විටෙක සුළු සුළු කලබලකාරී ගති ඇති වුවද බොහෝ නිස්කාසුවේ දින සති කිහිපයක් එක දිගට ගලා ගියේය. එකී කාලය ඇතුළත විජේසිංහ නිවසේ නවාතැන් ගෙන සිටි මිහිදුමී දම්සේයා මහවලතැන්න නිවසේ සිට තනිවම බස් රථයෙන් විශ්ව විද්‍යාලයටත් , ආපසු නිවසටත් යෑම් ඊම් සඳහා හුරු වී සිටියාය. කිහිප වතාවකදීම ඇගේ ප්‍රවාහන කටයුතු සදහා අෂ්මිලගේ සහායක්ද ලැබුණු අතර මහීකා විජේසිංහද නිතර දෙවේලේ ඇගේ අඩුපාඩු සොයමින් සියල්ලම සපුරා දෙමින් සිටියාය.
ක්‍රම ක්‍රමයෙන් කොළඹ පරිසරයටත් , විජේසිංහ නිවසටත්, විශ්ව විද්‍යාලයටත් ඉතා ඉක්මනින් හුරු වූ ඈ මහවලතැන්න නිවසේත් , විජේසිංහ නිවසේත් වෙනසක් නොදැනෙන තරමට ඔවුන්ට එකතු වී සිටියාය. සියල්ල එසේ හොඳින් විසඳුනද විජේසිංහ කුටුම්භයේ වැඩිමහල් පුත්‍රයා පිළිබඳව ඇගේ සිතේ සෑම මොහොතකම කියවා තේරුම් කර ගත නොහැකි කතාවක් ඉතිරි වී තිබිණි. ඉතා කලාතුරකින් පමණක් උදෑසන නිවසේ දක්නට ලැබෙන ඔහු වැඩිපුරම දක්නට ලැබුණේ රාත්‍රී කෑම මේසයේදීය. පළමු දින සේම මහීකාගේ හෝ අෂ්මිලගේ පැනයකට පිළිතුරු දීමට පමණක් කටහඬ අවදි කළ ඔහු නිහඬවම රෑ කෑම මේසයෙන් සැමටම පෙර නික්ම යන්නේය. රාත්‍රී ආහාරයෙන් පසුව මහීකාටත් , සේවිකාව වූ සරෝජාටත් උදව් පදව් කර අවසානයේ ඉහල මහලට පැමිණ සඳළුතලයේ ද්වාරය විවර කරන සෑම මොහොතකම ලා නිකොටින් ගන්ධයක් හමා ඒමෙන් ඔහු පුරුද්දක් ලෙස රාත්‍රී කෑමෙන් පසු දුම් බොන බැව් මිහිදුමී වටහා ගනිමින් සිටියාය.
ඔහු දුටු පළමු දින සේම දෙවෙනි දිනත් ඔහු කිසිදු හිතවත්කමක් නොමැති , ලෙංගතුබාවයක් නොමැති රෞද්‍ර මිනිසෙකු යන වග ඈ තනිවම සිතමින් උන්නද ක්‍රම ක්‍රමයෙන් ඔහු හා එකට හිඳ ගන්නා ආහාර වේල තුළ එකී සිනහවෙන් හා කතාවෙන් තොර දෑසෙහි ඇත්තේ සැඩ පරුෂ බවක් නොව පිටතට මුදාහළ නොහැකි දැඩි වේදනාකාරී බවක් යැයි ඈ නිහඬවම තේරුම් ගත්තාය. බොහෝ හමුවීම් වල නිශ්ශබ්දතාවය තීව්‍ර උවත් එකී වැළපෙන දෑස් මත පවසාගත නොහැකි විසල් කතාන්දරයක සේයාවක් ඇති බව ඈ වටහා ගනිමින් උන්නාය.
” වැළපෙන ඇස්.. පිරිමියෙක්ට තියෙන්න ඕනේ ගරු ගාම්භීර ඇස්. එක පාරක් බැලුවම වචන දාස් ගාණකින් අනතුරු අඟවන්න පුලුවන් වෙන රාක්ෂ ඇස්. එක වචනයක් කටින් පිට නොකර වචන දාහක් එළියට දාන්න පුලුවන් ශක්තිමත් ඇස්.
