පින් පොදක් පිරුණා වගෙයි ලොව
මගෙ හිතේ රැදුනේ…
රන් බතක් ඉදුනා වගෙයි නුඹේ
සුවද අත්තම්මේ…
සද ගෙත්තම් කළ තරු වියනයි නුඹ
සද නැති අහසම එළිය කෙරු
අහස නුඔයි මට ආදර අදුර පිදු
මෙතේ බුදුන් දකිනා අහසයි අත්තම්මා
ඒ රන් අහසේ තරු අහුරයි නුඹ
මෙත් බුදු ගී අසනා
රන් බුදු රැස් දකිනා
අහසයි අත්තම්මා….
ගායනයේත් , රංගනයේත් අවසානයේ තරුණියත් , කුඩා දැරියත් තමන්ටම අත්පොළොසන් දී සතුටු වූහ.
” ඒක කරන්නේ ආච්චම්මා එක්ක අක්කි. අපි එක්ක ආච්චම්මත් ඩාන්ස් කරන්න ඕනි. “
“හරි ශෝක්නේ ඉතිං.. හරිම ලස්සනට තියෙයි “
නොරිදෙන්නට කොපුලක් මිරිකූ මිහිදුමී කුඩා දැරිය තම උකුළෙන් වාඩි කරවා ගත්තාය.
” අක්කිත් සූටි කාලේ ආච්චම්මත් එක්ක ඩාන්ස් කළාද ? ”
” අනේ නෑ පැටියෝ..”
” ඇයි ඒ ?” එතකොට ලොකු ඉස්කෝලේ ගිහින්වත් ආච්චම්මා එක්ක ඩාන්ස් කළේ නැද්ද ?”
” නෑ පැටියෝ.. අක්කිගේ ආච්චම්මා නෑනේ. “
” ආ.. අපේ නර්සරි එකේ බෝයි කෙනෙක්ටත් ආච්චම්මා නෑ. ඒ උනාට එයා ඩාන්ස් එක කරන්නේ එයාගේ අම්මි එක්ක. අක්කිත් ඉතිං ආච්චම්මා නැත්තන් අම්මිත් එක්ක හරි ඩාන්ස් කරන්න තිබුණනේ.?”
” අක්කිට අම්මා කෙනෙකුත් නෑ පැටියෝ. අක්කිට අක්කිගෙයි කියන්න කවුරුවත් නෑ. “
අවසාන වාක්‍යයේ පෙර පැවති සොම්නස ගිලිහී පැවති අතර එහි සියුම් බිඳීමක් තැවරී තිබිණි. සඳළුතලයේ සිදුවන කතාබහ සියල්ල සවනේ තවරා ගනිමින් උන් නිදන කාමරය තුළ සිටි තරුණයා නොදැනීම තොල් පට තද කර ගත්තේය.
” අනේ.. ඇයි ඒ ? ඉතිං මෙහෙ ඉන්නේ.. අන්කල් අස්නක හරි ශෝක් නේ.. මහීකා ආච්චම්මත් හරිම ශෝක්. “
” ඒක හරි. එයාලා හරිම ශෝක්. හරිම හොඳයි. ඒත්.. ඉතිං මගේ නෙමෙයිනේ. මං මෙහෙට පිටින් ආපු කෙනෙක් විතරයි. “
යළිත් අවසන් වාක්‍ය ගිලිහුණේ මඳ ස්වරයකිනි. ඈ වෙනුවෙන් ගෙල එහා මෙහා හරවමින් කියවමින් සිටි කුඩා දැරිය ඇගේ බස් වල අරුත සෙවීමට වෙහෙසක් නොගත් අතර සියල්ල කන වැකුණු තරුණයා තව දුරටත් මුව තද කර ගනිමින් නොසෙල්වී සිටියේය.
” කේලී…! කේලී..!”
” අම්මි මං මෙහේ..”
සඳළුතලයට පිවිසි උමන්දා මුව ඇද කරමින් සිනහවක් පෑවාය.
