විජේසිංහ නිවසේ වැඩිමහලු පුත්‍රයාගේ පිටව යෑමෙන් තවත් මාස ද්විත්වයක් ගතව ගිය තැන ඉතාම කුඩා උත්සවයක් පවත්වා භරණ මහවලතැන්න හා සුභාවී කරුණාරත්න විවාහ දිවියට එළඹුනහ. එයිනුත් වසරක් ගතව ගිය කළ අෂ්මිලගේත් , ශනුලිගේත් විවාහ උත්සවය පැවැත්වුණේය. ඒ වනවිට උමන්දා දෙවන දරු ප්‍රසූතියට සූදානම් වෙමින් සිටි අතර අවසානයේ ඈ පුංචි පුතෙකුට උපත දුන්නාය. විවාහයෙන් වසර එකහාමාරකට පමණ පසුව සුභාවි හටද දෙවන වතාවටත් මහවලතැන්න උරුමකරුවෙකු බිහි කිරීමට හැකියාවක් ලැබිණි. අෂ්මිලගේත් , ශනුලිගේත් විවාහයෙන් තවත් දෑ අවුරුද්දකට පසුව ඔවුන් දෙදෙනාගේම සුබ සිහින සැබෑ කරමින් සුරතල් නිවුන් දියණියන් දෙදෙනෙකු මෙලොව උපත ලැබීය.
ඉදින් ගෙවීගිය සය වසරක කාලය තුළ සියලුම දෙනාගේ ආදරණීය හා ආරක්ෂිත සෙවනැලි මැද අඩියෙන් අඩිය ඉදිරියට තැබූ මහවලතැන්න කුමරිය ක්‍රම ක්‍රමයෙන් සෑම අතකින්ම සාර්ථක තරුණියක් බවට පත් වෙමින් සිටියාය.
වීදුරු කවුළු අතරින් කළු ගන අන්ධකාරය පළවා හරිමින් ළා එළියක් බේරී වැටෙමින් පවතින මොහොතේ මිහිදුමී දම්සේයා මහවලතැන්න තම කුඩා නිවසේ යහනින් බිමට බැස්සාය. නාන කාමරය වෙත ගොස් මුහුණ අත පය දොවා පැමිණි ඈ පළමුව නිදන කාමරයේ ජනෙල් තිර විවර කළාය. ඊලඟට පිළිවෙළින් ආලින්දයේ ජනෙල් තිර කිහිපයත් විවර කර නැවුම් හිරු කිරණ වලට කුඩා නිවසේ පොළොව සිප ගැන්මට ඉඩ දුන්නාය. උණු උණුවෙන් සාදා ගත් කෝපි කෝප්පයෙන් උගුර උගුර තොල ගාමින් පෙර සූදානම් කර ශිතකරණයේ බහා තිබූ අමුද්‍රව්‍ය සියල්ල පිටතට ගෙන අඩ හෝරාවක් පමණ ගතවන තැන එදිනට අවශ්‍ය කෑම බීම සියල්ල සකසා ගත්තාය. තවත් අඩ හෝරාවක් ඇතුළත ඒ සියල්ල අසුරා ගමන් මල්ලටද බහා කුඩා මුළුතැන්ගෙයද පිරිසිදු කොට යළිත් නාන කාමරය වෙත වැදුණාය.
” දුමී..!”
” ගුඩ් මෝනින් අම්මා..!”
” ඔෆිස් එකට යන ගමන්ද පුතේ ? ”
” ඔව් අම්මා.. මාමා කතා කළාද ?”
” මාමා කැන්ඩි ගිහින් ඊයේ රෑ ඇවිත් නෑ දරුවෝ.”
” තේජ් අයියත් යන කතාවක් කිව්වා. “
” ඔව්. තේජ් එක්කම තමා ගිහින් තියෙන්නේ. “
” මොකක් වෙලාද අම්මා. ?”
