5th Avenue – 11

0
95

” මම ඉශිනි තාරකා වර්ණකුලසූරිය “

ශෙනෝලිගේ මුහුණේ සටහන් වී තිබුණු පුදුමයට පත් වූ ඉරියව්ව සැඟවීමට හැකි වූයේ නැත. තරුණිය සජීවී වැඩසටහනට සූදානම් වී සිටින රිහාන් දෙසද ඒ සිනහවෙන්ම බලා නැවත ශෙනෝලි දෙසට හැරුනාය.

” අපි ඊයේ හම්බ වුණාට මට බැරි වුණානෙ හරියට ඔයාට මාව introduce කරලා දෙන්න “

” මම ශෙනෝලි ” 

ශෙනෝලි නැවතත් ආයාසයෙන් සිනහවක් මුහුණට නංවාගෙන තමාව හඳුන්වා දුන්නේ වෙනත් යමක් ගලපා ගත නොහැකි වූ බැවිනි.

” මං දන්නවා. 5th Avenue එකේ main coordinator , එහෙම නැත්තම් බෑන්ඩ් එකේ backbone එක ” 

ශෙනෝලි තවත් යමක් කියන්නට පෙර කැමරා ශිල්පියා වැඩසටහන ආරම්භ කිරීම සඳහා වේලාව පැමිණ ඇති බව සංඥාවකින් පවසා සිටියේය. දෑත් බැඳගත් ඉශිනි ඒ දෙසට හැරී නොමැකුනු සිනහවකින් යුතුව නිවේදිකාව සමග එක පෙළට වාඩි වී සිටින 5th Avenue සාමාජිකයන් දෙස බලා හිඳිද්දී ශෙනෝලි තවදුරටත් ගොළුව උන්නාය.

පෙර දිනයේ පැවති සාර්ථක ප්‍රසංගයේ තොරතුරු සමගින් ආරම්භ වූ වැඩසටහන සංගීත කණ්ඩායමේ අත්දැකීම් සහ නව තොරතුරු සමගින් ඉතා සුන්දර ලෙස ගලා ගියේය. පළමුවෙන්ම අශේන් ඔහුගේම ගීතයක් ගායනා කළ අතර ප්‍රධාන පාලක මැදිරියට යොමු වීමෙන් අනතුරුව රිහාන් ගීයක් ගැයීමට සූදානම් වූයේය.

” නුපුරුදු ඔබ දුටු පළමු දිනේ 

සුපුරුදු ලෙස පෙනුනා

කෙදිනක හෝ විඳ පුරුදු ඇතී

සුසුම් සුවඳ දැනුනා

දැනුනා.. මට සුසුම් සුවඳ දැනුනා ” 

දෑස් පියාගෙන ගායනා කළ රිහාන් දෑස් හැර කැමරා ශිල්පියාට පිටුපසින් සිටගෙන සිටින ඉෂිනි දෙස බැලූ අතර ඒ සිව් දෑස් වල හමුවීම ශෙනෝලි පැහැදිලිවම දුටුවාය. ගීතය ගයා අවසන රිහාන් තම අසුනට නැවත බර වූයේ සංගීත කණ්ඩායමේ සහ නිවේදිකාවගේ සිහින් අත්පොළසන් හඬ මධ්‍යයේය.

” මං හිතන්නේ රිහාන් තමයි බෑන්ඩ් එකේ සයිලන්ට් ම කෙනා ? ” 

නිවේදිකාව රිහාන් දෙසට හැරුණාය.

” මට දැනෙන දේවල් මියුසික් වලින් express කරන එක තමයි මට අනුව ලේසිම දේ ” 

රිහාන් ලබා දුන් සරල පිළිතුර හමුවේ සියල්ලෝම මොහොතකට නිහඬ වූහ.ඒ තත්පර ගණනාවකටය.

” රිහාන් කිව්ව ඒ වචන ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම. මියුසික් කියන්නේ ඕනම දෙයක් හරි ලස්සනට කියන්න පුලුවන් භාෂාවක් කියල ප්‍රේක්ෂක ඔබත් පිළිගන්නවා ඇති “

ශෙනෝලි ඇසිපිය නොහෙලා ගල් ගැසී මෙන් රිහාන් දෙස බලා හිඳියේ ඔහුගේ මුහුණේ සටහන් ගැබ් වී ඇති හැඟීම් කියවා ගැනීමටය. එක් නිමේශයකදී එකවරම රිහාන්ගේ දෑස් ශෙනෝලි ගේ දෑස් මත නතර විය. එහෙත් ඔහුගේ දෑස් වල සිනහවක් හෝ වෙන යම් හැඟීමක් වත් සටහන් නොවූ අතර අනෙක් තප්පරයේදීම ඔහු වෙනතක් බලා ගත්තේ ශෙනෝලි ගේ හදවත මත සිහින් සීරිමක් වැනි වේදනාවක් ඇඳී යද්දීය.

