පසළොස්වක මල් – 12

0
1378

එළැඹෙන දිනයේ අෂ්මිලගේ නැදිමළණුවන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි මහීකාටත් , සරෝජාටත් දහසක් වැඩ කටයුතු සිදු කිරීමට තිබුණාය. සිත රිදී ඇති බව සැබෑ නමුදු තව දුරටත් නිදන කාමරය තුළට ගුලි වී හිඳීම යහපත් නොවන බව තේරුම් ගත් මිහිදුමී මුළුතැන්ගෙයට වැද ඔවුන් දෙදෙනාගේ කර්තව්‍යන් වලට උදව් කරමින් සිටියාය. 

” වැටිච්ච තැන පැළ වෙන එක හොඳයි කියලා හිතන්න එපා සමාධි. සමහරවිට ඒ පැළවෙන තැන වෙන කෙනෙක්ට අයිති තැනක් උනොත් අයිතිකාරයා කරන්නේ මුලින්ම උදුරලා විසි කරලා දාන එක. අපි කරන්න ඕනේ වැටිච්ච තැන පැළ වෙන එක නෙමෙයි. අපිට සුදුසු තැන හොයාගන්න එක. අපිට අයිති තැන හොයාගන්න එක. එහෙම නොවී අනුන්ගේ දේවල් වලට අයිතිවාසිකම් කියන්න ගියාම අපිට අපේ තියන පුංචිම හරි වටිනාකම උනත් නැති වෙලා යන්න පුලුවන්. “

උසස් පෙළ සමයේ විශාඛාගේ සිසුවියක ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් දිවිනසාගැනීමකට උත්සාහ කොට තිබූ අතර ඇගේ සිත සැනසීමට ඉදිරිපත් වූ විශාඛා තමා ඉදිරියේම ඈ වෙත දෙඩූ වදන් මිහිදුමීගේ මතකයට යළි යළි එකතු විණි. එදින එවදන් වල දිග පළල හරිහැටි තේරුම් ගැනීමට උත්සාහ නොකළද මෙදින ඒ සියල්ල සත්‍යය බව වටහා ගත් තරුණිය හදවත පුරා නැඟ එන දුක් දෝමනස්සයන් තනිවම දරා ගනිමින් උන්නාය. 

” පිට අය ඉස්සරහත් පුලුවන් .”

වරින් වර වරින් වර සවන මත දෝංකාර දෙන එකී වදන් හදවත තුළ මහා ගිනි ජාලාවක් නිර්මාණය කර තිබිණි. මින් පෙර කිසිදු දිනක ඇති නොවූ මෙවැනි හිරිමල් සිතුවිලි හදවත පුරා ඔහු වෙනුවෙන් ඉපැදෙමින් තිබියදී ඔහුගේ වචන කිහිපයක් මෙවන් විසල් වේදනාවක නෂ්ටාවශේෂ ඉතිරි කරතැයි ඈ කිසිසේත් බලාපොරොත්තු නොවූවාය. 

” ආ.. මිසිස් විජේසිංහ..! ඔයාලා බරටම වැඩ වගේ.?” 

කලින් සුදානම් කර තැබීමට පිළියෙළ කරමින් සිටි වටලප්පමක් සඳහා හකුරු කැබලි කරමින් විසල් කල්පනාවක ගිලි උන් තරුණිය මුළුතැන්ගෙහි ද්වාරයෙන් නැඟී ආ නුපුරුදු කටහඬට තිගැස්සී පසුපස හැරුණාය. 

” ආ.. ඉලන්දාරියා..! දැන්ද මතක් උනේ ?” 

පසෙක උන් මහීකාද ද්වාරය අසල උන් ආගන්තුක තරුණයා දෙස බලා මුව පිරි සිනහවකින්ම පිළිතුරු බැන්ඳාය. 

” බබාගේ කොන්සට් එක නිසා මේ ටිකේ හිරවෙලා ආන්ටි. “

” මට උමන්දා කතා කරලා කිව්වා. “

” නෙක්ස්ට් වීක් තියෙන්නේ. ඒ නිසා මේ ටිකේ හැමදාම රිහර්සල්. උමා මේ ටිකේම නර්සරි එකේ. “

” හෙට එයිනේ..?” 

” එයි එයි.. “

මහීකාට පිළිතුරු දී අවසානයේ තරුණයාගේ දෙනෙත රැඳුණේ මින් පෙර විජේසිංහ නිවසේ දැක නොමැති හුරුබුහුටිය අසලය. 

” මේ මිහිදුමී.. මෙහෙ නැවතිලා කැම්පස් යනවා.”

එවර ඔහු ඈ දෙස බලා මන්දහාසයක් හෙළුවේය. 

” මිහිදුමී..! මේ තේජ්. අපේ ලොකූගේ යාලුවෙක්.”

ඇයද පෙරළා තරුණයා වෙත සිනහවක් පා නැවත ආපසු හැරුණාය. 

” උඹ දැන්ද ආවේ ?” 