” කාර් සේල් එකේ වැඩ කරපු මනුස්සයෙක් නැති වෙලා පුතේ. ටිකක් වයසක කෙනෙක්. ලොකු පුතා කියලා මළ ගෙදර වැඩ ඔක්කොම අපේ වියදමින් කරන්න කියලා. “
හදවත පුරා හීන් රිදුමක් ඇවිළිණි. මවගේ ලොකු පුතා යන ආමන්ත්‍රණය කවුරුන් උදෙසාද යන වග හොඳින් වටහා ගත් ඈ වහා කතාව වෙනතකට හැරවූවාය.
” අම්මා.. ! මං නෙක්ස්ට් වීක් නුවරඑළි යනවා. “
මෙතෙක් සිදු කර පැමිණි කතාව ක්ෂණිකව ඈ වෙනතකට හැරවූ ආකාරය දැනුණු විශාඛා අමනාපයෙන්ම සුසුමක් හෙළුවාය.
” ඇයි ඒ ? හදිස්සියේ ?”
” ඔෆිස් එකේ ඇනුවල් ට්‍රිප් එක අම්මා. “
” ඔයා මාමාට කිව්වද ?”
” ඔෆිස් ගිහින් ගෙදර යන ගමන් මං ඒ පැත්තට යන්නං “
” හ්ම්.. හ්ම්ම්.. ෆෝන් එකෙන් කියනවට වැඩිය ගිහින්ම කියන එක හොඳයි. තනියම ඉන්න ඕනේ කියලා රණ්ඩු අල්ලලා අපාර්ට්මන්ට් එකකින් ගෙයක් ගත්තා. වාහනයක් ගත්තා. දැන් ඉතිං ලොකු ජොබ් එකකුත් තියනවා. දැන් එයාට අපෙන් වැඩක් නෑ අම්මා කියලා පෙරේදා රෑත් මට කතා කරලා කිව්වා. “
” අනේ.. අම්මා.. ! හරි නරකයි අනේ.. මං කවද්ද දෙයියනේ එහෙම හිතුවේ. මාමටයි , සුභාවි අක්කටයි කියලත් නිදහසක් ඕනෙනේ අම්මා . මාණික්යාට දැන් අවුරුදු දාහතක්. ඒත් ඒ කෙල්ල තාත්තට හුරතල් වෙන්නේ තාම පොඩි එකෙක් වගේ. අර පොඩි එකෙක් උනු අකේල්ටත් එහා. ඒ දරුවෝ දෙන්නයි , මාමයි , සුභාවි අක්කයි කියන්නේ වෙනම පවුලක්නේ අම්මා. එයාලගේ නිදහස මං එතන ඉද්දි නැති වෙනවා. ඒ හතර දෙනාට කියලත් ෆැමිලි ලයිෆ් එකක් තියෙන්න එපැයි.
මං එහේ හිටියම එයාලට අඩුම ට්‍රිප් එකක්වත් යන්න චාන්ස් එකක් නෑ. ෆිල්ම් එකක් බලන්න , ඩිනර් අවුට් එකක් යන්න ඒ කිසි දෙයක් කරගන්න තියන ඉඩ සීමිතයි. යන හැම තැනම මාවත් කර ගහන් යන එක එයාලට කරදරයක්. මාමා විතරක් නෙමෙයි තේජ් අයියට කියලා අපාර්ට්මන්ට් එකක් හොයන්න පටන් ගත්ත දවසේ ඉඳන් සුභාවි අක්කත් හැරෙන හැරෙන පැත්තට මට හින්ට් ගැහුවා. මං මොනාද කියන්නේ ඔව් .. ඔව් .. දැන් ලොකු මිනිස්සුනේ. අපි පොඩි දොස්තරලානේ. දැන් ඉන්නේ ලොකු ඔෆිස් වලනේ. මාණික්‍යා මට කතා කළොත් , මාණී අර ඔෆිස් නෝනාට කෑම කන්න එන්න කියන්න.. මාණී .. ඔෆිස් නෝනාගෙන් අහන්න අද ඕෆ් වෙන්නේ කීයටද කියලා. මාණී .. ඔෆිස් නෝනාගෙන් අහන්න රෑට කන්නේ මොනාද කියලා. අපි වගේ පොඩි මිනිස්සුන් කන කෑම එයාට සෙට් වෙයිද දන්නෑනේ.. “
තරුණියගේ එකී බස් අවසානයේ තත්පර කිහිපයක්ම යනතුරුත් මව සහ දියණිය දෙපසින්ම විසල් හඬින් සිනහ නඟමින් සිටියහ.
