වසන්තය තව දුරද – 61

0
223

ගින්න ඇවිලෙන්න මහ වෙලාවක් යන්නේ නැත. අනෙක් අතට හනුමන්තාගෙන් වරං ඉල්ලගත්ත ලොකු අම්මා වගේ සමහර කාන්තාවන්ට නම් අනුන්ගේ ගෙවල් ගිනි තියන්න එහෙමකට ලේස්තියක් වෙන්න ඕන නැති විත්තිය නෙත්මලීට තේරුණේ ලොකු අම්මා නලින්ද්‍ර ගැන ගෙදෙට්ට ඇවිත් කිව්ව දවසේය.

“ඉන්නෙ නම් කොහොමද අම්මෝ පත්තිනි වගේ. ඇවිදින්නෙ නිකන් පොළවට රිදෙයි වගේ. ඒ උනාට උඹලා හොරෙං හොරෙං කරන විගඩං අපිට හැමදාම හොරෙන් කරන්න පුලුවං වෙයි කියලා වෙන්නැති නේද නෙත්මලී හිතාගෙන උන්නෙ?” කියා ලොකු අම්මා අහද්දි නෙත්මලීට පුදුම හිතුනේ වෙනද වගේ තමන් මේවට කඳුලු ඉස්සර කරගත්තේ නැති එක ගැන ය. වෙනදා නම් මෙහෙම වචනයක් ඇහුණත් හිත රිදීගෙන එන හැටිත්, ඒ රිදීම දරාගන්න බැරිව ඇස්වලට කඳුළු පිරෙන හැටිත් ඇයට හොඳින් මතකය. ඒත් අද එහෙම වූයේ නැත.  බාගදා පහුගිය කාලයේ වෙච්ච දේවල් වලින් හිත තෙම්පරාදු වෙලා තිබුණා විය හැකිය. නැත්නම්, තමන් ගැන අනුන් හිතන දේවල් හැම එකක්ම හිතට අරගෙන රිදවාගන්න ගියොත් ජීවිතේ ඉස්සරහට යන්න බැරි බව හිත දැන් ටිකෙන් ටික ඉගෙනගෙන තිබුණා විය හැකිය.

ඒත් ලොකු අම්මාගේ වචනවලට තමන් නිහඬව සිටි පමණින් ඒවයින් තමන්ට නොරිදුණා යැයි කියන්නට බැරිය. තමන් ආදරය කරන මනුස්සයා ගැන, තමන්ගේ ජීවිතේ ගැන කිසිවක් නොදැන කෙනෙකු මෙහෙම කතා කරන එක නෙත්මලීට දරාගන්නට පහසු වූයේ නැත. වෙනසකට තිබුණේ, ඒ රිදීම වෙනදා වගේ කඳුළක් වෙලා පිටතට නොපැමිණීම පමණි.

“ලොකු අම්ම මොනවා ගැනද ඔය කියන්නෙ?” කියා කටෙන් පිටතට ආවේ ඒ වේදනාවත්, තරහත්, දුකත් එක සමාන සාන්ද්‍රණයකින් කැටිවුණ ඉවසිලිවන්ත වචන කිහිපයකි. එහෙත් ඒ වචන අස්සේ තිබුණේ වෙනදා නෙත්මලීගේ හඬේ තැවරි තිබුණ අහිංසක බව නොවන විත්තිය තේරුණ නිසාමද මන්දා අම්මාත්, ලොකු අම්මාත්, මහප්පාත් උන්නේ මදකට ගැස්සී ගොසිනි. 

“අප්පද බොල මේකිගෙ කටේ සද්දෙ? වනචරකං කරලා මදිවට තව කට කියවන්නත් එනව නේද?” කියා ලොකු අම්මා දරාගත්තා තමන්ගේ කට හඬේ තිබුණ ඒ ගෑනුකම බව තේරුං ගන්න නෙත්මලීට බැරිවුණේ නැත. අනෙක් අතට නෙත්මලී උන්නේ අම්මා ගැනද තරහකි. තමන් වරදක් කරා නැතා තමන්ගේ සහෝදරිය වුව මෙහෙම විත් තමන්ගේ පවුල් සංස්ථාවට අත දමන වෙලාවක අම්මා කෙනෙකු හරි නං හැසිරිය යුත්තේ මෙහෙම නොවන බවට තේරීමක් ඒ වෙද්දී අම්මාට වඩා හොඳින් සමාජයට විවර වී උන්න නෙත්මලීට තිබුණාය. ජීවිතේ ගැන, මිනිසුන් ගැන, සම්බන්ධකම් ගැන තමන් තවමත් ඉගෙන ගනිමින් සිටියත්, නෙත්මලීට එක දෙයක් නම් ටිකෙන් ටික තේරුම් යමින් තිබුණි. දරුවෙකුට රිදෙන්නේ ලෝකය තමන්ව වැරදියට තේරුම් ගන්නා විට පමණක් නොවේ. තමන්ව හොඳින්ම දැන සිටිය යුතු අයත් තමන්ව තේරුම් ගන්නට උත්සාහ නොකරන විටය.

