වසන්තය තව දුරද – 32

0
77

“මොකටද නිකන් සල්ලි නාස්ති කරගත්තෙ මේ එක එක ඒවා ගන්නෙ. මං මේ පර්ස් උස්සන් කොහෙ යන්නද ළමයො? අපරාදෙ මේ සල්ලි මට දුන්නා නම් මං මොනා හරි ගන්නවනෙ” කියා අම්මා කිව්වද ඒ වනාහී වෙනදා මෙන් තරහව ගෑවුණ හඬකින් නොවුණ බව වැටහුණ නිසාම නෙත්මලීගෙ හිත සන්තෝස වුණාය.

අම්මා වනාහී අනන්ත දුක් විඳි ගැහැනියක බවත්, තාත්තා නිසා බිඳගත් හිත ඉවසා දරාගෙනම, මැරෙන්නට හේතු දහසක් තියෙද්දී ඇය තවමත් ජීවත් වෙන්නේ තමන් වෙනුවෙන් බවත් නෙත්මලීට හිත ඒ වෙලාවේ කියමින් උන්නාය.

තමන් ගෙනා පාර්සලය අම්මා අතට දෙන වෙලාවේ ඇගේ මුහුණේ ඇඳී තිබූ ඒ සිනහව නෙත්මලීට හොඳටම පෙනුණි. එය අම්මාට එතරම් ලොකු දෙයක් නොවුණා වන්නට පුළුවන. එහෙත් තමන්ගේ පළවෙනි පඩියෙන් අම්මා වෙනුවෙන් ගත් පළවෙනි දෙය එය විය. 

ඒ නිසාදෝ අම්මා කියූ අපරාදෙ මේ සල්ලි යන වචනවලට හිතේ කිසිම බරක් දැනුණේ නැත.

“අම්මා කැමති නම් තියාගන්නකො. මං කැමති නිසානෙ ගත්තෙ.”

“ඒ උනාට ළමයො සල්ලි හම්බ කරගන්නෙ මෙහෙම නිකන් වියදම් කරන්න නෙවෙයිනෙ.”

“මං දන්නවා.”

“ඉතින්?”

“ඉතින් මට හිතුණා අම්මට එකක් අරන් දෙන්න ඕනෙ කියලා.කොහෙ හරි යන්න ගියාම ඔයා නිතරම කියනවනෙ තැනකට ගෙනියන්න හෑන්ඩ් බැග් එකක් නෑ කියලා” කියද්දී අම්මා කිසිවක් නොකියා පාර්සලය දිගහැර බැලුවාය. තද පාටින් යුතු, වැඩිය විසිතුරු නොවූ හෑන්ඩ් බෑගය ඇය අතට ගෙන දෙපැත්තට හරවා බැලුවේ ඇත්තටම එය හොඳ දැයි තීරණය කරන්නාක් මෙනි.

“ලස්සනයි.”

අම්මා එය කියද්දී මුහුණේ සිනාවක් අඳුණේ නිරායාසයෙනි.

අම්මාත් සමහරවිට මෙහෙම පොඩි දේවල්වලින් සන්තෝස වෙන ගැහැනියක වෙන්නට ඇති බව නෙත්මලීට හිතුණේ ඒ හිනාව දකිද්දීය. බාගදා ඒ සන්තෝසය පෙන්වන්නට අම්මාට අමතක වී තිබුණා පමණක් විය හැකිය. නැතිනම් ජීවිතය පුරාම දරාගෙන ආ දේවල් නිසා සන්තෝසය පෙන්වන්නට පුරුදු වී නොතිබුණා විය හැකිය.

