” ලොක් එක ටිකක් පරණ වෙලා නෝනා. ඒකයි ඒ හිර වෙලා තියෙන්නේ. දැන් හරි. “
අළුත්වැඩියා කටයුතු සඳහා ගෙන්වා තිබූ පුද්ගලයා මහීකා දෙස බලා එසේ පවසා ඔහුගේ බඩු බාහිරාදිය නැවත අසුරා ගනිමින් පහත මහල වෙත ඇවිද ගියේය.
” තාම බයේද ඉන්නේ ?”
තමා පැමිණෙන තුරුත් බියෙන් වෙව්ලමින් සිටි තරුණිය හිඳ උන් යහන අසලට පහත්වූ මහීකා ඇගේ හිස මත අත තබා ඉතා කාරුණික ස්වරයෙන් විමසූ අතර ඇය සෙමින් හිස සළා නැත යැයි පැවසුවාය.
” මං අර උපුල්ට තේ ටිකක් හදලා දීලා එන්නං,”
එසේ පවසා මහීකාද නිදන කාමරයෙන් පිටව ගිය අතර මිහිදුමී යහන මත වූ කොට්ටයක් මත හිස තබා ගනිමින් එය දෝතින්ම තුරුළු කර ගත්තාය.
” අ.. මේ මිහිදුමී.. ඔක්කොම හරි. ප්‍රශ්නයක් නෑ.”
අපහසුවෙන් වුවද තවමත් තමා තද කර වැළඳගනිමින් , ඉකි ගසනා තරුණියගේ හිස මත යන්තමින් අත තැබූ ඔහු ප්‍රථම වරට ඈ හා දොඩමළු වූයේය. නමුදු ඔහුගේ වචනයකින් දෙකකින් ඈ සන්සුන් නොවන බව වැටහුණු ඔහු සෙමින් සෙමින් නැවතත් වචන ඇහිළුවේය.
” මිහිදුමී.. මේ අහන්න ! දැන් ඔක්කොම හරි. එන්න..”
ඇගේ අතකින් අල්ලා ගනිමින් යළි නිදන කාමරයට පැමිණි ඔහු තවමත් කෙස් කළඹින් වෑහෙන දිය බිඳු මතින් තෙත්වී , වතුර බිඳු එකතු වී තිබූ තන මත්තට බැඳ තිබූ කෙටි තුවායෙන් අඩක් විවර වූ ඇගේ උඩුකයිනුත් නිරාවරිත දෙකලවා වලිනුත් වහා දෑස ඉවතට ගෙන යහන මත වූ පෙරවනයක් ගෙන ඇගේ උරමතින් මුළු සිරුරම වැසෙන සේ පොරවා දැමුවේය. තවමත් ඉකි ගසමින් හඬා වැටෙමින් සිටි ඈ ආයාසයෙන් හිස ඔසවා ඔහු දෙස බැලුවාය.
” ප්‍රශ්නයක් නෑ. රිලැක්ස් වෙන්න. “
” චූටි නෝනා..! මොකක්ද ඒ සද්දයක් ආවේ මෙහෙන්ද ?”
තරප්පු පෙළ නැඟ එන සරෝජාගේ හඬට එතෙක් වැළපෙන දෑස මත එතී තිබුණු කඳුළු පිරි දෑස වහා නිදන කාමරයේ ද්වාරය වෙතට එල්ල වූ අතර ඇගේ අසලින් මෑත් වූ ඔහු ඉක්මනින් අගුලා ලා තිබූ ද්වාරය විවර කළේය.
” බෙඩ් රූම් එකේ දොරත් ලොක් කරගෙන , බාත් රූම් එකෙත් දොරත් ලොක් කරගන්න තරමට බය වෙන්නෙපා. මේ ගෙදර එහෙම අහන්නේ බලන්නේ නැතුව කාගෙවත් බෙඩ් රූම්ස් වලට එන කවුරුවත් නෑ. “
එසේ පැවසූ ඔහු ඇගේ නිදන කාමරයට පැමිණි සඳලුතලයේ ද්වාරයෙන්ම යළි පිටවී යනු බලා සිටි ඈ තදින් දෑස පියා ගත්තාය.
” ශිට්..! අපරාදේ.! මං කතා කරන්න හිටියේ එහෙම නෙමෙයි. මටත් වෙන්නෙම විලි ලැජ්ජ නැති වැඩ. ආන්ටි එක්ක කිව්වලු එක දිගට කෑගහන සද්දෙට බැලුවේ කියලා. ආහ්.. මං මාර බයගුල්ලියෙක් කියලා හිතන්න ඇති. සරෝජා නැන්දා කිව්වා මං එන්නත් කලින්මලු එයා ඇවිත් හිටියේ. එතකොට මං කෑගගහා සිංදු කිය කිය ආපු එකත් ඇහෙන්නැති. ඊඊඊ.. සමන් දෙයියනේ..! මොන ලැජ්ජ නැති වැඩක්ද මේ උනේ ? තුනෙන් එකක් එළියේ දාගෙන හිටියා මදිවට ඒ මනුස්සයගේ ඇඟෙත් එල්ලුණා. ආන්ටි එහෙම දැනගත්තොත් වහ කන්න වෙන්නේ. “
ඒ වනතුරුත් සිදුවූ සිදුවීම් යළි යළි සිහිපත් කරමින් , තනිවම කෙඳිරි ගාමින් පසුතැවුණු ඈ යළිත් යහන මත වූ කොට්ටයේ මුහුණ ඔබා ගත්තාය.