ඒත් ඒ අතරේ නෙත්මලීට තවත් දෙයක් සිතුණාය. සමහරවිට අම්මාත් අද මේ විදිහට හැසිරෙන්නේ ඇයගේම ළමා කාලයේදී විඳින්නට සිදුවුණු වේදනාවන් නිසා නොවිය හැකිද? ආදරය ලැබිය යුතු ආකාරයවත්, දරුවෙකුගේ හිත රිදෙන්නේ නැතිව ඔහුට හෝ ඇයට අවවාද කළ යුතු ආකාරයවත් කවුරුන් හෝ ඇයට කියා දී නොතිබුණා විය හැකිය. තමන් කුඩා කාලයේදී විඳි වේදනාවන්ම නොදැනුවත්වම තමන්ගේ දරුවන්ටත් ලබා දෙන මිනිසුන් මේ ලෝකයේ නැතුවා නොවේ. සමහරවිට අම්මාත් ඒ අතරින් කෙනෙකු විය හැකිය.

අම්මා ගැන හිතේ තිබුණු තරහ මඳකට නිවී ගියේ ඒ සිතුවිල්ල ඔස්සේය. ඒත් ඒ වෙනුවට අම්මා ගැන අනුකම්පාවක් ඇති වූ පමණින් තමන්ගේ වේදනාව නැති වී යන්නේ නැති බවත් ඇය දැන සිටියාය. කෙනෙකු අපට රිදවන්නේ ඇයිදැයි තේරුම් ගැනීම එකකි. ඒ රිදවීම දරාගෙන හැමදාමත් ජීවත් වීම තවත් එකකි.

“දැන් මොකද්ද ලොකු අම්මා කියන ඔය මං කරපු වනචරකම?” කියමින් නෙත්මලී අඩියක් ඉස්සරහට ආවේ ඇත්තටම තමන් වෙනුවෙන් දැන් තමන්ට පෙනී ඉන්නට කාලය පැමිණ ඇති බව තේරුං ගොස් තිබුණ නිසාවෙනි.

“කට නං තියෙනවා පඩික්කම වගේ මහ ලොකුවට. තාත්තගෙ පවුලෙ ආරෙටනෙ උඹලත් හැදිලා තියෙන්නෙ. මං මොනවද කියන්නෙ කියලා නොදන්න තොත්ත බබා උඹ. හොඳයි නංගියෙ උඹ දෝණියැන්දා හදලා තියෙන විදිය. එක එක මිනිස්සු එක්කලා හෝටල් ගානෙ රිංගන එකද ඔය මහ ලොකුවට උඩ දාගෙන යන රස්සාවෙ කරන්න තියෙන්නෙ?” කියා ලොකු අම්මා කියද්දී වෙලා තියෙන දේ පූර්වාපර සන්ධි ගලපාගන්න නෙත්මලීට අපහසු උනේ නැත

“ලොකු අම්මා මාව කොහෙදි හරි දැක්කද?”

“දැක්කද? ලැජ්ජ නැතුව තව අහන හැටි විතරක් මං මගේ ඇස් දෙකෙන් දැක්ක දේවල් ගැන උඹෙන් අහන්න මට කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ.දැක්ක හන්දා තමයි මේ මව් දෙමව්පියො ඉන තැන කියන්නෙ. අයියෙක් උන්නට වගේ වගක් නෑනෙ. නංගිලා යන්නෙ කොහෙද මොක්කු එක්කද කියලා උඹලා හොයලා බලන්නෙ නැද්ද” කියා ලොකු අම්මා නෙත්මාල් දෙස බලද්දී නෙත්මාල් කරේ දෙනෙත් අහකට හරවාගන්නා එකය. නෙත්මාල් කොහොමද එදා මෙදා තුර ලොකු අම්මාව ප්‍රිය කරේ නැත. තාත්තා ගෙදරින් පිට උන දවසේ පටන් ම නෙත්මාල් කිව්වේම “ඔය ප්‍රශ්නෙ ඔච්චර දුර දිග යන්නේ නෑ ලොකු අම්මා මේකට හොම්බ දැම්මේ නැත්තං” කියාය. එහෙමෙකේ අයියා මෙවෙලේ මේ ප්‍රශ්නෙට හොට දාපු නැති එක ගැන නෙත්මලී උන්නේද සන්තෝසයෙනි. තමන්ගේ ප්‍රශ්න විසඳාගත යුත්තේ තමන් ය. හැමදාම එක එක මිනිස්සුන්ගේ අත්වාරුවේ එල්ලී ගොඩ යන්නට හිතන්න පුලුවන්කමක් මිනිස්සුන්ට නැත.