“තේ එකක් හදන්නද?” කියා නෙත්මලී ඇසුවේ ඒ සිතුවිල්ල නිසාවෙනි. අම්මා උදේ පාන්දර ඇහැරී කෑම පිසියි, අනතුරුව ගෙදර දාහක් වැඩ අවසන් කොට මහන ඇඳුම්වල වැඩ අවසන් කරයි. අනතුරුව දවල්ට පිසියි. රෑට ද කෑම පිසියි. විවේකයක් කියා නාමයක් නැති අම්මා වෙනුවෙන් තේකක් හදා දෙනවා වැනි කුඩා දෙයක් හෝ තමන් කල යුතු බව හිත කියද්දි අම්මාගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවීම නෙත්මලී කුස්සියට යන්නට පා එසවූවාය. ඒ යන අතරේ ඇය ආයෙමත් පිටුපස හැරී බැලුවාය.

අම්මා තවමත් අලුත් බෑගය අතේ තබාගෙන උන්නාය.

තමන් හම්බ කරන සල්ලිවලින් ගෙදරට දෙයක් ගෙන එන්නට හැකි වීම වනාහී තමන් මෙතෙක් කල්  හිතාගෙන උන් තරම්ම පුංචි දෙයක් නොවන බව නෙත්මලීට තේරුණේ අම්මාගේ දිලිසෙන දෙනෙත් අස්සේ ඇඳී තිබුණ ඒ එළියට මතු නොවුන සිනහව දකිද්දීය/

තමන්ටත් දැන් කාගේ හෝ ජීවිතයක් ටිකක් හෝ පහසු කරන්නට පුළුවන් යැයි දැනෙන හැඟීමේ කොච්චර ලොකු සතුටක් තිබෙනවාද කියා නෙත්මලීට තේරුණේ ආන් එ මොහොතේය.

දින ගෙවුණේ මෙතෙක් දවස් අම්මාත් නෙත්මලීත් අතර වූ පරතරය මදින් මද අඩු කරමිනි. නෙත්මලී රැකියාවේ පෙන්වූ දක්ෂකම් නිසාවෙන්ම කාර්‍යාලය ඇතුලේත් ඇයට වඩා හොඳ පිළිගැනීමක් ලැබුණාය.  ඒ අතරේම අම්මා ගැනද නෙත්මලීගේ සිතේ තිබූ ඇතැම් සිතුවිලි වෙනස් වෙමින් තිබුණි. මෙතෙක් දවසක් අම්මාගේ කේන්තිය, සැර වචන සහ නිතරම තමන්ගේ වැරදි පෙන්වා දෙන ගතිය පමණක් දුටු නෙත්මලී ඒ සියල්ලට යටින් සිටින ගැහැනියව ටිකෙන් ටික දකින්නට පටන් ගත්තාය. උදේ පාන්දරින් නැගිට කෑම පිසින අම්මා, ගෙදර හැමෝම කාලා බීලා ඉවර වෙන තුරු තමන් ගැන නොසිතන බව ඇයට කලින් කිසිදාක එතරම් පැහැදිලිව පෙනී තිබුණේ නැත. අම්මා මහන ඇඳුම්වල වැඩ කරන්නේද නිකන් ඉඳගෙන සිටිනවාට වඩා යමක් කළ යුතු නිසා බවත් මාසෙ අන්තිමට ලැබෙන මුදල කොච්චර පොඩි වුණත් ඒකෙන් ගෙදරට යමක් එකතු කරගන්නට අම්මා හැමදාම උත්සාහ කරන බවත්, කඩ පොළෙන් එලවලු මිලට ගන්න වැඩි වියදමක් යන නිසාවෙන්ම අම්මා ගෙදර සියලු වැඩ අස්සේ ගෙදර පොඩි බිම් කඩේ පොඩියට එලවලු වගා කරන්නට පටන් ගෙන ඇති බවත් නෙත්මලී දැක්කේ ඒ තේරුං ගැනීමත් සමග වඩා හොඳින් විවර වුණ දෙනෙතිනි.

කලින් නෙත්මලීට පෙනුණේ අම්මා කිසිදා සෑහීමකට පත් නොවන ගැහැනියක ලෙස නමුත් අම්මාට සෑහීමකට පත්වෙන්නට නොහැකි තරමටම ජීවිතය විසින් ඇයට බොහෝ දේවල් අහිමි කර තිබෙන්නට ඇති බව නෙත්මලී උන්නේ ටිකෙන් ටික තේරුංගනිමිනි.

