මිහිදුමීට පසුපසින් ඇසුණු නාමය සමඟම ඔහු වහා හිස හරවා ඒ දෙස බැලූ අතර එකී හඬ අනුව තිගැස්සුණු තරුණියද ක්ෂණිකව පසුපස හැරුණාය.
” අස්නක නේද ?”
ඈට පසුපසින් උන් සුභාවී ඈද පසුකර ගොස් ඔහු ඉදිරියේ සිට ගත්තාය.
” ඔව්..!”
ඔහු තවමත් සුභාවීගේ උවන මත දැන හඳුනාගැනීමේ හැඩ හුරුකම් අහුළමින් සිටියේය.
” මං සුභාවී. 2010 මෙඩිසීන් එකේ හිටියේ. “
” ඔහ්.. ජ’පුරේ ?”
එය ඔහුගෙන් පිට වූ පළමු පැනයයි.
” ඔව්. අස්නක මැනේජ්මන්ට් එකේනේ. ?”
පිළිතුරකට වචන නාස්ති නොකළ තරුණයා හිස ඉහලටත් පහලටත් ඔසවා ඔව් යැයි ඇඟවුයේය.
” මාව නං මතක නැතිව ඇති. “
සුභාවී තව දුරටත් කතාවේ අග අල්ලද්දී ඈ පසුපස උන් තරුණිය සිහින් කළ දෙනෙතින් තරුණයා දෙස බලා සිටියාය.
” මූණේ නං හුරුවක් තියනවා. ඒ උනාට නම නම් මතකේ තිබුණේ නෑ. “
” වෙන්නැති , වෙන්නැති. අපි හිටියේ අස්නකලට අවුරුද්දක් පහළින්. ෆැකල්ටි දෙකකනේ. අනික කොහොමත් අස්නකට අපිව නං මතක තියෙන්න විදිහක්ම නෑ. ආ.. එතකොට.. මිහිදුමී…?”
ක්ෂණිකව තමා පසුපස උන් තරුණිය දෙසට හැරුණු සුභාවී මුවින් පිට නොකළ පැනයක් බැල්මකින් ඈ හමුවේ තැබුවාය.
” මං නැවතිලා ඉන්නේ එහේ අක්කේ. උදේ ආවේ මේ අයියගේ මල්ලි එක්ක. “
ඇසෙන නෑසෙන හඬින් රහසින් ඔහු වෙත දෙනෙත යවමින් ඈ පිළිතුරු බැන්ඳාය.
” අනේ.. ඇත්තට..? ඔයා දන්නවද නංගි. ඒ දවස්වල මුළු කැම්පස් එකේම ගර්ල්ස්ලගේ ක්‍රශ් එක තමයි මේ. ස්පෙෂලි අපේ බැච් එකේ..”
සුභාවී එසේ පවසා සිනහවක් නැඟූ අතර ඔහුද මුවඟින් මඳ හසරැල්ලක් නැඟුවේය.
” ආහ්.. හිනාවෙන්නත් පුලුවන්ද ? අදමයි දැක්කේ. වැළපෙන විලෝ ගහ වගේ දඩාරියන් සයිස් එකට හිටියට හිනා වෙන්නත් දන්නවා. වෙන්නැති වෙන්නැති. ඔය හිනාවෙන් වෙන්නැති කැම්පස් එකේ කෙල්ලො ටික අල්ලන් ඉන්න ඇත්තේ. ආයේ නිකන් මල් කුමාරයා වගේ ඉන්නැති. “
යටිසිතින් බොහෝ දුර සිතත් සමඟම දොඩමලු වූ මිහිදුමී ඔහුගේ දේහය පුරා වරක් දෙවරක්ම දෑස යැව්වාය.
” සුභාවි මෙහෙ ඉන්නේ ගොඩක් කල් ඉඳන්ද ? මට මෙහෙදි දැකපු බවක් මතක නෑ. ?”
