රිහාන් තම දුරකථන තිරය මත දිස්වූ ඉශිනිගේ නම දෙස මොහොතක් බලා උන්නේය. ඒ මොහොතේදී ඔහු කතා කිරීමට තරම් වාතාවරණයක නොසිටියත් ඇමතුම නොසලකා හැරීමෙන් ගැටලුවක් විසඳෙන්නේ නැති බව සිතූ ඔහු අවසානයේ ඇමතුමට සම්බන්ධ වී වූයේය
” රිහාන්, ඔයාට පුළුවන්ද විනාඩි පහකට studio එකෙන් එළියට එන්න? “
ඉශිනිගේ හඬ අනෙක් පසින් ඇසුණේ තරමක කලබලයක ස්වභාවයකිනි. රිහාන් කිසිවක් විමසීමට පෙරම ඇය තවදුරටත් කතා කළාය.
” මං පහළ ඉන්නෙ. ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ “
රිහාන් මොහොතක් නිහඬව උන්නේය. පුහුණුවීම් අතරතුරදී පිටතට යාම එතරම් පහසු නොවූවත්, ඉශිනි මේ මොහොතේ එතැනට පැමිණ සිටින බව දැනගත් පසුත් ඇයව මඟ හැර හිඳීම ඇය වෙත කරන අගෞරවයක් යැයි සිතා ඔහු නැගී සිටියේ සුළු මොහොතකට ස්ටුඩියෝවෙන් පිටතට යාමේ සිතිවිල්ලෙනි.එහෙත් එයට පෙර නැවතත් දුරකථනය නාද වූ අතර තිරය දෙස බැලූ ඔහුගේ බැල්ම මඳක් වෙනස් වූයේ ක්ෂණයකිනි.
” Hello, තාත්තා”
“පුතා, මට දැන් තමයි social media වල යන මේ සිද්ධිය ගැන දැනගන්න ලැබුණේ “
රොහාන්ගේ හඬේ කිසිදු කලබලයක් නොතිබුනු නමුත් ඔහු කතා කළ ආකාරයෙන් ඔහුට ඒ පිළිබඳව කතා කිරීමට අවශ්යව ඇති බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.
” මට ඔයත් එක්ක මේ ගැන කතා කරන්න ඕනේ පුතා. මගේ office එකට එන්න “
රිහාන් මොහොතක් නිහඬව උන්නේය. තම මව සමග මේ පිළිබඳව දීර්ඝ ලෙස කතාබහ කළද පියා සමග කතා කිරීමට තරම් උදෑසන කාලයේ හෝ කාල වේලාවක් නොවීම පිළිබඳව ඔහුට දැනුනේ තරමක පසුතැවීමකි.
” තාත්තා, මං දැන් practice වල ඉන්නේ. ඉවර වෙලා එන්නද? “
“හෙට අනිද්දා special event එකක් එහෙම නැත්නම් practice නවත්තලා අනිත් අයට ගෙදර යන්න කියලා ඔයා එන්න පුතා. මට ඔයා එක්ක මේ ගැන කතා කරන්න ඕනේ “
රොහාන් එය පැවසුවේ තම පුතුට තරවටු කරන ආකාරයෙන් නොවේ.ඔහු ස්වභාවයෙන්ම ප්රශ්නයක් ඇති වූ විට කලබල වී තීරණ ගැනීමට වඩා, මුලින්ම සෑම පැත්තක්ම තේරුම් ගැනීමට උත්සාහ කරන මිනිසෙකු වූ නිසාම ඔහුගේ හඬේ තිබූ සන්සුන් බව රිහාන්ටද හොඳින් දැනුණි.