ඒත් ඒ හැඟීම තේරුම් ගන්නට තමන්ට මෙච්චර කාලයක් ගියේ ඇයිද කියාද නෙත්මලී නොදැන සිටියාය. සමහරවිට කෙනෙකුගේ ආදරය තේරුම් ගන්නට, ඒ ආදරය ලැබෙන විදිහට වඩා එය දෙන කෙනාගේ ජීවිතය ගැන ටිකක් හෝ දැනගන්නට, තේරුංගන්නට සිදුවන නිසා විය හැකි බවට ඇය අනතුරුව සිතුවාය.

අම්මාගේ ආදරය හැමදාම නෙත්මලී බලාපොරොත්තු වූ විදිහේ ආදරයක් නොවුන බව ඇත්තකි. එය සමහර දවස්වල සැර වචනවලින් පැමිණියේය. සමහර දවස්වල කේන්තියෙන් පැමිණියේය.  එහෙත් දැන් නෙත්මලී ඒ වචන අතරින් වචනවලට වඩා වැඩි යමක් අහන්නට, දකින්නට පටන්ගෙන තිබුණාය.

ඒ නිසාම අම්මාත් නෙත්මලීත් අතර තිබූ දුර අඩු වූයේ මහා ලොකු කතා බස් අස්සේ නොවේ. එකිනෙකා වෙනුවෙන් කුඩා දේවල් කිරීමෙනි. අම්මා අවදි වෙද්දීම අවදි වී, අම්මා උයද්දී අම්මාටත් එක්කම උදේ තේ එකක් හදා දීමෙනි. වැඩ ඇරී ගෙදර විත් තුන්දෙනාටම කන්නට මොනවා හෝ රෑට පිලියෙල කිරීමෙනි. කුස්සිය අස් කිරීමෙනි. පසුවදා උදේට උයන්නට අවශ්‍ය එලවලු කපා කොටා ශීතකරණයේ තැන්පත් කිරීමෙනි. කලින් තමන්ට අවශ්‍ය දේවල් ගැන පමණක් හිතූ ඇය, දැන් අම්මාට අවශ්‍ය මොනවාදැයි හිතන්නට පටන් ගත්තාය. ගෙදර කුමක් අඩුදැයි බලන්නට පටන් ගත්තාය. මාසෙ අන්තිමට ගෙවන්නට තියෙන බිල් මොනවාදැයි අම්මාගෙන් අහන්නට පටන් ගත්තාය. අයියා කොහොමත් ගෙදර දේවල් ගැන ලොකුවට හොයන මනුස්සයෙකු නොවුණ නිසාත් ඔහුගේ ලෝකය තිබුණේ ඔහුගේ රැකියාවත්, ඔහුගේ වැඩ කටයුතුත් එක්කම බැඳී නිසාත්. ගෙදර කෑම තිබෙනවාද, විදුලි බිල ගෙව්වාද, වතුර බිල ගෙව්වාද වැනි දේවල් ගැන ඔහුගේ අවධානය යොමු වූයේ කලාතුරකින්‍ බව නෙත්මලී දැන උන්නාය. මෙතෙක් ඒ සියල්ල අම්මාගේ හිස මත තිබූ දේවල්ය. ඒ බරෙන් කිහිපයක් නෙත්මලී තම උරිස් මතට පවර ගත්තේ අම්මා ගැන හිත උපන් අලුත් ආදරයකිනි.

