5th Avenue – 38

0
239

කාමරයේ දොර වසාගත් ශෙනෝලි තවත් තත්පර කිහිපයක් ඒ දොරට පිටුපා නිහඬව උන්නාය. කෙටි වේලාවක් යනතුරුව ඇගේ දකුණත දොරේ අගුල මතම රැඳී තිබුණේ මොහොතකට පෙර දුටු දසුන ඇගේ සිත තුළින් ඉවත් කර ගැනීමට නොහැකි වූවාක් මෙනි.

තමන් ඒ දුටුවේ කිසිසේත්ම බලාපොරොත්තු වූ දෙයක් නොවේය. එය අනපේක්ශිතය.

ඇය සෙමින් සෙමින් පියවර තබා ගොස් යහනේ කෙලවරකට බර වූවාය. හදවත සුවිශාල ලෙස කම්පාවට පත්ව තිබුනත් ඇගේ දෑසින් එකදු කඳුලක් ගිලිහුනේ නැත. නමුත් ඉශිනි රිහාන්ව වැළඳගෙන සිටි ආකාරය පමණක් ඇගේ මතකයට නැවත නැවතත් පැමිණෙමින් තිබුණි.

ශෙනෝලි හට දැනුනේ තමන් දැන ගත යුතුව තිබූ යමක් දෑස් ඉදිරියේ තහවුරු වූවා වැනි හැඟීමකි.ඇය තම දෑස් වසාගෙන දිගු හුස්මක් ගත්තාය. තමන් හට තවදුරටත් රිහාන් පිළිබඳව සිතුවිල්ලකින් හෝ සිතන්නට අයිතියක් නැති බව ඇය තමන්ටම නැවතත් මතක් කරගත්තාය. ඔහු තමාගේ මිතුරෙකි. 5th Avenue කණ්ඩායමේ සාමාජිකයෙකි. එපමණකි.

එසේ නම් තම හදවත ඒ තරම් වේගයෙන් ගැහෙන්නේ ඇයිදැයි තේරුම් ගැනීමට නොහැකි තත්වයකට ශෙනෝලි පත්ව උන්නාය.

දැනෙනා කෙනෙකුට ආදරය කිරීමට රිහාන්ට මෙන්ම ඉශිනි හටද අයිතියක් ඇත. ඔවුන් දෙදෙනාම දැනටමත් හිඳින්නේ එකිනෙකාව තෝරා ගෙනය. 

එහෙත්,

ඒ දැන ගැනීමෙන් පමණක් ශෙනෝලි ගේ සිතේ ඇති වූ වේදනාව පහව ගියේ නැත.

“ශෙනෝලි?”

ඉශිනි ගේ හඬ කාමරයේ පිටතින් ඇසුනේ සිහින් ලෙසය. ශෙනෝලි වහාම යහනෙන් නැගිට කණ්නාඩිය ඉදිරියට ගොස් මුහුණට ව්‍යාජ සිනහවක් මවා ගෙන කිසිවක් නොවූ,කිසිවක් නොදුටු ආකාරයෙන් ගොස් කාමරයේ දොර විවෘත කලාය.

“ගුඩ්මෝනිම්. එන්න ” 

 ශෙනෝලි විවෘත කල දොරෙන් ඉශිනි කාමරය තුළට පැමිණි අතර ඇගේ මුහුණේ වූයේ මීට ටික වේලාවකට පෙර ශෙනෝලි දැක තිබූ සතුටමය. එහෙත් ඇය ශෙනෝලි දෙස බැලූ විට ඒ සතුට මඳක් අඩු වූවාක් මෙන් පෙනුණි.

” ඔයා බ්‍රෙක්ෆස්ට් වලට යන්නද ලෑස්ති වෙලා හිටියේ ? ” 

ඉශිනි කාමරය පුරා දෑස් යැව්වාය.

” ඔ.. ඔව් ඉශිනි. ඔයා Colombo යනවද අද ? ” 

” ඔව් “

ඉශිනි මොහොතක් ශෙනෝලි දෙස බලා උන්නේ විමසිල්ලෙනි. 