තේජ්ට පසුපසින් ඇසුණු කටහඬ සැණෙකින් හඳුනාගත් ඈ කිසිලෙසකවත් යළි හැරී නොබලමී යනුවෙන් සිතමින් කළකිරීම හා කෝප සහගත සිතින්  නැවත වතාවක් හකුරු කැබැල්ලක් කැපීමට පටන් ගත්තාය. 

” සරෝජා නැන්දා..! පෙරේදා හවස හැදුවා වගේ තේ දෙකක් හදන්නකෝ..”

තිගැස්සී ගිය මිලි තත්පරයේදී ඈ කැපෙන පිහියට ඇඟිල්ල හසු කර නොගත්තේ බොහෝ ආයාසයක් දරාය.

” ආ.. මං අරන් එන්නං අස්නක මහත්තයා.”

” වරෙං..” 

තරුණයින් දෙදෙනා තරප්පු පෙළ දිගේ ඉහල මහලට යන අතරතුර සරෝජා විදුලි කේතලයේ ස්විචය දැම්මාය.

” පෙරේදා හවස තේ හැදුවේ දුමී නේද ?” 

මෙතෙක් වේලා පුත්‍රයාගේ කතාවේත් , නිහඬව පසුපස හරවා උන් ඇගේ වතේත් අතුරු කතා කියවීමට උත්සාහ ගත් මහීකා එසේ විමසුවාය. 

” ආ.. එහෙනං , අස්නක මහත්තයට චූටි නෝනගේ තේ එක අල්ලලා ගිහිල්ලා. වතුර ටික රත් උනාම නෝනෙම එහෙනං තේ ටික හදන්න.”

” අනේ .. ඔන්න ඔය තේ දෙක හදලා ගිහින් දෙන්න දූ..”

හිත පුරා අමුතු හැඟීමක දල්ලක් ලියලා වැඩුණද එය හදවතේම දරා ගත් මහීකාද එසේ පවසා තමන් කරමින් සිටි කාර්යයේ යළි නියැළුණාය.

” අපි තනිකඩව ඉන්න කාලේ අපේ අම්මලාට මෙහෙම කෙල්ලෝ ගෙනල්ලා ගෙවල්වල නතර කරගන්න උවමනාවක් තිබ්බේ නෑනේ අම්මපා..”

මිත්‍රයාගේ නිදන කාමරයට ගොඩ වැදුණු තේජ් එහි වූ කුඩා සෝපාවකට බර වෙමින් පැවසූ අතර ඔහුගේ එකී වදනට මුවඟින් සමච්චල් සිනහවක් පෑ තරුණයා යහන මතට බර වුණේය.

” ලස්සන කෙල්ලෙක්නේ ?” 

මිතුරාගේ නිහඬබව මායිම් නොකළ ඔහු නැවතත් පැනයක් ගෙන පෑවේය. නමුදු එවරද පිළිතුරක් දෙනු වෙනුවට නිහඬව උන් ඔහු නිදන කාමරයේ ද්වාරයට කරන තට්ටුවෙන් නැඟිට ගොස් එය විවර කළේය. 

දකින සෑම මොහොතකම මුව පුරා නැඟි සිනහවකින් පිරී සිටින ඈ සන්තෝෂයත් , සැනසීමත්  පළා ගොස් තිබූ උවන බිමට බර කරමින් තේ කෝප්ප දෙක සහිත ට්‍රේ බඳුන ඔහු මුව දෙස නොබලාම දිගු කර සිටියාය. නමුදු එය අතට ගන්නවා වෙනුවට ද්වාරය හොඳින් විවර කළ ඔහු ඊලඟ මොහොතේ දොර රෙදි තීරයද පසෙකට කොට අල්ලා ගත්තේය. ඉඟියෙන් කියවෙන්නේ ඇතුළට පැමිණ තේ බන්දේසිය තබන්නට අවසර දීම යැයි වටහා ගත් ඈ නිහඬවම නිදන කාමරය තුළට පිවිස එහි වූ ඔහුගේ මේසය මත එය තැබුවාය. 

” නංගි කොහෙද ?” 

නැවතත් ප්‍රශ්නය තේජ් ගෙනි. 

” රත්නපුර “

” ආහ්.. සමන් දෙයියන්ගේ අඩවියේ..”

” මේ ෆස්ට් ඉයර්ද ?” 

” ඔව්. “

ඈ මඳ සිනහවක් නැඟුවා විනා පිළිතුරක් තැබුවේ නැත. නාද වන ජංගම දුරකතනය හේතුවෙන් තේජ්ගේ ප්‍රශ්න වැල අවසන් වූ අතර ඔහු එය ගෙන සඳළුතලය දෙසට ඇවිද ගිය අතර මිහිදුමී වහා නිදන කාමරයෙන් පිටතට අඩි තැබුවාය.

” සොරි..!” 

හදවත මඳක් තිගැස්සුණද පසුපසින් ඇසුණු රළු ස්වරයට ප්‍රශ්නාර්ථයක් මුව මත දරාගෙනම ඈ හැරී පසුපස බැලුවාය.

” ඒක හිතලා කියපු දෙයක් නෙමේ..”