ඒත්.. ඒ ඇස්. ඒවා දිළිසෙනවා. හැබැයි සතුටින් නෙමෙයි. ඒවා වැළපෙනවා. දරාගන්න බැරි මහා වේදනාවක් එළියට පිට කරගන්න බැරුව ඒවා වැළපෙනවා. ඔයා නපුරු නෑ. ඔයා කතා නොකරන්නේ , හිනා නොවෙන්නේ නපුරු නිසා නෙමෙයි. කාටවත් ඔයාව කියවගන්න බෑ. ඔයා කාටවත් ඔයාව කියවගන්න ඉඩ දෙන්නෑ. ඔයා කාටවත් ඔය ඇස් වල තියන වේදනාව පෙන්නන්නෑ. හිත ඇතුළෙ තියන මහා දුක් කන්ද එක වචනෙකින්වත් එළියට දාන්නෑ. ඒවා වැළපෙනවා. දරාගන්න බැරි මහා දුකකින් ඒවා වැළපෙනවා. එහෙම වැළපෙන ඇසුත් ඔච්චර දිළිසෙනවානම් ..,
සමන් දෙයියනේ… ! ඒවා හිනාවෙද්දි කොච්චර ලස්සනට තියෙයිද ?”
රාත්‍රී ආහාරයෙන් පසුව පුරුද්දට මෙන් දුම්වැටියක් උරන වැළපෙන දෑසක් ඇත්තාගේ දුම්වැටියෙන් නිකුත් වී සුළඟ සමඟ හමා එන නිකොටින් ගන්ධයට ඉව අල්ලන්නට හුරු වී උන් තරුණිය එය පහව යන තුරු ඔහු පිළිබඳව නොයෙක් ආකාරයේ චිත්‍ර මවමින් උන්නාය. සෑම දිනකම සුළඟ සමඟ එතී එන එකී ගන්ධය ඔහු එතන හිඳින බව පසක් කරලුවා සේම පුරුද්දට මෙන් විවර කරන සඳලුතලයේ ද්වාරයද ඈ එතන බව පසක් කර පෙන්වා හිඳින්නේය.
******************************************
එදින දේශනය දහවල් එක පමණ වනවිටම අවසන් වූ අතර පියවිත් , තවත් මිතුරියන් කිහිප දෙනෙකුත් ඉන් පසුව නුගේගොඩට යෑමට කතිකා කරගෙන සිටියාය. කොළඹ ගිනි මද්දහන සමඟ තවමත් අමනාපයෙන් සිටින මිහිදුමී දහවලේ අවසන් වන දේශනවාර වලදි ඉතා ඉක්මනින් නිවස බලා යෑමට හුරු වී සිටියාය.
” චූටි නෝනා අද වේලපහම ඇවිල්ලා ?”
” අද හවස ලෙක්චර්ස් නෑ සරෝජා නැන්දා. කෝ ආන්ටි ?”
” ලොකු නෝනා සුදු මහත්‍තයා එක්ක මාර්කට් එකට ගියා. තව ඕන කරන බඩු වගයක් ගන්න. “
” අනිද්දාට ගොඩක් කට්ටිය එයිද නැන්දා ?”
” මහ ගොඩක් අය එන එකක් නෑ. ශනූ නෝනයි , එයාගේ අයියයි , නෑනයි , අම්මා , තාත්තයි තමා. ආ.. තව කවුද ශනූ නෝනගේ ලොකු තාත්‍තා කෙනෙක් එනවා කිව්වා. මං හිතන්නේ එතනත් දෙතුන් දෙනෙක් වගේ ඇති. ලෑස්ති උනාට ඉතිං දහ දෙනෙක්වත් එන එකක් නෑ. ඒ උනාට අපි වෙන්න ඕන දේවල් ඔක්කොම ලකේට ලෑස්ති කරන්න එපැයි. නැත්තන් අපේ සුදු මහත්තයට හරි නෑනේ. “
” හ්ම්ම්.. නාගන්න ඕනේ නැන්දා. “
” නාලා එන්න නෝනේ එහෙනං. මං කෑම ටිකක් රත් කරන්නං. “
” අනේ එපා. යාලුවොත් එක්ක එක එක ඒවා කෑවා. දැන් නාලා සුට්ටක් දොයිය ගන්න ඕනේ. “
” හොඳා.. හොඳා..”
සරෝජා සිනහවක් පා මුළුතැන්ගෙය කරා ඇදුණු අතර ඒ මොහොතේ නිවසේ වෙනත් කිසිවෙකුත් නොමැති බව සිතූ තරුණිය විසල් හඬින් ගීයක් මුමුණමින් තරප්පු පෙළ නැංගාය.
” වස්සානයට අත වනලා ඉමු මඟ බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං
මං ගාවින්ම උණුහුම නොදී…
තරප්පු පෙළ දිගේ ඉහල මහල වෙත ක්‍රම ක්‍රමයෙන් ලඟා වෙන ගී හඬට තිගැස්සුණු වැළපෙන දෑස නිදන කාමරයේ සිටම වේගයෙන් ඇසි පිය සැළුවේය. තමාට අයත් ලිපි ගොනු කිහිපයක් රැගෙන යාමට හදිසියේ නිවසට ගොඩ වූ ඔහු කබඩයේ ඒවා පිරික්සීම පසෙක දමා අඩවන් කර තිබූ ද්වාරය තවත් මඳක් විවර කර ගී හඬට කන් දුන්නේය. ද්වාරයේ ඇති ගන රෙදි තීරයට එපිටින් පෙරට වඩා උස්ව හා ළංව ස්ත්‍රී කටහඬ ඇසිණි.
