නිවස වෙත පැමිණ දොර වසා ගත් ශෙනෝලි විදුලි පහන් දල්වා නිහඬ බවෙහි ගිලී තිබෙන තම නිවස දෙස මොහොතක් බලා උන්නාය. දින ගණනාවකට පසුව නැවතත් තමන්ගේම නිවසේ හුරු පුරුදු වූ නිහඬතාවය තුළට පැමිණීමට හැකිවීම ඇය හට සැනසීමක් මෙන් දැනුණි. නුවරඑළියේ ගෙවී ගිය දින කිහිපය තුළදී නිතරම ඇසුණු කලබලකාරී කටහඬවල්, සිනහවන්, සංගීතය සහ එකිනෙකා අතර සිදු වූ සිදුවීම් වෙනුවට ඇය වටා සෙමින් පැතිරෙමින් තිබුණේ ඇයට හොඳින් හුරු නිහඬ පරිසරය පමණි.
ශෙනෝලි තම අත්බෑගය සහ ගමන් බෑගය ගෙන කාමරය වෙත පියවර තැබුවාය. සුවපහසු වූ යහන , පොත් කිහිපයක් තබා තිබුණු කුඩා රාක්කය, ජනේලය අසල පැළෑටි කිහිපය සහ සෑම උදෑසනකම කෝපි කෝප්පය රැගෙන වාඩි වී හිඳින බැල්කනිය යන සියල්ල එකින් එක දුටු විට දින කිහිපයකට පසුව තමන්ගේම ලෝකයට නැවත පැමිණි බවක් ඇය හට දැනුණි.
එහෙත් ඒ සැනසීම සමඟම ඇගේ සිතේ කොහේදෝ තැනක ඒ වන විටත් නුවරඑළියේ ගෙවී ගිය දින කිහිපය ද රැඳී තිබිණි. ඊටත් වඩා විනාඩි කිහිපයකට පෙර රිහාන් ඇය අසල නතර වී පැවසූ වචන කිහිපය ඇයට අමතක කර දැමීමට නොහැකි විය.
“මගේ අතින්, ඔයාට මොකක්ම හරි වැරැද්දක් උනානං, මං කියන්නේ මගේ අතින් ඔයාගේ හිත රිදුනා නම් කොයි වෙලාවක හරි, ඒකට මට සමාවෙන්න.”
ඇය යහන මත වාඩි වූයේ ඒ වචන නැවතත් සිහිපත් කරමිනි. ඒ වචන වලට පිළිතුරක් සොයන්නට මෙන් ශෙනෝලි මොහොතක් නිහඬව සිටියාය. ඇත්තටම ඔහුගෙන් තමාට සිදු වූ වරදක් තිබුණාද? නැත. එහෙත් ඔහුගේ වචන ශෙනෝලි ගේ සිත තුළ වෙනත් සිතුවිල්ලක් අවදි කරමින් තිබුණි.
ඇතැම් විට තමාට ජීවිතයට සමීප කිසිදු බැඳීමක් උරුමව නොතිබෙනවා විය යුතුය.දැන් පැමිණ තිබෙන්නේ එය පිළිගැනීමට කාලය ය.තමා ආදරය කළ මිනිසුන් තමාගෙන් ඈත් වී ගියේ අනපේක්ෂිතව වූ අතර සියල්ලටම වඩා දෙමව්පියන්ගේ අහිමි වීම තවමත් තිබෙන්නේ තමාව ජීවිතයේ කොහේ හෝ තැනක නතර කරය.
ජීවිතයේ කිසියම් කෙනෙකුට හෝ දෙයකට හදවතින් බැඳුණු සෑම අවස්ථාවකම අවසානයේදී කුමක් හෝ හේතුවක් විසින් ඒ බැඳීම ඇයගෙන් උදුරා ගෙන ඇති බවක් ශෙනෝලි හට දැනෙන්නට පටන් ගෙන තිබුණි. ඒ නිසාම යළිත් කිසිවෙකුට බැඳී නොඉන්නට ඇය සිතමින් හුන් අතර එයින් හෝ යමක් අහිමි වීමේ වේදනාව යළි යළි දැනීම නතර වනු ඇතැයි ශෙනෝලි සිතුවාය.
සමහරවිට තමන්ට හිමි ජීවිතය මෙය විය යුතුය.තමන් ඉතා ආසාවෙන් යෙදී ඉන්නා රැකියාවේ නියැලෙමින්, කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී, තමන්ගේම නිවසේ නිදහසේ සහ සැනසීමෙන් ජීවත් වීම පමණක් තමාට ප්රමාණවත් ය. කිසිවෙකු තමන්ගේ ජීවිතයට පැමිණේ යැයි බලාපොරොත්තු නොවී, කිසිවෙකු තමන්ගෙන් ඈත් වීම ගැන බිය නොවී ජීවත් වීමට තමා පුරුදු විය යුතුය. ඉන් ඉදිරියේදී තමාගේ ජීවිතය වඩාත් සුව පහසු එකක් වනු ඇත.
