5th Avenue – 44

0
164

මොහොතකට ස්ටූඩියෝව තුළ පැවති සියලුම කතාබහ නතර වූ අතර, සියලු දෙනාගේම අවධානය දොරටුව වෙත යොමු විය. මෙවැනි වේලාවක ඉශිනි පැමිණෙනු ඇතැයි කිසිවෙකුත් බලාපොරොත්තු වී නොතිබූ බැවින්, ඔවුන්ගේ මුහුණුවල මඳ පුදුමයක් සටහන් වී තිබිණි.

රිහාන් පවා මොහොතක් කිසිවක් නොපවසා ඇය දෙස බලා සිටියේය.

” හායි ඉශිනි , මොකෝ මේ පැත්තේ ? “

දොර අසල සිටි මේඝ ඇයව පිළිගෙන ඇයට ස්ටූඩියෝව තුළට පැමිණීමට ඉඩ හැරියේය. ඉශිනි ඔවුන්ගේ පුදුමය දැක පෑවේ මද සිනහවකි.

” ඇයි අනේ ඔයගොල්ලන්ට මතක නැද්ද? අපි charity program එකක් කරගන්න කතා වුණා?”

ඇය ස්ටූඩියෝව තුළට පැමිණෙමින් පිළිතුරු දුන්නාය.

“මං මේ පැත්තෙන් වෙන වැඩකට යන ගමන් ඔයාලා practice කියලා දන්න නිසා තමයි ආවේ. ඒ වැඩේ ගැන පොඩ්ඩක් කතා කරගන්නත් ඕනේනේ. නැත්තං ඉතින් මට චැනල් එකෙන් ඉන්න හම්බවෙන්නේ නැහැ “

ඉශිනිගේ හඬේ තිබුණේ කිසිදු විශේෂත්වයක් නැති සාමාන්‍ය සැහැල්ලුවකි. ඇයට මේ පැමිණීම සම්පූර්ණයෙන්ම ස්වභාවික දෙයක් වූ අතර අනෙක් අයගේ මුහුණු වල තිබූ පුදුමයද මඳින් මඳ පහව ගියේය.

“ඔව් නේ. මට ඒක අමතක වෙලාම ගිහින් තිබුණේ.”

මේඝ සිනහවෙමින් පැවසුවේය.

ශෙනෝලිද කිසිවක් නොකියා මද සිනහවක් පමණක් පා ඇගේ සිතේ තිබූ සිතුවිලි කිසිවක් මුහුණෙන් පිටතට නොපෙන්වීමට වගබලා ගත්තාය. ඉශිනි පැමිණීම පිළිබඳව පුදුමයක් ඇයටද ඇති වූ නමුත්, ඒ පුදුමයට වඩා ඇගේ සිත තුළට පැමිණියේ වෙනස්ම හැඟීමකි. අද පුහුණුවීමක් ඇති බව ඇය දැන ගත්තේ කෙසේදැයි කියා ශෙනෝලි හට අමුතුවෙන් සිතා බැලීමට අවශ්‍ය වූයේ නැත.ඒ නිසාම ඇය රිහාන් දෙසත් බැල්මකින් හෝ නොබලා ඉන්නට ප්‍රවේසම් වූවාය.

ඉශිනි පැමිණි පසු රිහාන්ගේ මුහුණේ තිබූ දැඩි නිහඬ බවද මඳින් මඳ පහ වී ගියේය.ඉශිනි තමන්ගේ ජීවිතයේ කොටසක් බවට පත් කරගැනීමට ඔහු ස්ථිර ලෙසම තීරණයක් ගෙන තිබුණු බැවින් ඇය මෙලෙස තමන් සිටින තැනකට පැමිණීම ඔහුට අමුත්තක් නොවීය.

” ඔයා ලන්ච් අරන්ද ඉන්නේ? මම මේ ලන්ච් ගේන්න යන්න හැදුවේ. හැබැයි මට හිතෙනවා දැන් අපි කට්ටියම එලියට ගිහින් ලන්ච් ගත්තනම් හොඳයි කියලා ? “

මේඝ ඇසුවේ ඉශිනි දෙස බලමිනි.

