5th Avenue – 40

0
635

රිහාන් හදිසියේ අසුනෙන් නැගිට ඉවතට යන විට ඒ පිළිබඳව උනන්දු වූයේ මේඝ පමණක් වූ අතර අන් කිසිවෙකු රිහාන් ඉවතට යාම පිළිබඳව උනන්දු වූයේ නැත.  ඒ රාත්‍රියේදී ඔහු තීරණයකට එළඹ උන්නේ ඉශිනි බලාපොරොත්තු වී හිඳි ආකාරයටමය. කණ්ඩායමේ අන් අය ප්‍රසංගය රස විඳින අතරතුර ඉන් ඉවතට පැමිණි රිහාන් ඇයට දුරකථන ඇමතුමක් ගෙන ඇය වෙත තම අදහස පැවසුවේ තවමත් ඔවුන් එකිනෙකා බොහෝ දුර නොහඳුනන බැවින් ඒ සඳහා කාලයද අත්‍යවශ්‍ය බව ඇයට මතක් කර දෙමිනි. බලාපොරොත්තු නොවූ මොහොතක ලැබුණු දුරකථන ඇමතුමෙන් උද්දාමයට පත් වූ ඉශිනි උන්නේ මුළු ලෝකයම තමා වෙත අයිති වූවා වැනි හැඟීමකිනි.

රිහාන් තම තීරණය ඉශිනි හා පැවසීමෙන් අනතුරුව නැවත තම අසුන වෙත පැමිණියේ බොහෝ වේලාවකින් පසුවය. ඒ වන විටත් ප්‍රසංගය අවසන් වීමට ආසන්නව තිබූ අතර, ඔහු නැවත පැමිණි බව දුටු මේඝ ඔහු දෙස උනන්දුවෙන් මෙන් බැලුවද කිසිවක් නොවිමසුවේ ඔහු හදිසියේ ඉවතට ගියේ පෞද්ගලික කාරණයක් නිසාවෙන් යයි අනුමාන කරමිනි. රිහාන් විශේෂ වූ කිසිවක් නොපවසා අනෙක් අය සමඟ නැවත ප්‍රසංගය රස විඳින්නට එක් වූයේ තමන්ගේ සිත තුළ පැවති දෙගිඩියාව මුසු හැඟීම් අවසානයේ යම් තීරණයකට පැමිණ තිබීමෙන් ලද සැහැල්ලුවත් සමඟය. 

ශෙනෝලි ඒ වන විටත් ඔහුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවන්නාක් මෙන් සාමාන්‍ය ලෙසම අන් අය සමඟ ප්‍රසංගය රස විඳිමින් සිටි අතර, රිහාන්ද ඒ වෙනස තවදුරටත් සොයන්නට නොගියේ ඔහුගේ සිත ඉශිනි කෙරෙහි ගත නොහැකිව තිබූ තීරණයක් පිළිබඳව අවසානයේදී කෙසේ හෝ ස්ථිර වී තිබූ බැවිනි.

ඊළඟ දිනය 5th Avenue සියලු දෙනාම නුවරඑළියේ අවට ඇවිදිමින්, දහවල් ආහාරයද පිටත අවන්හලකින් ගෙන නිදහසේ ගෙවා දැමූ අතර, ඒ මුළු දවස පුරාම ශෙනෝලිගේ හැසිරීමේ කිසිදු වෙනසක් දක්නට නොතිබුණි. ඇය පෙර දිනයන් වල මෙන්ම රිහාන් සමඟද අනෙක් අය සමඟද සැහැල්ලුවෙන් කතා කරමින්, සිනාසෙමින් සහ ඔවුන්ගේ විහිළුවලට එකතු වෙමින් සැහැල්ලු ලෙස උන්නාය. 

ඇතැම් අවස්ථා වල රිහාන් මඳකට පිරිසෙන් ඉවතට ගොස් දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙන ආකාරයත්, තවත් විටෙක ඉශිනි සමඟ වීඩියෝ ඇමතුමක සිටින ආකාරයත් පැහැදිලිව පෙනුණද ශෙනෝලි ඒ කිසිවක් ගැන විශේෂ අවධානයක් යොමු කළේ නැත. ඇය එය ඉතා උපේක්ෂාවෙන් භාරගෙන තමන් ගෙවා දමමින් සිටි නිදහස් දිනයේ සන්තෝෂය අඩු කර නොගෙන අනෙක් අය සමඟ සැහැල්ලුවෙන් ඒ අත්දැකීම විඳගත්තාය.