” හාදු දෙන වැස්සේ
දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුළටම වී
ඔබේ ඇස් අස්සේ
මං මාව දැක්කේ
සංසාරයම මම නුඹගේ වී…
ගීතයේ තාලයටම ඒ මේ අත පැද්දෙමින් තරප්පු පෙළ නැඟ ආ තරුණිය ඔහුගේ නිදන කාමරය ඉදිරිපිට සිට ගනිමින් ඒ වෙතට බැල්මක් හෙලුවාය. ගන රෙදි තීරයට එහා පස උන් ඔහු හෝ මෙහා පස උන් ඈ හෝ එකිනෙකා නුදුටුවද කිසිසේත්ම ඔහු නිවසේ නැතැයි විශ්වාස කළ ඈ තව දුරටත් එහා මෙහා පැද්දෙමින් දොර රෙදි තීරය දෙසට නැළවෙමින්ම අත දිගු කළාය.
” තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං
සංසාරයම මෙය මට නොදී..
චිරිස් හඬින් සිනහවක් නැඟූ ඈ වහා නිදන කාමරයට පැන දොර අගුලු ළා ගත් අතර ලිපි ගොනුවක් අතැතිව උන් තරුණයා හට විසල් සුසුමක් වැටුණේය.
කලාතුරකින් ලැබෙන දහවල් සුව නින්දක අවශ්‍යතාවය බොහෝ සෙයින් දැනුණු මිහිදුමී ගීතයේ ඉතිරි පද කිහිපයත් මුමුණමින් වහා හැඳ උන් ඇඳුම් උනා දමා තුවායක් පමණක් රැගෙන නාන කාමරය වෙතට රිංගුවාය. එක් ගීතයකින් පටන් ගත් ස්නානය ගීත කිහිපයක් දක්වා වර්ධනය කර ගත් ඈ එයද අහවර කොට තෙත කොණ්ඩය එලෙසම තිබියදී තුවාය පමණක් සිරුරෙහි දවටා ගනිමින් නාන කාමරයේ ද්වාරය විවර කිරීමට උත්සාහ කළාය. වරක් , දෙවරක් , තෙවරක් කිහිප වරක්ම අගුල කැරකූවද එය විවර නොවීම හේතුවෙන් අවසානයේ ඈ කලබල වී සිටියාය. දිගින් දිගටම අගුල සහ ද්වාරය සොළවමින් එය විවර කිරීමට කොතරම් උත්සාහ ගත්තද ඵලක් නොවූ තැන ඇගේ දෑසින් බියටම කඳුළු කඩා හැලෙන්නට විය. සරෝජා සිටින්නේ පහල මහලේ මුළුතැන්ගෙය තුළය. තමා නිදන කාමරයට පැමිණ එහි ද්වාරයද වසා දැමූ බව ඇයට සිහි විය.
හදිසියකදී ගැනීමට ජංගම දුරකතනය හෝ නාන කාමරයට රැගෙන ඒමේ පුරුද්දක් ඈ හට නොවුණි. ඒ නිසාම ඈ තව තවත් බියෙන් මෙන්ම කලබලයෙන්ද වෙව්ලුවාය. තව දුරටත් පාලනය කර ගත නොහැකි හැඬීම මතින්ම ඈ විසල් ආකාරයට නාන කාමරයේ ද්වාරයට තඩි බාන්නට පටන් පටන් ගත්තාය.
” සරෝජා නැන්දා.. අනේ.. සරෝජා නැන්දා…! මාව හිර වෙලා. මේ දොර අරින්නකෝ.. අනේ.. සරෝජා නැන්දා.. ! “
උගුර රිදෙන තුරුද කෑ ගැසුවද ප්‍රතිචාරයක් නොමැති තැන ඈ හඬමින්ම බිත්තිය දිගෙහි තෙත පොළොවට කඩා වැටුණාය. ගතව ගියේ තත්පර කිහිපයකි. විසල් හඬකින් ද්වාරයට වැදුණු පහරකින් එහි අගුල ගැලවී විවර වූ අතර ඉක්මනින් නැඟිට ගත් ඈ ඉකි ගසා හඬා වැටෙමින් සහ බියටම වෙව්ලමින් නාන කාමරයට පිවිස තැනැත්තාගේ ළමැදේ එල්ලුණාය.