” මාත් තාම ලන්ච් අරගෙන නෑ. ඔයාලා කට්ටියම එළියට ගිහිල්ලා ලන්ච් ගන්නවා නම්… මම join උනාට කමක් නැද්ද ? ” 

එවර ඉශිනි ඇසුවේ රිහාන් දෙස ද බැල්මක් හෙලන අතරේය.ඒ සඳහා ඔහු තුළද කිසිදු විරුද්ධත්වයක් දක්නට වූයේ නැත.

” Guys. එහෙනම් යන් නේහ්?” 

උදෑසන සිට එක දිගට පුහුණුවීම් කළ බැවින් සියලු දෙනාම වන විටත් උන්නේ දැඩි කුසගින්නේය. ඒ නිසා මේඝ ගේ යෝජනාවට විරුද්ධ වීමට කිසිවෙකුටත් අවශ්‍ය වූයේ නැත.

ඒ අනුව වැඩි වේලාවක් නොගෙන සියලු දෙනාම ස්ටූඩියෝව ආසන්නයේ වූ අවන්හලකට ගොස් දහවල් ආහාරය ගෙන නැවතත් ඉක්මනින් ස්ටූඩියෝව වෙත පැමිණියේ පුහුණුවීම් වලට කාලය කළමනාකරණය කරගත යුතු නිසාත්, ඉශිනි නැවත ඇගේ වැඩ කටයුත්තක් සඳහා පිටව යා යුතුව තිබුණු නිසාත්ය. ස්ටූඩියෝවට පැමිණි පසුව ඉශිනි පැමිණි ප්‍රධාන කාරණය පිළිබඳව කතා කිරීම සඳහා සියල්ලෝම නැවත එක තැනකට රැස් වූයේ උද්‍යෝගයෙනි.

” මට ඔයාලත් එක්ක කතා කරන්න තියෙන ලොකුම දේ තමයි මට හිතෙනවා අපි මේ වැඩේට songs ටික තෝරන එක ගැන පොඩ්ඩක් වැඩිපුර හිතලා බලන්න ඕනේ කියලා “

ඉශිනි කතා කිරීමට පටන් ගත්තේ මේඝ අත තිබූ ලිපිගොනුවක් දෙසද බලමිනි.

” මොකද මේ Elders’ Home එකේ ඉන්න හැමෝම වගේ අවුරුදු හැට, හැත්තෑව, අසූවට කිට්ටු අයනේ. ඒ නිසා අපි අපේ ජෙනරේෂන් එකේ තියෙන අලුත්ම songs ටිකක්  එතන ගිහින් perform කරොත් එයාලට ඒක එච්චර connect වෙන එකක් නැති වෙන්න පුළුවන්, එයාලට ඒක එන්ජෝයි කරන්න බැරිවෙන්නත් පුළුවන් “

ඇය පැවසූ වචන අසා සිටි ශෙනෝලිද හිස මඳක් සෙලවූයේ ඉශිනි පැවසූ කාරණාව අතිශය සාධාරණ එකක් වූ බැවිනි. වැඩසටහනේ අරමුණ කණ්ඩායමට තමන්ගේ ගීත ගායනා කර පෙන්වීමකට වඩා, එහි සිටින වැඩිහිටියන් හට ඔවුන්ගේම මතකයන් සමඟ නැවත මොහොතක් ජීවත් වීමට අවස්ථාවක් ලබා දීම බව ඇයට සිතුණි.

” ඒ නිසා මට හිතෙන්නේ එයාලගේ generation එකේ එයාලා ආස කරපු songs ටිකක් අපි තෝරගත්තොත් හොඳයි කියලා . එයාලා තරුණ කාලේ අහපු, එයාලට මතක තියෙන songs. එතකොට තමයි එයාලට ඇත්තටම එන්ජෝයි කරන්න පුළුවන් වෙන්නේ “

අදාල වැඩසටහන පිළිබඳව ඉශිනි තුල වූ උනන්දුව සහ ඇගේ සැලසුම සියලු දෙනාටම පැහැදිලි වූයේ අනතුරුවය. 

එම නිසා මේඝ මොහොතක් කල්පනා කර ඇය පැවසූ සියලුම කාරණා වලට එකඟ වූයේය.