නොනවත්වා පැමිණි එම සිතුවිලි සමඟ බොහෝ වේලාවක් නිහඬව ගෙවා දැමූ ශෙනෝලි නාන කාමරයට වැදුනේ දින ගණනාවක වෙහෙස මහන්සිය නිවා ගැනීමේ බලාපොරොත්තුවෙනි.
සුවපහසු නින්දකට පසුව පසුදා උදෑසන රිහාන් අවදි වූයේ වෙනදාට වඩා සැහැල්ලු සිතකිනි. ඔහුගේ සිතේ තිබුණේ කලක සිට පැහැදිලිව තීරණයකට පැමිණීමට නොහැකිව තිබූ දෙයක් අවසානයේදී නිශ්චිත මඟකට යොමු වූ බවට වූ සතුටකි. අවදි වූ වහාම දුරකථනය අතට ගෙන එය පරීක්ෂා කර බැලූ විට ඉශිනිගෙන් ලැබී තිබූ ඇමතුමක් දුටු පසුව ඔහුගේ සිතේ වූ සතුට තවත් තීව්ර විය. රිහාන් ඉශිනි ගේ අංකය අමතා ඇය ඇමතුමට සම්බන්ධ වනතුරු බලා උන්නේ නොඉවසිල්ලෙනි.
” ගුඩ්මෝනින් ඉශිනි “
” ගුඩ්මෝනින් රිහාන්. මට අද ඔෆිස් යන්න කලින් ඔයාව හම්බවෙන්න පුළුවන්ද?”
ඇගේ හඬේ තිබූ උද්යෝගය ඔහු හට පැහැදිලිව දැනුනු අතර පුහුණුවීම් හෝ වෙනත් යම් කටයුත්තක් නොයෙදී තිබූ බැවින් ඇයව මුණගැසීමට කිසිදු බාධාවක් නොමැති බව ඒ සමගම රිහාන් හට සිහිපත් විය.
“පුළුවන්. කොහෙදිද හම්බ වෙන්නේ?”
“අපි එදා ගිය කැෆේ එකට එන්න. මං එතන ඉන්නම්.”
ඇමතුම අවසන් කළ රිහාන් හැකි ඉක්මනින් සූදානම් වීමට සිතා යහනෙන් බැස ගත්තේ මුහුණේ රැඳී තිබූ සිනහවක්ද සමඟිනි. වෙනදාට පිටතට යාම සඳහා සූදානම් වීමට පැයක් පමණ ගත කළත් එදින පැය භාගයක් වැනි කෙටි කාලයක් තුළ සූදානම් වී රිහාන් නිවසෙන් පිට වූයේ අතිශය බලාපොරොත්තු සහගතවය. නිවසින් පිට වූ පසු අතරමඟදී හමුවූ මල් අලෙවි කරන ස්ථානයක් දැක ඔහු මොහොතකට නතර වූයේ හදිසියේ සිතට ආ සිතුවිල්ලක් මතය. දෙවරක් නොසිතා එම මල් අලෙවිසල ඉදිරියේ වාහනය නතර කළ රිහාන් ඒ වෙත ගොස් ඉශිනි වෙනුවෙන් ඉතා සරල සහ සුන්දර නැවුම් මල් පොකුරක් විශේෂයෙන් සකස් කරවා ගෙන මිලදී ගත්තේය.
තවත් විනාඩි කිහිපයක් ඇතුලත ඉශිනි පැමිණෙනවා යැයි කියූ කෝපි හල ඉදිරියේ රිහාන් තම වාහනය නතර කළ අතර මදක් නුදුරින් ඉශිනි ගේ වාහනය ද නතර කර තිබෙනු දුටු ඔහුගේ මුහුණේ නැවත ඇඳුනේ සිනහවකි.මිලදී ගත් මල් පොකුරද රැගෙන කෝපි හලට ඇතුලු වූ ඔහු ඒ මොහොතේදී දුටු දසුනෙන් මොහොතකට නතර වී බලා උන්නේ පුදුමයෙනි.
ඉශිනිද රිහාන් වෙනුවෙන් මල් පොකුරක් රැගෙන ඔහු එනතුරු බලා සිටියේ පෙර දිනයේදී ඔවුන් දෙදෙනා වාඩි වී සිටි ස්ථානයේමය.
“ඔයාත් මල් අරගෙන ආවද “
ඉශිනි වහාම අසුනෙන් නැගිට ඇය අතේ තිබූ මල් කළඹ රිහාන් වෙත දිගු කළ අතර ඔහු ද අත තිබූ මල් කළඹ ඉශිනිගේ අත තබා සියුම් ලෙස ඇය වැළඳගෙන අසුනට බර වූයේ පිරුණු හදවතිනි.
“මං හිතුවා ඔයාට මල් එකක් දෙන්න ඕනේ කියලා. මෙච්චර දවසක් ඔයානේ ඉශිනි මට මල් දුන්නේ “
ඉශිනි යන්තමින් සිනාසී දිගු වේලාවක් ඔහු දෙස බලා සිටියේ ඇගේ සිත තුළ ඉපදෙමින් තිබුණු සතුට සඟවාගත නොහැකිවය.
