5th Avenue – 42

0
222

Episode 42

“හෙට ප්‍රැක්ටිස් වලදී අපි හම්බ වෙනවනේ අශේන්?”

ශෙනෝලිගේ හඬෙහි තිබුණේ සැහැල්ලු බවක් වෙනුවට යමක් සම්පූර්ණයෙන් වටහා ගත නොහැකි වූ පුදුමයකි. ඒ, දුරකථනයේ අනෙක් පසින් ඇසුණු අශේන්ගේ තුල තිබූ බැරෑරුම් බව නිසාය. සාමාන්‍යයෙන් කුඩා දෙයක් පවා විහිළුවකට හරවා ගෙන, සියල්ලන් සමඟ සැහැල්ලුවෙන් හැසිරෙන අශේන් මෙලෙස හදිසියේම තමාව පෞද්ගලිකව මුණගැසීමට අවශ්‍ය බව පැවසීම ඇයට දැනුනේ තරමක් අසාමාන්‍ය දෙයක් ලෙසය. පසුගිය දින කිහිපය තුළ ඔහු තමන් වෙත දක්වමින් සිටි විශේෂ අවධානයද සිහිපත් වූ විට, ඇගේ සිත තුළ කිසියම් නොපැහැදිලි සැකයක් මතු වූ නමුත් එය නිශ්චිතවම කුමක්දැයි ඇයට සිතා ගත හැකි වූයේ නැත.

“හෙට හම්බවෙන්නේ ප්‍රැක්ටිස් වලදිනේ. මට ඕනි ඔයාව පර්සනලි මීට් වෙන්න. මට ඔයත් එක්ක කතා කරන්න දේවල් ටිකක් තියෙනවා “

අශේන් එසේ පිළිතුරු දුන්නේ වෙනදා ඔහු තුළ නිතර රැඳෙන සිනහවක් වත්, විහිළුවක් වත් නොමැතිවය. ඒ නිසාම ශෙනෝලිගේ සිතේ වූ නොසන්සුන්කම තවත් වැඩි විය.

” පුළුවන්ද ශෙනෝ? “

ශෙනෝලි කිසිවක් නොකියා සිටි බැවින් නිහඬතාවය බිඳ දමමින් අශේන් නැවතත් විමසුවේය.

“මොකක්ද වෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ “

සිත තුළ තිබූ අවුල් සහගත බව සඟවා ගැනීමට උත්සාහයක් නොදරමින්ම ශෙනෝලි අවසානයේ පැවසුවාය.

“තේරුම් කරන්න තමයි මං එන්න කියලා කියන්නේ. හැබැයි මං කැමතියි මේක කවුරුත් දැනගන්නේ නැත්තං “

එවදන් ඇසූ විට ශෙනෝලි තවත් මොහොතක් නිහඬව උන්නේ ඔහුට මෙතරම් පෞද්ගලිකව කතා කිරීමට අවශ්‍ය වන්නේ කුමක් පිළිබඳවදැයි සිතාගත නොහැකවය. එය නුවරඑළියේ සිදුවීම් පිළිබඳවද, රිහාන් සහ ඉශිනි පිළිබඳවද, නැතහොත් ඔහුටම අදාළ වෙනත් යම් කාරණයක් පිළිබඳවද යන්න තීරණය කරගත නොහැකි වූ නමුත්, අශේන් මෙලෙස විශේෂයෙන්ම හමුවීමට ඉල්ලා සිටිනවා නම් එය නොවැදගත් දෙයක් නොවන බව වටහා ගනිමින් ඔහුව හමු වී සිදුවන ඕනෑම දෙයකට මුහුණ දීමට ශෙනෝලි සිතා ගත්තාය.

“හරි. කොහෙටද මං එන්න ඕනේ?”

ඇය අවසානයේ එකඟ වූවාය.

“ඔයාගේ ගෙදර ළඟ තියෙන Let’s eat Restaurant  එකට එන්න. මං එතන ඉන්නම් “

“හරි “

“මං ඔයාව ගන්න ගෙදර ළඟට එන්නද?”

