වසන්තය තව දුරද – 17

0
114

නෙත්මලී උදේ ඇහැරුණේ “ඔය කරලා තියෙන්නෙ. කොහොමද ඉතින් අපි ගමට දැන් මූණ දෙන්නෙ?” කියා අම්මා වේදනාවෙන් නැගූ දෝස්මුරයටයි.

එකවරම අවදි වූ නෙත්මලීට පළමුව කිසිවක් තේරුණේ නැත. ඇය තවමත් සිටියේ නින්දත් අවදිවත් අතරේය. අම්මාගේ හඬ ඇසුණේ කාමරයේ දොරෙන් එහා ලෝකයකින් එන හඬක් මෙනි.

“මොකද අම්මේ?” ඇය නිදිමතේම ඇසුවාය. එහෙත් ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණේ නැත. ඒ වෙනුවට ඇසුණේ අම්මාගේ ඉකිබිඳුමකි. ඊළඟ මොහොතේම නෙත්මලීගේ නින්ද සම්පූර්ණයෙන්ම පහව ගියේය. අම්මා අඬන බව නෙත්මලීට තේරුණේ ඒ අනුවය. 

එය සාමාන්‍යයෙන් අම්මා අඬන ආකාරයක් නොවන බව තේරෙද්දි හිත මෙතෙක් දවස් කියන්නට යෙදුන අර බය හිතෙන කාරණාව සිදුවී ඇති බව නෙත්මලීට නිකමට මෙන් හිතුණාය.

චන්ද්‍රා බොහෝ දේවල් ගැන කෝප වූවාය. කෑගැසුවාය. බැණ වැදුණාය. සමහර විට තරහෙන් කඳුළු වැටුණද ඒ කඳුළු පිටතට පෙන්වන්නට ඇය කැමති වූයේ නැත. එහෙත් අද ඇගේ හඬේ තිබුණේ කෝපයට වඩා වේදනාවක් බව නෙත්මලීට නොතේරුණා නොවේ. 

“මං කොහොමද දෙයියනේ මිනිස්සුන්ට මූණ දෙන්නෙ?” නෙත්මලීව ඇඳෙන් බැස්සුවේ ආන් ඒ වදන්‍ ය.

“අම්මේ” කියමින් නෙත්මලී දොර ඇරගෙන පිටතට ආවේ ඒ නිසාය. කොරිඩෝවෙන් ඉදිරියට ගිය ඇගේ පාද නතර වූයේ අම්මාගේ කාමරය ඉදිරිපිටය.

චන්ද්‍රා ඇඳේ කොනක වාඩි වී සිටියාය. ඇගේ හිසකෙස් අවුල් වී තිබුණි. ඇස් දෙක රතු වී තිබුණි. එක අතකින් මුහුණ පිසදමමින් ඇය තවමත් ඉකිගසමින් සිටියාය.

“මොකද අම්මේ?” නෙත්මලී නැවතත් ඇසුවාය.

චන්ද්‍රා ඇය දෙස බැලුවේය. ඒ බැල්මේ තිබුණේ නෙත්මලීට හඳුනාගත නොහැකි දෙයකි. ඒ තමන් මෙතෙක් දිනක් දුටු අම්මා නොවන බව නෙත්මලීට ස්ථිරය. 

“මොකද අහන්නෙ?” ඒ වදන් කියත්ම චන්ද්‍රාගේ හඬ කැඩී ගියේය.

“ඕන්න බලාගනිං උඹලගෙ මහ එකාගෙ කෙරුවාව” කියා අම්මා කියද්දී නෙත්මලීට දැනුනේ හදවත එකවරම නතර වූවාක් මෙනි.

“කොහෙද?”

“කොහෙද? මං දන්නවද? මං කොහොමද යකෝ දන්නෙ” කියා අහද්දි අම්මා උන්නෙ හරි සිහියෙන්ද කියා නෙත්මලීට මොහොතකට හිතුණාය.

“කෝ අම්මෙ තාත්තා?” කියා ඇහුවා නොවේ ඇහුණාය. අම්මා මෙච්චර විලාප දෙද්දීත් තාත්තා නෑවිත් හිඳින්නේම මේ හැඬීම පිටිපස්සේ තාත්තා ඉන්නා නිසා බව නෙත්මලීට හිතාගන්න අපහසු නොවේ.

“මං දන්නෙ නෑ කිව්වනෙ” චන්ද්‍රා නැවතත් මුහුණ දෙපසින් අත් දෙක තබා කම්මුල් අල්ලාගෙන අඬන්නට පටන් ගත්තාය.

“උදේ නැගිටලා බලද්දි මිනිහා නෑ. කාමරේ බලද්දි ඇඳුම් ටිකකුත් නෑ. මේසෙ උඩ කොළයක් තියලා ගිහින්.”