” මං මෙහෙ පදිංචියට ඇවිල්ලා ලොකු කාලයක් නෑ. අවුරුද්දක් , හමාරක් වගේ. “
” ආ..”
” අස්නකට මතකයිනේ මින්දුලාව ? මින්දුලා කියන්නේ මට හිටපු හොඳ යාලුවෙක්. ඒ යාලුකම නිසා මං මහවලතැන්න ෆැමිලි එක ගැන දන්නවා. “
” හ්ම්ම්..”
තනියම හූමිටි තැබූ ඔහු එවර වැළපෙන දෑස තරුණිය දෙසට යොමු කළේය. මෝටර් රථයට ගොඩවන මෙන් තැවරී තිබූ එකී බැල්ම වටහා ගත් ඈ තවත් අඩි කිහිපයකින් ඒ දෙසට ළං වූවාය.
” මං ගිහින් එන්නං අක්කේ. “
” හොඳයි පැටියෝ.. ආයේ එන්න ඕනේ හොඳේ..”
නැවත වතාවක් සුභාවී සිප වැළඳගත් තරුණිය තවත් තාවර නොවී වහා මෝටර් රථයට නැංගාය.
මිනිත්තු කිහිපයක්ම යනතුරු මෝටර් රථයේ පැවතියේ දැඩි නිශ්ශබ්දතාවයකි. එතරම් වේලාවක් කොහෙත්ම මුව වසා සිටීම දරාගත නොහැකි වූ තරුණිය මාර්ගයේ පසෙකට අත දිගු කොට වහා ඔහු දෙස බැලුවාය.
” ඔය ඉස්සරහා චුට්ටක් නතර කරන්නකෝ..”
කිසිත් නොඅසාම ප්‍රධාන මාර්ගය මායිමේ මාර ගස් පෙළක් අසල මෝටර් රථය නතර කළ ඔහු යළිත් නිහඬ බැල්මකින් ඈ දෙස බලා නැවතත් ඉවත බලා ගත්තේය. එකී බැල්මට පිළිතුරු සැපයීමට කාලය මිඩංගු නොකළ තරුණිය වහ වහා මෝටර් රථයෙන් බැස එය පසුකර පැමිණි කුඩා පෙට්ටි කඩයක් අසලට දිව ගියාය. ඒ මේ අත පෙන්වමින් , එහි වූ කාන්තාව සමඟද හුරු පුරුදු ආකාරයෙන් කතා කරමින් කඩදාසි මළු කිහිපයක් දැමූ සිලි බෑගයක් සහිතව රථයට ගොඩවූ ඈ එක් අතක තිබූ කඩදාසි බහාලුමක් ඔහු වෙතට දිගු කළාය.
” ආ.. කන්න.. මේ පූරි. මාර රසයි. බය වෙන්නෙපා , ඒ ආන්ටි හරි පිරිසිදුවට මේවා හදන්නේ. මං දවස් දෙක තුනක්ම යාළුවෝ එක්ක මෙතනට ඇවිත් මේවා කාලා තියනවා. හදපු ගමන්ම උණුවෙන් කෑවම තමා රස. පූරි කන්නැත්තං මේ.. , වඩේත් තියනවා , පොල් රොටිත් තියනවා. මොනවද කන්නේ ? ඕන දෙයක් කන්න. ආ..”
” එපා..!”
වචන දහසක් අවසානයේ ඔහු ඉවත බලමින්ම සියල්ල ප්‍රතික්ෂේප කළේය.
” එහෙනං යං “
ඇයද මෙතෙක් ඔහු වෙත නැමී තිබූ දෑස ඉවතට ගෙන පැවසුවාය.
” ඇයි දැන් කන්නැද්ද ? උණුවෙන් කන්න ඕනේ කිව්වේ ?”
මඳකට ඈ වෙත හිස හැරවූ ඔහු එසේ අසා යළි ඉවත බලා ගත්තේය.
