5th Avenue – 39

0
231

“මං අද කාමරේට වෙලා රෙස්ට් කරන්න ඕනේ රිහාන්. ටිකක් වැඩත් තියෙනවා. ඒකයි මං එළියට ආවේ නැත්තේ.”

ශෙනෝලි පිළිතුරු දුන්නේ කිසිදු පැකිලීමකින් තොරවය. ඇගේ හඬෙහි තිබුණේ උදෑසන සිදුවූ කිසිවක් ඇයට බලපෑමක් කර නොතිබූ ආකාරයේම සන්සුන් බවකි. රිහාන් තවත් කිසිවක් අසන්නට ගියේ නොගියේඇය එසේ පවසන්නේ නම් එය එසේම පිළිගත යුතු බව සිතමිනි. නමුත් ඇගේ කටහඬට වඩා ඇගේ හැසිරීමේ වෙනස ඔහුට දැනෙමින් තිබුනත් ඒ පිළිබඳව තවදුරටත් විමසීමෙන් ඇය අපහසුතාවයට පත් කිරීමට ඔහුට අවශ්‍ය වූයේ නැත.

“හරි. රෙස්ට් කරන්න.”

රිහාන් එපමණක් පවසා පසු ඇමතුම අවසන් කර දැම්මේ දෙගිඩියාවෙනි.

ඉන් අනතුරුව ශෙනෝලි තමන්ටම පොරොන්දු වූයේ කිසිවක් සිදු නොවූ ලෙස දිනය ගෙවා දමන්නටය.

ඒ අනුව ඇය කණ්ඩායමේ ඉදිරි කටයුතු පිළිබඳව සැලසුම් කරමින් , පෙර දිනයේ පැවති ප්‍රසංගයේ ඡායාරූප ශිල්පීන් සම්බන්ධ කරගෙන ඡායාරූප ගෙන්වා ගනිමින්, සමාජ මාධ්‍යවල පළ කළ යුතු දෑ පිළිබඳව සැලසුම් සකස් කරමින් උදෑසන වරුව ගෙවා දැම්මාය. ඒ වනවිටත් කණ්ඩායම් සාමාජිකයන් සියලු දෙනා සිටින්නේ හෝටලයෙන් පිටත බව ඇය දැන ගත්තේ වරින් වර ඔවුන් විසින් වට්සැප් වෙත යොමු කරන ඡායාරූප වලිනි. 

දහවල් ආහාරයද කාමරය වෙතම ගෙන්වා ගත් ශෙනෝලි තමා වෙනුවෙන් වෙන් කරගත් දිනය රිසිසේ විඳිමින් ලැප්ටොප් පරිගණකය විවෘත කර ගෙන උදෑසන සිදුවීම ගැන සිතට පැමිණි සෑම මොහොතකම ඇය තම අවධානය නැවතත් වැඩ වෙත යොමු කර ගත්තාය. ඒ පිළිබඳව තවදුරටත් සිතා සිටීමෙන් කිසිවක් වෙනස් නොවන බව ඇය ඒ වන විටත්  පැහැදිලිවම දැන උන්නාය.

සවස හත වන විට සංගීත උළෙල පැවැත්වෙන පරිශ්‍රය වෙත යාම සඳහා පහත මාලයට පැමිණෙන මේඝ සියලු දෙනාටම පොදුවේ වට්සැප් පණිවිඩයක් තබා තිබුනේ පිටතට ගොස් පැමිණ සියලු දෙනාම තම කාමර වලට වී විවේක ගනිමින් සිටි බැවිනි. 

හවස් වරුවද ඉතා සෙමෙන් ගෙවා දැමූ ශෙනෝලි කිසිදු කලබලයකින් තොරව සූදානම් වී මේඝ දැනුම් දී තිබුණු ආකාරයට සවස හත වන විට පහත මාලයට පැමිණියේ සියලු දෙනා සමඟ සංගීත උළෙලෙහි දෙවන දින ප්‍රසංගය නැරඹීමට යාම සඳහාය.

ඇය පහත මාලයට පැමිණෙන විට උදෑසන මෙන් ඇගේ මුහුණේ කිසිදු වෙනසක් දක්නට  නොතිබුණි. අශේන් ඇයව දුටු සැණින් සිනහවක් පෑවේ ඔහු බලා ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් බලා උන්නා සේය.

“ඇති යන්තම් කෝඩිනේටර් මැඩම් එළියට ආවා . මං හිතුවේ හෙට වෙනකන්ම room එකේම ඉඳියි කියලා.”

ලී තරප්පු පේළිය බැස එන ශෙනෝලි දෙස බලමින් අශේන් මහා හඬින් සිනාසුනේ සියලු දෙනාගේම අවධානය ඇය වෙත යොමු කරවමිනි.

“නෑ. මං කිව්වනේ එනවා කියලා.”

