සිටින අවස්ථාවේදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණේය.
අවසන් සිසුවියගේ ඝාතන තොරතුරු දින පොත මත සටහන් වී යද්දි එක දිගට මිහිදුමීගේ අත වෙව්ලීමට පටන් ගැනිණි. දෑසින් කඩා හැළුණු කඳුළු අනවසරයෙන්ම දින පොත මතට සට සට ගා වැටෙන්නට පටන් ගැනිණි.
දිගු මිනිත්තු කිහිපයක්ම එක දිගට හිස් බැල්මෙන් එකී ශාලාවේ අඳුරු කොනක් වෙතට දෑස් යොමු කරමින් සිටි ඈ හට එක් වරම එහි පසෙකින් ලා දම් පැහැ දිගු සායක් හා ශ්වේත වර්ණ බ්ලවුසයක් හැඳි තරුණියක් ඇවිද යනු මැවී පෙනෙන්නට පටන් ගැනිණි. මුව පුරා තවරා ගත් සිනහවකින් ඈ සන්තෝෂයකින් ඉපිලමින් ඉදිරියට ඇවිද ආ අතර ඇගේ පසෙකින් දිගු උල් සහිත රක්ත වර්ණ රුධිරය බේරී හැළෙනා ආයුධයක්ද අතැතිව දෑස පමණක් විවර වන ලෙස බැඳි මුකවාඩමක් බැඳ උන් රෞද්‍ර මිනිසෙකුගේ රුවක්ද මතු වූයේය.
ඉහලට ගත් හුස්ම පොද පහත හෙළීමට නොහැකිව ළැම සිරවී යද්දි ආයාසයෙන් පියවි සිහියට ආ ඈ විසල් හුස්මක් අත හැරියාය. දහදිය බේරා හැළෙනා මුහුණින්ද , වේව්ලන සිරුරින්ද , දෙපා පටළැවෙමින් කළමනාකරණ පීඨයේ පරිශීලන ශාලාවෙන් පිටතට ආ ඈ ඉදිරිපස ගේට්ටුව වෙත පිටව යන අතරතුර දුරකතනය ගෙන ඉන් ඇමතුමක් ලබා ගත්තාය.
” අම්මා..! මට සුභාවි අක්කාව මීට් වෙන්න ඕනේ. “