************************************
” දුව තේ එකක් ඕනෙද?”
” දැන් එපා ආන්ටි “
කපා ගත් ලූණු , අමුමිරිස් , හා ටූනා පිරවුමක් සකසමින් සිටි මහීකා නැවත තරුණිය දෙස බලා විමසුවාය.
” ඇහුවට මොකද හදන්නනං තව විනාඩි පහක්වත් ඉන්න වෙනවා හොඳේ. නැත්තන් තේ එකත් ටූනා සුවඳ ගහයි. සරෝජාවත් මං මහන්න දීපු කර්ට්න්ස් වගයක් ගේන්න යැව්වා. “
” අම්මා..!”
” ආ.. ඔන්න ඇවිල්ලා.. “
ආලින්දය දෙසින් ඇසුණු අෂ්මිලගේ හඬට කන් දුන් මහීකා නැවතත් සිනහවක් නැඟුවාය.
” අම්මා තේකක්…!”
” ඔය කිව්වේ. මේගොල්ලන්ට අම්මා මතක් වෙන්නේ තේ තිබහටයි , බඩගින්නටයි විතරයි.”
” අම්මා ලොකුත් ආවා. “
ආලින්දයේ සිටම හඬ නඟා නැවතත් එසේ පැවසූ ඔහු තරප්පු පෙළ නැඟ යන හඬ ඊලඟට ඇසුණේය.
” එහෙනං දැන් ඉතිං දෙන්නටම තේ හදන්න වෙනවා. “
” ආන්ටි ඉන්න.. මං හදන්නං “
” අනේ එපා පුතේ. ඕනෙ නෑ. මං කරන්නං “
” එපා එපා.. මං හදන්නං ආන්ටිටත් ඕනෙද ?”
” හා. එහෙනං මටත් එක්කම හදන්නකෝ. “
ජලය පිරවූ විදුලි කේතලය පේනුවට සම්බන්ධ කළ ඈ තේ කොළ , පිටි , සීනි සියල්ල තමා අසලට ගත්තාය. ඉන්පසුව කෝප්ප අසුරණය වෙතට ළංව පළමුව අෂ්මිලගේත් , ශනුලිගේත් ජායාරූපයක් පින්තාරු කර තිබූ ඔහුගේ කෝප්පය අතට ගත්තාය.
” ඔය සුදු පාට මග් එක ලොකූගේ. “
” කෝප්පෙත් ඔයා වගේම තමා. එක තිතක්වත් නැති තනි සුදු. හරි නිදහස් කියලා හිතුවට සුදු පාටත් වෙලාවකට හරි බරක්. “
අතට ගත් තේ කෝප්පය පැන්ට්‍රිය මත තබමින් ඈ තනිවම කල්පනාවට වැටුණාය.
” අෂ්මිල අයියගේ ගර්ල්ගේ ෆැමිලි එක ගොඩක් දුරද ආන්ටි ?”
” කැන්ඩි වල පුතේ. “
” ආ.. වලව්කාරයොද දන්නෑ ? “
” හපෝ නෑ.. හරි වැදගත් මිනිස්සු ඒ උනාට.”
මහීකා නැවතත් සිනහවකින්ම පිළිතුරු බැන්ඳාය.
” මේ මංගල්ලේ ඉක්මනට ඉවර කරලා දාන්න ඕනේ පුතේ. “
රහසක් කියන්නා සේ මුළුතැන්ගෙහි ද්වාරයෙන් හිස කරකවා බැලූ මහීකා පෙරට වඩා පහත් වූ ස්වරයකින් පැවසුවාය.
” ශනූ මෙහෙ ඉන්නේ ඇනෙක්ස් එකක. අපේ සුදූ කොයි වෙලෙත් එහෙ යනවා. කැම්පස් යන කාලේ ඉඳන්ම දෙන්නා යාලුයි තමා. ඒ උනාට මට ඒක හිතට මහ බරක් දරුවෝ. කොච්චර උනත් අම්මා අප්පා විශ්වාස කරලානේ මෙච්චර දුරක නවත්තලා තියෙන්නේ. මගෙ එකා කොල්ලෙක් බව ඇත්ත. ඒත් .. ඒ ගෑනු දරුවෙක්නේ. ඉතිං හිතට හරි නෑ. මේ කාලේ ඕවා මහා ලොකු දේවල් නෙමෙයි තමයි. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ලිවින්ග්ටුගෙදර් ඉන්නවා ඇරෙන්න කසාද බඳින්න හිතන්නෑ. උන්ට ඕනේ ඉස්සර අපි වගේ හරි වයස ආවම කසාදයක් බැඳලා , දරු මල්ලෝ හදලා ජීවත් වෙන්න නෙමෙයි. ඒත් එයාලා එහෙම නොවුණට අපි පරණ මිනිස්සුනේ.”
