වසන්තය තව දුරද – 65

0
224

“පරක්කු වෙද්දි මං හිතුවෙ ඔයා මට බොරු කියලා එන්නෙ නැතුව ඉඳි කියලා” දෙනෙත් අස්සේ කඳුලු රඳවාගෙන කියන නෙත්මලී දෙස බලාගෙන නලින්ද්‍ර මද මුදු සිනා නැංවුවේය.

“මං ඔයාට මෙච්චර කාලෙකට බොරුවක් කරේ නෑනෙ. මං එහෙම මනුස්සයෙක් නෙවෙයි”

“ඇයි පරක්කු උනේ?”

“ඇත්තටම වාහනේ හෝදන්න දාලා තිබ්බෙ සර්විස් සෙන්ටර් එකට. මට ඊයෙ ගන්න බැරි උනා. අද උදේ ගන්න ගියාම එයාලා සෙන්ට්ර් එක ඕපන් කරනකං ඉන්න උනා මට ඒකයි” කියා නලින්ද්‍ර නෙත්මලීගේ හිස අතගා කියද්දී දොරකඩ හිටගෙන උන් චන්ද්‍රා නලින්ද්‍ර දෙස බලා හිනා උනාය.

“ගෙට එන්න අයියෙ” කියා නලින්ද්‍රට ගෙට අඬ ගැසුවේ නෙත්මාල් ය.

“මල්ලි ගැන කියලා තියෙනවා. දැක්කෙ අදනෙ? කොහොමද මල්ලි? අද නිවාඩු ද?”

“ඔව් අයියෙ?”

“මේ දවස්වල අයි ටි සෙක්ටර් එකේ සෑහෙන ලේ ඕෆ්ස් යනවා නේද? මල්ලිලගෙ ඔෆිස්වලට අවුලක් උනේ නැද්ද මේ AI trend එක?”

“නැත්තෙ නෑ අයියෙ. අපේ ටීම් එකෙත් විස්සක් තිහක් ව්තර අයින් කළා. දැන් ඉතින් AI එක්ක වැඩ කරන්න පුරුදු වෙන්න වෙලා තියෙන්නෙ.”

“ඒක තමයි. අපිටත් දැන් ක්ලයන්ට්ස්ලා කතා කරලා අහනවා සමහර වැඩ AI එකෙන් කරගන්න පුලුවන් නේද කියලා. මිනිස්සු හිතන්නෙ AI කරද්දි කොස්ට් එක එහෙම සැහෙන අඩුවෙන් කරගන්න පුලුවන් කියලා. ඒ උනාට ඒක ඩිපෙන්ඩ් වෙනවා ඉතින්. සමහර AI Tools ගණන් මල්ලි මිනිස්සුන්ට වඩා”

“ඒක ඇත්ත අයියෙ. කෝඩ් එකක් ලියාගන්න එකයි ඒක හරියට වැඩ කරන සිස්ටම් එකක් කරගන්න එකයි දෙකක්නෙ”

“අන්න ඒකයි. මල්ලි කොච්චර කල්ද දැන් වැඩට ගිහින්?”

“අවුරුදු තුනක් විතර වෙනවා අයියෙ”

“හොඳයිනෙ. තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙන ෆීල්ඩ් එකක්නෙ. රට යන්න අදහසක් නැද්ද? අයි ටී කාරයො ගොඩක් රට යන්න බලාගෙනනෙ ඉන්නෙ”

“එහෙම අදහසකුත් තියෙනවා අයියෙ. ඒ උනාට ඒවට කලින් ගෙදර වෑඩ නංගිගෙ වැඩ එහෙම සෙට්ල් කරන්නෝනනෙ අයියෙ. අයියට නංගි කියලත් ඇතිනෙ අපෙ ගෙදර, තාත්තගෙ එහෙම ප්‍රශ්න” කියා නෙත්මාල් එහෙම කියද්දී නලින්ද්‍ර නෙත්මලීගේ මුහුණ බැලුවේ “ඔයා ඇයි ඒවා මට නොකිව්වෙ?” කියන ප්‍රශ්නෙකුත් එක්කය. නෙත්මලී බිම බලාගත්තේ ඒ ප්‍රශ්නෙ මගාරින්න වගේය.