” අක්කිට වද දුන්නද උඩට වෙලා ?”
” අනේ නෑ අක්කේ. අපි දෙන්නා එයාගේ කොන්සට් එකේ රිහර්සල් කළා. “
” ශනූලගේ අම්මලා යන්න හදන්නේ නංගි. ආන්ටි මහීකා කිව්වා ඔයාටයි , අස්නකටයි පහලට එන්න කියලා. “
” කාට ..?”
” ඔයාටයි , අස්නකටයි. එයත් දැන් ටිකකට කලින් උඩට ආවා .”
හිස හරවා ඔහුගේ නිදන කාමරය දෙස බැලුවද සෙවනැල්ලක් හෝ පෙනෙන්නට නොතිබුණි. උමන්දාව ඉස්සර කරගත් කේලි හා මිහිදුමී ඈ පසුපසින් නිදන කාමරය තුළින් පිටතට විත් ඉහල මහලේ කොරිඩෝවට අඩි තැබූ අතර ඒ වනවිටත් අස්නක තම නිදන කාමරයෙන් පිටතට විත් තිබුණේය.
” ආන්ටි මහීකා එන්න කිව්වා. “
” ඇහුණා. එන්න චූටියෝ..”
උමන්දාට පිළිතුරු බැඳ කුඩා දැරිය වඩා ගත් ඔහු සැමට ප්‍රථමව තරප්පු පෙළ බසින්නට වූයේය.
” සමන් දෙයියනේ.. ! ඒක ඇහුණා කියන්නේ ඊට කලින් කියපු ඒවත් ඔක්කොම අහන් ඉන්නැතිනේ. ආහ්.. මං නං කන්නේ ඉල්ලගෙනමයි. “
බෙරි කර ගත් උවනින් ඈ යටිසිතින් තමාටම දොස් පවරාගනිමින් තරප්පු පෙළ බැස්සාය.
” අපි ගිහින් එන්නං එහෙනං මිසිස් විජේසිංහ. මෙච්චර ලඟ ඉඳලත් අපි අදමනේ දැන අඳුරගත්තේ. නිවාඩු පාඩු වෙලාවක ඒ පැත්තේ ඇවිත් යන්න එන්න. දැන් ඉතිං නෑයෝ කෙසේ වෙතත් අපි මේ දැන අඳුරගත්‍ත ඇඳුනුම්කමම මැදෑ..”
බොහෝ හිතවත් හා යහපැවැත්මෙන් අනූන වූ ශනූගේ පියාගේ වැඩිමහලු සොහොයුරා විජේසිංහ කුටුම්භයේ සියලු සාමාජිකයින් වෙත එසේ පවසා සිටියේය. අෂ්මිලගේ නැදි මළනුවන්ට අමතරව ඔහුත් , ඔහුගේ බිරිඳත් සහ වැඩිමහලු පුත්‍රයාත් විජේසිංහ නිවසේ සියල්ලන්ගේම බොහෝ ප්‍රසාදයට ලක් වී සිටියහ.
වසර ගණනාවක් පැරණි මිතුදමක හේතුවෙන් කාලාන්තරයක සිට විජේසිංහ නිවසේ නිත්‍ය සාමාජිකයෙකු බවට මහීකා විසින් මුලදීම හඳුන්වා දුන් මිහිදුමී කිසිදු පැකිළීමකින් තොරව සියලුම ආගන්තුක වැඩිහිටියන්ගේ දෙපා නැමැද්දාය.
” දළඳා හාමුදුරුවන්ගේම පිහිටයි. “
ශනූගේ මවත් , නැන්දණියත් ඈ සිප වැළඳ ගනිමින් ඉත සිතින් ආශිර්වාද කළාය.
” ජ’පුරේ කිව්වා නේද ?”
