වසන්තය තව දුරද – 16

0
67

අතුල සමරසිංහ ඒ තීරණය ගත්තේ බොහෝ දුර සිතා බලාය.

මේ සියල්ල ගොඩ නැගුවේ තමන්ගේ ප්‍රාණ සම පවුල වෙනුවෙනි. පවුල තරං වැදගත් දෙයක් තමන් ජීවිතයේ තමන්ට නොතිබුන බවත්, තවමත් නැති බවත් දන්නේ තමන් විතරමය. එහෙත් තමන් දැන් ඉන්නෙ තමන් කියන කිසිම දෙයක් කිසිම කෙනෙක් විශ්වාස නොකරන තරම් අභාග්‍යසම්පන්න තැනක බව අතුල සමරසිංහ නොදන්නවා නොවේ.

එහෙත් එයට කාටවත් වරදක් කියන්නට නොහැක. මේ තමං කරන ලද වැරදිය. තමන් විසින් දුර දිග නොසිතා නොසොයා බලා කරන්නට යෙදුන දේවල්‍ ය. පෙර ආත්මවල කරන්නට යෙදුණ අකුසල් යැයි සිතා හිත හදාගන්නට උත්සාහ කළත්, තමන් කළ දේවලින් මිදෙන්නට ඒ වචනවලට පවා නොහැකි බව අතුල දැන සිටියේය.

ඔහුට වැඩිපුරම රිදුණේ තමන්ගේ බිරිඳ තමන් ගැන තබාගෙන සිටි විස්වාසය නැතිවීම නොවේ.

තමන්ගේ දියණියගේ ඇස් දෙක තුළින් තමන් වෙනුවෙන් තිබූ විස්වාසය මැකී යන ආකාරය දැකීමය.

නෙත්මලී තමන්ව තවදුරටත් පෙර සිටි තාත්තා ලෙස නොදකින බව අතුල දැන උන්නේය. ඇයගේ නිහඬ බැල්මක, තමන් සමග කතා නොකර මඟහැර යන සෑම අවස්ථාවකම ඒ වේදනාව අතුලට නොදැනුනා නොවේ. ඒ හැම මොහොතකම තමන්ටම කියාගන්නට අතුලට තිබුණේ එකම දෙයකි.

“දරුවන්ට මෙහෙම දුකක් ගින්දරක් නොදී ඉන්න උඹට තිබ්බා” 

කොතරම් වරක් තමන්ටම එසේ කියාගත්තද එයින් කිසිවක් වෙනස් වූයේ නැත. කාලය ආපසු ගන්නට නොහැකිය. කළ වැරදි මකා දමන්නටද නොහැකිය. තමන් ගැන ඇති වී තිබෙන සැකයත්, පිළිකුලත්, කෝපයත් එක වචනයකින් නැති කරන්නටද නොහැකිය. එහෙත් තවදුරටත් මෙලෙස ජීවත් වන්නට තමන්ට නොහැකි බව අතුල දැන උන්නේය.

තමන්ගේ දියණියගේ දෑස් ඉදිරියේ දිනෙන් දින තමන් ගැන තිබූ විස්වාසය, පීතෘ ගෞරවය කඩා වැටෙන ආකාරය බලා සිටීමත්, ඇයගේ ජීවිතය තමන්ගේ වැරදිවල බරින් තව තවත් තැලෙන ආකාරය දැකීමත් අතුලට තවදුරටත් දරාගත නොහැකි විය.

අතුල මේ තීරණය ගත්තේ ඒ නිසාමය.

එහෙත් මේ තීරණය ගන්නට පෙර, මේ ජීවිතයෙන් පලා යන්නට පෙර, එකම එක දෙයක් හෝ නෙත්මලීට කියා යා යුතුය.

මුහුණට මුහුණලා කියන්නට බැරි වූ දේවල් ලියා තැබිය යුතුය.

කියවා තමන්ව තේරුම් ගනීවිදැයිද අතුල නොදැන සිටියේය.

ඒත් ඒ ගැන තවදුරටත් ඔහුට බලාපොරොත්තුවක් තබාගන්නට අවශ්‍ය වූයේ නැත.

ඔහුට අවශ්‍ය වූයේ, තමන්ගේ හිතේ අවසන් වරට ඉතිරිව තිබූ වචන ටික ඇය වෙනුවෙන් තබා යන්නට පමණි.

අතුල මේසය මත තිබූ සුදු කොළය තමන් වෙතට ඇදගත්තේ එසේ සිතමිනි. ඔහු අනතුරුව පෑන අතට ගත්තේය. අනතුරුව මොහොතක් එය නොලියා සිටියේය.

ලිවීම ඇරඹුවේ තවත් මොහොතක් කල්පනා කිරීමෙන් අනතුරුවය.