“හරි තාත්තා. මං එන්නම් “
ඇමතුම අවසන් කළ රිහාන් දුරකථනය සාක්කුවට දමා ගත්තේය.ඒ මොහොතේ ඔහුට දැනුණේ පෙර තිබූ ප්රශ්නයට තවත් එක් ප්රශ්නයක් එකතු වී ඇති ආකාරයකි. එහෙත් ඒ පිළිබඳව වැඩිදුර සිතමින් සිටීමට ඔහුට කාලයක් ඉතිරි වී නොතිබූ අතර, පුහුණුවීම් නවතා පියා හමුවීමට යාමට ඔහු තීරණය කළේය.
“තාත්තා මට එයාගේ office එකට එන්න කිව්වා. ඒ හින්දා මට එහේ යන්න වෙනවා. අපි Practice අදට නවත්තමු. නැත්තං ඔයාලා කන්ටිනිව් කරගෙන යන්න “
ඔහු කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් දෙස බලා පැවසුවේය. ඒ වන විටත් සෑම කෙනෙකුටම රිහාන්ගේ පියා ඇමතීමට හේතුව පිළිබඳව යම් අදහසක් තිබුණද, කිසිවෙකු ඒ පිළිබඳව ඔහුගෙන් විමසන්නට ඉක්මන් වූයේ නැත.
රිහාන් පිටව යන්නට සූදානම් වෙද්දී මේඝ ඔහු අසලට පැමිණියේය.
“මචං, අපෙන් මොකක් හරි help එකක් ඕනේ නම් කියපන්.”
රිහාන් ඔහු දෙස බලා මඳ සිනහවක් පෑවේය. ඒ අවස්ථාවේ ඔහුට අවශ්ය වූයේ තවත් කෙනෙකු තමන් වෙනුවෙන් ප්රශ්නය විසඳීමට උත්සාහ කරනවාට වඩා, තමන් විසින්ම එය විසඳා ගැනීමටය.
“I can manage this. Thank you Megha “
රිහාන් පිටවී යන ආකාරය දෙස බලා සිටි කණ්ඩායම් සාමාජිකයන් අතර මොහොතකට පැතිර ගියේ නිහඬියාවකි. රිහාන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව වැඩිදුර කතා කිරීමට කිසිවෙකුට අවශ්ය නොවූවත්, ඒ සිදුවීම මේ වන විට ඔහුගේ වෘත්තීය ජීවිතය දක්වා පැමිණ තිබීම සියල්ලන්ගේම සිත්වල යම් නොසන්සුන්තාවයක් ඇති කර තිබිණි.
“ඉශිනි හොඳ කෙනෙක් තමයි. ඒක අපි කවුරුත් දන්නවා ”
කණ්ඩායමේ ඩ්රම්ස් වාදන ශිල්පියා වූ සිහින සෙමින් පැවසුවේය.
“ඒත් මේ වගේ දේවල් රිහාන් මෙච්චර කාලයක් හදාගෙන ආපු image එකට හොඳ නෑ. පේනවා නේද, අපි හරි partner කෙනෙක් තෝරගත්තේ නැත්නම් වෙන්න පුළුවන් දේවල් “
එම වචන ඇසුණු පසු ශෙනෝලි කිසිවක් නොකියා තමන් ඉදිරිපිට තිබූ දේවල් දෙස බලා උන්නාය. තමන් එම කතාවට එකඟ වනවාද නැද්ද යනුවෙන් පෙන්වීමට පවා ඇයට අවශ්ය වූයේ නැත. රිහාන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව අදහස් දැක්වීමට තමාට අයිතියක් නැති බව ඇය දැන සිටි අතර, ඔහු පිටවී ගිය දොර දෙස එක බැල්මක් හෙළා ඇය නැවතත් තම අවධානය වෙනතකට යොමු කළාය.