පිටත් වීමට ගෙමිදුලටත් බැස තව දුරටත් සතුටු සාමීචියේ යෙදුණු වැඩිහිටියන්ගෙන් මිදී මිහිදුමී වෙත ආ ශනූගේ ලොකු අප්පච්චිගේ පුත්‍රයා ඈ දෙස නෙත් දල්වා ගනිමින් ඇසුවේය.
” ඔව්. ෆස්ට් ඉයර්. “
” මං මොරටුවේ. ෆයිනල් එකේ. “
” ආහ්.. “
” මං දිහස්.. !”
” මිහිදුමී..!”
ඔහු දිගු කළ අතට කිසිදු කහටක් නොමැතිව පෙරළා අත දුන් ඈ නැවතත් මඳ හසරැල්ලක් මැවුවාය.
” ආපු වෙලාවේ ඉඳන් කතා කරන්න බැලුවා. ඒත් ඔයා පේන්න හිටියේ නෑ. “
ඈ පිළිතුරු වෙනුවට නැවතත් සිනහවක් පුද කළාය.
” ගිහින් එන්නං මිහිදුමී.., කොහොමත් ඉස්සරහට නිතර නිතර අපි මීට් වෙයි. මෙයාලා හදන්නේ ඉක්මනට අෂ්මිලවයි , ශනූවයි මැරි කරවන්න “
එසේ පැවසූ ඔහු නැවතත් සිනහවක් නැඟූ අතර පෙරළා යළිත් වතාවක් සිනහ වූ ඈ පුරුදු පරිදිම නිහඬබව රැක්කාය.
*******************************************
” හෙලෝ නංගි ගුඩ් මෝනින්..!”
” ගුඩ් මෝනින් සුභාවී අක්කේ..!”
” ඔයා මේ වෙලාවේ බිසීද ?”
” මං කැම්පස් යන්න ලෑස්ති වෙනවා අක්කේ. ඇයි හදිස්සියක්ද ? “
” නංගි ..! සින්දුමීලා එක්ක එකට බෝඩිම් හවුස් එකේ හිටපු ගර්ල් කෙනෙක් ගැන තොරතුරක් ලැබුණා. මට මේ විස්තරේ කිව්වේ හොයාගත්තු පරණ යාලුවෙක්. එයත් ඉඳලා තියෙන්නේ සින්දුමීලගේ බෝඩිමේ. මං එයාගෙන් තොරතුරක් ගන්න පුලුවන් වෙයිද කියලා බලන්නයි කතා කළේ. ඒත්.. එයා මට තව කෙනෙක් ගැන විස්තර දුන්නා..”
” හ්ම්ම්.. හරී…!”
” එයා දැන් මේ හෝමාගම කිට්ටුව ඉස්කෝලෙක ටීචින් කරනවලු. මං නම අහගෙන එයාගේ ෆේස්බුක් එකයි , ඉන්ස්ටා එකයි ෆලෝ කරලා මොබයිල් නම්බර් එක හොයාගෙන කෝල් කළා. එයා කැමතියි අපිව මීට් වෙන්න. ඉස්කෝලෙ ටයිම් එකෙන් පස්සේ ඉස්කෝලේ ලඟට එන්න කියලා කිව්වා. මොකද කියන්නේ ගිහිල්ලා බලමුද ? විශේෂ දෙයක් නොලැබුණත් අපි එක ස්ටෙප් එකක් හරි ඉස්සරහට තිබ්බනේ කියලා සතුටු වෙන්න පුලුවන්නේ..?”
” අනේ ඔව් අක්කේ. එහෙමවත් වෙන එක කොච්චර දෙයක්ද ? මට අද එක ලෙක්චර් එකක් දවල් එක වෙද්දි ඉවර වෙනවා. ඊලඟ එක ආයේ තියෙන්නේ හවස තුනයි තිහට. අපිට ඒ ටයිම් එකේ ගිහින් එන්න ඉඩ තියෙයිද ?”
” අපෝ පුලුවන් නංගි. මහ ලොකු වෙලාවක් මගට යන්නෑ.”