“ආව ගමන් ඒ ළමයගෙ ඔලුවට ඔය කතන්දර දාන්නෝන නෑනෙ. මහත්තය දවල්ට කන්නත් ආව එකේ තේකක් බිව්වොත් බඩ පිරෙයි කියලා හිතලා මං දෙහි බීම එකක් හැදුවා. කමක් නෑ නේද?” කියාගෙන චන්ද්‍රා ආවේ ට්‍රේ එකක තබාගත් දෙහි බීම වීදුරුවක් අරගෙනය. 

“අම්මා මට මහත්තයා කියන්නෝන නෑ. එක්කො පුතා කියන්න නැත්තං නලින්ද්‍ර කියන්න. මහත්තය කියන්න මොකෝ මං අමමට රස්සාවක් දීලය. අනික අපේ ඔෆිස් වලවත් අපි එහෙම කතා කරන්නෙ නෑ නේද නෙත්මලී” කියා නලින්ද්‍ර සැහැල්ලුවෙන් කියද්දී චන්ද්‍රාට හිතේ තිබුණ බර මදකට අමතක කරා සිනාසෙන්න එය හේතුවක් නොවුණා නොවේ.

“මල්ලි කතාව නතර කරපු තැනින්ම මං කතාව පටන් ගන්නම්කො. ඇත්තටම නෙත්මලී මට ගෙදර ප්‍රශ්න මුකුත්ම කිව්වෙ නෑ මල්ලි. හැබැයි නෙත්මලී මං වගේ වයසක මනුස්සයෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න හේතුවෙන්න ඇත්තෙම එයාගෙ තාත්තා එක්ක තිබ්බ මොකක් හරි ප්‍රශ්නයක් කියන එක මට හිතාගන්න අමාරු උනේ නෑ. නෙත්මලී සමහරවිට ඒව මා එක්කල කිව්වා නම් අපි මිට කලින් හම්බෙන්නත් තිබුන මං හිතන්නෙ”

“නංගි තාත්තා එක්ක හරිම ක්ලෝස් වෙලා හිටියෙ අයියෙ. අපිට වඩා තාත්තා එක්ක තමයි එයාට ලොකුවටම එකතු. පොඩි කාලෙ ඉඳන්ම මොන දෙයක් වුණත් තාත්තට තමයි එයා කියන්නෙ. තාත්තත් එහෙමයි නංගිට සැහෙන ආදරෙයි” කියා නෙත්මාල් මඳක් නැවතී නෙත්මලී දෙස බැලුවේය. “ඒ නිසා තාත්තගෙ ප්‍රශ්නෙ එයාට බලපාපු විදිහ අපිට හිතාගන්න පුලුවන්. අපිටත් දුක හිතුණා තමයි. ඒත් නංගිට ඒක දරාගන්න අමාරු වුණා අයියෙ අපිට වඩා. එක්සෑම් එක උනත් හිතුව තරං හොඳට නොකරගන්න ඒ ප්‍රශ්නෙ නංගිට සෑහෙන්න බලපැවා ”

නෙත්මාල් ඒ කියද්දී නලින්ද්‍ර කිසිවක් නොකියා අසාගෙන සිටියේය. නෙත්මලී මේ දේවල් තමන්ට කියා නොතිබුණත්, ඇගේ හැසිරීම්වලින් ඔහුට තේරුම් ගන්නට බැරි වූ බොහෝ දේවල් දැන් පැහැදිලි වෙමින් තිබිණි.

“මං හිතන්නෙ ඒක තමයි මටත් වැඩියෙන්ම බය හිතෙන දේ ළමයො” චන්ද්‍රා කතාවට එකතු වූයේ එහෙමය. “මම අම්මා කෙනෙක් විදිහට මොනවා හිතුවත්, මගේ දුවව දික්කසාද වෙච්ච මනුස්සයෙක්ට බන්දලා දෙන්න මම කැමති වෙන්නෙ නෑ.මං මේ ඔය ළමයට බණිනවා කියලා හිතන්නෙපා. ඔය ළමයට ළමේක් ඉන්න කාලෙක මං කියන දේ තේරෙයි. ඔයා ගැන මං තවම හරියට දන්නෙත් නෑනෙ. ඒත් මගේ ළමයගෙ අනාගතේ ගැන හිතද්දි මට එහෙම හිතෙන එක වළක්වන්න බෑ”

“මට තේරෙනවා අම්මෙ”  කියා  නලින්ද්‍ර සන්සුන්ව කීවේය.