” ශෙනෝලි, ඔයා හොඳින්ද? “

“ඔව් ඉශිනි , ඇයි? ” 

ශෙනෝලි මඳ සිනහවක් පෑවේ ඉවත බලමිනි.ඇය හිතාමතාම තම දෑස් මග හරින බවට සිතුවිල්ලක් ඉශිනි ගේ සිතට පැමිණියේ නිරායාසයෙනි.

“අද උදේ රිහාන් මාත් එක්ක කතා කළා.”

එය අමුතුවෙන් තමා වෙත කිව යුත්තක් නොවන බැවින් ශෙනෝලි තවදුරටත් නිහඬව බලා උන්නාය. 

” ඊයේ උනේ, වෙන්න ඕන නැති දෙයක් උනාට එයා ඒක එතනින්ම අමතක කරලා. ඔයා දන්නවනේ එයාගේ හැටි, පොඩ්ඩක් පැනික් වෙලා එයා. දෙන්නට දෙන්නා සොරි කියා ගත්තට පස්සේ ප්‍රශ්නෙ විසඳුනා “

ශෙනෝලි මුණිවත රැක්කාය. සිහින් රිදුමක් හදවත හරහා ගියත් ඇය එය නොසලකා හැරියාය.

” හොඳයිනේ ” 

ශෙනෝලි පැවසුවේ තම කටහඬෙහි කිසිදු වෙනසක් නොපෙන්වීමට උත්සාහ කරමිනි.

“මටත් ඒක හොඳ දෙයක් කියලා හිතෙනවා. ඒත් ශෙනෝලි, මං ඔයාට එක දෙයක් කියන්න ඕනේ.”

“මොකක්ද?”

ශෙනෝලි ඉශිනි දෙසට හැරුනේ ඇගේ හඬෙහි තැවරී තිබුණු බැරෑරුම් බව නිසා වූ අතර කුමක් වුවත් ඇය පවසන්නට යන්නේ රිහාන් පිළිබඳව යමක් පමණක් බව ඇය වටහා ගත්තාය.

“රිහාන් ගැන.”

ශෙනෝලි හට දැනුනේ හදවත මොහොතකට නතර වූවාක් මෙනි. 

“ඔයාට රිහාන් ගැන මොනවහරි feeling එකක් තියෙනවද?”

එම ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර ශෙනෝලි තත්පර කිහිපයක් නිහඬව සිටියාය. ඇය ඉශිනිගේ දෑස් දෙස බැලූ නමුත් එහි තිබුණේ චෝදනාවක් හෝ නොරිස්සුමක් නොව, අවංකවම පිළිතුරක් දැනගැනීමට ඇති උවමනාවකි.

“නෑ , රිහාන් මගේ හොඳ යාළුවෙක්. මං මේ කරන්නේ ජොබ් එකක්. එච්චරයි.

ශෙනෝලි අවසානයේ පැවසුවේ හැකිතාක් සන්සුන් වන්නට උත්සාහ කරමිනි. ඉශිනි එම පිළිතුර සැකයකින් තොරව බාරගත් බවද පෙනෙන්නට තිබිණි.

“මං ඔයාට trust කරනවා ශෙනෝලි. මං ඔයාගෙන් එහෙම ඇහුවට මොකුත් හිතන්න එපා. මේ බෑන්ඩ් එකේ ඉන්න එකම කෙල්ල ඔයානේ.අනික ඔයා ඉන්නේත් හැමවෙලේම එයාලා එක්කනේ.මං ඒකයි එහෙම ඇහුවේ “

ඇය එසේ පැවසූ විට ශෙනෝලිගේ හදවත තවත් බර විය.

“ඔයාට මං ගැන සැකයක් තියාගන්න කිසිම හේතුවක් නෑ ඉශිනි “

ඉශිනි පියවරක් ඉදිරියට පැමිණ ශෙනෝලි ගේ අත සෙමින් අල්ලාගත්තාය.

“මං එහෙම හිතන්නේ නෑ.”