ශෙනෝලි සාමාන්‍ය ලෙස සිනාසෙමින් පවසා පිරිස අතරට එක් වූවාය.

“එහෙනම් යමු ” 

මේඝ ඉස්සර වූයේ ඔවුන්ගේ වෑන් රථය හෝටලයේ ප්‍රධාන දොරටුව අසලට පැමිණ නතර වූ පසුවය. අශේන් ශෙනෝලි අසලින්ම පියවර තබමින් ඇය හා කතාවකට වැටුණේ  අනෙක් අය ගැන කිසිදු තැකීමක් නොකරන්නාක් මෙනි. ශෙනෝලිද ඒ පිළිබඳව අමුත්තක් නොසිතමින් ඔහු සමඟ කතා කරමින් ගොස් වෑන් රථයට නැඟුනාය.

සංගීත උළෙල පැවැත්වෙන පරිශ්‍රයට පැමිණි පසුව සංවිධායක මණ්ඩලයේ අයෙකු පැමිණ 5th Avenue සාමාජිකයන් වෙනුවෙන් වේදිකාව හොඳින් පෙනෙන මානයක විශේෂයෙන් වෙන් කර තිබුණු ස්ථානය වෙත ඔවුන්ව කැටුව ආවේය.  කණ්ඩායමේ සියලු දෙනාම එක්ව සිටියද, අශේන්ගේ අවධානය බොහෝ විට රැඳී තිබුණේ ශෙනෝලි වෙත වූ අතර ඔහු අසුන් ගත්තේ ද ඇය අසලින්මය.

“ශෙනෝ, ඔයාට මොනවහරි කන්න ඕනෙද?”

අශේන් ශෙනෝලි වෙත නැඹුරු වී ඇසුවේ පරිශ්‍රයේ එක් කෙළවරක විවිධ වර්ගයේ ආහාර සහ බීම වර්ග මිලදී ගැනීමට ස්ථාන සකස් කර තිබෙන බැව් දුටු පසුවය.

” එපා අශේන්. අපි කට්ටිය පස්සේ මොනවා හරි ගමු නේද ? ” 

ශෙනෝලි වේදිකාව වෙත අවධානය යොමු කළේ එදින පැමිණීමට නියමිතව තිබූ සංගීත කණ්ඩායම ඒ වන විටත් වේදිකාව මතට පැමිණ නොතිබූ හෙයිනි.

“එහෙනම් අපි මොනහරි බොමු, මං අරගෙන එන්නම්.”

අශේන් අසුන්ගෙන හුන් තැනින් නැගී සිටියේ මේසය මත තබා තිබුණු මුදල් පසුම්බියත් ජංගම දුරකථනයත් අතට ගන්නා අතරේය.

“අනේ, ඕනේ නෑ.”

ශෙනෝලි එසේ පවසමින් ඔහු දෙසට හැරුණත් අශේන් ඒ වන විටත් පිරිස අතරින් මෑත්වී ඉදිරියට ගොස් තිබුණි.

විනාඩි දහයකට පමණ පසුව ඔහු නැවත පැමිණියේ සියලු දෙනාම වෙනුවෙන් මිලදී ගත් පාන වර්ග කිහිපයක්ම අතැතිවය.ඔහු මුලින්ම එය ශෙනෝලි වෙත පිළිගැන්වූ අතර ඇය සිනාසෙමින් එය අතට ගත්තාය.

“Thanks.”

සිදුවෙන සියල්ල රිහාන් ශෙනෝලිව පෙනෙන මානයයේ සිට නිහඬව බලා උන්නේය.නමුත් ඔහු හට අශේන්ගේ හැසිරීම අලුත් දෙයක් නොවූයේ පසුගිය දින කිහිපය පුරාම අශේන් ශෙනෝලි සමඟ සමීපව සිටීමට උත්සාහ කරන ආකාරය ඔහු දැක තිබුණු නිසාවෙනි . එහෙත් අද එය ඔහුගේ අවධානයට වෙනදාට වඩා වැඩියෙන් ලක් වෙමින් තිබිණි.

ශෙනෝලිද අපහසුතාවයට පත් වූ බවක් නොපෙන්වා සිටින්නේ එය ඇයටද සාමාන්‍ය දෙයක් වී ඇති බැවින් යැයි රිහාන් සිතුවේය.ඇය සාමාන්‍ය ලෙසම අශේන් සමඟ කතා කළාය. සිනාසුණාය. අනෙක් අය සමඟද එකතු වී ප්‍රසංගය රස වින්දාය.