පුතේ,

මේ වගේ ලියුමක් පුතාට ලියන්න මට කවදාවත් සිද්ධ වෙයි කියලා මම හිතුවේ නෑ.

පුතාට මතක ඇතිද දන්නෙ නෑ, පුතා පොඩි කාලේ මගෙන් අහපු ප්‍රශ්නයක් තිබුණා.

“තාත්තෙ, ඔයා මට කවදාවත් බොරු කියන්නෙ නෑ නේද?” කියලා

එදා මම පුතාට කිව්වා, “නෑ පුතේ. තාත්තා පුතාට කවදාවත් බොරු කියන්නෙ නෑ” කියලා.

අද ඒ වචන මතක් වෙන හැම වෙලාවකම මට මං ගැනම ලැජ්ජ හිතෙනවා. මොකද පුතේ, මම පුතාට පුංචි කාලේ ඒ  කිව්ව  වචන තරම්ම හොඳ මනුස්සයෙක් වෙලා මට ජීවත් වෙන්න බැරි වෙච්ච හන්දා. හැබැයි ලොකු අම්මලා කියන තරං, අම්මා හිතන තරං, ලෝකෙ මිනිස්සු පුතාගෙ ඇස් ඉස්සරහා මවලා පෙන්නන තරං මං නරක මනුස්සයෙක් නොවන විත්තිය දන්නෙ මං විතරයි.

පුතා උනත් සමහර විට හිතනවා ඇති තාත්තා මහ නරක මනුස්සයෙක් විත්තිය. මං පුතාට ආදරේ කරේ නැති විත්තිය. එහෙම නැත්තං මං මහ බොරුකාරයෙක් විත්තිය.

ඒත් පුතේ මං ඔයාට ආදරේ කළේ නෑ කියලා කවදාවත් හිතන්න එපා. මං මට පුලුවන් උපරිමෙන් ඔයාට ආදරේ කරා. මේ ප්‍රශ්න වෙන්න කලින් මං ඒක කිව්වා නම් ඔයා ඒක විස්වාස කරන්න ඉඩ තිබ්බ විත්තිය මම දන්නවා. මට දැන් ඇත්තටම ඕන කවුරු නැතත් මගෙ පුතා මාව විස්වාස කරනවා දකින්න. අම්මා ආයෙ කවදාවත් මාව විස්වාස කරන එකක් නෑ. මං සමහරවිට අම්මගෙ විස්වාස දිනාගන්න සුදුසු මනුස්සයෙක් නොවෙන්නත් පුලුවන් පුතේ. මං වරදක් කරා නම් මං දඬුවං විඳින්නෝන විත්තිය මං දන්නවා. ඒත් කාට කාටත් අමතක වෙච්ච දෙයක් මෙතන තියෙනවා පුතේ. ඒ තමයි හැම කතාවකටම දෙපැත්තක් තියෙනවා කියන එක.

මං  ආදරේ කළේ මට පුළුවන් උපරිමෙන්. සමහරවිට ඒ ආදරේ පහුගිය කාලෙ මගෙ පුතාට නොතේරෙන්න ඇති. එහෙම නැත්තං පුතා උනත් ලොකු බොරුවක් විදියට දකින්න ඇති.  සමහරවිට මම හිතුවටත් වඩා මං වැරදි මිනිහෙක් වෙන්න ඇති.

ඒත් එක දෙයක් ගැන මට කිසිම සැකයක් නෑ.

මගේ ජීවිතේ මම හම්බ කරපු හොඳම දේ මගෙ පුතේ ඔයා කියන දේ.

මං ඔයාගෙ තාත්තා වෙලා ඉපදුණ එක මගේ ජීවිතේ ලැබිච්ච ලොකුම වාසනාව කියන එක.

ඒ නිසාම මගෙ පුතාගෙ  ඇස් දෙකේ මං ගැන තිබිච්ච ආදරේ, විස්වාසෙ ටිකෙන් ටික නැතිවෙලා යනවා දකින්න මට බැරි වෙච්ච එක වැරදි නෑ කියලා පුතාට උනත් පිළිගන්න වෙනවා.

මම දන්නවා පුතේ පුතාට උනත් දැන් මාව තේරෙන්නෙ නැති විත්තිය.

සමහරවිට පුතාට උනත් මාව තේරුම් ගන්න ඕනත් නැතිව ඇති. මං ඒකට පුතාට වරදක් දොසක් කියන්නෙ නෑ. මොකෝ ඒ තරහට හේතු හැදුවෙත් මං නෙ.මේ හැමදේකටම හේතුව මම.

මට සමාව දෙන්න කියලා මං පුතාගෙන් ඉල්ලන්නෙ නෑ මොකද සමාව දෙන්න තරම් ලේසි දෙයක් මං කරලා නෑ.