“මං එහෙම දෙයක් කිව්වෙ නෑනෙ. මං ඇහුවෙ දැක්කද කියලා විතරයිනෙ”

“ඈ චන්ද්‍රො මහ පුදුම විදියටනෙ උඹලා දරුවො හදලා තියෙන්නෙ? උඹලා දැකලා තියෙද අපෙ දරුවො කවදාවත් මෙහෙම කට ගහගෙන එනවා අපි එක්කලා ප්‍රශ්නයක් කතා කරද්දි. අම්මලා අප්පලට ගරු කරලා කතා කරන්න දරුවන්ට උගන්නන්න ඉතින් අම්මලා අප්පලා හරියට ඉන්නෙපාය ඉස්සෙල්ලා”

“ලොකු අම්මා, මං අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නකො. මාව දැක්කද නැද්ද?”

“මං දැක්ක එකක් නෑ. අපේ කෙල්ල දැකලා මට ඇවිත් කිව්වේ මොකෙද්ද රැව්ල වවාගත්ත මිනිහෙක් එක්කල වාහනේක ගිහින් හෝටලේකට යනවය කියලා. මට විස්වාස නැද්ද අපෙ දරුවව. මං මේ තකහනියෙ දුවගෙන ආවෙ මොකද්ද මේ කරගත්ත විනාසෙ කියලා බලන්න. දැන් හරිනෙ. තව මොනවද අහන්න තියෙන්නෙ?”

“හෝටලේකට ගියා කියලා ඒකෙන් ලොකු අම්මා කියන දේ ඔප්පු වෙන්නෙ කොහොමද?”

“නෙත්මලී මේ දැන් උඹ මට උගන්නන්නත් එනවද? මේ වයසෙ ගෑනු ළමයෙක් මිනිහෙක් එක්ක හෝටල්වල යන්නෙ මොකටද කියලා මං උඹට කියලා දෙන්න ඕන නෑනෙ.”

“ලොකු අම්මා නොදන්න දේවල් ගැන ඔහොම කතා කරන්න එපා”

“මොකක්ද උඹ කිව්වෙ?”

“මං කිව්වෙ මං ගැන නොදන්න දේවල් කියන්න එපා කියලා. මං කොහෙ ගියත්, කාත් එක්ක ගියත් ඒක ගැන අහන්න අයිතියක් තියෙනවා කියලා මං දන්නවා. හැබැයි ඒක ආයුදයක් කරගෙන මට ඕන ඕන විදිහට චෝදනා කරන්න කාටවත් අයිතියක් නැතෙයි කියන එක ලොකු අම්මා අමතක කරන්නෙපා. අනික් එක ලොකු අම්මෙ මේක අපේ ගෙදර. අපේ ගෙදර ප්‍රශ්නවලට ලොකු අම්මා මොකටද මේ හැමතිස්සෙම ඇවිත් හොට දාන්නෙ? ලොකු අම්මට වගක් නෑනෙ අපේ ගෙදර වෙන දේවල් නේද?”

“චන්ද්‍රා මේ උඹ අහගෙනද ඉන්නෙ මේකි කියන කතා? අතේ මිටේ සල්ලි පොඩ්ඩක් ගෑවෙන්න පටන් ගත්තයින් පස්සේ කටේ ලවුස්පීකරයක් හයි කරගෙන විත්තිය යකෝ මං දැනගෙන උන්නෙ නෑනෙ. උඹලා මොන වනචරකං කරත් කමක් නැ. උඹ මගේ නංගිගෙ දරුවා හන්දා ආං ඒ කැක්කුමට තමයි මං මේ කතා කරන්න ආවෙ. එහෙම ආවට වඩා හොඳයි කට ගලක උලාගත්ත නං. හොඳයි චන්ද්‍රො උඹත් මේ දරුවො හදලා තියෙන විදිය හොඳේ. බොහෝඕඕඔම හොඳයි. මිනිහත් තොලොංජි උනා. ළමයිනුත් එක එක හැබිචෝල් කාරයො එක්ක අතන මෙතන තොලොංජි උනයින් පස්සෙ පාරට බහින්න වෙච්ච දවසක උඹ වරෙංකො අක්කෙ බක්කෙ කියාගෙන” කියා ලොකු අම්මා අම්මා දිහාවට හැරී වචනවලින් ප්‍රහාර එල්ල කරද්දී චන්ද්‍රා කරේ නෙත්මලීට තරවටු කරන්නට වචන එක්කාසු කරගනිමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here