දහවල් කාලය පුරාම නුවරඑළියේ වූ සීතල පරිසරයේ ඇවිදිමින්, නොයෙකුත් ස්ථාන වල නතර වෙමින්,ඡායාරූප ගනිමින් කාලය ගෙවා දැමූ කණ්ඩායම් සාමාජිකයන් සියලු දෙනා නැවත හෝටලයට පැමිණියේ සවස් වරුවේය.පැයක පමණ විවේකයක් ගත් ඔවුන් අඳුර වැටීගෙන එන විට නැවත සංගීත උළෙල පැවැත්වෙන පරිශ්‍රය වෙත ගියේ එදින පැවැත්වෙන ප්‍රසංගයද නැරඹීම සඳහාය. පෙර දිනට වඩා සැහැල්ලු වාතාවරණයක් අතරින් ඔවුන් එම රාත්‍රිය ගෙවා දැමූ අතර, පසුදා උදෑසන වන විට සියලු දෙනාගේම අවධානය යොමු වී තිබුණේ නැවත කොළඹ බලා පිටත් වීම කෙරෙහිය.

සියලු දේ සූදානම් කරගත් පසුව ඔවුන් හෝටලයේ සේවකයන් හට සමුදෙන්නට පටන් ගත් අතර, ගෙවී ගිය දින කිහිපය පුරාම ඔවුන් සමඟ කටයුතු කළ සංවිධායකවරුන් කිහිප දෙනෙකුද ඔවුන්ට සමුදීම සඳහා උදෑසනම හෝටලය වෙත පැමිණ සිටියහ. 

“අනේ මට නම් ආපහු කොළඹ යන්න හිතෙන්නෙම නෑ,අයියෝ.. මාව මෙහේ තියලා යන්නකෝ “

වෑන් රථයට නැගීමට පෙර වටපිට බලමින් අශේන් පැවසුවේ නුවරඑළියේ සිසිල් සුළඟ තවත් මොහොතක් හෝ විඳගන්නට උවමනාවෙනි.

” ඔයා මෙහේ නතර වෙන්න. අපි අලුත් vocalist  කෙනෙක් හොයා ගන්නම්. ශෙනෝලි අපේ සෝෂල් මීඩියා වල දාන්න පෝස්ට් එකක් ලෑස්ති කරන්න පුලුවන් ඉක්මනට “

මේඝ සිනාසෙමින් වෑන් රථයේ පසුපස අසුනක් වෙත ගොස් සුවපහසු ලෙස අසුන් ගත් අතර ශෙනෝලි ඇතුළු අන් අයද එම සිනහවට එකතු විය.

” මගෙන් එහෙම ලේසියෙන් ගැලවෙන්න පුළුවන් කියලද උඹල හිතාගෙන ඉන්නේ ? ” 

” ඉතින් ඔයානේ කිව්වෙ අශේන් ඔයාට නවතින්න ඕනේ කියලා ? “

ශෙනෝලි වෑන් රථයට නැග රියදුරු අසුනට පිටුපස අසුනේ කෙළවරක වාඩි වූයේ අශේන් හට ඉඩ තබමිනි.

“නවතින්න පුළුවන් නම් හොඳයි. කොළඹ ගියාම උදේ ඉඳන් රෑ වෙනකන් වැඩනේ. මෙහෙ තියෙන climate එකත් එක්ක මනුස්සයෙක්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. කොළඹ ගියාම ඒකත් ඉවරයි.”

එයට එකඟ වන්නාක් මෙන් යන්තමින් හිස සලා සිනාසනු රිහාන් සුපුරුදු පරිදි වෑන් රථයේ ඉදිරිපස අසුනට බරවී දොර වසා ගත්තේය.

සියල්ලෝම රථයට නැගුණු පසු ඔවුන්ගේ ගමන නුවරඑළියෙන් කොළඹ දෙසට ආරම්භ වූයේ ඔවුන් වෙනුවෙන් හෝටලය වෙත පැමිණ සිටි සංවිධායකවරුන්ට නැවතත් සමු දීමෙන් අනතුරුවය.

අතරමඟදීද කණ්ඩායම් සාමාජිකයන් අතර කතාබස් අඩු නොවූ අතර, නුවරඑළිය නගරයෙන් බිඳෙන් බිඳ පිටව එන විට වටපිටාවේ වෙනස් වන පරිසරය ගැනද, ගෙවී ගිය දින කිහිපය ගැනද කෙරෙමින් තිබුණු කතාබහ අතරේ එකවරම මේඝ ගේ අවධානය යොමු වූයේ ඉදිරි වැඩ කටයුත්තක් පිළිබඳවය. 

“අපි ඉශිනිගේ charity වැඩේ ගැනත් බලන්න ඕනේ නේද? කොළඹ ගියාම ඒක organize කරන්න වෙලාවක් දාගන්න ඕනේ ශෙනෝලි “

මේඝ එසේ පැවසූ විට අශේන් වහාම රිහාන් දෙස බලමින් සිනාසුණේය.

“ඒක දැන් අපිට වෙනදට වඩා ලේසි වෙයි. මොකද රිහාන් ඒකට බැහැලා වැඩ කරයි නේ.”