” සුභාවි අක්කත් ඒවාගේ ඒවයින්නං මාමට හොඳට ගැලපෙනවා. තකට තක “
” ගැලපෙන නිසා නේන්නං ඔය අවුරුදු ගාණක් ගිහින් හරි ආයේ එකට ඉන්නේ. “
” අන්න ඒකනේ අම්මා.. කොච්චර උනත් එයාලට අවුරුදු ගාණක් මිස් උනා. ඒ දෙන්නා පැත්තකින් තිබ්බත් මාණිට තාත්තව අවුරුදු ගාණක් මිස් උනා. දැන්වත් එයාලට එයාලගෙ නිදහසේ ඉන්න දෙන්න ඕනනේ. තනියම ඉන්න පුළුවන්කම තියෙද්දිත් මං එයලගේ අස්සෙම ඉන්න එක කරදරයිනේ. “
” හ්ම්.. හ්ම්ම්.. ඕවා මාත් එක්ක කිව්වට කමක් නෑ. මාමාත් එක්ක කියලා ගුටි කන්නෙපා. “
” අම්මෝ නෑ.. අම්මා.. මං ට්‍රැෆික් එකේ. මං අම්මට හවස් වෙලා කෝල් එකක් ගන්නං “
” එහෙනං මං තියන්නං දුමී. සමන් දෙයියන්ගේ පිහිටයි…!”
” සමන් දෙයියන්ගේ පිහිටයි අම්මා.. !”
වාහන තදබදය අතර මාර්ගයේ පසෙක ඩිජිටල් තිරයක මැවෙන ප්‍රධාන පෙළේ රථ වාහන මෙරටට ගෙන්වන සමාගමක් වූ Wijesinghe Auto Empire හී වෙළඳ දැන්වීමක දර්ශනයක් අහම්බයෙන් දෑස් ඉදිරියේ චිත්රණය වෙද්දී සුක්කානම අල්ලා තිබූ ඇගේ දෑත කිටි කිටියේ තවත් එයට තද විය. සත් අවුරුද්දකට පෙර එක් ශාඛාවකින් පමණක් සමන්විත වූ ව්‍යාපාරය ගෙවී ගිය කාලය ඇතුළත රථ වාහන ගෙන්වන සහ අළෙවිකරණ සමාගම් අතරින් දිවයිනේ ප්‍රථමයන් කිහිප දෙනා අතරට පැමිණ සිටි අතර විජේසිංහ නාමය ඇතුළත් ශාඛා බොහෝමයක් මේ වන විට රට පුරා පැතිර ගොස් තිබුණේය.
මෙකී කාලය මුළුල්ලේම නෑ , හිත මිතුරන් සමඟ බොහෝ අල්ලාප , සල්ලාපයන් තුළ ඔහුගේ නම , ඔහුගේ සාර්ථකත්වය , ඔහුගේ දියුණුව කතා බස් නොවූ සහ කතාවට නොගැනුණු අවස්ථාවක් නොවීය. ගෙවී ගිය කාලය සුළුපටු නොවීය. අතින් අල්ලා බැලීමට නොහැකි වුවද කාලයටද දිගක් , පළලක් තිබුණේය. ඉදින් කාලය අල්ලා තබා ගත හෝ එක තැන නතර කළ නොහැකි වූවේය. අසන්නට , දකින්නට ලැබුණු දේවල් විනා උවමනාවෙන් ඔහු සම්බන්ධ කතා බස් වලට සහභාගී නොවුණු ඈ නිවසේ තනිව ගෙවෙනා බොහෝ රාත්‍රීන් වල ඔහුගේ සේයාරුවක් සමඟ තනි වූවාය.