කණ්ඩායම් සාමාජිකයන් පසුගිය කාලයේ බොහෝ කාර්ය බහුලව සිටි බැවින් ඔවුන් සාමාන්‍ය ප්‍රේක්ෂක පිරිසක් මෙන් ප්‍රසංගයක් නැරඹීමට පැමිණියේ බොහෝ කාලයකට පසුවය. එබැවින් සියලු දෙනාම ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිටියේ එදින වේදිකාව මත සිටි සංගීත කණ්ඩායම වෙත හදවතින්ම සහයෝගයද ලබා දෙමිනි.

“රිහාන් “

රිහාන්ගේ දුරකථනයට පණිවිඩයක් පැමිණියේ ඒ මොහොතේය. ඔහු දුරකථනය අතට ගෙන බැලූ විට පණිවිඩය පැමිණ තිබුණේ බලාපොරොත්තු වූ ලෙසම ඉශිනි ගෙනි. රිහාන් එයට සිනහව මුසු කුඩා ස්ටිකරයක් පමණක් පිළිතුරු ලෙස යැවූ විට ඉශිනි අනෙක් අතට එවා තිබුනේ ඔවුන් දෙදෙනා එකට සිටින ඡායාරූපයකි.

ඡායාරූපයේ ඔවුන් දෙදෙනාම සිටියේ ඉතා සමීපව සිනාසෙමිනි. රිහාන් තප්පර ගණනාවක් ඒ දෙස බලා උන්නේ පහන් හැඟීමෙනි.ඉශිනි එය සමඟ කුඩා පණිවිඩයක්ද එවා තිබුණාය.

” Better together noh? “

රිහාන්ගේ දෑස් තවත් මොහොතක් එම ඡායාරූපය මත රැඳී තිබුණි.

ඉශිනි,තමන් සමඟ සිටින ඇය සහ තමන්ගේ ජීවිතයේ සිටිය යුතු බවට තමන් විසින් මේ වන විටත් තීරණය කර තිබෙන එහෙත් එම තීරණය නිවැරදි දැයි දෙගිඩියාවෙන් පසුවන තම සිත අතර දෝලනය වෙමින් රිහාන් බලා උන්නේය.

එහෙත් ඔහුගේ මුවෙහි ඉතා සිහින් සිනහවක් මතු විය.

” Yeah. Better “

ඔහු එසේ පිළිතුරු යවා දුරකථනය නැවත සාක්කුවට දමා ගත්තේය.

එහෙත් ඊළඟ මොහොතේ ඔහුගේ දෑස් නැවතත් නොදැනුවත්වම ශෙනෝලි වෙත ගොස් නතර වූයේය. පරිශ්‍රය පුරා ඇති අධික සංගීත හඬ මධ්‍යයේ අශේන් ඇය වෙත නැඹුරු වී ඇය හට යමක් පවසමින් හුන් අතර ඇය එයට සිනාසෙමින් පිළිතුරු දෙමින් උන්නාය.

රිහාන් තවත් මොහොතක් ඔවුන් දෙස බලා සිටියේය. ඉන්පසු කිසිවක් සිදු නොවූවාක් මෙන් සාක්කුවේ තිබූ ජංගම දුරකථනය පිටතට ගෙන ඔහුගේ අවධානය නැවතත් ඉශිනි එවා තිබූ ඡායාරූපය වෙත ගෙන ගියේය.

” Better together “

ඔහු තමන්ටම එම වචන නැවතත් සිහිපත් කර ගත්තේය. ජීවිතයේ වැදගත්ම තීරණයක් වෙනුවෙන් දෙගිඩියාවෙන් පසු වීම තවදුරටත් කළ යුතු නොවන බව රිහාන් සිතුවේ අනතුරුවය. සමහරවිට ශෙනෝලි තමා කෙරෙන් යම් දුරස්ථ භාවයක් පවත්වා ගන්නට උත්සාහ කරන්නේ ඇය කණ්ඩායම ඇසුරේ ගැවසෙන එකම තරුණිය වීම ඉශිනි හට ගැටලුකාරී තත්ත්වයක් වේ යයි සිතමින් සහ තමාගේම යහපත උදෙසා යයි නිගමනයකට අවසානයේදී රිහාන් එළඹියේය.

එසේ නම් තමා ඉශිනි කෙරෙහි තීරණයකට එළඹීමට තවදුරටත් ප්‍රමාද විය යුතු හෝ දෙගිඩියාවෙන් පසුවිය යුතු නැත. තමා සිතූ තරම් ගැටලුවක් නොපවතින බැවින් අනවශ්‍ය දෑ සිතමින් කිසිවක් බාධාවක් කර ගත යුතුද නැත.

ඉශිනි බලා හිඳින්නේ තමා නිවැරදි සහ සුභදායක වූ තීරණයකට එළඹෙන තුරු බැවින් හදිසියේ ආ සිතිවිල්ලක් මත රිහාන් තම දුරකථනය ගෙන වාඩි වී සිටි තැනින් නැගී සිටියේය.

” උඹ කොහෙද යන්න හදන්නේ රිහාන් ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here