පහළ මාලයට පැමිණි රිහාන් තම වාහනය දෙසට යන්නට පෙර ඒ අසලම නවතා තිබුණු ඉශිනි ගේ වාහනය දැක දෙසට පියවර තැබූ අතර ඔහු තමන් දෙසට පැමිණෙන බව දුටු සැණින් ඇය වාහනයෙන් බැස ඔහු වෙත මින නතර වූවාය. ඇගේ මුහුණේ පෙර දින රාත්රියේ තිබූ උද්යෝගය නොතිබූ අතර, ඒ වෙනුවට යම් නොසන්සුන්තාවයක් පැහැදිලිවම දක්නට තිබිණි.
“රිහාන්, ඔයාට පුළුවන්ද අර girlව contact කරගෙන ඒ post එක අයින් කරවන්න?”
ඇය කෙළින්ම විමසුවාය.
“මේක දුර යන්න දෙන්න කලින් අපි නවත්තමු.”
රිහාන් ඇය දෙස මොහොතක් බලා උන්නේය. ඔහුගේ මුහුණේ කෝපයක් හෝ නොරිස්සුමක් නොතිබුණද, මේ මොහොතේ තමාට ඇති කාලය ඉතා සීමිත බව ඔහුට දැනෙමින් තිබිණි.
“ඒක අයින් කරවන්න පුළුවන්. ඒත් මේ වෙනකොට ඒ post එක යන්න ඕන තැන්වලට ගිහින් ඉවරයි.”
“ඒ කිව්වේ?”
ඉශිනිගේ මුහුණ මඳක් වෙනස් විය.
“මට දැන් තාත්තා call කරා. එයා මට එයාගේ office එකට එන්න කිව්වා. එයාට මේ ගැන මං එක්ක කතා කරන්න ඕනේලු “
එම වචන කිහිපය ඇසුණු සැණින් ඉශිනි හට දැනුනෙව් සිත තුළ යම් බරක් ඇති වූවාක් මෙනි. රිහාන් හා පවතින සම්බන්ධය තවමත් තිබෙන්නේ එහි ආරම්භයේය. එවැනි කාලයකදී තමන් සම්බන්ධ සිදුවීමක් රිහාන්ගේ පියා දක්වාම යාම තමා කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු දෙයකි . පෙර දින රාත්රියේ තමා කළ දේ පිළිබඳව පළමු වතාවට ඇගේ සිත තුළ සැබෑ පසුතැවිල්ලක් මතු වූ නමුත්, එය වචනවලින් පෙන්වීමට ඇය ඒ වන විටත් සූදානම්ව උන්නේ නැත.
“මට පරක්කු වෙන්න බෑ ඉශිනි “
රිහාන් පැවසුවේ තම වාහනය දෙසට හැරෙමිනි.
“තාත්තා මේ ගැන කතා කරන්න මං එනකං office එකේ බලාගෙන ඉන්නවා. මං පරක්කු වුණොත් නම් එයාට තරහ යයි. මං ඔයාට හවස් වෙලා කෝල් එකක් දෙන්නම් “
ඉශිනි කිසිවක් නොකියා ඔහු දෙස බලා උන්නාය. රිහාන් වාහනයට නැගී එය පණගන්වාගෙන පිටවී යන තුරු ඇය එතැනම ගල් ගැසී මෙන් බලා උන්නාය. ඔහුගේ වාහනය මාර්ගයට හැරී නොපෙනී යන තුරු බලා සිටි ඇය අවසානයේ සෙමින් තම වාහනය වෙත පැමිණ එහි අසුන් ගත්තාය.
සුක්කානම මත දෑත් තබාගෙන මොහොතක් නිහඬව ඇය පෙර දින රාත්රියේ තමන් අතින් සිදුවූ දෙය පිළිබඳව නැවත කල්පනා කර බැලුවාය. ඒ මොහොතේ තමන්ට දැනුණු කෝපය සාධාරණ යැයි තවමත් ඇයට සිතමින් තිබුණද එය රිහාන්ගේ ජීවිතයට මෙතරම් දුරට බලපෑමක් ඇති කරනු ඇතැයි ඇය සිතා තිබුණේ නැත. විශේෂයෙන්ම ඔහුගේ පියා පවා මේ ගැන දැනගැනීම ඇගේ සිතේ ඇති කළේ වචනවලින් පැහැදිලි කරගත නොහැකි තරමේ අපහසුතාවයකි.
