” මිහිදුමී..!”
” කියන්න මැඩම් “
” Finance Control Team එකත් එක්ක එකතු වෙලා ඔයා කරපු ප්‍රොජෙක්ට් එකේ රිපෝට් එකට ඩිරෙක්ටර් බෝඩ් එක සෑහෙන්න සතුටු වෙනවා. මෙච්චර කාලෙකට අපිට අහු උනේ නැති Marketing Department එකේ Financial Risks කිහිපයක්ම ඒකෙන් හොයාගන්න පුලුවන් . මං හිතන්නේ ඔයාට දිගටම Financial Audit ටීම් එකත් එක්කම වැඩ කරන්න වෙයි “
” මං මගේ උපරිමේ කරන්නම් මැඩම්. බොහොම ස්තූතියි .”
” වැඩ ටික හොඳින් කරනවා වගේම ඔයාගේ වටපිටාව ගැනත් බොහොම සැලකිල්ලෙන් ඉන්න මිහිදුමී. කම්පැණි එක ඇතුළෙම ඉන්න අයගෙන් තමයි අපි කම්පැණි එක බේර ගන්නත් ඕනේ. “
” මට තේරෙනවා මැඩම්. “
” හොඳයි මිහිදුමී.. අපි මන්ඩේ මීට් වෙමු. “
” ඕකේ මැඩම් “
දුරකතන ඇමතුම විසන්ධි කර දැමූ තරුණිය යහන මත තිබූ තද නිල් පැහැ සිහින් පටි සහිත කෙටි සැහැල්ලු ගවුම ගෙන ඇඟලා ගත්තාය. මඳ වේලාවක් කැඩපත අද්දර සිට ගනිමින් මුහුණ පුරා වත්සුණු තවරමින් හැඩ වූ ඈ ආලින්දයේ ටීපෝව මත තිබූ පාර්සල් කිහිපයද රැගෙන නිවාස සංකීර්ණයේ තම කුඩා නිවසින් පිටතට පැමිණ එය අගුළු ළා දමා විදුලි සෝපානයට ගොඩ වී රථ ගාල කරා පිය නැඟුවාය.
වසර කිහිපයක්ම භරණ හා සුභාවි සමඟ ඔවුන්ගේ නිවසේ හිඳීමෙන් අනතුරුව තමාට තනිවම ජීවත් වීමට අවශ්‍ය බව පවසා භරණගේ දැඩි විරෝධය මත තේජ්ගේ උදව් ඇතිව සොයාගත් නිවාස සංකීර්ණයේ නිවසට පැමිණි මුල් දින කිහිපයේ භරණ තම මුහුණ හෝ නොබලා අමනාපය පිට කළ ආකාරය තනිවම රිය පදවමින් උන් තරුණියට සිහියටවිත් මුව මතට සිහින් සිනාවක් නැඟුවාය.
නිවසට ගොඩ වදින පළමු දින හිතා මතාම එය මඟ හැරි භරණ නිහඬ වෘතයක් රකිමින් දිගින් දිගටම තම කෝපය පෙන්වමින් සිටියේය. දින කිහිපයක්ම ගතව ගිය කළ බොහෝ චාටු බස් , සිනහවන් , ආදරණීය වදන් පවසමින් භරණව නැවත මිත්‍ර කරගත් ඈ අවසාන මොහොතේද ඇනුම් බැනුම් රැසකට මැදි වූවාය. කුමක් කළත් රත්නපුරය දමා ඒමට නොහැකි වූ විශාඛා කොළඹ පැමිණ භරණගේ නිවසේ හෝ මිහිදුමීගේ නිවසේ හෝ දීර්ඝකාලීන පදිංචිය දැඩිව ප්‍රතික්ෂේප කළාය. අවසානයේ ඈ මසකට වරක් සතියක කාලයක් මිහිදුමී නිවසේ ගත කිරීමට පොරොන්දු කර ගත් තරුණිය භරණව සෙමින් සෙමින් නිවා දැමුමට කටයුතු සිදු කළාය.
” දුමී..!”
” තේජ් අයියා ..! කියන්න . මං මඟ “
” උඹට එන්න කිව්වේ උමාගෙයි , මගෙයි 10th anniversary එකට නංගි. 20 th එකට නෙමෙයි. “
” හරි .. හරි අයියෝ.. මං මේ මඟ එන ගමන් .”
” ඉක්මණට වරෙන්. උඹේ දරු පැටව් ටික අම්මාව හොයනවා මෙතන “
චිරිස් හඬින් සිනාසුණු තරුණිය මෝටර් රථයේ වේගය තවත් මඳක් ඉක්මන් කළාය.