“එපා අශේන්. මං එන්නම්”

ඇමතුම අවසන් කළ පසුවත් ශෙනෝලි තවත් මොහොතක් දුරකථනය අතේ තබාගෙනම උන්නාය. අශේන්ගේ අවසාන වචන ඇගේ සිත තුළ නැවත නැවතත් ඇසෙන්නට වූ අතර, ඒවාට අර්ථයක් සොයන්නට උත්සාහ කළද කිසිදු පිළිතුරක් ඇයට සොයාගත හැකි වූයේ නැත.අවසානයේදී ඇය සිතුවේ ඔහුට නුවරඑළියේදී සිදුවූ යම් දෙයක් පිළිබඳව කතා කිරීමට අවශ්‍යව ඇතැයි කියා වුවත් ඒ සිතුවිලි කිසිවක් නිශ්චිත නොවූ නිසාම, එම හමුවීම පිළිබඳව ඇගේ සිතේ වූ කුතුහලයත් නොසන්සුන්කමත් එකවරම වැඩි විය.

පැයකට පමණ පසුව ශෙනෝලි අශේන් පැවසූ අවන්හලට පැමිණෙන විටත් ඔහු ඒ වෙත පැමිණ උන්නේය. ඇය අවන්හල තුළට ඇතුළු වනු දුටු ඔහු අත ඔසවා ඇයව තමන් සිටි මේසය වෙත කැඳවා ගත් අතර, ශෙනෝලි අසුන් ගන්නා විටත් ඔහු ඇය වෙනුවෙන් ආහාර ඇණවුම් කර අවසන් කර තිබුණි.

“ඔයා ලන්ච් එකත් ඕඩර් කරලද?”

“ඔව්. ඔයා එනකොට වෙලා යයි කියලා හිතුණා ශෙනෝ “

අශේන් සරල ලෙස පැවසුවද, ශෙනෝලිගේ සිතේ තිබූ ගැටලු සහගත බව ඒ මොහොතේ තවත් වැඩි වෙමින් තිබිණි . ඔහුගේ හැසිරීමෙහි සාමාන්‍යයෙන් පවතින සරල සැහැල්ලු බව බිඳක් හෝ දක්නට නොතිබුනු අතර, ඇයට දැනුනේ මෙතෙක් ඇය හඳුනාගෙන සිටි අශේන්ට වඩා හාත්පසින්ම වෙනස් අයෙකු තමන් ඉදිරියේ සිටිනවාක් මෙනි. 

“මොකක්ද අශේන් මට කියන්න තියෙනවා කිව්වේ?”

තවදුරටත් බලා සිටිය නොහැකි තැන ශෙනෝලි විමසුවේ නොසන්සිදුනු කුතුහලයෙනි.

එහෙත් අශේන් තවත් මොහොතක් ඇය දෙස බලා උන්නේ ඇයගෙන් ඇසිය යුතු පළමු ප්‍රශ්නය කුමක් දැයි තෝරා බේරා ගැනීමට නොහැකිවය. නමුත් කොතැනකින් හෝ ආරම්භ කර ,කිව යුතු සියල්ල කිව යුතු නිසාත්, ඇසිය යුතු සියල්ල ඇසිය යුතු නිසාත් ඊළඟ මිනිත්තුවේදී ඔහු නිහඬතාවය බිඳ දැම්මේය.

” ඔයා හිතනවද ඔයා නුවරඑළියේ ඉන්නකොට අවුලෙන් හිටියේ කියලා මං දන්නෙ නෑ කියලා?”

ශෙනෝලිගේ මුහුණේ තිබූ හැඟීම් සියල්ලම වෙනස්ව ගියේ  ක්ෂණයකිනි.

” අනේ එහෙම දෙයක් නෑ අශේන්. මං ටිකක් මහන්සියෙන් හිටියේ. ඒකයි පළවෙනි දවසේ එළියට යන්න ආවේ නැත්තෙත්. අනික මෙහෙ වගේ නෙමෙයිනේ එහේ, climate එක උනත් වෙනස් නේ “

“ඔයා සමහර දේවල් කොච්චර හංගන්න හැදුවත් ඔයාගේ ඇස් දෙක බොරු කියන්නේ නෑ ශෙනෝ”

අශේන්ගේ හඬ සන්සුන්ව තිබුනත් එහි වූ නිශ්චිත බව නිසා ශෙනෝලි හට කිසිවක්ම කියා ගත හැකි වූයේ නැත.