” අක්කට වැඩ අතරේ අනවශ්‍ය කරදරයක් නම් මට ලොකේශන් එක දෙන්න අක්කේ. මං ට්‍රයි ශෝ එකක් පික් කරගෙන යන්නං “
” නෑ.. නෑ.. එහෙම ප්‍රශ්නයක් නෑ. අනික නොදන්න පැත්‍තක ඔයාව තනියෙන් යවන්න බෑ. කමක් නෑ මෙහෙම කරමු . මං එකයි දහය , එකයි පහළව වගේ වෙද්දි කැම්පස් එක ලඟට එන්නං. අපි දෙන්නා එක්ක යං “
සුභාවීට සමුදී දුරකතන ඇමතුම විසන්ධි කළ ඈ හනික ගමන් බෑගයද රැගෙන තරප්පු පෙළ බැස්සාය.
” දුමී.. ! කාලා යන්න..”
” කන්න වෙලාවක් නෑ ආන්ටී. මට පුලුවන්නං කෑම එකක් ඔතලා දෙනවද ? මං කැම්පස් එකට ගිහින් කන්නං “
” ගෙනියන්න කෑම ලෑස්ති කරලා දරුවෝ තියෙන්නේ. අද ටිකක් වැඩිපුරම දැම්මා. යාලුවොත් එක්ක බෙදාගෙන කන්න. වටලප්පන් ටිකකුත් කප් එකකට දාලා දෙන්නද ? කට්ටිය එක්ක ශෙයා කරගන්න. හැබැයි යද්දි කූල් එකනං ගිහින් තියෙයි. “
” අපෝ .. ගෙදරින් ගෙනාවා කිව්වොත් ඕක දිය වෙලා තිබ්බත් කට්ටිය උගුර උගුර හරි බොයි. “
මහීකා සිනහවක් නඟමින්ම කෑම පාර්සලයක් සූදානම් කළාය. නිහඬවම එතෙක් කෑම මේසයේ ආහාර ගනිමින් සිටි ඇගේ වැඩිමහලු පුත්‍රයා නැඟිට දෑත පිරිසිදු කර ගත්තේය.
” යනවනං මාත් එක්ක යන්න පුලුවන් “
එපමණක් පවසා කිසිවෙකු දෙස හෝ නොබලාම ඔහු දෑත පිස ගත් අතර මහීකාගේ සිහින් වූ දෑස් බැල්ම අෂ්මිල වෙතට වැටිණි. විසල් කරගත් දෙනෙතින් හා ඔසවා ගත් ඇහිබැමින් හිස දෙපසට සැලූ ඔහු තව දුරටත් නිහඬවම ආහාර ගත්තේය.
” අන්න පුතේ එහෙනං ලොකු අයියා එක්කම යන්න. “
” මං පික් මී එකක් දැම්මා ආන්ටි. ඒක දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒකයි මං හදිස්සි කළේ. “
මඳ සිනහවක් මහීකා වෙත පෑ මිහිදුමී ඇගේ දෙපා අල්ලා වැඳ , අෂ්මිලටද සමුදී ගෙමිදුල දෙසට ඇවිද ගියාය.
” මාත් යනවා..”
යුවතිය ගිය දෙසට බැල්මක් හෝ නොහෙළූ ඔහුද නිවසින් පිටතට අඩි තැබුවේය.
” ඒ මොකද සුදු පුතා ඒ..? ජීවිතේට මොන හදිස්සියක කවුරුහරි හිටියත් හළලා දාලා යන්නම බලන කෙනා බලෙන්ම ලිෆ්ට් එකක් දෙන්න වද වෙන්නේ. ?”
තවමත් ගෙමිදුල දෙස දෑස රඳවා උන් මහීකා ආහාර ගමින් උන් අෂ්මිල දෙස නොබලාම ඇසුවාය.