“අනික නෙත්මලී තාම පොඩි ළමයෙක්. එයාට තාම ජීවිතේ ගැන ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඔයා ජීවිතේ අවුරුදු ගාණක් ගත කරල කසාදයක් කරගෙන, ඒකත් දික්කසාදෙකින් ඉවර කරගන්න තැනට ඇවිත් ඉන්න කෙනෙක්. එයා තාම ඒ කිසි දෙයක් අත්දැකලා නෑ. දෙන්නගෙ වයස විතරක් නෙවෙයි, ජීවිතේ අත්දැකීම් අතරත් ලොකු වෙනසක් තියෙනවානෙ පුතේ

ඔයා දික්කසාද වුණා කියලා හිතමුකො. එහෙම වුණා කියලා ඊට පස්සෙ දවසෙම ආයෙත් කසාදයක් කරගන්න පුලුවන්ද? ඔයාටත් ඔයාගෙ ජීවිතේ ගැන හිතන්න කාලයක් ඕනෙ වෙයි. ඒ වගේම නෙත්මලීටත් තව කාලයක් යද්දි මේ සම්බන්ධෙ ගැන අදට වඩා වෙනස් විදිහට හිතෙන්න පුලුවන්. එහෙම නැතුව අද හිතන දේම හෙටත් හිතයි කියලා අපි කාටවත් කියන්න බෑනෙ.”

“ඒක ඇත්” නෙත්මාල් කීවේය. “අපිටත් ඕනෙ නංගි හදිස්සියට තීරණයක් ගන්නවට වඩා හොඳට හිතලා බලලා දෙයක් කරනවා දකින්න අයියෙ”

“අන්න ඒකයි මටත් ඕනෙ එච්චරයි.” චන්ද්‍රා කීවාය. “මම කියන්නෙ නෑ මේ සම්බන්ධෙ නවත්තන්න කියලා. මට එහෙම කියන්නත් බෑනෙ. දෙන්නා ටිකක් ආස්‍රේ කරලා, කල් යද්දිත් දෙන්නට දෙන්නා ගැළපෙනවා කියලා හිතෙනවා නම්, දෙන්නටම මේ සම්බන්ධෙ ගැන පැහැදිලි තීරණයක් ගන්න පුළුවන් නම්, එතකොට ඉතින් අපිටත් ඒ ගැන හිතන්න පුලුවන්. එහෙම නැතුව දැන්ම හැමදේම තීරණය කරලා ඉවර කරන්න ඕනෙ නෑනෙ නේද?

අපිට පුළුවන් දරුවොන්ට අපේ අදහස් කියලා දෙන්න. අපේ හිතට බය හිතෙන දේවල් කියන්න. ඒත් අන්තිමට ැඑ තීරණ අස්සෙ ජීවත් වෙන්නෙ එයාලනෙ. එයාලගෙ ජීවිතේ තීරණ හැමදාම අපිට අරන් දෙන්න බෑ. මට ඕනෙ නෙත්මලී හදිස්සි නොවී, හොඳට හිතලා තීරණයක් ගන්නවා දකින්න. ඔයාටත් ඒ ගැන තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා පුතේ. නෙත්මලීට වඩා ජීවිතේ අත්දැක්ක මනුස්සයෙක් විදියට පුතාට මේ ප්‍රශ්නෙ දිහා හොඳට බලන්න පුලුවන් කියලා මං හිතනවා

මං ඔයාගෙන් ඉල්ලන්නෙත් ඒකමයි පුතේ. නෙත්මලීගෙ හිතේ ඔයා ගැන තියෙන හැඟීම මට තේරෙනවා. ඒත් ඒ හැඟීම විතරක් මදි ජීවිතේ ලොකු තීරණයක් ගන්න. ඔය දෙන්නටම හොඳයි කියලා හිතෙන තීරණයක් ගන්න පුලුවන් වෙන්න ඕනෙ. එතකොට කවදාහරි ආපස්සට හැරිලා බැලුවත් කාටවත් තමන් ගත්ත තීරණය ගැන පසුතැවෙන්න හේතුවක් ඉතුරු වෙන්නෙ නෑ.

අනික මට ඕන නෑ මට ජීවිතේ පස්සෙ කාලෙක වෙච්ච දේ මගෙ දරුවට වෙනවා දකින්න. ඒකයි මං මේ මෙච්චර නහින්නෙ.නෙත්මලී ඒ හැමදේම දැක්ක එකේ නෙත්මලීට තේරෙන්නෝන මිනිස්සු කියන්නෙ වෙනස් වෙන ජාතියක් ව්ත්තිය. ඒක ඔය ළමයට වගේම තමන්ටත් පොදු විත්තිය”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here