ආදරයට අවසානයක් තියෙනවද?

තමන්ට ආදරේ කරන මිනිහෙක්ට තමනුත් ආදරේ කරන්න ඕන කියලා නියමයක් නෑ. 

හැබැයි තමන්ට ආදරේ කරන බව කිව්ව, ආදරේ කරන මිනිහෙක්ට ඒ ආදරේ නාමයෙන් ලැජ්ජ කරන එක, අපහසුතාවයට පත් කරන කරන එක, අපහාස කරන එක, ප්‍රයෝජන ගන්න එක කැතයි

ඒක අවම සදාචාරය කැඩීමක්

නිව්ටන්ගෙ තුන් වෙනි නියමයට දාන්න බැරි ක්‍රියාවක් මේ ලෝකෙ තියෙනවා

ඒ තමයි ආදරේ

සෑම ක්‍රියාවකටම ඒ හා සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් පවතී කිව්වට

ආදරේ කියන ක්‍රියාව කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් යෙදුව පමණින් ඒ ප්‍රතිවිරුද්ධ කෙනා සමාන ක්‍රියාවකින් පිළිතුරු දෙන්න ඕන නෑ.

ඒකපාර්ශ්වීය ආදර කතාත් මේ ලෝකෙ තියෙනවා. ඒකයි ආදරය කිසිම නියමයකට යටත් නැත්තෙ.

කරවිල කාපු එකා විතරයි දන්නෙ කැරට් කොච්චර පැණි රහද කියන එක. තිත්ත අඳුරන්නෙ නැති මිනිහෙක්ට කවදාවත් බෑ පැණි රසක් ගැන කතාකරන්න.

අර සිංදුවක් තියෙන්නෙ,

කඳුළු බිඳුවක රැඳෙන ගින්දර

හිනාවක් හඳුනන්නේ නෑ…. කියලා. 

ඇත්තටම සන්තෝසෙ හොඳටම අඳුරන්නෙ හොඳටම දුක් වින්ද, අඬපු මිනිස්සු විතරනෙ. ඒ කිව්ව කතාව හරියටම හරි කියලා ඔයාට පිළිගන්නවද? අපි සමහරවෙලාවට හිතනවනෙ මුලු ජීවිත කාලෙම හිනාවෙලා ඉන්න ඇහැකිනම් හොඳයි කියලා. ඒ උනාට ජීවිතේ එකපාරක් හරි අපි නැතිවෙන්න ඇඬුවොත් විතරයි අර ඉතුරු කාලෙ අපිට ලැබෙන සන්තෝසෙ වටිනකම අපිට තේරෙන්නෙ. ඒ සන්තෝසෙ පරිස්සම් කරගන්න අපි මහන්සි වෙන්නෙ.

සමහරවෙලාවට අපි වැඩිපුරම ආදරේ කරන දේවල් එන්නෙ මහ දුකකුත් එක්ක. හැබැයි ඒ දුක අස්සෙම කොහේ හරි තැනක හීනියට හිත කීරිගස්සන සන්තෝසෙකුත් නැත්තෙම නෑ නේද? 

ඒක හරියට අර බුදු හාමුදුරුවො දුශ්කර ක්‍රියා කරන කාලෙ, කොච්චර දුකක් වුනත් ඒක අල්ලගෙන හිටියෙ “මං මේක කරලා ඉවර වෙලා කවදහරි බුදු වෙන්න පුලුවන් උනොත්” කියන හීනි සන්තෝසෙ හිත අස්සෙ තිබ්බ හන්දා වෙන්නැති.

සමහරවිට ආදරේ කියන්නෙ අපිට ඕන දේ ලබාගන්න එක නෙවෙයි, අපිට දැනෙන දේ තේරුම් ගන්න එක. ඒක සර්ව සාධාරණ ගනුදෙනුවක් නෙවෙයි. ඒක “මම ඔයාට ආදරෙයි, ඒ නිසා ඔයා මටත් ආදරේ කරන්න ඕනෙ” කියන එකත් නෙවෙයි.

ඇත්ත ආදරේ ඉල්ලන්නෙ ධෛර්යයක්. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී දෙයක් දෙන්න තියෙන ධෛර්යය, ප්‍රතික්ෂේප වීම බාරගන්න තියෙන ධෛර්යය, අල්ලගෙන ඉන්න තියෙන ධෛර්යය, රිදෙන්න පටන් ගන්නකොට අතහරින්න තියෙන ධෛර්යය.