“ඔයා වෙනස් වෙන්න පටන් ගත්තේ ඉශිනි නුවරඑළියට ආවට පස්සේ. එක්කෝ ඇත්තටම ඔයාට වැඩ වැඩි වුණා. එහෙම නැත්නම් ඉශිනි ආපු නිසා ඔයා අවුල් වුණා. මොකද.. “

ඔහු මොහොතකට නතර වී ශෙනෝලි දෙස සෘජුව බැලුවේය.

“ඔයාට… රිහාන් ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා “

එවදන් ඇසුණු මොහොතේ ශෙනෝලිගේ දෑස් තරමක් විශාල වූයේ ඔහු එය මෙතරම් සෘජුව පවසනු ඇතැයි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බැවිනි. තමන් කිසිවෙකු ඉදිරියේ ප්‍රකාශ නොකළ, තමන්ටම සම්පූර්ණයෙන් පිළිගැනීමට අසීරු වූ හැඟීමක් අශේන් මෙතරම් පහසුවෙන් හඳුනාගෙන තිබීම ඇය වෙත ගෙන ආවේ පුදුමයකි.

“ඔයා කොහොමද එහෙම කියන්නේ අශේන්?”

ශෙනෝලි හදවතින් බිඳී ගොස් තිබිණි. අශේන් තමා ඉදිරියේ පවසන්නේ තමා රැක ගැනීමට බොහෝ උත්සාහ කළ, කිසිවෙකුටත් වචනයකින් හෝ නොහැඟවූ හැඟීමකි.

” මං මෙතනට ආවේ ඒ ගැන වාද කරන්නවත් ප්‍රශ්න කරන්න වත් හිතාගෙන නෙමෙයි ශෙනෝ “

අශේන් මඳ සිනහවක් පෑවේය. එහෙත් ඒ සිනහව තුළ පෙර තිබූ සැහැල්ලු බව දක්නට තිබූයේ නැත.

“ඒ කොහොම වුණත් ඒ දේවල් වලින් මට ඇත්තටම වැඩක් නෑ ශෙනෝ. මං මෙතනට ආවේ රිහාන් ගැන කතා කරන්න නෙමෙයි. මං ආවේ මගේ හිතේ ඔයා ගැන තියෙන දේ කියන්න. මොකද සමහර දේවල් දැක්කට පස්සේ මං හිතනවා, මං මේක තවත් හිතේ තියාගෙන ඉන්න එකේ තේරුමක් නෑ කියලා”

ශෙනෝලි ඔහු දෙස නිහඬව බලා උන්නාය. කිසි දිනක නොදුටු ලෙස තමා ඉදිරියේ මේ අතිශය බැරෑරුම් වී හිඳින්නේ සියල්ලක්ම ඉතා සරල ලෙස සිතනවා යැයි සිතූ, සියල්ලක්ම විහිළුවක් යැයි සිතූ මිතුරන් අතර සිනහසෙමින් සිටින අශේන් යැයි තමා දැන සිටි අශේන්ය. ඒ නිසාම ඔහුගේ වචන ඇය වෙත ගෙන ආවේ තව තවත් බැරෑරුම් බවකි.

“මම කියන්නේ නෑ ශෙනෝ,  මං ලව් කියන දේ ගැන මහා ගොඩක් දන්න, මැරීගෙන ලව් කරන කෙනෙක් කියලා. හැබැයි මං දන්නවා මට ඔයා ගැන තියෙන ෆීලින් එක බොරුවක් නෙමෙයි කියලා. ඒක කාලෙකට පස්සේ වෙනස් වෙයිද, කොහොම වෙයිද කියලාවත් මං දන්නේ නෑ. ඒත් අද ,මේ මොහොතේ මට ඔයා ගැන තියෙන්නේ ඒ වගේ දෙයක් කියන්න නම් මම දන්නවා “

ශෙනෝලිගේ දෑස් ඔහුගේ මුහුණ මතම රැඳී තිබුණි. ඇය ඔහුට පිළිතුරක් දෙන්නට පෙර මොහොතක් ගත කළේ ඔහුගේ සිත නොරිදෙන ආකාරයෙන් සත්‍ය පැවසිය යුතු බව දැනුනු නිසාය.