ඉශිනි සියුම් හඬකින් පවසද්දී ඒ තුල ගැබ්වී තිබුනු විශ්වාසයම ශෙනෝලි හට තවත් අසීරු බවක් ගෙන ආවේය.

ඉශිනි ශෙනෝලිවද කැටුව හෝටලයේ පහත මාලයට පැමිණියේ තවත් ටික වේලාවකට පසුවය. ඒ වනවිට කණ්ඩායම් සාමාජිකයන් සියලු දෙනාමද උදෑසන ආහාරය සඳහා පහත මාලයට පැමිණ සිටි අතර ඒ සඳහා නොනැවතුණු ඉශිනි කණ්ඩායම් සාමාජිකයන් හට සමුදී කොළඹ බලා පිටත්ව යාමට සූදානම් වූවාය.

ඉශිනි රිහාන් හට සමු දුන්නේ අකමැත්තෙනි.එහෙත් ඉටු කිරීම සඳහා රාජකාරී කටයුතු බොහෝමයක් තිබෙන බැවින් කොළඹ යාම අනිවාර්යය නිසා ඉශිනි වාහනයට නැගී පිටත් වූයේ බර වූ හදවතිනි.

ශෙනෝලි ඔම්ලට් එකක් සහ ටෝස්ට් කළ පාන්පෙති දෙකක් පමණක් ආහාරයට ගෙන මේසයෙන් නැගිට කාමරය වෙත නැවත යාම සඳහා සූදානම් වූයේ පලතුරු යුෂ වීදුරුවක් කාමරයට එවන ලෙස සේවිකාවකට දැනුම් දෙමිනි.

” යන්නෙපා ශෙනෝ. අපි සෙට් එක ඇවිදින්න යන්න ප්ලෑන් කර ගෙන හිටියේ “

අශේන් පැවසුවේ ඇයව නතර කරමිනි. එහෙත් නතර වන්නට උවමනාවක් හෝ හේතුවක් ශෙනෝලි තුළ ඒ මොහොතේදී වූයේ නැත.

” හවසට ෆෙස්ටිවල් එකත් බලන්න යනවනේ.ඔයාලා ගිහින් එන්න.මං රෙස්ට් කරා නම් හොඳයි කියලා හිතෙනවා ” 

කිසිවෙකුට කිසිවක් කියන්නට ඉඩ නොතබමින් ශෙනෝලි හැකි ඉක්මනින් කාමරය වෙත පැමිණියේ හිතා මතාමය. සාමාජිකයන් වෙතින් නික්ම එන මොහොතේ දී වත් රිහාන් දෙස බැල්මකින් වත් නොබලා ඉන්නට ඇය ප්‍රවේසම් වූ අතර තමා වැනිම තවත් යුවතියකගේ පෙම්වතෙකු තමා වෙත කිසිසේත්ම අවශ්‍ය නොමැති බව නැවත නැවත තම හදවතට මතක් කර දෙමින් කාමරයට පැමිණ දොර වසා ගෙන ලැප්ටොප් පරිගණකයද ගෙන ශෙනෝලි යහන මත වාඩි වූයේ හදවත බිඳක් හෝ සැහැල්ලු කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය.

ඇය ලැප්ටොප් පරිගණකයේ වූ කණ්ඩායමේ ඉදිරි කාල සටහනක් දිග හැරගෙන එය දෙස බලා උන්නද ඇගේ අවධානය සම්පූර්ණයෙන්ම  තිරය මත රැඳී තිබුණේ නැත. කොතරම් වෙනත් යමක් වෙත සිත යොමු කරන්නට උත්සාහ කළද, උදෑසන දුටු සිදුවීම කෙරෙන් සිත ඉවත් කරගැනීමට ශෙනෝලි අපොහොසත් වූවාය.අවසානයේ දී ඇය ලැප්ටොප් පරිගණකය වසා දමා තවත් මොහොතක් නිහඬව යහන මතම හිඳගෙන උන්නේ නිසොල්මනේය.