රිහාන් තම පියා වූ රොහාන් එදිරිසිංහගේ කාර්යාලය වෙත පැමිණියේ හැකි ඉක්මනින්. එහිදී ඔහු බලාපොරොත්තු වූයේ බරපතළ මුහුණකින් ප්රශ්නයක් පිළිබඳව සාකච්ඡා කිරීමට බලා සිටින පියෙකු වුවද, කාර්යාල කාමරයට ඇතුළු වූ විට ඔහු දුටුවේ වෙනදා මෙන්ම සන්සුන්ව මේසය අසල වාඩි වී සිටින තම පියාවය. එම නිසා රිහාන් මද සිනහවක් පා ඔහු ඉදිරියේ අසුන් ගත්තේය.
” පුතා, coffee එකක් ගේන්නද?”
“එපා තාත්තා. මං coffee බීලා ඉන්නේ “
රොහාන් මොහොතක් බලා උන්නේ තම පුතුගේ මුහුණේ දක්නට ඇති වෙහෙසකාරී බව දෙසය. ඔහු ඒ පිළිබඳව කිසිවක් විශේෂයෙන් නොවිමසා කතාවට අවතීර්ණ වූයේය.
“මං අම්මට දැන් call කරා. අම්මා කිව්වා ඔයා මේ ගැන එයාත් එක්ක කතා කරා කියලා “
“ඔව් තාත්තා. මං ඊයේ ටිකක් අවුලෙන් ගෙදර ආව වෙලාවේ අම්මත් එක්ක කතා කළා.තාත්තා ඒ වෙලාවේ නිදි “
රිහාන් එසේ පැවසූ පසු මොහොතකට නිහඬ වූයේ තමන්ගේ පියා ඉදිරියේ මේ ගැන කතා කිරීම අපහසු නොවූවත්, මෙය ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තීරණයක් ලෙස නොව, තමන් මෙතරම් කාලයක් කැපවී ගොඩනඟාගත් වෘත්තීය ජීවිතයට අදාළ ගැටලුවක් ලෙස ඔහුට දැනෙමින් තිබුණු බැවිනි.ඒ නිහඬ බව දෙසද රොහාන් බලා උන්නේ සන්සුන්වය.
“ඒත් දැන් ආපහු උදේ වෙලා තියෙන්නේ අපි කවුරුත් බලාපොරොත්තු නොවිච්ච දෙයක් නේද පුතා “
ඔහුගේ හඬේ කිසිදු චෝදනාවක ස්වරයක් නොවූයේය.
“Band එක කියන්නේ මගේ කම්පනි එකට අයිති දෙයක් වෙන්න පුළුවන්. ඒ වුණාට මේ වගේ ප්රශ්නයක් ඔයාට වුණත්, band එකේ වෙන කෙනෙක්ට වුණත්, මම මේක handle කරන්නේ එකම විදිහට. ප්රශ්නේ කාගේ වුණත් මම ඒ ගැනවෙනස් විදිහකට කතා කරන්නේ නෑ.”
රිහාන් නිහඬව පියා දෙස බලා උන්නේය. රොහාන් කතා කරමින් උන්නේ රිහාන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව විනිශ්චය කිරීමක් නොව තම පුතු සහ ඔහුගේ කණ්ඩායම මුහුණ දිය හැකි වෘත්තීය බලපෑම පිළිබඳවය.
“අපි කොයි වෙලාවකවත් අපේ profession එකයි personal දේවලුයි පටලගන්න හොඳ නෑ. විශේෂයෙන්ම ප්රසිද්ධ තැනකදී. ඒ නිසා ඒ ගෑනු ළමයට මේක පුළුවන් තරම් තේරුම් කරලා දෙන්න බලන්න “
රොහාන් මඳක් නතර වී පෙරට වඩා අවධානයෙන් රිහාන් දෙස බැලුවේය.
