වසන්තය තව දුරද – 34

0
66

“අම්මෝ මාර මහන්සි අප්පා” 

“මට නම් දැන් හොඳටම නිදිමතයි.”

“Uber එකක් දාගනින් බං. මං යන්නම්.” එකිනෙකාට එසේ කියමින්, මද පමණට මත් වී සිටි කාර්යාල සගයන් එකා දෙන්නා බැගින් එළියට යන්නට පටන්ගෙන තිබුණි. ඇතැමෙකු Uber කැඳවාගෙන තිබූ අතර, තවත් කිහිපදෙනෙකු PickMe එකක් සොයාගෙන දුරකතන තිරය දෙස බලාගෙන සිටියහ. කෙනෙකුගේ වාහනය පැමිණි බව දැනුම් දුන් විට කණ්ඩායමක්ම “හරි එහෙනම්, බායි බං” කියමින් එළියට බැස ගියහ.

තවත් පැය කිහිපයකට පෙර සිනා හඬින් පිරී තිබූ කාර්යාලය ඒ වන විට ටිකෙන් ටික හිස් වෙමින් තිබුණි.

එහෙත් නෙත්මලී තවමත් එතැනමය.

තමන් යන දෙසට යන්නට කිසිවෙකුත් නොසිටි නිසාම, PickMe එකක් සොයාගෙන තනියම යන්නට සිදුවන බව ඇය දැන සිටියාය. එබැවින් වාහනයක් ලැබෙන තුරු කාර්යාලයෙන් පිටතට යන්නට ඇය එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. හොඳටම මත් වී සිටි කිහිපදෙනෙකු අද කාර්යාලයේම නවතින බව කියා තිබුණි. තවත් අතකින් නලින්ද්‍රද තවමත් කාර්යාලයේ රැඳී සිටියේය. එනිසා ආරක්ෂාව ගැන බිය වන්නට තරම් හේතුවක් නෙත්මලීට නොතිබුණි. එහෙත් ගෙදර යන්නට පරක්කු වෙමින් තිබීම නම් ඇගේ හිතට කරදරයක් වී තිබුණ බව ඇත්තකි. අම්මාට අද සාදයක් තිබෙන බව කියා තිබුණද එය මෙතරම් රෑ වන තුරු පැවතිය හැකි බවක් කියා තිබුණේ නැති නිසාම හිත තිබුනේ බයෙන් සලිත වීය. ගෙදරට ගොස් දොර අරින විට අම්මාගේ මුහුණේ පෙනෙන්නට නියමිත ප්‍රශ්නාර්ථයත්, අනතුරුව ඇසෙන්නට නියමිත දෝෂාරෝපණත් නෙත්මලීට මේ වන විටත් හිතාගත හැකිය.ඒ නිසාම PickMe යෙදුමේ තිරය දෙස බලාගෙන සිටියද කිසිදු වාහනයක් තමන්ට ගැළපෙන තැනකට එන්නට සූදානම් නොවීම ගැන ඇය උන්නේ මඳක් කලබලයෙනි.

“Searching for rides” යනුවෙන් තිරය මත පෙනෙද්දී ඇය තවත් වරක් යෙදවුම  refresh කළාය.

ආයෙමත් බැලුවාය. කිසිවක් නැත. තවත් මිනිත්තු කිහිපයක් ගත වුණේ එලෙසිනි.

ඇය ලොබියේ එක කොනක සිට අනෙක් කොනට ඇවිද ගියාය. ආයෙමත් දුරකතනය දෙස බැලුවාය. වාහනයක් ලැබී තිබේදැයි පරීක්ෂා කළාය. නැති බව දැනුණු විට හුස්මක් හෙළා ආයෙමත් තිරය දෙස බැලුවාය.

නෙත්මලීගේ ඒ නාඩගම නලින්ද්‍ර බලා සිටියේ මඳ වේලාවක සිටය.