පළවෙනි වතාවට විදුලි බිල ගෙවන්නට තමන්ගේ දුරකතනයෙන් බැංකු ගිණුමට ලොග් වූ දවසේ ඇය බිල ගෙවා අවසන් වූ බව පෙන්වන පණිවිඩය දිහා මද වෙලාවක් බලාගෙන උන්නාය. එය එතරම් ලොකු දෙයක් නොවුණත් ඒ මොහොතේ ඇයට දැනුණේ තමන්ගේ ජීවිතය වෙනස් වෙමින් තිබෙන බවකි. ඊළඟ මාසයේදී නෙත්මලී විදුලි බිල විතරක් නොව, වතුර බිලත්, අන්තර්ජාල ගාස්තුවත් තමන්ගේ පඩියෙන්ම ගෙවෙන විදිහට කලින්ම සකස් කරගත්තාය. මාසෙ මුල පඩිය ලැබුණු විට මුලින්ම වෙන් කළ යුතු මුදල් කිහිපයක් තිබෙන බව ඇය ටිකෙන් ටික තේරුංගත්තාය. ගෙදර වියදමට අම්මාට දෙන මුදල, බිල් ගෙවීමට වෙන් කරන මුදල, තමන්ගේ ලෝ එන්ට්‍රන්ස් පංති වෙනුවෙන් ඉතුරු කරන මුදල යනාදී වශයෙන් මුදල් වෙන් කර වියදම් කරන්නට පටන් ගත්තාය.

තමන්ට තවමත් විසි වයසවත් සම්පූර්ණ වී නැති බව ඇයට ඒ වෙලාවල මතක් වූයේ කලාතුරකිනි. ඒ වෙනුවට ඇයට දැනුණේ තමන්ට දැන් හිතන්නට තවත් කෙනෙකුගේ ජීවිතයක් තිබෙන බවය.

ඇතැම් දවස්වල කාර්යාලයෙන් පිටවෙන්නට කලින්ම ඇය අම්මාට කතා කර “ගෙදරට මොනවා හරි ගේන්න ඕනෙද?” කියා අසන්නට අමතක කරේ නැත..

“මුකුත් ඕනෙ නෑ ළමයො.” කියා අම්මා කීවත්, “හරි එහෙනම්. මං එන ගමන් එළවලු ටිකක් අරන් එන්නම්.” කියා ඇයම තීරණය කළාය.

අම්මා වෙනුවෙන් හිතන්නට පටන් ගත්තාම, අම්මාගේ ජීවිතය කොයිතරම් කාලයක් තිස්සේ තනිවම ඒ සියල්ල උසුලාගෙන ගොස් තිබුණාදැයි නෙත්මලීට තේරෙන්නට පටන් ගත්තේ ඒ අනුවය.

තමන් තවමත් පුංචි කෙල්ලක බවත් තාමත් තමන්ට කැමති ඇඳුමක් දැක්කාම ඒක ගන්නට හිතෙන, පොතක් දැක්කාම ඒක කියවන්නට ආස හිතෙන, යාලුවෙක් එක්ක හිනාවෙමින් දවසක් ගෙවන්නට කැමති කෙල්ලක බවත් නෙත්මලීට අමතක උනා නොවේ.

එහෙත් ඒ හැම දෙයක් අතරින්ම, නෙත්මලී නොදැනුවත්වම තවත් ගැහැනියකගේ වගකීම් තමන්ගේ කර මත තබාගන්නට පටන්ගෙන තිබුණාය. ඒ වගකීම් ඇයට බරක් ලෙස නොදැනුණේද ඒ නිසාම විය හැකිය. මන්ද මෙතෙක් දවසක් තමන් වෙනුවෙන් හැම දෙයක්ම කළ අම්මා වෙනුවෙන් දැන් තමන්ටත් යමක් කරන්නට හැකි බව දැනෙන සතුට ඒ හැම බරකටම වඩා විශාල වූ බැවිනි.

ඒ පුංචි පුංචි දේවල් අතරින් දුවෙක් අම්මාව අලුතෙන් හඳුනාගන්නට පටන් ගෙන තිබුණි.

දුවෙක් අම්මෙකුගේ ජීවිතයේ බිඳීම්, ඉරි තැලීම් මකාලන්නට කටයුතු කරන්නට පටන් ගෙන තිබුණි.

 ඒ හැම දෙයක් අතරේම නෙත්මලී පළවෙනි වතාවට තමන්ගෙන්ම එක ප්‍රශ්නයක් ඇසුවාය.

“තාත්තා නෑ කියලත් ඇත්තටම ලොකු අවුලක් නෑ නේද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here