” ආ.. අන්න.. fairy mother ආවා.. “
මෝටර් රථයෙන් බැස පසුපස අසුනේ වූ පාර්සල් කිහිපය පිටතට ගනිමින් සිටි තරුණිය දුටු සැණෙකින් උමන්දා විසල් හඬින් ගෙතුළ වූ දරු පිරිස දෙස බලා පැවසුවාය. එතෙක් සිදු කරමින් සිටි සියලු දෑ ඉවත ලූ නිවසේ උන් දරු දැරියන් පිරිස වහ වහා මෝටර් රථයෙන් බැස එන මිහිදුමී දෙසට දුවන්නට පටන් ගත්හ.
” නැන්නී.. ! නුවී මගේ කොණ්ඩෙ ඇද්දා “
“නෑ නැන්දී.. එයා තමයි මුලින්ම මගේ කොණ්ඩෙ ඇද්දේ.. “
” අයියෝ.. අයියෝ.. රණ්ඩු ගොඩක්නේ.. ?”
දිව විත් පළමුව මිහිදුමීව වැළඳගත් මාණික්‍යා හා කේලි අත රැගෙන ආ පාර්සල් කිහිපය තැබූ මිහිදුමී , ඈ දුටු වනම පැමිණිලි රැගෙන ආ අෂ්මිලගේත් , ශනුලිගේත් කුඩා නිවුන් දැරියන් දෙදෙනා වෙතට පහත් වූවාය.
” දැන් කවුද මෙතන නෝටි වැඩ කළේ ?”
” නුවී .. තමා “
” නෑ.. නෑ.. නැන්නි මුලින්ම පටන් ගත්තේ බුවී. එයා මට ලියාන් අයියා එක්ක සෙල්ලම් කරන්න දුන්නෑ. “
” හපොයි.. කෝ දැන් ලියාන් අයියා.. ලියාන්…!”
ඈතින් මතුවූ තේජ්ගේ දෙවන දරුවා වූ ලියාන් වහා මිහිදුමීගේ හඬට ඈ වෙතට දිව ආවේය.
” මෙතන ප්‍රශ්නයක්නේ ලොකු අයියේ .. ඔයා කොහෙද මේ චූටි නංගිලා දෙන්නව දාලා ගියේ ?”
” අනේ..නැන්දි මේ දෙන්නා මට වද දෙනවා. මං කියන සෙල්ලං කිසිම දෙයක් මේ දෙන්නා කරන්නෑ. “
” හපෝ.. එහෙම බෑනේ.. කෝ මෙහෙ එන්න.. “
මිහිදුමී යළි පහත්වී කුඩා නිවුන් දැරියන් දෙදෙනා තමා අසලට ළං කර ගත්තාය.
” ලියාන් අයියාත් එක්ක සෙල්ලං කරන්න ඕනෙ නං ඔයාලා දෙන්නා එයාට කරදර කරන්න බෑ. රණ්ඩු වෙන්නත් බෑ. “
කුඩා දැරියන් දෙදෙනා රොබෝවරියන් සේ හිස් දෙපසට සෙළවූවාය.
“හරි..එහෙනං දැන් රණ්ඩු නොකර සෙල්ලං කරන්නකෝ. “
” රණ්ඩු බේරලා ඉවරද ? ආපු වෙලාවේ ඉඳන් මේ දෙන්නා ලියාන්ට රණ්ඩු වෙනවා. “
ඉදිරියට ආ ශනුලි වහා මිහිදුමීගේ අතින් අල්ලා ගත්තාය.
” මහීකා ආන්ටි ආවද අක්කේ ?”
” හ්ම්ම්.. දැන් ඇවිල්ලා ගොඩක් වෙලා. ඇතුළට යන්න. මං අර ජෝඩුව පොඩ්ඩක් බලලා එන්නං”
” මාමේ..!”
” හරි ශෝක් එන වෙලාව ?”
නිවසට ඇතුළු වන තැනම උන් භරණ ඈ දෙස බලා මුව ඇද කළේය.
” ඔෆිස් එකෙන් එන්න පරක්කු උනා. “
එසේ පැවසූ ඈ භරණගේ අතේ වෙළෙමින් නිවසට පා තැබුවාය. නමුදු එක් වරම හදවත පසාරු කර යන අධික ශෝකයකින් මෙන්ම ප්‍රීතියකින්ද සම්මිශ්‍රණය වූ හැඟීමකින් ඇගේ හදවත දෙපය අක්‍රිය කළේය. අඩියක් ඉදිරියට තැබූ භරණ ඉදිරිපස ද්වාරය මත ගල් ගැසී මෙන් බලා හිඳිනා තරුණිය වෙතට නැවත හැරුණේය.
” මොකෝ..? දුමී..!”
” ආහ්..?”
” මොකද උනේ ..? ”
” ආ.. නෑ.. මුකුත් නෑ.. “
හදවත තුළ සැණකින් මතු වූ විපරීතභාවය ආයාසයෙන් දරාගත් මිහිදුමී මුව පුරා තවරාගත් සිනහවෙන් ඉදිරියට ආ උමන්දාව වැළඳ ගත්තාය.