ඇය මේ කලබල වී සිටින්නේ කුමක් නිසාදැයි ඔහුට තේරුම් ගැනීමට අපහසු වූයේ නැත. ගෙදර යන්නට පරක්කු වී තිබීමේ කනස්සල්ලත්, ඒ අතරේ තමන්ට ගැළපෙන වාහනයක් සොයාගත නොහැකි වීමේ කලබලයත් ඇගේ හැසිරීමෙන්ම පෙනෙන්නට තිබුණි.

අවසානයේ තවත් මඳ වේලාවක් බලා සිටි නලින්ද්‍ර ඇය වෙතට පැමිණියේය.

“මොකද සීන් එක?”

ඔහුගේ හඬ ඇසීමත් සමග නෙත්මලී දුරකතනයෙන් දෙනෙත් ඉවත් කර ඔහු දෙස බැලුවාය.

“මොකුත් නෑ.”

“මොකුත් නැත්තම් ඔය ෆෝන් එක දිහා ඔච්චර බලන්නෙ?”

“PickMe එකක් හම්බෙන්නෙ නෑ.”

“ආහ්.”

නලින්ද්‍රගේ දෙනෙත් ඇගේ දුරකතන තිරය වෙත යොමු විය.

“කොහෙටද යන්නෙ?”

නෙත්මලී ගෙවල් තියෙන ඉසව්ව කීවේ ඒ අනුවය.

“ඒ පැත්තට යන අපේ කවුරුත් නෑ නේද?”

“නෑ. වාහන එකක්වත් එන්නෙත් නෑ. තිබ්බ ඒවාත් cancel කරලා.”

“කොච්චර වෙලා ඉඳන්ද?”

“දැන් ටිකක් වෙලා.”

“ගෙදරින් කෝල් කරනවද?”

“තාම නෑ.”

“තාම?”

නෙත්මලී මඳ සිනහවක් පෑවාය.

“ගෙදර ගිහින් පරක්කු වුණා කියලා අහගන්න වෙයි කියලා බයයි.”

“ඒකද මේ කලබලේ?”

“ඒකත් එකක්.”

“අම්මා බනීද?”

“ටිකක්.”

“අද party එකක් කියලා දන්නෙ නැද්ද?”

“දන්නවා. ඒත් මං මෙච්චර පරක්කු වෙනවා කියලා කිව්වෙ නෑ මං”

නලින්ද්‍ර මඳ සිනහවක් පෑවේය.

“හරි. එහෙනම් ඔය වාහනේ හොයන එක නවත්තන්න.”

“ඇයි?”

“මං ගිහින් ඩ්‍රොප් කරන්නම්.”

නෙත්මලීගේ මුහුණේ තිබූ කලබලය එකවරම මඳක් නතර වූ බව ඇත්තකි. එහෙත් හිත තිබුණේ වෙන හේතුවකට අලුත් විදියකට කලබල වෙමිනි. ඒ එක පැත්තකින් මදකට සන්තෝස වෙන්නට කාරණාවක් බව ඇත්තක් නමුත් එය භාරගත යුත්තේ සතුටෙන්මද කියා නෙත්මලීට තේරුංගන්නට බැරිය.

“ඔයා?”

“ඔව්.”

“ඒත්.”

“ඇයි?”

“සර් යන්නෙ ඒ පැත්තටද?”

ඒ ප්‍රශ්නය ඇසෙද්දී නලින්ද්‍රගේ මුහුණේ සිනහවක් මඳින් මඳ ඇඳී ආවේය.

“සර්?”

නෙත්මලීට තමන්ට ආයෙ වරක් වැරදී ඒ වචනය කියවුණු බව මතක් වූයේ එවිටය.

“අහ්”

“එදත් කිව්වනෙ.”

“මට පුරුදු නෑ ඉතින් තාම.”

“ඒක නම් තේරෙනවා.”

“හරි. හරි. නලින්ද්‍ර.”

ඔහු මඳක් සිනාසුණේය.

“අන්න හරි, ගුඩ් ගර්ල්.”

නෙත්මලී ආයෙමත් ඔහු දෙස බැලුවෙ ප්‍රශ්නාර්තයක් සමගිනි..

“ඒත් ඔයා යන්නෙ ඒ පැත්තටද?”