” කතාව ඉතිං කොහොමත් ඇත්තනේ.. ? මං මේ ගෙදට්ට පිට කෙනෙක් තමා. අයිති නැති තැන්වල පැළවෙන්න ගියාම නිකන්ම ගැලවිලා විසි වෙන්න වෙනවා. “

කඳුළු බිඳු මතින් තෙත් වූ දෑස දෙස එක එල්ලේ බලා සිටින ඔහුගේ වැළපෙන දෑස මඟහැරි ඈ වේගයෙන් තරප්පු පෙළ දිගෙහි පහලට දිව ගියාය. 

****************************************

අෂ්මිලගේ පෙම්වතිය සේම ඇගේ කුටුම්භයද ඉතා ලෙංගතුය. දැන හැඳින දැක ගත්තාවූ පළමු දින වුවද මිහිදුමී වෙත ඔවුන්ගේ ලැබුණේ ඉතා හුරු පුරුදු හිතවත්කමකි. බොහෝ වැදගත් කාරණා පවුලේ වැඩිහිටියන් සතු වූ බැවින් මුළුතැන්ගෙහි සරෝජාට උදව් පදව් කිරීමටත් , තේජ්ගේ හා ඔහුගේ බිරිඳ වූ උමන්දාගේ අවුරුදු සතරක් වයසැති කුඩා දියණිය සුරතල් කිරීමටත් කාලය මිඩංගු කළ ඈ ආලින්දයේ පවුලේ සාකච්ජා වලට ඇස් , කන් යොමු නොකර සිටියාය.

පෙරදිනටත් වඩා මිත්‍රත්වයෙන් අගතැන් පත් වූ තේජ් මෙන්ම ඔහුගේ බිරිඳ හා වැළපෙන දෑස් ඇති තරුණයා හරි හරියට කතා බස් කරමින් සිනහ වනු දුටු ඇගේ සිත පෙරටත් වඩා කැබැලි වලට බිඳී ගොස් තිබිණි. ඔහුගේ හැසිරීම ඉතා ගුප්තජනක වූ අතර ඇගේ උවන දෙස හෝ කෙලින් නොබලන , සිනහවක් පරිත්‍යාග නොකරන ඔහු අන් හිතමිත්‍රයින් හා කුළුපඟව හැසිරීම ඔහුගේ වදනින්ම පැවසූ ආකාරයට තමා පිට එකියක බව තව දුරටත් ඈ පිළිගනිමින් උන්නාය.

පහත මහලේ කතා බස් වලට ඇහුම්කන් නොදී උඩු මහලේ සඳළුතලයට පැමිණි ඈ තේජ්ගේ කුඩා දියණිය කේලි හා බොහෝ සේ මිතුරු වෙමින් සිටි අතර කුඩා එකියගේ අළුත් මිත්‍රත්වය ඇගේ සිතේ බොහෝ දුක් සංකා දුරු කරවීමට සමත් වී තිබිණි. 

සියල්ලෝම පහත මහලේ සතුටු සාමිච්චීයේ යදී උන් අතරෙදි උඩු මහලේ උන් තරුණියත් , කුඩා එකියත් ඇගේ විවිධ ප්‍රසංගයේ නොයෙක් ගීත වෙනුවෙන් පුරුදු වූ නර්තනයන් යළි යළි හුරු පුරුදු වෙමින් සිටියහ. තරුණියගේ හඬින් කුඩා එකිය පවසනා සියලුම ගීත එක දිගට ගැයුණු අතර ඒවාට තමාට හුරු පුරුදු රංගනයේ හා නර්තනයේ යෙදුණු පුංචි කැකුළිය බෙහෙවින් ප්‍රීති ප්‍රමෝදයට පත්වී සිටියාය. අවසානයේ පෙර පාසල වෙත පැමිණෙන කුඩා ළමුන්ගේ මිත්තණියන් වෙනුවෙන් හා ඔවුන්ට ආදරය පෙන්වීමටත් , මව පියා සේම ඔවුන්ගේ ආදරය හා ලෙංගතුබවෙහි ඇති වටිනාකම දරුවන්ට පෙන්වා දීමට දරුවන්හට හුරු පුරුදු කර තිබූ රංගනයක් උදෙසා වෙන් වූ ගීතයක් තරුණියගේ මුවින් ගැයුණු අතර තමා ඉදිරියේ සිටිනා තරුණිය තම මිත්තණිය සේ සිතා ගත් කුඩා දැරිය ඊට අනුව රංගනයේ යෙදෙමින් සිටියාය. 

බොහෝ වේලාවක් මඟ නොහැරිය හැකිම වූ තම මළණුවන්ගේ ප්‍රියසාදයෙහී රැඳෙමින් තමන් විසින් සිදු කළ යුතු සියළු කර්තව්‍යයන් හා කතා බස් නිමා කළ බර අඩි කිහිපයක් තරප්පු පෙළ දිගේ ඉහලට නැඟ ආ අතර සඳළුතලයේ සිට ඇසෙනා මියුරු කටහඬට සවන් යොමු කරමින් හඬ නොනඟා තම නිදන කාමරයේ යහන වෙතට බර වූයේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here