මොකද සමහර වෙලාවට ආදරේ එන්නෙ අපව සතුටු කරන්නම නෙවෙයි. ඒක එන්නෙ අපිට උගන්වන්න. ඒක අපිට ඉවසීම, සමාව දීම, සහ මිනිස්සු ඇත්තටම ඉන්න විදිය දකින්න උගන්වනවා. සමහර වෙලාවට අපි ආදරේ කරන කෙනා ඉන්න බලාගෙන ආපු කෙනෙක් නෙවෙයි. එයාලා ආවෙ මෙච්චර කාලයක් නිදාගෙන උන්න අපේ හිතේ යම් කොටසක්, අපේ තේරුම්ගැනීමේ යම් කොටසක් අවදි කරන්න. එයාලා අපේ ජීවිතේට එන්නෙ කණ්ණාඩියක් වගේ. අපිට නොදැන හිටපු අපේ කොටස් එයාලා අපිට පෙන්වනවා. අපේ sensitive තැන් මොනවද, අපේ needs, strenghts, boundaries මොනවද කියන එක අපිට පෙන්වන්න. අ

ඒකයි ආදරේ කවදාවත් නැති වෙන්නෙ නැත්තෙ. අවසන් වෙන ආදරේ පවා, රිදෙන ආදරේ පවා, දෙයක් ඉතිරි කරනවා. ඒක පාඩමක්, මතකයක් වගේ ඉතුරු වෙනවා. 

අපි ආදරේ කරන කෙනෙක්ව නැති කරගන්නකොට, හැමදේම නැවතුණා වගේ දැනෙන එක හරිම සාමාන්‍ය දෙයක්. එළියෙ ලෝකෙ වෙනස්කමක් වෙලා තිබුණෙ නැතත් අපිට දැනෙන්නෙ ඒක වෙනස් විදියට. අපි වටපිට බලලා පුදුම වෙනවා, ඇයි මිනිස්සු හිනා වෙන්නෙ, වැඩ කරන්නෙ, ජීවත් වෙන්නෙ කියලා හිතනවා. අපි ඇතුළෙන් කඩා වැටෙද්දී, ඒත් කාලයත් එක්ක, ආදරේ reality එක තේරෙන්න පටන් ගන්නවා

වේදනාව කියන්නෙ ඇත්ත ආදරේ පස්සෙන් එන හෙවණැල්ලක්. ඒ දෙක වෙන් කරන්න බෑ. ඔයා ගැඹුරට ආදරේ කරන තරමට, ඔයාට රිදෙන තරම වැඩිවෙනවා. ඒත් ඒ රිදීමෙන්ම ඔයාට උගන්වනවා ඔයාගෙ හදවතට කොච්චර ගැඹුරට යන්න පුළුවන්ද කියලා, ඔයාට දේවල් කොච්චර දැනෙනවද කියලා.

සමහර අය ඒකෙන් හැංගෙන්න හදනවා. එයාලා තීරණය කරනවා, “මම ආයෙ කවදාවත් ආදරේ කරන්නෙ නෑ. Not worth it” කියලා. ඒත් ආදරේ කියන්නෙ ඔයාට සම්පූර්ණයෙන්ම වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ආයෙත් ඔයාව හොයාගෙන එනවා. සින්දුවකින්, හිනාවකින්, ඔයා නොහිතපු මොහොතක, මතකයක් විදියට එනවා. මේ පාරට වඩා වෙනස් විදියට එනවා. 

අපව මනුස්සයෙක් කරන්නෙ අන්න ඒ හැඟීම. අපිට රිදෙනවා, අපි සුව වෙනවා, ඊට පස්සෙ ආයෙත් අපි උත්සාහ කරනවා. සමහරවිට ආදරේ ලස්සන වෙන්නෙත් ඒකයි මොකද ඒක වේදනාව මැදින් වුණත් develop වෙන්න  පාර හොයාගන්න හන්දා.

ආදරේ සාමකාමී වෙන්නෙ ඔයා එක්ක control නොකරන තාක්කල්. ඔයා “ඇයි එයාලා මට ආදරේ කළේ නැත්තෙ?” නැත්තම් “ඇයි එයාලා ගියේ?” කියලා අහන එක නවත්වනකොට. ඔයා දකින්න පටන් ගන්නවා ආදරේ හැමවෙලාවෙම දෙන්නෙක්ගෙ එකතුවීමකින් අවසන් වෙන්න ඕනෙ නැහැ කියලා. සමහරවිට ආදරේ අරමුණ වුණේ ඔයාව sensitive කරන එක, දැනුවත් කරන එක, නැත්තම් අවදි කරන එක විතරයි. 

සමහරවිට රහස තියෙන්නෙ ආදරේ කොච්චර කල් තිබුණද කියලා මනින එක නතර කරලා, ඒක ඔයාගෙ ආත්මයට කොච්චර ගැඹුරින් දැනුණද කියලා දකින්න පටන් ගන්න එකේ. 

ඉතින් ඔයා කවදාහරි ඔයාට ආදරේ නොකළ කෙනෙක්ට ආදරේ කළා නම්, ඒක අසාර්ථකත්වයක් විදියට දකින්න එපා. ඒක දුර්වලකමක් නෙවෙයි, ඒක ශක්තියක්. 

මොකද ආපහු ලැබීමක් නැතුව ආදරේ කරනවා කියන්නෙ ඔයාගෙ හදවත රිදේවි කියලා දැන දැනත් කෙනෙක්ට දෙයක් දෙන්න තරම් ධෛර්යවත් වුණා කියන එක.

ඒක ලොකුම ලොකු learning එක. ඒ learning එක ලබාගන්න පුළුවන් එහෙමත් හිතේ හයියක් තියෙන කෙනෙක්ට විතරයි.

Related Articles

Don't Miss


Latest Articles