ස්ටූඩියෝව යථා තත්ත්වයට පත් වෙමින් තිබිණි. ශෙනෝලි අවසන් කළ යුතුව තිබුණු කාර්යයන් කිහිපයක් සහ ඇය විසින් ලබාගත යුතුව තිබුණු දුරකථන ඇමතුම් කිහිපයක් මේඝ ස්ව කැමැත්තෙන්ම භාර ගත්තේය. එළඹෙන දිනය විවේකී දිනයක් ලෙස ගත කිරීමටත්, නුවරඑළිය බලා යාමට පිටත් වීමට කටයුතු සූදානම් කර ගැනීමටත් සියල්ලෝම තීරණය කර තිබුණු බැවින් ශෙනෝලි තරමක් යථා තත්ත්වයට පත්වුණු පසුව පැය ගණනාවක් පුහුණු වීම් සඳහා වෙන් කෙරිණි.
” මට දැන් අවුලක් නැහැ.මෙහෙම නිකං බලාගෙන ඉන්න එක හෙන කම්මැලියි නේ “
ශෙනෝලි වරින් වර මැසිවිලි නැගුවාය.එහෙත් කිසිවෙකුත් ඇයට සවන් නොදී පුහුණු වීම් වල නිරත වූහ
” කම්මැලිකම කියලා දෙයකුත් මේ ලෝකෙ තියනව කියල එහෙනම් දැන් ඔයා ඉගෙන ගන්න ශෙනෝ “
අශේන් සිනාසෙමින් දුරකථනයේ වූ ගීතයක පද පේළි කෙරෙහි අවධානය යොමු කළේය. රිහාන් සම්පූර්ණයෙන්ම පුහුණුවීම් කෙරෙහි අවධානය යොමු කර ඇති බවක් පෙනෙන්නට තිබුණද ඔහු උන්නේ ශෙනෝලි කෙරෙහිද විමසිලිමත් වෙමිනි.
මේඝ විසින් දහවල් ආහාරය ඇණවුම් කර තිබුණේ ආහාර ගෙන ඒම සඳහා පිටතට යන වේලාවද ඉතිරි කර ගැනීමට සිතමිනි. සියල්ලෝම දහවල් ආහාරය සඳහා සූදානම් වෙද්දී රිහාන්ගේ දුරකථනය නාද වූ අතර ඔහු ක්ෂණයකින් නැගිට ස්ටූඩියෝවේ දොර විවෘත කරගෙන පිටතට පැමිණියේ දුරකථන ඇමතුම ක්‍රියාත්මක කර දුරකථනය කනේ තබා ගනිමිනි.
” කියන්න ඉශිනි. සොරි මට ඔයාගේ කෝල්ස් මිස් වුණා “
උදෑසන සිටම මග ඇරුණු ඇමතුම් කිහිපය පිළිබඳව රිහාන් වෙතින් නිදහසට කරුණු පිට වූයේ ඉබේටමය.
” මිස් උනාද?මිස් කලාද රිහාන් ?”
ඉශිනි හිඳින්නේ තරමක නොරිස්සුමකින් යැයි රිහාන්ට සිතුනේ ඇයගේ ස්වරයෙනි.එහෙත් ඔහු එය නොතකා ඉන්නට උත්සාහ කළේය.
” එහෙම දෙයක් නෙවෙයි.උදේ ස්ටූඩියෝ එකේ පොඩි ඉන්සිඩන්ට් එකක් උනා.ඒකෙන් හැමෝම පොඩ්ඩක් කලබල වෙලා හිටියේ. ඊට පස්සේ දිගටම ප්‍රැක්ටිස් කලා.මොකද අපිට අද විතරයිනේ තියෙන්නේ “
” ඇයි මොකද උනේ?”
” ශෙනෝලි ෆේන්ට් උනා “
එය අසා ඉශිනි කලබලයට පත් වේ යැයි කියා බලාපොරොත්තු වුවද සැබවින්ම එවැන්නක් සිදු වූයේ නැත.
” ආ ඒකද? මම හිතුවා මේ ඕගොල්ලෝ කවුරුහරි ගහ ගත්තවත්ද කියලා “
රිහාන් මොහොතකට ව්‍යාකූල වූයේය. ඉශිනි යනු තෙත හිතක් ඇත්තියක යැයි සිතා සිටීමම අනුවණකමකැයි ඔහුට සිතුනේ ඇය ලබා දුන් ඒ පිළිතුරෙන් පසුවය
” ඉතින් ඔයාලා එයාව හොස්පිට්ල් එකකටවත් අරගෙන ගියේ නැද්ද ? “
ඉශිනි නැවත ඇසුවේ දුරකථන ඇමතුමේ අනෙක් පස සිටි රිහාන්ගේ නිහඬ බව හේතුවෙනි.
” එයා ඊයේ ඉඳන් කාලා ඉඳලා නැහැ.මං හිතන්නේ ඒකයි “
ශෙනෝලි පිළිබඳව පැවසීම පිළිබඳව නැවත වාරයක් පසුතැවෙමින් රිහාන් පිළිතුරු දුන්නේය.