“කොළයක්?”

“ඔව්. උඹට.” නෙත්මලී කිසිවක් නොකියා බලා සිටියාය.

“උඹට ලියුමක් ලියලා ගිහින්. මට එක වචනයක්වත් කියලා නෑ. අවුරුදු ගාණක් එකට හිටපු ගෑනිට කියන්න දෙයක් නැතිවුණාට උඹට නම් ලියුම් ලියන්න වෙලාව තිබිලා” ඒ අවසන් වචන කිහිපය කියද්දී චන්ද්‍රාගේ හඬේ වේදනාවට අමතරව යම් තරහක්ද තැවරී තිබුණ බව උවමනා උනා නම් තේරුම්ගන්න නෙත්මලීට හැකියාව තිබුණාය.

“අනේ අම්මේ”

“උඹ කොහොමත් මහ එකාව ඔලුව උඩ තියන් නෙ හිටියෙ”

“අනේ අම්මෙ ඇයි මට ඔහොම කතා කරන්නෙ”

“ඔහොම කතා කරන්නෙ කියන්නෙ? මං නැත්තං කොහොමද කතා කරන්නෙ? මං මේ ගෙදරට මොනවත් කරලා නෑනෙ? මමයි නරක ගෑනි. කෑගහන්නෙ මං. රණ්ඩු කරන්නෙ මං. මං මේ ගෙදර ඉන්න එවුන්ට කනක් ඇහිලා ඉන්න දෙන්නෙ නෑ. එහෙමනෙ උඹලට මාව පේන්නෙ” කියා අම්මා කියද්දිත් නෙත්මලී නිහඬව සිටියාය.

“මං උඹලා වෙනුවෙන් කොච්චර දේවල් කළාද කියලා උඹලා දන්නවද? උඹ පොඩි කාලෙ ඉඳන් උඹේ තාත්තා එක්කමයි. මම මොනවා කිව්වත් මං තමයි වැරදි. දැන් මිනිහා ගියාමත් උඹල මාවම මරාගෙන කාපල්ලා.”

“ඇයි අම්මේ මට බණින්නෙ? මං මොනාද කරන්නෙ?” ඒ වචන නෙත්මලීගේ මුවින් පිටවූයේ ඉතාමත් අහිංසකවය. වේදනාබරවය.  එහෙත් ඒ මොහොතේ චන්ද්‍රාට ඒ අහිංසකත්වය පෙනුණේ නැත.

“ඔව් උඹලා මොනවා කරන්නද?” ඇය කඳුළු පිසදාගෙන නැගී සිටියාය.

“උඹලාට මොනවා කරන්නද? මං තමයි හැමදේම කරන්න ඕන. මං තමයි මිනිස්සු ඉස්සරහට ගිහින් උත්තර දෙන්න ඕන. එළියට බැස්සම මිනිස්සු මගෙන් අහයි මිනිහා කොහෙද කියලා. මං මොනවද කියන්නෙ? කියපල්ලා මට මං මොනවද මිනිස්සුන්ට කියන්නෙ? මං මොන වරදක් කරාටද යකෝ මට මෙහෙම උනේ? මං උඹලා වෙනුවෙන් නැහිච්ච හන්දද මට මෙහෙම උනේ” කියා අම්මා අහද්දී නෙත්මලීට පිළිතුරක් නොතිබුණි.

චන්ද්‍රාගේ හැසිරීම නෙත්මලීට එක මොහොතකටවත් තේරුම් ගත හැකි දෙයක් නොවීය. 

ඇය අඬමින් සිටියාය. ඊළඟ මොහොතේ කෝපයෙන් කෑගැසුවාය. තවත් මොහොතක තමන්ටම දොස් කියාගත්තාය. පසුව ඒ සියල්ල අමතක කර අතුලටත්, දරුවන්ටත් දොස් පැවරුවාය. අවුරුදු ගණනාවක් තිස්සේ හිත ඇතුළේ එකතු කරගෙන සිටි තරහ, වේදනාව, අසරණකම, බය සහ ලැජ්ජාව සියල්ල එකවරම එළියට පැමිණියාක් මෙන් හැසිරුණාය. ඇය ඇඳෙන් නැගිට කාමරය පුරා ඇවිද්දාය. නැවත ඇඳේ වාඩි වූවාය. දෑතින් හිස අල්ලාගෙන මොහොතක් නිහඬව සිටියාය. ඊළඟ මොහොතේම පපුවට අත තබාගෙන ඉකිගැසුවාය. 

“අනේ දෙයියනේ මං කාට කරපු වරදක්ද මේ මට පටිසන් දුන්නේ” කියා තමන්ටම කියාගත්තාය. එහෙත් ඊළඟ මොහොතේම “මිනිහෙක්ට පුලුවන්ද තමන්ගෙ දරු පවුලට මෙහෙම කරන්න වෙන කොහෙවත් ඉන්න පට්ටන්දර බැල්ලියො හන්දා?” කියා කෝපයෙන් කෑගැසුවාය. 