” තනියම කන්න බෑනේ. ගෙදර ගිහින් ආන්ටියි , සරෝජා නැන්දයි එක්ක කනවා. “
පෙරට වඩා මන්ද ස්වරයකින් පිළිතුරු දුන් ඈ තව දුරටත් ඉවත බලා සිටියාය. තත්පර කිහිපයක් නිහඬවම ගත වී ගිය අතර ඔහු රථයේ ඔහුගේ පස වීදුරු තිරය පහළ දමා ඈ අත වූ පූරියක් අතට ගත්තේය. ක්ෂණිකව හිස හරවා බැලූ ඈ නැවත මුව පුරා සිනහවක් නඟා මෝටර් රථයේ ඉදිරියේ වූ ටිෂූ කඩදාසි බහාලුමයෙන් ඔහු වෙත කඩදාසියක් දිගු කළ අතර කිසිවක්ම නොමිමිණූ ඔහු එයද අතට ගත්තේය.
” කන්න අදි මදි කරන්නේ ඇයි ? කෑවට පස්සේ සිගරට් එකක් බොන එක පුරුදු වෙලා හින්දද ?”
මුව තුළ වූ පූරිය සපමින් ඔහු මඳක් විසල් වූ දෑසින් ඈ වෙතට බැල්මක් හෙළූ අතර එය මායිම් නොකළ ඈ පූරියක් මුවේ දමා ගත්තාය.
” රෑට කෑවට පස්සේ බැල්කනි එකට වෙලා හැමදාම සිගරට් එකක් බොනවා නේද ? මගේ රූම් එකට සුවඳ එනවා. ඇයි හොරෙන් බොන්නේ ? ආන්ටි දකියි කියලද ? අපේ මාමත් අම්මට පේන්න සිගරට් බොන්නෑ. යාළුවෝ එක්ක එළියට ගිහින් ඩ්‍රින්ක්ස් අරන් එනවා. ගෙදරත් එයාගේ රූම් එකේ බෝතලයක් දෙකක් හංගලත් තියෙන්නේ. අම්මට හොරෙන් එයත් බැල්කනි එකට ඇවිල්ලා තමයි සිගරට් එකක් බොන්නේ. ඒ උනාට අපේ අම්මා දන්නවා මාමා බොනවා කියලා. ඔයා හැංගුවට ආන්ටිත් දන්නවා ඇති. කා එකේ තියනවානං අරන් දැන් බොන්න. මගෙන් ප්‍රශ්නයක් නෑ.”
තොරතෝංචියක් නැතිව කියවූ ඇගේ මුවින් අවසානයට පිට වූ වාක්‍ය හමුවේ ඔහු යළිත් දෑස විසල් කර ගත්තේය.
” තව ඕනෙද ?”
ඈ නැවතත් ආහාර මල්ල ඔහු වෙතට දිගු කළ අතර ඔහු හිස සළමින් එපා යැයි පවසා රථයේ බහාලුමක තිබූ කුඩා වතුර බෝතලයක් ගෙන උගුරු කිහිපයක් පානය කළේය. ඉන්පසුව කිසිදු කලබලයකින් තොරව තවත් බහාලුමක වූ දුම් වැටියක් ගෙන දල්වා පානය කරන්නට වූයේය.
” හෙලෝ අම්මා..!”
නාද දිදී වද දෙන දුරකතනය ගමන් මල්ලෙන් පිටතට ගත් ඈ එයට පිළිතුරු බැන්ඳාය.
” සුභාවිලගේ ගෙදර ගියාද දුමී.?”
” ඔව් අම්මා. ගියා. මේ දැන් ගෙදර යන ගමන්.”
” කොහොමද ඔයා ගෙදර යන්නේ ?”
” ලොකු අයියා එක්ක අම්මා. උදේ සුදු අයියා ගිහින් ඇරලුවා.”
” ඒ පාර ඒ ළමයි දෙන්නව ඔයා ඩ්‍රයිවින් ජොබ් එකට අර ගත්තද ?”