හඬා වැළපීමට බොහෝ නිදහස තිබුණාවූ හිස් නිවස තුළ ඈ ඉකි ගසා හඬා වැටුණාය. භරණගේ කොළඹ නිවසේදී , රත්නපුර මහවලතැන්න නිවසේදී පිට කර ගත නොහැකිව තිබු බොහෝ දුක් සුසුම් ඈ පිට කළේ නිවාස සංකීර්ණයේ කුඩා නිවස තුළදීය. ආයසයෙන් දරාගත් සිනහවෙන් දිවා කාලය තමා වටා වූ පරිසරය තුළ හා මිනිස් සමාජය හා මුසුව සිටින ඇගේ රාත්‍රීන් බොහෝමයක් ඉතා දිගු ඒවා විය. එවන් රාත්‍රීන් බොහෝමයක හෝරා ගණන් නිවසේ ආලින්දයේ , නිදන කාමරයේ , නාන කුටියේ , මුළුතැන්ගෙහි ටයිල් පොළොව මත හිඳ ගෙන දෑසින් ගැලූ කඳුළු මත රැය පහන් කළ ඈ උදෑසන මවා ගත් සිනහවෙන් රැකියාවට පිටත් වූවාය. ඒ යන අතරමඟ සිනහවෙන් මව හා කතා බහෙහි යෙදුණාය.
නැවතීමක් නොමැතිව එක දිගට දිව යන කාලය සත් වසරක් පුරාවට මිහිදුමී දම්සේයා මහවලතැන්න නම් කුඩා තරුණිය හදවත තුළ දරාගත නොහැකි විසල් ශෝකයක් තිබියදී පවා ඕනෑම අයෙකු ඉදිරියේ මවාගත් සතුට , සැනසුම සපිරි , මුව පුරා සිනහ නඟන පරිණත තරුණියක් බවට පත් කර තිබුණි.
වරද කාගේදෝ බව ඈ නොදත්තාය. එකී වරදේ වරදකාරීත්වය කාට පැවරිය යුතුදැයි ඈ නොදත්තාය. සත් වසකට පෙර එක්තරා තරුණයෙකුට දිවි හිමියෙන් පෙම් කළ මිහිදුමී දම්සේයා මහවලතැන්න තව දුරටත් ඈ තුළ සිටීද යන වග ඇයට නිශ්චිත නොවුණාය. වේදනාවෙන් හා තනිකමින් පිරී ගිය බොහෝ රාත්‍රීන් වල දරාගත නොහැකි තැන් වලදී ඈ ඈටම දඬුවම් කරගැන්මට පවා තීරණ ගත්තාය. විටෙක ඈට නිවාස සංකීර්ණයේ පස් වන මහලේ සිට එහි පොළෝ තලය වෙත ඇද වැටෙන්නට සිතුණි. විටෙක නිදන කාමරයේ පංකාවේ සාරියක එතීමට සිතිණි. මුළුතැන්ගෙයි ගෑස් නළය පුපුරා දැමීමට සිතිණි. තවත් විටෙක කුඩා මෝටර් රථයට නැඟ අධි වේගයෙන් මාර්ගයක් පිවිසීමට සිතිණි.
නමුදු සෑම සිතිවිල්ලකම අග කෙළවරෙහි දැවටී විශාඛා මහවලතැන්නගේ පින්සර රුවත් ඇගේ වචනත් ඇදී ආවේය. ආදරණීයව දරාගන්නා භරණගේ රුව මනසට නැඟුණේය.
ඒ සියල්ලටම පසුපසින් කලාතුරකින් මුව රැඳෙන සිනහවකින් තමා දෙස බලා සිටින හැඩකාරයෙකුගේ ජායාවක්ද රැඳුණි. සියල්ලටම වඩා ගිලිහෙන්නට වෙර දරන ඇගේ ජීවිතය අල්ලා බැඳ තැබීමට සමත් වූ කාරණය එකී කඩවසම් රුවය. නමුදු දිනෙන් දින ගතව ගිය දින , සති , මාස , වසර ගණන තුළදී පරිණත වූ තරුණිය එය නිසියාකාරව වටහා ගනිද්දී ඈ සතු වූ එකී වටිනාම සම්පත සත් සමුදුරු තරණය කොට බොහෝ දුර වෙන්ව ගොස් තිබුණේය.