නෙත්මලීට ඒ කිසිවක් තේරුම් ගත නොහැකි විය. අම්මාගේ දුක කොතැනින් පටන්ගෙන කොතැනින් අවසන් වෙනවාදැයි ඇයට හඳුනාගත නොහැකි විය. නෙත්මලී උන්නෙ ජීවිතේ ගැන එයාකාර දැනුමකින් නොවේ. එයාකාර පරිචයකින් නොවේ. අනෙක් අතට ඒ මොහොතේ චන්ද්‍රා උනේද තමන්ගේම හැඟීම් හඳුනාගන්නට හැකියාවක් ඇතුව නොවේ. චන්ද්‍රාට දැනුනේ තමන්ගේ ලෝකය එකවරම කඩා වැටී ඇති බවය ඒ වේදනාව දරාගත නොහැකි වූ තැන ඇය එය තමන්ට ළඟම සිටි මිනිසුන් වෙත ඒ වේදනාව තල්ලු කරන්නට පටන් ගත්තාය. ඒ අතරින් පළමුවෙන්ම ඒ වේදනාවට හසුවූයේ නෙත්මලීය. දියණියක් ලෙස ඇයටද මේ සිදුවීමෙන් රිදෙන බව ඇයද මේ මොහොතේ බියෙන් සිටින බව චන්ද්‍රාගේ හිතට ඒ මොහොතේ සිහිවූයේ නැත. ඇයට පෙනුණේ තමන්ගේම අසරණකම පමණි. තමන්ගේම වේදනාව පමණි. තමන් ඉදිරියේ කඩා වැටී තිබූ තමන්ගේම ජීවිතය පමණි. 

“මට දැන් මොනවද වෙන්නෙ, මම දැන් මොකද කරන්නෙ?” කියා ඇය නැවත නැවතත් තමන්ගෙන්ම ඇසුවාය. 

ඒ ප්‍රශ්නය තමන් ඇසුවේ නෙත්මලීගෙන්ද එසේ නැතිනම් තමන්ගෙන්මද කියා චන්ද්‍රාටවත් ඒ මොහොතේ තේරුමක් තිබුණේ නැත. 

ලොකු අම්මාත් ලොකු තාත්තත් නිවෙස බලා ආවේ අම්මාගේ කියුම් බස් මතය යන්න නෙත්මලීට නොරහසකි. අම්මාත් අයියාත් තමනුත් උන්නෙ ගෙදර එක එක තැන්වල ඔහේ වැටී එක එක කල්පනා ලෝක වල හිර වී හිඳිමිනි. ඒ කල්පනා ලෝක අස්සෙ තාත්තා උන් අතීතයත්, තාත්තා නැති අනාගතයත් සම සමව තිබෙන්නට ඇති බව නෙත්මලී දනී.

“නාකි විසේ ගෙටත් උසේ කියන්නෙ නිකන්ද ඉතින්. මං එවෙලෙම කිව්වනෙ ඔය සයිකලේ දාන් යන ගෑනි කවුද කියලා හොයලා හොයාගෙන ගිහින් හොඳවයින් දෙකක් පට්ටන්දර බැල්ලිට කිව්වනම් ගමේ ගොඩේ තාලෙට ඔය ප්‍රශ්නෙ විසඳිලා.  උඹලත් මෙතන මිනිහට මල් පූජ කරන තැනනෙ උන්නෙ. අපි කියන ඒව අහනවද උඹලා” කියා ලොකු අම්මා ආය වරක් ඔලුවට විසබීජ දමද්දිත් අම්මා උන්නේ මෙතෙක් වේලා වේලූන කඳුලු පැල්ලම් ආයෙ වරක් අලූත් කරගනිමිනි.

“දැන් ඉතින් ගිය දේ ගියා. ආය ඕක ගැන කතා කරලා වැඩක් නෑනෙ. දැන් අපි බලන්නෝන මේ දරුවො දෙන්නට ඉස්සරහට යන කලදසාව මොකද්ද කියලා. විසේසෙන්ම මේ ගෑනු දරුවට”

“මොනා වෙන්නද? මොන කලදසාවද? ඔක්කොම පොදි බැඳගෙන පාරට බහින්න වෙන්නෙ”

“ඇයි පාරට බහින්නෙ?”

“ඇයි කියන්නෙ? මිනිහා නැති ගෙයක් කියන්නෙ මොකක්ද? මේ ගෑනිට තනියම මේ ගෙදර අල්ලගෙන ඉන්න පුළුවන්ද? හරිහමං රස්සාවක් තියෙද? ඊට පස්සෙ දරුවො දෙන්නා. කන්න බොන්න දෙන්නෙ කවුද? වියදම් කරන්නෙ කවුද?”