අශේන්ගේ වචන සමඟ වෑන් රථය තුළ සිටි සියලු දෙනා අතර සිනහවක් පැතිර ගිය අතර රිහාන්ද ඒ සිනහවට එකතු වූයේය.අනතුරුව ඔහු අශේන් දෙස බලා සිනාසෙමින් හිස වැනූ අතර, ශෙනෝලිද අනෙක් අය සමඟම ඒ සිනහවට එකතු වූයේ කිසිදු වෙනසක් පෙන්වන්නට උත්සාහ නොකරමිනි.

” ඒක එවෙලට බලමුකෝ “

රිහාන් සිනාසෙමින් පැවසූ විට අශේන් නැවතත් යමක් කියන්නට සැරසුණත් මේඝ ඔහුට පෙර කතාව වෙනත් පැත්තකට හරවා දැමුවේ ඔවුන්ගේ ගමන තවදුරටත් සැහැල්ලුවෙන් ගෙවී යන්නට ඉඩ සලසා තබමිනි.

අතරමගදී හමුවුණු අවන්හලකින් දහවල් ආහාරයද ගෙන, තවත් පැය දෙකකට පමණ පසුව කෝපි පානය සඳහාද නතර වූ බැවින් 5th Avenue සාමාජිකයන් කොළඹට ළඟා වන විට සවස් වරුව එළඹෙමින් තිබිණි. එකිනෙකා තම නිවෙස් ආසන්නයෙන් බැස ගිය විට රාත්‍රී හත පසුවෙද්දී වෑන් රථය තුළ ඉතිරි වූයේ රිහාන්, ශෙනෝලි සහ තවත් දෙදෙනෙකු පමණක් වූ අතර, ඔවුන්ද තම තමන්ගේ නිවෙස් ආසන්නයට පැමිණෙන තුරු වැඩි කතාබහක් නොකර නිහඬව ගමන් කලේ වෙහෙසකාරී බව නිසාය.

ශෙනෝලිගේ නිවස ආසන්නයට වෑන් රථය පැමිණ නතර වූ පසුව ඇය තම අසුනෙන් නැගිට කුඩා අත්බෑගයද ගෙන වෑන් රථයෙන් බැස්සාය. අනතුරුව ඇය වෑන් රථයේ පිටුපසට පැමිණ රියදුරුගේ සහාය ඇතිව ඇගේ විශාල ගමන් බෑගය පිටතට ගත්තේ ඔහුට ස්තූති කරමිනි.

ඉදිරිපස අසුනේ සිටි රිහාන් වහාම දොර විවෘත කර ගෙන පැමිණ විත් ශෙනෝලි අසලට පැමිණ නතර වූයේ අනපේක්ෂිත ලෙසය.

“මං ඕක උඩට ගිහින් දෙන්නද ශෙනෝලි “

“ඕනේ නෑ රිහාන්, මට පුළුවන්. ලිෆ්ට් එකේ යන එකනේ “

රිහාන් උන්නේ කිව යුතු යමක් කියා ගැනීමට නොහැකි තත්ත්වයකය. ඉවෙන් මෙන් එය වටහා ගත් ශෙනෝලි තව තප්පර කිහිපයක් අඩ අඳුරේ පෙනෙන ඔහු දෙස බලා හුන් අතර මොහොතකට දෙදෙනා අතර නිහඬතාවයක් පැතිර යමින් තිබුණි. දින කිහිපයක් පුරා එකට ගෙවූ කාලය අවසන් වී තිබූ අතර, ඔවුන් දෙදෙනා අතර සිදු වූ දෑ සහ නිහඬවම ගෙවුණු නිමේෂයන් කිසිවක් වචන වලට නොනැගී එම නිහඬතාවය තුළ රැඳී තිබුණි.

“ශෙනෝලි “

අවසානයේදී රිහාන් ශෙනෝලි දෙස තම හඬ අවදි කළේ මඳක් දෙගිඩියාවෙනි.

” කියන්න රිහාන් “

“මගේ අතින්, ඔයාට මොකක්ම හරි වැරැද්දක් උනානං, මං කියන්නේ මගේ අතින් ඔයාගේ හිත රිදුනා නම් කොයි වෙලාවක හරි, ඒකට මට සමාවෙන්න “

ඔහුගේ හඬෙහි ගැබ් වී තිබූ අවංක බව හඳුනා ගත් ශෙනෝලි මොහොතක් ඔහු දෙස නිහඬව බලා උන්නාය. ඇයගේ මුහුණේ සටහන් වී තිබූ සන්සුන් බව බිඳක් වත් වෙනස් නොවූවත්, ඒ වචන ඇගේ සිත තුළ යම් තැනක නතර වූ බව ඇගේ දෑස් වලින් පමණක් පැහැදිලි ලෙසම පෙනෙන්නට තිබුණි.

“මගෙන් සමාව ඉල්ලන්න ඇත්තටම ඔයාගේ අතින් මට වැරැද්දක් උනා කියලා ඔයාට හිතෙනවද රිහාන්?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here