” ම්ම්.. ම්ම්ම්.. ඒක තමා මාත් බැලුවේ ? එදා අර දුමී යාලුවෙක්ගේ ගේක ගියේ. මට කතා කරලා , එන වෙලාවත් අහගෙන , ලොකේශන් එකත් දාගෙන බලෙන්ම ගියේ කෙල්ලව ගන්න. “
” ඈහ්..? “
එවර මහීකා විසල් කරගත් දෑසින් ඔහු වෙතට හැරුණාය.
” මේ.. මේ.. අපේ ලොකූ ? මං හිතුවා ඔයාට වෙන වැඩක් වැටිලා ඒ වෙනුවට ලොකූට යන්න කියලයි කියලා ?”
” නෑ.. අනේ.. පොරම තමා මගෙන් කතා කරලා ලොකේශන් එක ඉල්ලගත්තේ.”
” හිතාගන්නවත් බෑනේ..?”
තවමත් ගල් ගැසුණාක් මෙන් සිට ගෙන හිඳින මව දෙස බැලූ ඔහු සිහින් සිනහවක් පෑවේය.
” දැන් නං දරුවෙක් ඉන්න ගෑනියෙක් හරි ගෙනල්ලා අම්මේ මට බඳින්න ඕනෙ කිව්වොත් මං බන්ඳලා දෙන සයිස් එකේ ඉන්නේ ලොකු අක්කේ කියලා දැන් ටික දවසකට කලින් ලොකු අම්මා එක්ක කිව්වා නේද ? කැම්පස් යන්න ආපු කෙල්ල හැමදාටම මෙහෙ නතර කරගන්න පොටක්ද දන්නෑ පෑදෙන්න යන්නේ. කෝකටත් පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න. “
” සෙවිල්ලෙන් ඉන්න. ? ඇයි උඹ හිතුවද මගෙ ලොකු එකාටත් උඹට වගේ මඟුල් විසේ කියලා. අර මොකද්ද දුමී හැමතිස්සෙම කියන්නේ.. ආ.. සමන් දෙයියනේ.. සමන් දෙයියන්ගේ පිහිටෙන් මූට මේ කෙල්ල ගැනවත් කැමැත්තක් ඇති උනොත් නිදහසේ මට ඇස් දෙක පියාගන්න පුලුවන් .”
” එහෙම ලේසියෙන් අපේ එකාව නම්මගන්නනං වෙන්නෑ අම්මා. ඒකට පොඩි පොඩි ක්‍රම ටිකක් අත්හදා බලන්න. ඕගොල්ලෝ ගෑනුනේ අනේ. අර මොනාද මායම් වගයක් තියනවා කියන්නේ. අන්න එයින් දෙක තුනක් හරි දාලා කොල්ලව පොඩ්ඩක් කෙල්ලට පටළවලා ගන්න. නැත්තන් මේ කපේදි අපේ එකා ආයේ කෙල්ලෙක් එක්ක පැටළෙනවා බොරු. “
අෂ්මිල දෙස බලා මුව ඇද කර , බොරු රැවුමක් පා කළ මහීකා මුළුතැන්ගෙය දෙසට ඇවිද යන්නට වූවාය.
” ආ.. මේ ඔයා මේ ලොකූට මඟුලක් කරල ලේසියෙන් ඇස් දෙක පියාගන්න ලෑස්ති වෙන්නෙපා හරිද? එතකොට මායි , ශනුයි හොස්පිට්ල් ගිය වෙලාවට අපේ බබාව බලාගන්නේ කවුද ?”
” ආ.. බලන් හිටපන් දොස්තර පුතේ.. මං මේ දත කට මැදගෙන ඉන්නේ ඒකට තමා. තාම කසාදෙවත් කරගෙන නෑ. මූ ළමයි හදන්න කතාව. “
මහීකා මුළුතැන්ගෙහි සිටම විසල් හඬින් එසේ පැවසූ අතර තනිවම සිනහවෙමින් අෂ්මිල හිඳ උන් අසුනෙන් නැඟිට ගත්තේය.


