“ඔයාට එන්න පුලුවන් නේද අපේ ගෙදර? අපේ අම්මලා එක්ක ඇවිල්ලා අපි ගැන කතා කරන්න. දැන් කොහොමත් එයාලා දන්න එකේ ඔයා ඩිවෝස් වෙන්න යන කෙනෙක් කියන එකයි අපි දෙන්නා අතර තියෙන සම්බන්ධෙයි ඔයාට ගෙදරට එන්න බැරි කමක් නෑ නේද?
අපේ අම්මලා හිතාගෙන ඉන්නේ ඔයා මට බොරුවක් කියලා මාව රවට්ටගෙන කියලා. ඔයා ආවොත් ඒ අදහස වෙනස් වෙයි නලින්ද්ර. ඔයාට විතරයි අපෙ ගෙදර ඇවිත් ඒ අදහස වෙනස් කරන්න පුලුවන්” කියා නෙත්මලී කියද්දී නලින්ද්ර උන්නේ ඇත්තටම උභතෝකෝටියක හිරවීය. මේ සම්බන්ධය පටන්ගත්තේ කිසිසේත්ම නෙත්මලිට බොරුවක් කරන අදහසකින් නොවන බව ඇත්තක් උනත්, දික්කසාද නඩුව තියෙන්නේ දැන් අවසාන අදියරේ බව ඇත්තක් උනත්, දික්කසාද වෙමින් ඉන්නා වැඩිමහල් පිරිමියෙකු විදියට පුංචි කෙල්ලෙකුගේ අත පතා ඒ කෙල්ලගේ ගෙදර යන එක ලේසි කාරණාවක් නොවන බව අමුතුවෙන් තේරුං ගන්න කාරණා නලින්ද්රට උවමනා උනේ නැත.
නෙත්මලී එසේ අසද්දී නලින්ද්ර මඳ වේලාවක් නිහඬව සිටියේ අන්න ඒ නිසාය.
“ඇයි ඔයා සද්ද නැතුව ඉන්නේ?”
“මං මේ කල්පනා කළේ කොහොමද මේක කරන්නෙ කියලා”
“මොකක් කරන්නද?”
“ඔයාගෙ අම්මලා එක්ක කතා කරන එක”
“ඉතින් ඒකනෙ මං කියන්නේ. ඔයා ඇවිල්ලා කතා කරන්න. මං තනියම ඔයා ගැන මොනවා කිව්වත් එයාලා විස්වාස කරන්නෙ නෑ. එයාලා හිතන්නෙ ඔයා මාව රවට්ටගෙන කියලා. ඔයා ආවමවත් තේරුං ගනීවි ඒක එහෙම නෑ කියලා.”
“එයාලා මොනවා ඇහුවත් මට උත්තර දෙන්න පුලුවන් නෙත්ම. ඒත් එයාලා මං ගැන මොන විදිහට හිතයිද කියන එක මට ඩිසයිඩ් කරන්න බෑනෙ”
“ඔයා ගැන හොඳට හිතන්න කියලා නෙවෙයිනෙ මං කියන්නේ. ඔයා මට බොරුවක් කරන්නෙ නෑ කියලා තේරුං කරන්න කියලයි මං කියන්නෙ. ඔයා ඇවිල්ලා කතා කරොත් එයාලා ඔයා දිහා බලන විදිය වෙනස් වෙයි.ස්පෙශලි අම්මා”
නලින්ද්රගේ මුණේ ඉරියව් ඒ වචන එක්ක මොහොතකට වෙනස් උන බව ඇත්තකි.එය නෙත්මලීට හරියටම හඳුනාගත නොහැකි තරම් ඉක්මන් වෙනසක් වුවත් ඔහු පිළිතුරු දෙන්නට පෙර ගත කළ සද්ද නැති තත්පර කිහිපය ඇයට දැනුණේ වෙනදාට වඩා කල්පාන්තයක් තරං දිගටය.
“ඔයාට මං ගැන විස්වාසයි නේද?” ඔහු ඇසුවේය.