” Happy anniversary අක්කා..!”
” thank you darling ..!”
” කෝ තේජ් අයියා..?”
උමන්දාගේ දෑස ක්ෂණිකව භරණ වෙතට හැරී නැවත මිහිදුමී වෙතට විතැන් විය.
” උඩ “
” හරි ශෝක්.. දැන් එද්දිත් මට කෝල් කළානේ..? ”
” දුමී..!”
” කියන්න සුභාවි අක්කේ..?”
” එන්නකෝ එළියට යන්න. ලස්සන ඇරේන්ජ්මන්ට් එකක් තියනවා. “
සුභාවිගේ අතෙහි එල්ලී පිටතට බසින මොහොතේ තවමත් හදවත තුළට පිවිසි ආගන්තුක හැඟීම එලෙසම තිබියදී ඈ යළිත් හැරී නිවස දෙස බැලුවාය. මිලි තත්පරයක් තුළ නිවස වටා දෑස ගෙන ගිය ඈ ඒ හා සමානවම උඩු මහළටද දෑස යැව්වාය. නැත.. වෙනසක් නොමැත. අපහසුවෙන් ගැහෙන හදවතට තරවටුවක් දැමූ ඈ සුභාවිගේ පසුපසින් වැටී ගෙමිදුල කරා අඩි තැබුවාය.
” මොකද බං නිකන් බය වෙලා වගේ බලන් ඉන්නේ ?”
තේජ්ගේ හා උමන්දාගේ දසවන විවාහ සංවත්සරය නිමිති කොට ගනිමින් පැවැත්වූ කුඩා උත්සවයේදී වෙනදාට නොමැති අන්දමට කල්පනාවක ගිලී උන් තරුණිය දුටු තේජ් ඈ වෙතට පැමිණ විමසුවේය.
” ආපු වෙලේ ඉඳන් මාත් බලාගෙන “
ගෙමිදුලේ සූදානම් කර තිබූ සාදයේ අතකින් ගත් මත් පැන් වීදුරුවක් තොල ගාමින් පැමිණි භරණද තේජ්ගේ කතාවට අග ඇල්ලුවේය.
” බය වෙලා නෙමෙයි. මට මහා අමුත්තක් දැනෙනවා මාමේ..”
” අමුත්තක් කිව්වේ ?”
” අනේ මන්දා.. මට තේරෙන්නෑ. ඒක දුකකුත් නෙමෙයි. හරියට කාලයක් තිස්සෙ හිතේ තිබ්බ දෙයක් ලැබුණා වගේ. ඒ.. ඒ.. කියන්නේ මං බලාගෙන හිටපු ඩ්‍රීම් එකක් එක පාරට හැබෑ උනා වගේ. අහ්.. මට ඒක කියන්න තේරෙන්නෑ. මට දුකක් නෑ. බයක් නෑ.. සතුටුයි. හරියට අර අපි සතුටට අඬන්නේ . අන්න ඒ වගේ. ඒත්.. මට තේරෙන්නෑ ඇයි මට එහෙම දැනෙන්නේ කියලා.
I can’t even explain it to you. I am so happy. It feels like a wish of mine has come true. But… I can’t even understand it myself. “
තේජ් යටැසින් භරණ දෙස බැලූ අතර ඔහු දෙබැම ඔසවා නිහඬව තේජ්ගේ බැල්මට පිළිතුරු දුන්නේය.
” හා.. හා.. කතා ඇති. දැන් සිංදුවක් කියන්න. “
ගිටාරයක් අතැතිව පැමිණි අෂ්මිල වහා එය මිහිදුමී අත තැබුවේය.
” සුදු අයියේ.. පිස්සුද හලෝ ? මෙතන මිනිස්සු ඉන්නවා. මේ අපි ගෙදර කට්ටිය විතරක් නෙමෙයි. “
ඈ විසල් කර ගත් දෙනෙතින් ඔහු දෙස බැලුවාය.
” ඉතිං ? කට්ටිය ඉන්න නිසා තමයි කියන්න කිව්වේ ? “
” කමෝන්.. කමෝන්.. දුමී.. කියමු .. කියමු. “
තේජ්ද ඇගේ බාහුවකට තට්ටුවක් දමා පැවසූ අතර ඈ ඇඹුල් කර ගත් උවනින් භරණ දෙස බැලුවාය. නමුදු කිසිවක් නොපැවසූ භරණ අතැති වීදුරුව ඔසවා ඈට ඉදිරියට යන ලෙසට සන් කළේය.
” කමෝන් දුමී…!”
අෂ්මිලට මුව ඇද කළ ඈ ගිටාරයද අතැතිව ගොස් උස ලී පුටුවකට බර වූවාය.