” ඉතින් එයා දැනගන්න එපැයි එයා ගැන බලාගන්න? ඔයාලට මියුසික් ෆෙස්ටිවල් එකකට යන්නත් තියෙද්දි එයා මෙහෙම පිස්සු නටලා හරියන් නෑනේ “
” මම දැන් ලන්ච් වලට යන්න ඕනේ ඉශිනි. මං ඔයාට පස්සේ ගන්නම් “
රිහාන් හට උවමනා වූයේ කතා බහ අවසන් කරන්නටය. මේ මොහොතේදී තමා තුළ ඉශිනි පිළිබඳව හදිසියේ නොරිස්සුමක් ඇති වූයේ ඇය ශෙනෝලි හට සිදුවූ දේ පිළිබඳව ඒ තරම් තැකීමක් නොකළ නිසාද, එසේත් නැත්නම් තමා වෙනත් යුවතියක නිසා ඇය ගේ දුරකථන ඇමතුම් මඟ හැරීම නිසා ඇතිවූ කෝපය නිසා දැයි කල්පනා කරන්නට නැවතෙන්නටවත් රිහාන් තුළ උවමනාවක් වූයේ නැත.
” ඔයාට පුළුවන්ද හවසට මාව මීට් වෙන්න ? “
එවර ඉශිනි ගේ කටහඬ තුළ ගැබ් වූයේ පෙරට වඩා මෘදු බවකි. දැනටමත් තමා වෙහෙසට පත් වී සිටින මොහොතක හවස් වරුවේ එවැන්නක් සඳහා කාලය යොමු කරන්නට සිතන්නටවත් නොහැකි බවට සිතුවිල්ලක් ඒ වන විටත් රිහාන් තුළ විය.
” අද බැරිවෙයි ඉශිනි. ටිකක් ටයර්ඩ් ”
” Ok then “
දුරකථන ඇමතුම අවසන් වූ පසු ඉශිනි මොහොතක් කල්පනා කළාය. රිහාන් ශෙනෝලි පිළිබඳව පැවසීම ගැටලුවක් නොවේ. නමුත් උදෑසන සිට තමාගේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදීමට හේතුවක් හෝ කෙටි පණිවිඩයකින්වත් පවසන්නට තිබුණා නොවේදැයි ඉශිනි සිතුවාය. ශෙනෝලි නිරන්තරයෙන් ගැවසෙන්නේ රිහාන් ඇතුළු කණ්ඩායම් සාමාජිකයන් සමගමය.ඔවුන්ගේ සියලු දෑ සොයා බලන්නේද ඇයය. සමස්ත කණ්ඩායම ගත් කළ වැඩිපුරම කැපී පෙනෙන්නේ ද ඇයය. ඕනෑම දෙයක් විමසීම සඳහා සියල්ලන්ම අමතන්නේ සහ බලාපොරොත්තු වන්නේ ද ඇයවමය.
ඉශිනි තුළ නැගෙමින් තිබුණේ ඉරිසියාවකි. තමා අවට නොසිටින අවස්ථාවලදී පවා රිහාන් අසල සිටින්නේ ශෙනෝලි ය. තමාව වසර ගණනාවක් පුරාවට රිහාන්ව ලුහුබැඳ ගියද ඔහුගේ ජීවිතයේ බොහෝ දේ තමාට වඩා දන්නා තැනැත්තිය ශෙනෝලි විය යුතුය.
සංගීත කණ්ඩායමේ සාමාජිකයන් අතරින් වඩාත් කැපී පෙනෙන්නේ රිහාන් සහ අශේන්ය.ඒ අතරින් තමා ඇතුළු බහුතරයක් තරුණියන්ගේ ආකර්ෂණය දිනාගෙන සිටින්නේ රිහාන් ය. එවැනි පසුබිමකදී නුවරඑළිය ගමනේදී පවා ශෙනෝලි මීටත් වඩා රිහාන්ට ලං වීමේ ඉඩකඩ ඇත.
ඉශිනි උන්නේ ඇතුලාන්තයෙන් දැවෙමිනි. නාලිකාවේ වැඩසටහන් කිහිපයක් පිළිබඳව සැලසුම් කිරීමට තිබුණු බැවින් ඇය හැකි තාක් සාමාන්‍ය ලෙස හැසිරෙන්නට උත්සාහ ගත්තාය.ඒත් ඒ සෑම මොහොතකම ඇය තව තවත් දැවෙන්නට පටන් ගත්තාය.වරින් වර දුරකථනය අතට ගෙන රිහාන්ගෙන් කෙටි පණිවිඩයක් හෝ පැමිණ ඇති දැයි ඇය පරීක්ෂා කළාය.