” සුදු අයියා දැනුම් තේරුම් තියන කෙනෙක්නේ ආන්ටි. අනික දැකලා නැති උනාට ඒ අක්කත් එහෙම වෙන්න එපැයි. හිත කරදර කරගන්න එපා. “
” මට මේවා අපේ එකාට කියන්න පුලුවන්කමකුත් නෑ. ශනූට කියන්න පුලුවන්කමකුත් නෑ. ශනූගේ අප්පච්චී හිතන් ඉන්නේ ඒ දෙන්නට මේ කිට්ටුවෙන් ගෙයක් අරන් දෙන්නලු. ඒත්… මං දැන් ආවම කියන්න ඉන්නේ වෙඩින් එකක් ගත්තේ නැතත් registration එක හරි ඉක්මනට කරමු කියලා. එක අතකට එයාලගෙත් වයස යනවා තව තව ඉන්න ගියාම. ලොකූ ගැන නම් මං බලාපොරොත්තු අතෑරලා ඉන්නේ. එයා හදන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. “
හදවත තුළ සියුම් රිදුමක් දළු ළා එද්දී තරුණිය උතුරන වතුර කේතලය වසා දැමුවාය.
” ලොකූට කැම්පස් යන කාලේ ගෑනු ළමයෙක් එක්ක එෆෙයාර් එකක් තිබ්බා දූ. එයා ඒ දරුවට පණ වගේ හිටියේ. කියන්නේ මොකක්ද කළා. මෙහෙත් දෙතුන් පාරක්ම එක්කන් ආවා. “
උතුරමින් නටන ජලය සහිත කේතලය හිසේ සිට පාදාන්තය දක්වා එක වර හළා දැමුවාක් වැනි වේදනාවක් හා දැවීමක් ඈ වෙතින් විදාරණය වූ අතර ආයාසයෙන් මහීකා වෙත හැරුණු ඈ කතාවේ ඉතිරියට කන් දුන්නාය.
” හදිස්සියෙම ඒ දරුවා නැති උනා. එදා ඉඳන් ලොකූ ඔහොමයි. කා එක්කවත් වැඩි කතාවක් නෑ. දැන් අවුරුදුම කීයක්ද ? මං හිතන්නේ දහයකට වැඩියි. ප්‍රපෝසල්ස් නම් කීයක් ආවද ? ඒ එකකටවත් කැමති උනේ නෑ. මං සෑහෙන්න එයාව වෙනස් කරන්න බැලුවා පුතේ. ඒත් හරිගියෙම නෑ. දැන් නං මටත් ඇති වෙලා ඉන්නේ. “
” ඔයාට තියන ප්‍රශ්නේ මේකද?”
ඈ නිහඬවම සුදු පැහැ කෝප්පය දෙස බලා යටි සිතින් විමසුවාය.
තවත් මිනිත්තු දෙකක් ගත වන තැන මහීකා වෙත ඇගේ තේ කෝප්පය ලබා දුන් මිහිදුමී ඇගේ ඉල්ලීම පිට අනිත් කෝප්ප දෙකත් අතැතිව තරප්පු පෙළ නැංගාය. පළමුව අෂ්මිලට කතා කොට ඔහුගේ කෝප්පය ඔහුට ලබා දී ඈ සෙමින් සෙමින් යාබද නිදන කාමරයේ ද්වාරය වෙතට අඩි තැබුවාය.
නිදන කාමරය තුළින් කිසිදු හඬක් නොනැඟෙන බැවින් ඈ සෙමින් අඩක් විවර වී තිබූ එහි ද්වාරයට තට්ටුවක් දැමුවාය. ප්‍රතිචාරයක් නොලද තැන ද්වාරය මඳක් විවර කොට , දොර රෙදි තීරය යන්තමින් එහා මෙහා කළාය. නාන කාමරය දෙසින් ඇසෙන වතුර හඬ ඔහු එහි බව පසක් කළේය.
නිහඬවම කාමරය තුළට අඩි තැබූ ඈ එහි මේසයක් මතින් අතැති සුදු පැහැ කෝප්පය තබා දහවලේ සිදුවීම මතකයට නැඟී වහා තම නිදන කාමරය වෙත දිව ගොස් කොළ කැබැල්ලක් ගෙන තේ කෝප්පය අසලම තබා යළිත් වේගයෙන් පහත මහල වෙත දිව ගියාය.
එයිනුත් මිනිත්තු කිහිපයකට පසු නාන කාමරයෙන් පිටතට පැමිණි තරුණයා මේසය මත වූ සුදු පැහැ කෝප්පය අසලම වූ කොළ කැබැල්ල දැක එය අතට ගත්තේය.
Thank you ..!
එපමණකි. සිහින් සුසුමක් හෙළූ ඔහු නිහඬවම තේ කෝප්පය තොල ගෑවේය.