“සොරි අශේන්. ඇත්තටම කිව්වොත් මං මේ වෙලාවේ රිලේෂන්ෂිප් එකකට යන අයිඩියා එකක නෑ. ඒක ඔයාට අදාළ දෙයක් නෙමෙයි.ඒත්, මං හිතන්නේ මං මේ ඉන්න විදිහ තමයි මට හොඳම විදිහ . ඒ නිසා ඔයා ගැන මට තියෙන ගෞරවය වෙනස් වෙන්නෙ නැතුව, බෑන්ඩ් එකේ තියෙන ඒ බොන්ඩ් එක ඒ විදිහටම තියාගෙන ඉස්සරහටත් ඉන්න මම කැමතියි “

අශේන් ඇගේ වචන අවසන් වනතුරු කිසිවක් නොකියා බලා උන්නේය. ඇගෙන් එවැනි සෘජු පිළිතුරක් එක වරම බලාපොරොත්තු නොවූවත් ඇය එය පැවසූ මෘදු ආකාරය නිසා ඇය පිළිබඳව අහිතක් සිතන්නට අශේන් හට කිසිසේත්ම හැකි වූයේ නැත.

“ඔයාට වෙච්ච එක දෙයක් නිසා ඔයා ඔයාගේ ජීවිත කාලෙම ගැන එහෙම තීරණයක් ගන්න එපා ශෙනෝ.  අනිත් එක මං ඔයාට බල කරන්නේ නෑ. මං ඔයාගෙන් අදම මේ දැම්ම උත්තරයක් ඉල්ලන්නෙත් නැහැ. ඔයාට මේ ගැන කාලයක් අරගෙන හිතන්න පුළුවන්”

ශෙනෝලි සෙමින් හිස සෙලවූවාය.

“කාලයක් ගියත් මං වෙනස් වෙයි කියලා මං හිතන්නෙ නෑ අශේන්.”

ඇගේ පිළිතුරෙහි තිබුණේ වෙනස් නොවෙන තීරණයක ඇති ස්ථිර බවකි.

“ඔයා එහෙම හිතන්නේ ඇත්තටම ඔයාගේ හිතේ රිහාන් ඉන්න නිසාද, එහෙම නැත්නම් වෙන හේතුවක් තියෙන නිසාද?”

එම ප්‍රශ්නයත් සමඟ ශෙනෝලි හට දැනුනේ ඇගේ හදවත මොහොතකට නතර වූවාක් මෙනි. රිහාන්ගේ නම නැවතත් තමන් ඉදිරියට මෙලෙස පැමිණෙනු ඇතැයි ඇය බලාපොරොත්තුවෙන් උන්නේ නැත. ශෙනෝලි සෙමෙන් දෑස් පහත් කරගත්තේ තමන්ගේම සිත තුළ ඇති පිළිතුර වුවද, ඒ මොහොතේ පිළිගැනීමට සූදානම් නොවූ බැවිනි.

අශේන් තවදුරටත් ඇය දෙස බලා උන්නේ ශෙනෝලි ඇය පිළිබඳව ගෙන ඇති තීරණය තවදුරටත් පැහැදිලි කර ගැනීමේ අපේක්ෂාවෙනි.

“එතකොට මෙතනට ඉශිනි කෙනෙක් නෑවිත්, මං ඔයාගෙන් මේ අහපු ප්‍රශ්නේ රිහාන් ඔයාගෙන් ඇහුවා නම් ,ඔයා කැමති වෙනවද ශෙනෝ ? ” 

| හෙට මොකක් වෙයි කියලද ඔයාලා හිතන්නේ ? | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here