“අතුල නොබලා ඉන්න එකක් නෑ”

“නොබලා ඉන්න එකක් නෑ. ඔය බැලුවෙ. මේන් කියල බලන්න දේවි”

“එහෙම කියලා දැන්ම කලබල වෙලා මොනවා කරන්නද?”

“කලබල වෙන්නෙ නැතුව මොනවා කරන්නද? ඒකවත් තේරෙන්නෙ නැති තොත්ත බබා. ගෑනියෙක්ට තනියම ගෙයක් ආංබාං කරන එක කොච්චර අමාරුද කියලා තේරෙන්නෙ නැද්ද”

“ඒක හරි. ඒත් ඒක මේ දැන් හිතලා දැන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයිනෙ”

“අද නෙවෙයි හෙට නෙවෙයි කියලා කිව්වට අන්තිමට වෙන්න තියෙන දේ වෙලා ඉවරයිනෙ. මං එදා ඉඳන් කිව්වා මිනිහා ගැන ඇහැ ගහගෙන ඉන්නය කියලා කෝ කවුරුත් ඇහුවෙ නෑනෙ. මොකද්ද අන්තිමේ උනේ. මට ඔය මිනිහව දිරෙව්වෙම නෑනෙ ඒ කාලෙ ඉඳලම”

“දැන් ඒවා කියවලා වැඩක් තියෙනවද?”

“ඇයි වැඩක් නැත්තෙ? මේ දේවල් වෙන්න කලින් හරි කවුරුහරි ඇහුවා නම් අද මේ ගෙදර මෙහෙම වෙන්නෙ නෑ”

“මොකක්ද දැන් ඔයා ඔය කරන්න තිබුණ කියන්නෙ?”

“මොකක් හරි කරන්න තිබුණා. මිනිහගෙ ගමන් බිමන් ගැන මීට වඩා හොයන්න තිබුණා. අර ගෑනි කවුද කියලා හොයන්න තිබුණා. ගෑනියෙක් උනාම තමංගෙ මිනිහා ගැන හොයන්නෝන. මිනිහෙක් එලියට බැස්සාම බලන්නෝන කොයි අගුපිලේද ලගින්න යන්නෙ කියලා”

“දැන් ඕව ගැන කතා කරා කියලා වැඩක් නෑනෙ. මොකෝ ඒකෙන් ගිය මිනිහා ආපහු එන්නෙ නෑනෙ ” කියා ලොකු තාත්තා කියද්දි  ලොකු අම්මා මොහොතක් නිහඬ වූවාය.

“මිනිහෙක් ගෙදරින් ගියා කියලා ආපහු එනවද නැද්ද කියලා අපි දන්නෙ නෑ. ඒ නිසා මුලින්ම එයා කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න ඕනනෙ”

“ඒක තමයි මං කියන්නෙ. හොයන්න ඕන. එහෙම නිකම් ඉඳලා බලාගෙන හිටියොත් මොනවා වෙයිද දන්නෙ නෑ. අනික් එක එහෙම මේ හිතිච්ච හිතිච්ච හැටියෙ ගෙයින් එලියට බැහැලා යන්න අතුලට අමතක වෙලාද දන්නෙ නෑ තමන් නේ කසාද බැන්ද කරක් උහ දරුවො ඉන්න නාකි මිනිහෙක් විත්තිය”

“කෝල් එකක්වත් අරන් බැලුවෙ නැද්ද පුතේ තාත්තාට” කියා ලොකු තාත්තා අහද්දි නැතැයි කියන්නට නෙත්මලී හිස වැනුවාය.

“කෝල් එකක් දීලා බැලුවොත් හොඳ නැද්ද පුතේ? තාත්තා උනත් මේ වගේ වෙලාවක මොන වගේ මෝඩ තීරණයක් අරගෙනද කියන්න අපි දන්නෙ නැනෙ. මිනිස්සු හිතන්නෙ නැති විදියෙ මෝඩ තීරණ ගන්නවනෙ ජීවිතේට ප්‍රශ්න ආවම” කියා ලොකු තාත්තා කියද්දී නෙත්මලී ජංගම දුරකතනය ගෙන තාත්තාගේ දුරකතන අංකය ඇමතුමද ග්‍රාහකයා සම්බන්ධ කරගත නොහැකි බව කියද්දී ඒ බලාපොරොත්තුවද බිඳ වැටුණි.

“ඔව් ඉතින් ග්‍රහයා මාරු වෙලා ගියයින් පස්සෙ සම්බන්ධ කරගන්න බෑ තමයි” කියා ලොකු අම්මා නැවත කියද්දි ලොකු තාත්තා පවා නිහඬ වූයේ කර කියාගන්නට දෙයක් නැති නිසා විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here