” ශෙනෝලි?”

අශේන්ගේ හඬ හඳුනාගත් ශෙනෝලි සෙමින් නැගිට ගොස් දොර විවෘත කළාය.

” ඇයි අශේන්? “

” අපි දවස් ගාණක් නුවරඑළියේ ඉන්න ඕනේ කියලා ප්ලෑන් කරේ මේක අස්සට වෙලා ඉන්නද අනේ ? ඇත්තටම ඔයා එළියට යන්න එන්නේ නැද්ද ? “

ශෙනෝලිගේ මුහුණට නැගුනේ සිනහවකි. 

” මට ටිකක් රෙස්ට් කරන්න හිතුණා අශේන්.අනික ඉතින් තව දවසක් දෙකක් අපිට තියෙනවානේ ඇවිදින්න.අදට ඔයාලා ගිහිල්ලා එන්න “

” Ok රෙස්ට් කරන්න. ඒත් හවස ෆෙස්ටිවල් එකට නම් ඔයා යන්න එන්නම ඕනේ. ආපු වැඩේ දැන් ඉවරයි නේ. ටිකක් එන්ජෝයි කරන්නත් ඕනේ කියලා අමතක කරන්න එපා 

ශෙනෝලි කිසිවක් නොකියා හිස සෙලවූවාය.

” හවස එන්නම් “

” ෂුවර්? “

අශේන් මොහොතක් ඇය දෙස බලා සිටියේ ඇය සැබැවින්ම පැමිණෙනවාදැයි තහවුරු කර ගැනීමට මෙනි.

” ෂුවර් “

 අශේන් පිටව යන්නට සූදානම් වී නැවත හැරුණේ හදිසියේ යමක් මතක් වූ පසුය.

” ආ… රිහානුත් කිව්වා ඔයාව කොහොම හරි එක්කන් එන්න කියලා. මං ඒකටත් එක්ක ආවේ ” 

ශෙනෝලිගේ සිත තුල මොහොතකට යම් දෙයක් නතර වූවාක් මෙන් දැනුණත් ඇය තම මුහුණින් ඒ වෙනස පෙනෙන්නට ඉඩ නොදී ඇය සාමාන්‍ය ලෙස සිහින් මදහසක් පමණක්.

” මං හවසට එනවා කියන්නකෝ “

අශේන් කොරිඩෝවේ කෙළවරෙන් නොපෙනී ගිය පසු ශෙනෝලි සෙමින් දොර වසාගත්තාය. දොර අගුල වැටුණු හඬ ඇසුණු පසුවත් ඇය තවත් මොහොතක් වැසුණු දොර දෙස බලා උන්නාය.

ඒ මොහොතේදීම ඇගේ දුරකථනය නාද වන්නට පටන් ගත් අතර තිරය මත දිස් වූ නම දුටු මොහොතේ ශෙනෝලිගේ හදවත නැවතත් වේගයෙන් ගැහෙන්නට විය.

” රිහාන් “

ඇය දුරකථනයට පිළිතුරු නොදී ඒ දෙස බලා උන්නාය.

එක් වරක්,

දෙවරක්,

රිහාන්ගෙන් ඇමතුම් පැමිණියද ශෙනෝලි ඒවාට පිළිතුරු දුන්නේ නැත.අවසානයේ ඇමතුම් පැමිණ නතර වුවද ඇය දුරකථනය දෙසම බලා උන්නාය. අනතුරුව ඇය තම ඇඟිලි තුඩු  දුරකථනයේ තිරය මත තබන විටම නැවතත් එය නාද වීමට පටන් ගත්තේය.

” හෙලෝ “

ශෙනෝලි රාජකාරීමය හඬකින් ඇමතුමට සම්බන්ධ වූ අතර අනෙක් පසින් මොහොතක නිහඬතාවයක් පැවතිනි.

” ඔයා කාමරේට වෙලා ඉන්නේ රෙස්ට් කරන්න ඕන නිසාද ,නැත්නම් වෙන හේතුවක් නිසාද ශෙනෝලි? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here