5th Avenue ස්ටූඩියෝව හවස් වරුවේදී තිබුණේ බොහෝ කාර්යබහුල වීය. සංගීත උළෙලට පෙර පුහුණුවීම් පැවැත්වෙන අවසාන හෝරා කිහිපය නිසා සියල්ල සර්ව සම්පූර්ණ කර ගැනීම සියලු දෙනාගේම අධිෂ්ඨානය බවට පත්වී තිබිණි. ඒ අතරතුරදී මේඝ , ශෙනෝලි වෙනුවට සංවිධායකවරුන් හා සම්බන්ධ වෙමින් ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් ආදිය පිළිබඳව පරීක්ෂා කර බැලුවේය. කිසිවක් නොකර විවේකීව සිටීම ප්‍රතික්ෂේප කල ශෙනෝලි කණ්ඩායම් සාමාජිකයන් සඳහා සංගීත උළෙලට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ආදිය පිළිබඳව සොයා බැලූවාය.
පුහුණුවීම් අවසන් කෙරුණේ සවස හතට පමණය. තම බඩු බාහිරාදිය සූදානම් කරගත් සියලු දෙනා ශෙනෝලි වාඩි වී සිටි සෝෆාව වට කරගෙන වාඩි වුයේ කතාබහ කිරීමට යමක් ඇත්නම් කතාබහ කර ගැනීමටය.
රිහාන් සහ අශේන් අනාරාධිතවම ශෙනෝලි වාඩිවී සිටි සෝෆාවේ ඇය දෙපසින් වාඩි වූහ.
” කවුරුත් හෙට දවසෙ නම් මට කෝල් කරන්න එපා.මම දවසම නිදා ගන්නවා “
අශේන් සුපුරුදු පරිදි සියල්ලන්ගේම සිනහව අවදි කළේය.
” අපි හෙට ප්‍රැක්ටිස් නොකලට අපිට කරන්න වැඩක් තියෙනවා “
මේඝ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් සියල්ලන් දෙසම බැලුවේය.
” ඒ පාර මොකද්ද? අපි ඔක්කොම ෆයිනලයිස් කරගෙන නේද තියෙන්නේ ?”
සම්පූර්ණ දිනයක්ම වෙහෙස මහන්සි වී සියල්ලම අවසන් වූ පසුව තවත් අඩුපාඩුවක් ඉතිරිව ඇතැයි සිතන්නට රිහාන් මැළි වූයේය.
” හෙට අපි කවුරුත් මීට් වෙන්නෙ නැති එකේ කවුරු හරි ශෙනෝලි ගේ මීල්ස් ගැන බලන්න ඕනේ. මං හෙට යනවා ඔයාලගේ ඇඳුම් ටික අරගෙන එන්න. කාටද පුලුවන් ශෙනෝලි ගේ මීල්ස් ගැන බලන්න ? ”
ශෙනෝලි ප්‍රථම වතාවට මේඝ පිළිබඳව පුදුම වූවාය.රාජකාරිය තුළදී ඔහු සමග ඇතිවූ මත ගැටුම් සහ හිත් රිදීම් බොහෝ වුවත් ඔහු මේ අවස්ථාවේදී තමා කෙරෙහි මෘදු හිතක් සහිතව හැසිරීම පුදුම සහගතය.
” අනේ ප්ලීස් මේඝ. මට දැන් අවුලක් නැහැ. මට හෙට දවස මැනේජ් කරගන්න පුළුවන්. “
” No arguments. මම හෙට මෙයාව බලාගන්නම් “
රිහාන් වහාම පිළිතුරු දුන් අතර සියලු දෙනාම ඔහු දෙස බැලුවේ පුදුමයෙනි. තමා පිළිතුරු දුන් ආකාරයේ වැරැද්දක් ඇති බව ඔහු හට වැටහුනේ අනතුරුවය.
” I mean… I can bring her food.”
රිහාන් නැවත පැවසුවේය.එහෙත් ශෙනෝලි උන්නේ සියලු දෙනාම තමා පිළිබඳව වද වීම කෙරෙහි දැනෙන අපහසු හැඟීම සමගය.
” අනේ මං කිව්වනේ මට මැනේජ් කරගන්න පුළුවන් කියලා. I ‘ ll be fine “
රිහාන්ව වළක්වන්නට ශෙනෝලි ගත් උත්සාහය ඔහු බිඳක් හෝ තැකීමට ලක් කළේ නැත.
” I don’ t care “
කතාබහ කර ගැනීමට තිබූ තවත් කාරණා කිහිපයක් කතාබහ කරගැනීමෙන් අනතුරුව සියල්ලන්ම නිවෙස් වලට යාමට පිටත් වීමට තවත් පැයක් පමණ ගතවිය. ශෙනෝලි කුලී රථයක් ගෙන්වා ගෙන එය පැමිණි පසුව සෙමෙන් පඩිපෙළ බැස වාහන අංගනය වෙත පැමිණෙන විට රිහාන් තම වාහනය අසලට වී බලා සිටියේය.
” ශෙනෝලි.මං උදේ හත වෙද්දි ඔයාට බ්‍රෙක්ෆස්ට් අරන් එනවා “
රිහාන් කීවේ විධානයක ස්වරයෙනි.
” ඇත්තටම ඔයා එනවද ? “