“ඔව්. ඒකනෙ මං ඔයාට අපේ ගෙදර එන්න කියන්නේ”
“එහෙනම් ඔයා මං ගැන විස්වාස කරන්න නෙත්මලී. අනිත් අය මොනවා හිතුවත් ඒක ටිකක් කල් යද්දි වෙනස් වෙයි. ඒත් ඔයාව මං ගැන් අවිස්වාසයක් නෑනෙ. එහෙනං එතන අවුලක් නැනෙ”
“ඒත් මට හැමදාම ඔයා වෙනුවෙන් එයාලා එක්ක ආගිව් කරන්න බෑනෙ නලින්ද්ර. මං ඔයාට ආදරේ කරනවා කියන එක මට කියන්න පුළුවන්. ඒත් ඔයා මට ආදරේ කරනවා කියන එක ඔප්පු කරන්න මට බෑ. ඒක ඔයාම කරන්න ඕන දෙයක්”
නලින්ද්ර සුසුමක් හෙළුවේ ඒ වචන ඇත්ත නිසාය. ඒ වචන එක්ක ආගිව් කරන හැටියක් ඇත්තටම නලින්ද්රට තිබුණේ නැත.
“මං ඒක දන්නවා”
“එහෙනම් ඔයා එනවා නේද?”
“මං එන්නම්”
“ඉරිදා?”
“ඉරිදා”
නෙත්මලීට ඒ පිළිතුරෙන් සැනසෙන්නට උවමනා වුණ බව ඇත්තකි. එහෙත් ඇගේ හිතේ තවමත් ඉතිරිව තිබූ පුංචි ප්රශ්නයක් ඇය නලින්ද්රගෙන් අහන්නට හිතුවේ හිත තවත් සනසාගන්නට හිතාගෙනය.
“නලින්ද්ර, ඔයාගෙ දික්කසාද නඩුව ඉවර වෙන්න තව කොච්චර කල් යයිද?”
“ඒක හරියටම කියන්න බෑ. දැන් අන්තිම ස්ටෙජ් එකේ වගේ තියෙන්නේ”
“ඒ කියන්නේ තව මාසයක් දෙකක් වගේද?”
“සමහරවිට”
“සමහරවිට කියන්නේ?”
“ ඔය දේවල් මගේ අතේ තියෙන දේවල් නෙවෙයිනෙ නෙත් නඩුවක් කියන්නේ අපිට ඕන දවසට ඉවර කරගන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ ඉතින්”
“තාරා අකමැත්තෙන් නෙවෙයි නේද ඩිවෝස් වෙන්නෙ?”
“නෑ, ඇයි එහෙම ඇහුවෙ?”
“නිකන්” කියා කිව්වාට මේ ආදර කතාවේ පලවෙනි වතාවට මේ ප්රශ්න තමන්ගේ පුංචි හිතට ඕනවට වඩා බර නැද්ද කියා නොහිතා ඉන්න ඇත්තටම නෙත්මලිට පුලුවන් උනේ නැත.
“ඔයා ඔය ඩිවෝස් වෙන්න යන මනුස්සයෙක් එක්ක යාලුවෙච්ච එක අපරාදෙ. නෙත් ඔයා තාම පොඩි ළමේක්. ඔයාගෙ ඔය වයසට ඔයා බෙයා කරගන්නෝන් විදියෙ ප්රශ්නයක් නෙවෙයි ඔයා ඔය ඔලුවට දාගන්න යන්නෙ ආදරේ කියලා. ඔයාට පිස්සු. ආදරේ හන්දා ඔයා පිස්සු වැටිලා” කියලා හොඳම යාලුවා මුලදි කියන්නට යෙදුණ වචනත්,
“ළමයො තමන්ගෙ වයසට නොගැලපෙන සම්බන්ධකං හදාගත්තම දුක් විඳින්න වෙන්නෙ පස්සට. ඒක ඔය ළමයට දැන් තේරෙන එකක් නෑ. ඔය පිරිමියා මෝරච්ච පිරිමියෙක්. ඔය ළමයා එහෙම නෑ. පස්සෙ පසුතැවෙන්න වැඩ කරන්නෙපා” කියා අම්මා කියන්නට යෙදුන කාරණාවත් නෙත්මලිට මෙවෙලේ මතක් නොවුනා නොවේ.
දින ගෙවුණේ එවන් සිතුවිලි දහරාවක් අස්සේ සිත එක එක තැන් අතර දෝලනය වෙමිනි.
ආදරේ කරනකොට ගෑනු ළමයි මෝඩ වෙනවා කියන කතාව නෙත්මලී ඕනෑ තරම් අහලා තිබුණාය. ඒත් ඒ ආදරේ මෝඩකම කියන්නේ මොකක්දැයි ඇයට හරියටම තේරුණේ දැන්ය. තමන් ආදරේ කරන මිනිහා වෙනුවෙන් සාමාන්ය වෙලාවක කවදාවත් නොකරන දේවල් කරන්නටත්, තමන්ට පැහැදිලිව පෙනෙන දේවල් නොදැක්කා වගේ ඉන්නටත්, උත්තරයක් ලැබිය යුතු ප්රශ්න අහන්නටත් බය වෙන්නටත් ගෑනු ළමයින්ට පුලුවන් වෙන්නේ ආදරේ හන්දාය. තමන්ව රිදවන දෙයක් වුණත් ඒ මනුස්සයා නැතිවෙයි කියන බයට ඉවසගෙන ඉන්නට පුලුවන් තැනකට හිත හදාගන්නේත් ඒ නිසාය.