පසෙකින් සිදු වූ කතාවකට ඈ චිරිස් ගා සිනාසුණු අතර එහි කොහේ හෝ තැනක තමා ඇති බව ඔහුට ඉවෙන් මෙන් තේරුම් ගියේය.
” ගෙදර ගිහිල්ලා ගන්නං අම්මා.”
” හොඳයි හොඳයි පරිස්සමින් යන්නකෝ.”
” සමන් දෙයියන්ගේ පිහිටයි ..!”
දුරකතන ඇමතුම විසන්ධි කළ ඈ නැවතත් යටැසින් ඉවත බලා දුම් වැටියක් උරන ඔහු දෙස බැලුවේය.
” ඒ දවස්වල මින්දුලා අක්කව අඳුරගෙන හිටියේ නැද්ද ?”
” නෑ.. “
පැනය මුවින් පිට වන්නට පෙරම පිළිතුරු ලැබුණේය.
” පස්සේ දැනගත්තේ. නැති උනාටත් පස්සේ. “
ඈ දෙසට බැල්මක් හෝ නොහෙළූ ඔහු දිගටම ඉවත බලා දිගටම දුම් වැටිය ඉරුවේය.
” අම්මා දැන දැනත් ඇයි හොරෙන් බොන්නේ කියලා ඇහුවම අපේ මාමා කියනවා වැරදි වැඩක් කරද්දි පුතෙක්ට අම්මෙක්ට එච්චර ඕපන් වෙන්න බෑ කියලා. ගෑනු කෙනෙක් ඉස්සරහා බය නැතුව සිගරට් එකක් බොන්න පුලුවන් ඒ තමන්ගේ වයිෆ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් උනොත් විතරලු. දුව ඉස්සරහාවත් බෑලු. “
කෙසේ හෝ ඔහු කතාවට අල්ලා ගැනීමෙ පරම චේතනාවෙන් ඈ ඔහු දෙස යටැසින් බලමින් දෙඩුවාය.
” පිට අය ඉස්සරහත් පුලුවන් .”
හදවත පමණක් නොව එතෙක් දිළිසුණු දෑසද ක්ෂණිකව තිගැස්සිණි. තත්පර කිහිපයක් ඔහුගේ පිළිතුරත් සමඟම එකී රළු උවන දෙස මොහොතක් බලා සිටි ඈ අතැති පූරිය නැවත බහාලුමට දමා ගත්තාය.
” යං. කාලා ඉවරයි. “
පෙර තිබු ප්‍රීති ප්‍රමෝදදායක හැඟීම් සියල්ල සෝදා පාළු වී ගිය ස්වරයකින් ඉවත බලා පැවසූ ඇගේ උවන දෙස බලා යළි ක්ෂණිකව දෑස ඉවතට ගත් ඔහු දුම් වැටිය පසෙකට බැහැර කර යළි ආසන පටිය පැළඳ මෝටර් රථය පණ ගන්වා ගත්තේය.
එතැන් පටන් නිවසට එනතුරුම කිසිදු හා හෝවක් පිට නොවුණු ස්ත්‍රී උවන වේදනාවෙන් හා ශෝකයෙන් බරව පැවති අතර ගරාජයේ නතර කරන ලද මෝටර් රථයෙන් ඔහු දෙසට බැල්මක් නොහෙළාම අඳුරු කර ගත් උවනින් ඈ පිටතට බැස්සාය.
” බොහොම ස්තූතියි ..!”
ආහාර මල්ලද රැගෙන එක එල්ලයේ මුළුතැන්ගෙය කරා ඇවිද ගිය ඇගේ උවනේ අඳුරු රටා තමාගේ වචනය මත ගොඩ නැඟුණු ඒවා බව හොඳින් වටහා ගත් ඔහු නිහඬවම නිදන කාමරය වෙත අඩි තැබුවේය.