තරුණයන් කිහිප දෙනෙකුගේ සංගීත දිවියේ අත්දැකීම්, ගීත කිහිපයක් සහ සිනා මුසු කතාබහක් සමඟ පැයකට ආසන්න කාලයකදී වැඩසටහන අවසන් විය. නිවේදිකාව ඇතුළු පිරිස තෘප්තිමත් සිනහාවකින් යුතුව තම අසුන් වලින් නැගී සිටියේ සැහැල්ලු හදවත් වලිනි.

“I survived another interview.”

අශේන් සිනාසෙමින් දෑත් එකතු කරමින් පවසද්දී සියල්ලෝම ඔහුගේ සිනහවට එකතු වූහ. නිවේදිකාව ඇගේ ජංගම දුරකථනයෙන් පුරුදු පරිදි සියලු දෙනාම සමග ඡායාරූප ලබා ගත් අතර ඇය ඉශිනි හටද ඡායාරූප ලබා ගැනීම සඳහා ඇරයුම් කළාය. ඇය ඉතා කැමැත්තෙන් පිරිස අතරට ගොස් රිහාන් අසලින් සිට ගෙන ඡායාරූප වලට පෙනී සිටියාය.ඒ අතරතුරේදී කැමරාවක් ගෙන පැමිණි ඡායාරූප ශිල්පියෙකුද ඔවුන්ගේ ඡායාරූප බොහෝමයක් ලබා ගත්තේ සමාජ මාධ්‍යවල පල කිරීම සඳහාය.

” ලබන මාසේ අපේ චැනල් එකෙන් චැරිටි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඔයාලත් අපිත් එක්ක සෙට් වෙනවනම් අපි කැමතියි. ඔයාලගේ පබ්ලිසිටි වලටත් ඒක හොඳයි මං හිතන්නේ “

ඉශිනි මේඝ වෙත පැමිණ පැවසුවාය. සංගීත කණ්ඩායම සඳහා මාධ්‍ය ආයතනයක සහයෝගයක් හෝ ප්‍රසිද්ධියක් ලැබෙන ඕනෑම දෙයකට මේඝ එකඟ වන්නේ දෙවරක් නොසිතාය. එහෙත් සාමාන්‍ය සිරිත නම් ඒවා පිළිබඳව රොහාන් එදිරිසිංහ සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමය.

” මං බෑන්ඩ් එකත් එක්ක කතා කරලා ඔයාට ඉන්ෆෝම් කරන්නම් ඉශිනි. අනික අපේ ඉස්සරහා වැඩත් එක්ක බෑන්ඩ් එක available ද කියලා බලන්නත් ඕන නේ ” 

මේඝ ඇග බේරා ගැනීම සඳහා එවැනි උත්තරයක් ලබා දුන් අතර ශෙනෝලි කිසිවක්ම නොකියා පසෙකට වී උන්නාය. 

මාධ්‍ය ආයතනය පිහිටි ගොඩනැගිල්ලේ පහල මාලයේ පිහිටි අවන්හලේ සංගීත කණ්ඩායම වෙනුවෙන් සංග්‍රහයක් සූදානම් කර තිබුනේ ඉශිනිගේ මූලිකත්වයෙනි. ඇය ඒ සඳහා සියලු දෙනාවම කැටුව ගොස් දිගු මේසයක කෙලවරේ රිහාන් අසුන් ගත් පසුව ඔහු අසලින්ම වාඩි වූවාය. 

” ඉතින් රිහාන් ” 

සියල්ලෝම තම තමන්ගේ කතා බහ වල නිරතව සිටිද්දී ඉශිනි රිහාන් වෙත නැඹුරුව දිගු කතා බහකට මුල පිරුවාය. ඇගේ දෑස් වල සටහන්ව ඇති නුපුරුදු දයාබර බව දෙස බලා සිටින්නට සිතුනත් රිහාන් වහාම කණ්ඩායමේ අන් අය තමා දෙස බලා සිටිනවා දැයි බලන්නට වටපිට බැලුවේය. සිදු වෙමින් පවතින්නේ තමා කිසිසේත්ම අපේක්ෂා නොකළ දේවල්ය. එහෙත් ඒ සෑම මොහොතකම ගැබ්වී ඇත්තේ මිහිරියාවකි. තමා ඒ වෙතම ඇදී යන්නේද පාලනයකින් තොරවය.

” ශෙනෝ.. ඔයා ඇයි අද සයිලන්‍ට්?” 

ශෙනෝලි ගේ එහා පස වූ අසුනට බර වූ අශේන් විමසුවේ ඔහුගේ අසුන ශෙනෝලිගේ අසුන දෙසට තවත් තල්ලු කර තබා ගන්නා අතරේය. දෑස් කොනෙන් පෙනෙන රිහාන් සහ ඉශිනි  සිටින්නේ එකිනෙකාට බොහෝ සමීපවය. නමුත් ඔවුන් කතාබහ කරනා කිසිවක් නෑසේ. එක් අතකට තමාට ඒවා දැන ගැනීමටද අයිතියක් නැත. වඩාත් සුදුසු වන්නේ පසෙකට වී හිඳීමය.