“එහෙම නැත්නම් ඔයා ඔය දේ ගැන තීරණයක් ගන්න “
එවර රිහාන්ගේ බැල්ම මඳක් වෙනස් විය.
“මොකද, ඔයා මෙච්චර කල් ඔය band එක ඇතුළේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු විදිහක් තියෙනවා. ඊටත් වඩා, ඔයා ඔයාගේ image එක maintain කරපු විදිහක් තියෙනවා. ඒක නැති කරගන්නවට මම කැමති නෑ පුතා. ඔයා කිසිම හේතුවක් නිසා ඒ තැනට වැටෙනවා බලන්න මට ඕනේත් නෑ “
රොහාන්ගේ වචනවල තිබුණේ තම පුතුගේ ජීවිතය පාලනය කිරීමට උත්සාහ කරන පියෙකුගේ ස්වභාවයක් නොවූ අතර එහි වූයේ ගැටලුවක් විසඳා ගැනීම සඳහා මඟ පෙන්වන ස්වභාවයකි. ඔහු රිහාන් පිළිබඳව දැන උන්නේ දුරදිග සිතා බලා තීරණ ගන්නා තරුණයෙකු ලෙසය. එබැවින් වසර ගණනාවක් පුරා ඔහු වෙහෙස වී ගොඩනඟාගත් නම, ගෞරවය සහ වෘත්තීය ස්ථාවරත්වය එක් සිදුවීමක් නිසා බිඳ වැටෙනු දැකීමට ඔහුට අවශ්ය නොවීය.
රිහාන් මොහොතක් පියා දෙස බලා හිඳ තම සිතට පැමිණි සිතිවිල්ල වචන වලට පෙරළුවේය.
“තාත්තා කියන්නේ මං ඒ relationship එක නවත්තන්න ඕන කියලද?”
රොහාන් මඳ සිනහවක් පෑවේය.
“ඒක මට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ පුතා. ඒක තීරණය කරනවනම් තීරණය කරන්න ඕනේ ඔයා. ඔයාට හොඳ නිසානේ ඔය relationship එක පටන් ගත්තේ. ඒකට මේ වෙලාවෙවත් මගෙන් කිසිම බලපෑමක් නැහැ “
රිහාන්ගේ සිත තුළ ඇතිවූයේ තරමක සැහැල්ලුවකි. එහෙත් රොහාන්ගේ ඊළඟ වචන ඔහුට නැවතත් තමන්ගේ වගකීම් පිළිබඳව සිහිපත් කරවූයේය.
“මට මෙතන තියෙන ප්රශ්නේ මේකෙන් ඔයාගේ image එකටයි band එකේ නමටයි හානියක් වෙන එක විතරයි. මොකද ඔයාලා මෙච්චර කාලයක් ඔයාලගේ නමට කිසිම black mark එකක් නැතුව කරගෙන ආපු band එකක් නේ “
කාර්යාල කාමරය තුළ මොහොතකට නිහඬතාවයක් පැතිර ගිය අතර රිහාන් මේසය මත තබාගෙන සිටි තම දෑත් දෙස බලාගෙන උන්නේය. ඉශිනි සමඟ තමන්ගේ සම්බන්ධය පිළිබඳව තීරණයක් ගැනීම එක් දෙයක් බවත්, එම සම්බන්ධය තමන්ගේ වෘත්තීය ජීවිතයට බලපෑමක් වීමට ඉඩ නොදීම තවත් වගකීමක් බවත් ඔහුට ඒ මොහොතේ වඩාත් පැහැදිලි විය.
“දැන් ඔයා මේකට ගන්න යන solution එක මොකක්ද පුතා? ”