“මට තාමත් විශ්වාස කරන්න බෑ රිහාන් ඔයා මෙච්චර ඉක්මනට මෙහෙම තීරණයක් ගත්ත කියලා.ඇත්තටම… එදා සුගතදාස එකේදී මං ඔයාව මුලින්ම දකිනකොට කවදාවත් හිතුවේ නෑ අපි දෙන්නා මේ තරම් දුරක් එයි කියලා “
ඇගේ වචන අසා රිහාන් මඳක් නිහඬ වූයේය. ජීවිතය පිළිබඳව මෙවන් තීරණයක් ගැනීම කිසිසේත්ම පහසු නොවූ නමුත් ඒ පිළිබඳව තවදුරටත් සිතා බැලිය යුතු බොහෝ කාරණා ද ඉතිරිව තිබේ.
” ඉශිනි, මම මේ ගත්තේ ගන්න හිටපු තීරණයක් වත් ගන්න ලේසි තීරණයක් වත් නෙමෙයි. මොකද, ඔයා දන්නවනේ මගේ ජීවිතේ ටිකක් වෙනස්. මං වැඩ කරන විදිහ, මගේ schedule එක සාමාන්ය ජොබ් එකක් කරන මනුස්සයෙක්ගෙ දවසට වඩා වෙනස්. අපේ දවස් හැමදාම එක වගේ නෑ. සමහර දවස්වල උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ. Concert එකක් ඉවර වුණාම කී දෙනෙක් ඇවිල්ලා කතා කරනවද, photo ගන්නවද, message කරනවද කියලා වෙලාවකට මට වත් ගණන් කරන්න බෑ. දවසකට ගෑනු ළමයි කී දෙනෙක් message කරනවද කියලත් ඔයා දන්නවා ඇතිනේ අනික”
“මං දන්නවා ”
“මං කියන්නෙ ඒ දේවල් ගැන මගේ partner වෙන කෙනාට හොඳ තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ. හැම දෙයක්ම වැරදි විදිහට තේරුම් ගත්තොත් මට ඒකත් එක්ක ජීවත් වෙන්න, මගේ ජොබ් එක හරියට කරගන්න අමාරුයි.මොකද music කියන්නේ මනස නිදහසේ තියාගෙන කරන්න ඕන දෙයක්. අනික, මං හැම වෙලාවෙම කෙනෙක්ට explain කර කර ඉන්න කැමති නෑ “
ඉශිනි ඔහු දෙස බලා සිනාසුනේ සරල ලෙසය.
“ඔයා මේ දේවල් මට කියන්න කලින් මං ඒ ගැන හොඳටම දන්නවා රිහාන්. මං ඔයාව දකින්නේ අද ඊයේ ඉඳන් නෙමෙයිනේ. අවුරුදු ගාණක් තිස්සේ ඔයාගේ ජීවිතේ ඒ දේවල් මං දැකලා තියෙනවා. ඒ නිසා ඔයා කවුද, ඔයාගේ ජීවිතේ කොහොමද කියලා දැනගෙන තමයි මං මේ තීරණය ගන්නේ “
ඉශිනි වෙතින් නික්මුණු වචන රිහාන්ගේ සිතට ගෙන ආවේ සැහැල්ලුවකි. තමන්ගේ ලෝකය තේරුම් ගැනීමට උත්සාහ කරන කෙනෙකු තමන් අසල සිටින බව දැනීම ඔහුට කිසිදා නොදැනුණු ආකාරයේ සතුටක් විය. ඔහු ඉශිනි දෙස බලා සිනාසුණේ ඒ හැඟීම සඟවා ගත නොහැකිවය.
ශෙනෝලි තම නිවසේ බැල්කනියට වී උදෑසන කෝපි කෝප්පය අතැතිව තම රාජකාරී දුරකථනයෙන් ඡායාරූප ශිල්පීන් විසින් එවා තිබූ නුවරඑළියේ ප්රසංගයේ ඡායාරූප එකින් එක බලමින් උදෑසන වරුව ගෙවමින් උන්නාය. වේදිකාවේ රිහාන් සිටින ඡායාරූප කිහිපයක් ඇගේ දෑස් ඉදිරියේ නතර වූ විට ඇගේ සිතේ පැහැදිලිව හඳුනාගත නොහැකි හැඟීමක් මතු වූවත් ඇය තවදුරටත් ඒ හැඟීමට ඉඩ නොදී ඊළඟ ඡායාරූපය වෙත දෑස් ගෙන ගියාය.
ඡායාරූප බලා අවසන් කළ ශෙනෝලි දුරකථනය පසෙක තබන්නට සූදානම් වූ මොහොතේම එය නාද විය.
” Ashen ”
තිරය මත දිස්වූ නම දුටු පසුව ශෙනෝලි දෙවරක් නොසිතා ඇමතුමට සම්බන්ධ වූවාය.
“හෙලෝ අශේන් ? ”
“ශෙනෝලි, අද මට ඔයාව පොඩ්ඩක් හම්බවෙන්න පුළුවන්ද ? ”