“ඔයාට ගෙදර යන්න ඕනෙ නම්, මං යන පැත්ත ගැන පස්සෙ බලමු නේද?”

කාර්යාලයෙන් එළියට පැමිණි පසු නෙත්මලී නලින්ද්‍ර පසුපසින් ඔහුගේ වාහනය වෙත ඇවිදගෙන ගියේ ඒ අනුවය. රාත්‍රියේ සිසිල් සුළඟත්, මඳින් මඳ නිහඬ වෙමින් යන කාර්යාලයත් අතරින් ඔහු සමග තනිව ඇවිද යන ඒ කෙටි දුර පවා ඇයට වෙනදාට වඩා දිගු ලෙස දැනුණි. වාහනය අසලට ගිය නලින්ද්‍ර කිසිවක් නොකියා ඉදිරිපස දොර විවෘත කර තබාගත්තේය.

“නගින්න.”

නෙත්මලී මොහොතක් ඔහු දෙස බලා සිටියාය.

“මොකද?”

“මුකුත් නෑ.”

ඇය මඳ සිනහවක් පා වාහනයට නැගුණාය. දොර වැසුණු පසු පිටත තිබූ රාත්‍රියට ආවේනික හඬවල් සියල්ල මඳක් ඈතට ගිය බවක් ඇයට දැනුණි. සීට් බෙල්ට් එක දමාගත් නෙත්මලී නිහඬව ඉදිරිය බලාගෙන සිටියාය. වාහනය ඇතුලෙ තිබුණේ පුදුමාකාර සුවඳකි. පිරිසිදු ලෙදර් සීට්වල සුවඳට මිශ්‍ර වූ ඉතා මඳ සුවඳ විලවුන් සුවඳක්ද, නලින්ද්‍ර නිතර භාවිතා කරනවා විය හැකි යැයි හිත කිවූ කිසියම් සුවඳක්ද, ඒ සියල්ල අතරින් තවමත් පැහැදිලිව හඳුනාගත නොහැකි ඔහුටම අනන්‍ය වූ සුවඳක්ද එහි තිබුණි. 

නලින්ද්‍ර එන්ජිම පණගැන්වූ පසු වාහනය මඳින් මඳ ඉදිරියට ඇදුණේය. නෙත්මලී උන්නේ කිසිවක් කියාගන්නට නොහැකිව සිතුවිලි අතර අතරමංවය. නලින්ද්‍රද කිසිවක් නොකීවේය.

එහෙත් ඒ නිහඬ බව අපහසු එකක් වුණේ නැත. ඒ වනාහී දෙදෙනාටම දෙදෙනා ගැන සිතන්නට දුන් නිහඬ අවකාශයක් බඳු විය. මිනිත්තු කිහිපයක් එසේම ගෙවී යද්දී  නෙත්මලී වීදුරුවෙන් පිටත පෙනෙන රාත්‍රිය දෙස බලාගෙන උන්නාය. නලින්ද්‍ර උන්නේ ඒ නිහඬ බව බිඳින්නට වචන සොයමිනි.

“මේ නිහඬ බව බිඳින්න තව මොනවහරි කියන්න” කියා නලින්ද්‍ර තාලෙට කියද්දී නෙත්මලී දෙනෙත් ඔහු දෙසට හරවා සිනාවක් පෑවාය.

“ඔයා මොනාහරි කියන්න”

“මං නෙවිනෙ කතාවට දක්ශ. ඔයානෙ”

“මං කතා කරනවා වැඩිද?”

“මං එක්ක නං නෑ, අනිත් අය එක්ක නං ඔව්”

“මං එහෙම හිතන්නෙ නෑ.”

“ඔයා හිතන ඒවායි, ඇත්ත ඒවායි හැම වෙලේම එකම දේ වෙන්නෙ නෑනෙ.”

“ඒ කියන්නෙ?”

“ඒ කියන්නෙ ඔයා ගැන ඔයා දන්නවට වඩා මං දන්න දේවල් තියෙනවා.”

“මොනවද?”

“දැන්ම කියන්න ඕනෙ නෑ.”

“ඇයි?”

“ඔයාට හිතන්න දේවල් ඉතුරු කරන්න ඕනෙ.”