ඒ වෙනුවට මං එකම එක දෙයක් කියන්නම්.

තාත්තා හැමදාම මගෙ පුතාට ආදරෙයි. තාත්තා හැමදාම මගෙ පුතා වෙනුවෙන් ඉන්නවා. ජීවිතේ ඕන දුකක් කරදරේකදි මගෙ පුතාට තාත්තා ඉන්නවා මගෙ පුතේ.

ඔයා මේ ලියුම කියවන වෙලාවේ තාත්තා ගැන මොන විදිහට හිතුවත් මං පුතාට ආදරේ විත්තිය අමතක කරන්න එපා. ජීවිතේ මොන ප්‍රශ්නෙකදි උනත් පුතා මුලින්ම එන්න ඕන මං ලඟට විත්තිය අමතක කරන්න එපා.  මම ගත්ත තීරණේ ගැන. එහෙම දෙයක් කරන්න මට සිද්ද උනේ ඇයි කියන එක පුතාට දවසක දැනගන්න ලැබෙයි.

එදාටත් මම පුතාගෙන් ඉල්ලන්නේ මං හරි කියලා හිතන්න කියලා නෙමෙයි.මං කරපු දේවල් හරි කියලා පිළිගන්නත් නෙමෙයි. තාත්තා කෙනෙක් කියන්නෙත් වැරදි කරන්න පුළුවන් මිනිහෙක් කියලා විතරක් තේරුම් ගන්න කියලා. 

මට තවත් මේ විදිහට ජීවත් වෙන්න බැහැ පුතේ. අම්මා වැරදි නෑ. අම්මා වැරදියි කියල මං කියන්නෙත් නෑ. ඒත් මට මේ විදියට වැරදි කාරයෙක් නොවී වැරදි කාරයෙක් විදියට ඔය ගෙදර තව දුරටත් ජීවත්වෙන්න බෑ.

හැම උදේකම ඇස් ඇරලා මමම කරගත්ත මෝඩකං නිසා වෙච්ච දේවල් දිහා බලාගෙන තවත් දවසක් මේක ඇතුළේ කොහොම ඔලුව උස්සන් උහුලං ඉන්නද කියලා හිතන එක මට දැන් මහන්සියි. මම මේ තීරණේ ගන්නේ කාටවත් දඬුවම් කරන්න නෙමෙයි. කාගෙන්වත් පළිගන්න නෙමෙයි. මගේ වැරදිවලට වෙන කෙනෙක්ට දොස් කියන්නත් නෙමෙයි. මට තවදුරටත් මේ ජීවිතේ ඕන නැති හන්දා. ඒක විතරයි මම දන්නෙ. ඒත් මගෙ පුතාගෙ ජීවිතේ  මේ කිසිම දෙයක් නිසා නවතින්න දෙන්න එපා.

මගෙ පුතා ඉස්සරහට යන්න.

හොඳ මනුස්සයෙක් වෙන්න.

 හොඳ ජීවිතයක් හදාගන්න.

මම පුතාට කියලා දීපු දේවල්වලට වඩා මම කරපු වැරදිවලින් පුතා වැඩියෙන් ජීවිතේ ගැන දේවල් ඉගෙන ගනීවි කියලා මම හිතනවා.

මට පුළුවන් නම් මම එකම එක දෙයක් ආයෙත් කරන්න කැමතියි.ඒ තමයි පුතාව පොඩි කාලේ වගේ මගේ අතේ තියාගෙන ආයෙ නලවන්න. ඔයා මං දිහා විස්වාසෙන්ම බැලුවෙ ඒ කාලෙ. ඔයා දැනං උන්නෙ නෑ මගෙ අතෙන් ඔයා බිම වැටෙන්න පුලුවන් විත්තිය. ඔයා දැනං උන්නෙ නෑ. මගෙ නියපොතුවලට ඔයා හීරෙන්න පුලුවන් විත්තිය. ඔයා දැනං උන්නෙ නෑ මගෙ ඇඟිලිපාරවලට ඔයාට රිදෙන්න පුලුවන් විත්තිය. ඔයා මගෙ තුරුල්ලෙ උන්නෙ පුදුම විස්වාසෙකින්.

ඒත් ජීවිතේට ආපහු යන්න පාරක් නෑ පුතේ. තියෙන්නේ ඉස්සරහට යන පාර විතරයි.

ඒ පාරේ මම නැතිවුණත් මගෙ පුතා නවතින්න එපා.

පුතා මගෙ පුතා.

ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.

ආදරෙයි පුතේ.

තාත්තා.

—————————————————————————————————————————

“සෙනෙහසින් රැදී උන් නෙක දන

පලා යයි නොකියාම ඈතට

පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ

කවුරු නම් ලං වේද තනියට”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here