” ශෙනෝ ? ” 

අශේන් නැවත ශෙනෝලි ඇමතූ අතර ශෙනෝලි වහා අශේන් දෙස බැලුවාය.ඔහු හිඳින්නේ ඕනෑවට වඩා තමා සමීපයෙනි. එය ශෙනෝලි හට ගෙන දුන්නේ මහත් අපහසුවකි.

” මං ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා ? ” 

ශෙනෝලි වටපිට බලමින් තම අසුන මදක් මෙහාට කර ගත්තේ සිනහවක් මුහුණට නංවා ගන්නා අතරේය. 

” අ… මේ.. මොකද්ද ඇහුවේ ? ” 

” ඔයා මොකක් හරි අවුලකද ඉන්නේ? ඔයා අද ටිකක් සයිලන්ට් ? “

” එ..එහෙම නෑ අශේන් ” 

අවන්හලේ සේවකයෙකු පැමිණ කෙටි කෑම වර්ග ඇසිරූ ලී තැටි කිහිපයක් ගෙනවිත් මේසය මතින් තබා අනතුරුව උණුසුම් කෝපි කෝප්ප ද ගෙනවිත් පිළිගැන්වීය.

” චැනල් එකකින් අපිට මෙච්චර සලකනවමද මන්දා ” 

මේඝ කෝපි කෝප්පයෙන් බිඳක් තොල ගෑවේය.  කණ්ඩායමේ අනෙක් සාමාජිකයෝද , නිවේදිකාවද පෙර දිනයේ පැවති ප්‍රසංගයේ තොරතුරු කතාබහ කරමින් සිනාසෙමින් කාලය ගත කරද්දි රිහාන් ඉශිනි සමඟ දිගු කතා බහකට මුල පුරමින් උන්නේය.

” ප්‍රෝගෑම් එකේ ෆොටෝස් දාලා චැනල් එකේ පේජ් එකේ ” 

නිවේදිකාව උන්නේ සතුටෙනි. ඒ සමගම ඇය ඇගේ ජංගම දුරකථනයේ වූ ඡායාරූපද සමාජ මාධ්‍ය වෙත එකතු කළාය. ශෙනෝලි දුරකථනය ගෙන නාලිකාවේ ෆේස්බුක් පිටුවට යොමුවී විනාඩි කිහිපයකට පෙර එයට එකතු කර තිබුණු වැඩසටහනේ ඡායාරූප ගොන්න වෙත අවධානය යොමු කළාය.

වැඩසටහන අවසානයේ නිවේදිකාව විසින් ඡායාරූප ගන්නා අතරතුරේදී එයට එකතු වූ ඉෂිනිගේ සහ ඇගේ කරට අත දමාගෙන සිටින රිහාන්ගේ වෙනම ඡායාරූපයක්ද එම ඡායාරූප ගොන්නට ඇතුළත් විය. ශෙනෝලි ඒ දෙස බලා උන්නේ ඒ වන විටත් එය ප්‍රේක්ෂකයන්ගේ අවධානයට යොමු වී තිබූ බැවිනි.

” අපි සෙල්ෆි එක ගන්න වෙලාවේ photographer ගත්ත මරු ෆොටෝ එකක් තියෙනවා ඕන්න. දැනටමත් කමෙන්ට්ස් හත අටක් වැටිලා ” 

සිහිනද රිහාන් ගේ සහ ඉශිනිගේ ඡායාරූපය දැක තිබිණි.අනතුරුව සියල්ලන්ගේම අවධානය යොමු වූයේ එම ඡායාරූපය වෙතය. එය දුටු ඉශිනිගේ මුහුණේද සටහන් වූයේ ප්‍රබෝධමත් බවකි. ඇය වහා එය ජංගම දුරකථනයට බාගත කර ගත්තාය.

තවත් බොහෝ වේලාවකට පසුව සියලු දෙනාම පිටත් වන්නට සූදානම් වූයේ ඒ වන විටත් රාත්‍රී දහයට ආසන්න වූ බැවිනි. සියලු දෙනාම නැවත නැවතත් ඉශිනිට ස්තූතිවන්ත වෙමින් ඇයට සමුදුන් අතර අවසානයට ඇය වෙත පැමිණියේ රිහාන්ය. පිටව යන්නට සූදානම් නොවූ ශෙනෝලි ඔවුන් දෙදෙනාගේ එම අවස්ථාවද පැහැදිලිවම දුටුවාය.

“I hope we’ll meet again soon.”

ඉශිනි පැවසුවේ බොහෝ ලෙන්ගතුවය. එම හඬය ගැබ්වී තිබුණේ පිටස්තරයකු වෙත අමතනා හඬක් නොවූ නිසා ශෙනෝලි ඉන් බොහෝ දේ වටහා ගත්තාය.

“I’m sure we will.”

රිහාන්ගේ පෙරළා ඉශිනි වෙත ලබාදුන් එම පිළිතුර නතර වූයේ ශෙනෝලිගේ හදවතේ පතුලකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here