තමනුත් දැන් බය වී තිබුණේ නලින්ද්රව නැතිවෙයි කියාය. ඔහු ගැන සැකයක් හිතට ආ හැම වෙලාවකම ඒ සැකය දිහා කෙළින් බලනවා වෙනුවට, ඔහු වෙනුවෙන් නිදහසට කරුණු හොයන්නට තමන් පුරුදු වෙමින් සිටින බව නෙත්මලී මොහොතකට සිතා අනතුරුව ඒ මොහොතේම අමතක කර දැම්මාය. ඔහු උත්තරයක් නොදුන්නොත් ඔහුට වැඩ ඇති කියා සිතුවාය. ඔහු ප්රශ්නයක් මඟහැරියොත් ඒ ගැන කතා කරන්නට ඔහු අකමැති ඇතැයි සිතුවාය. තමන්ගේ හිතට දැනෙන දේවල් පවා ඔහුට කරදරයක් වෙයිදැයි සිතා යටපත් කරගත්තාය.
සමහරවිට ආදරේ නිසා ගෑනු ළමයි මෝඩ වෙනවා කියන්නේ තමන්ට බොරු කරන මිනිහෙක්ව හඳුනාගන්න බැරි වෙන එකටම නොවේය. තමන්ට බොරු කරනවාදැයි සැකයක් ඇති වුණත්, ඒ ඇත්ත දැනගන්නට ඇති බයට තවදුරටත් ඒ මනුස්සයාව විස්වාස කරන්නට උත්සාහ කරන එකටය.
ඒත් නලින්ද්ර තමන්ට ඇත්තටම බොරු කරනවාදැයි නෙත්මලී දැන සිටියේ නැත. ඇය දැන සිටියේ එක දෙයක් පමණි. ඒ තමන් ඔහුට තාත්තට තරං ආදරේ බවය.
ඉරිදා නලින්ද්රව පිලිගන්නට කෑම සකසන්නට නෙත්මලී අම්මාට උදව් කරාය. චන්ද්රා උන්නේ ඇත්තටම හිත දෙගිඩියාවෙනි. නෙත්මාල් කිව්ව හන්දා මෙහෙම දෙයක් කරන්නට එකඟ උනාට නෙත්මලී වනාහී මෙහෙම ආදර සම්බන්ධයක පැටලුණ කොල්ලෙකුව ගෙදෙට්ට ගෙන්වා කතා කල යුතු මට්ටමක ඉන්නා වයසක කෙල්ලෙක් නොවන බව අම්මා කෙනෙකු විදියට චන්ද්රා දැන් උන්නාය. මේ වයසේදි කෙල්ලෙන් කොල්ලන් එක්ක යාලුවෙන බව ඇත්තකි. අම්මලා ඒවාට බය වෙන බව ඇත්තකි. එහෙත් මේ වනාහී එවන් බයක් නොවේ.
“නංගි නිකන් කොල්ලෙක් එක්ක යාලු උනා කිව්ව නම් ඒත් මං බය වෙයි තරහා ගනී. ඒ උනාට මගෙ හිත බය පුතේ මෙ ළමයා මේ දික්කසාද වෙච්ච පිරිමියෙක් එක්ක පැටලිච්ච එක. ඔයාට මං කියන දේ තේරෙනවනෙ. එහෙම පිරිමි කෙල්ලන්ට ලං වෙන්නෙ ඇයි කියන එක මං ඔයාට අමුතුවෙන් පහදන්නෝන නැනෙ” කියා චන්ද්රා නෙත්මාල්ට කිව්වේ ආන් ඒ හන්දාඅ.
මේ කිසිත් නොදත් නෙත්මලී දෙනෙත් අයා මග බලා උන්නේ නලින්ද්ර එන තුරුය.
එනවාය කිව්ව වෙලාව තප්පරෙන් තප්පරේ පහු වෙද්දි හිත බය වෙච්ච එක ඇත්තකි.
එහෙත් ඒ බය එලියට දාගන්න විදියක් නෙත්මලිට තිබ්බේ නැත.