“ඔයා නම් මාරයි.”

“ඒක complement එකක්ද?”

“දන්නෙ නෑ.”

“එහෙනම් මං complement එකක් කියලා හිතාගන්නම්.” කිව්වාට පසු යළී ඇති වුණේ නිහඬතාවයකි. මඳ වේලාවකට පසු නලින්ද්‍ර ආයෙ වරක් කතා කළේය.

“නෙත් ඔයාට එක දෙයක් කියන්නද?”

“ම්ම්?”

“ඔයා සමහර දේවල් ගැන ඕනවට වඩා හිතනවා කියලා මං හිතනවා. හැමදේම ගැන ඔච්චර හිතන්න ඕනෙ නෑ. හැමදේම අදම තේරුම් ගන්නත් ඕනෙ නෑ. සමහර දේවල් තේරෙන්න කාලෙ යනවා. සමහර මිනිස්සු ගැනත් එහෙමයි. අද හොඳට පේන කෙනෙක් හෙට වෙනස් වෙන්න පුළුවන්. අද නොතේරෙන දෙයක් කාලෙකට පස්සෙ තේරෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට හැමදේටම ඉක්මනට උත්තර හොයන්න ඕනෙ නෑ. මං හිතනවා ඔයාට ඉස්සරහට ගොඩක් දේවල් හම්බෙයි කියලා. හොඳ දේවල් වගේම නරක දේවලුත්. ඒ හැම එකක්ම ඔයාව වෙනස් කරයි. ඒත් එක දෙයක් විතරක් නැති කරගන්න එපා.”

“මොකක්ද?”

“ඔයාගෙ තියෙන ඔය curiosity එක. හැමදේම ගැන අහන එක. හිතන එක. මිනිස්සු දිහා බලන එක. ඒක නැති කරගන්න එපා.”

“ඒකත් ඔයා notice කරලද?”

“මං ගොඩක් දේවල් notice කරනවා.”

හිත කිසියම් අමුතු හැඟීමකින් පිරී ගියේ නලින්ද්‍ර එසේ කියද්දීය. වාහනය විත් ගේ ළඟ නතර වුණේත් එයට පිළිතුරු දෙන්නට අවසර නොදෙමිනි.

“මෙතනින් නවත්තන්න”

නෙත්මලී සීට් බෙල්ට් එක ගලවා දොර විවෘත කරන්නට අත තැබුවේ ඒ අනුවය. එහෙත් නලින්ද්‍රගේ අත එයට ඉස්සර විය. නෙත්මලී දොර විවෘත කරන්නට පෙර නලින්ද්‍ර ඇගේ අත අල්ලා නතර කළේය. නෙත්මලී ආයෙමත් හැරී නලින්ද්‍ර දෙස බැලුවේ හිතාගන්නට බැරුවය.

ඊළඟ මොහොතේ නලින්ද්‍ර මඳක් නැඹුරු වී නෙත්මලීගේ නොඉඳුල්, සුමුදු මුදු කම්මුල මත ඉතා සැහැල්ලු හාදුවක් තැවරුවේය.

“Good night නෙත්.” කියා ඔහු මුදු හඬින් කණ අද්දරට කර කොඳුරද්දී, කණට වැටුණ කෙස් රොදක් පිටුපසට කරද්දී, ඔහුගේ උණුසුම් සුසුම් රැල් කණ කිතිකවද්දී නෙත්මලී කිසිවක් කියාගත නොහැකිව මොහොතක් එහෙමම ගල්ගැසී උන්නාය.

“Good night.” ඒ වචන එළියට ආවේ කැඩී කැඩීය.

දොර විවෘත කරගෙන එළියට බසින්නට පෙර ඇගේ දෙනෙත් අවසන් වතාවට ඔහුගේ මුහුණ මත නතර වුණේ එක තප්පරයකට ලැජ්ජා සහගත හැඟීමක් සමගිනි.

“නලින්ද්‍රට තියෙන්නෙ හරිම ලස්සන ඇස් දෙකක්” කියා නෙත්මලීට තේරුණේ ඒ වෙලාවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here