” ඒක හොඳ idea එකක් ඉශිනි ඇත්තටම.මොකද අපි කවුරුත් ඕක ගැන හිතලා තිබුනෙම නැහැ. එහෙම කළොත් තමයි අපිට එයාලත් එක්ක හොඳ කනෙක්ෂන් එකක් හදාගන්න පුලුවන් වෙන්නේ.සහ, මේ වැඩේ හොඳම රිසල්ට් එක ගන්න පුළුවන් වෙන්නෙත් එතකොට ” 

තමා තුළ වූ අදහස සහ අනෙක් කාරණා සියල්ල මේඝ ඇතුළු කණ්ඩායම් සාමාජිකයන් සියලු දෙනාම විසින් තේරුම් ගැනීම පිළිබඳව ඉශිනි තුළ ඇතිවූයේ සතුටකි.

” එහෙනම් songs ටික තෝරන වැඩේ ශෙනෝලිට දෙමු. එයාට මේ වගේ දේවල් හොඳට balance කරගන්න පුළුවන් නේ. එයාලට boring නොවෙන, අපේ කට්ටියට perform කරන්න පුළුවන් songs ටිකක් බලල තෝරගමු.

මේඝ තවදුරටත් පැවසූ විට ශෙනෝලි එයට එකඟ වී හිස සෙලවූවාය.

” හරි. මං අදම list එකක් හදන්නම් “

ඇය පැවසුවේ ඇය අසල වූ ලැප්ටොප් පරිගණකය අතට ගෙන විවෘත කරන අතරේය.එතෙක් නිහඬව සිටි අශේන් හදිසියේම සිනහවක් සමඟ කතාවට එක් වූයේ ඉන් පසුවය.

” හැබැයි මෙහෙමයි ” 

ඔහු කතාව නතර කළේ අනෙක් සියල්ලන්ගේම අවධානය තමන් වෙත යොමු වන තුරුය.

” මට සිං කරන්න ලේසි songs ටිකකුත් තෝරන්න හොඳේ. අර අවුරුදු අසූවෙ අය ආසයි කියලා අවුරුදු අසූවකට කලින් තිබුණු සිංදු කියන්න ගිහින් මට මගේ career එක ඉවර කරගන්න බෑ ” 

ඔහු එය පැවසුවේ සම්පූර්ණයෙන්ම සැහැල්ලු විහිළුවක් ආකාරයෙන් වූ නිසා සියලු දෙනාම ඔහු හා සිනහවට එක් වූයේ ඊළඟ තත්පරයේදීමය.

නමුත් ඒ මොහොතේදී ශෙනෝලි ගේ සිතට පෙර දිනයේදී ඔහු සමඟ සිදුවූ කතාබහ පැමිණියේ කිසිදු හේතුවක් නොමැතිවය. ඇය ඒ සිතුවිල්ල ඉක්මනින්ම පසෙකට දැමුවේ තම කාර්යය කෙරෙහි අවධානය යොමු කරමිනි.

” ඔයාට ඉතින් තියෙන්නේ මං තෝරන සින්දු ටික හොඳට ප්‍රැක්ටිස් කරන එක තමයි අශේන් “

ශෙනෝලි පැවසුවේ ලැප්ටොප් තිරයෙන් දෑස් ඉවතට නොගෙනය. ඇගේ හඬෙහි වූ සැහැල්ලු බව පෙර දිනයේ සිදු වූ දේවල් පිළිබඳව කිසිදු අසීරු තාවයක් හෝ අපහසු බවක් නොවන පැහැදිලිවම පෙන්වූයේය.

” ඒක තමයි. ඒ නිසාම මම කලින්ම request එක දාන්නේ. මොකද මට ඔයාව සත පහකට ෂුවර් නෑ. මාත් එක්ක මොකක් හරි තරහක් තියෙනවනම් ඒක මේක පිටින් යවන්නත් බැරි නෑනේ “

අශේන් නැවතත් සිනහවෙමින් පැවසු අතර ශෙනෝලිගේ මුවටද සිනහවක් නැඟුනේ නොදැනුවත්වමය.

උදෑසන සිට ඔහු හැසිරුණු ආකාරය දෙස බැලූ විට, පෙර දිනයේ සිදුවූ කතාබහ ඔහු සැබවින්ම අමතක කර දමා ඇති බව ඇයට සිතෙන්නට පටන් ගෙන තිබිණි. ඊයේ තමන් පැවසූ වචන කිසිදු තර්කයකින් තොරව ඔහු පිළිගත් ආකාරයත්, අද උදෑසන සිට වෙනදා මෙන්ම සැහැල්ලුවෙන් හැසිරුණු ආකාරයත් ඇය නැවත සිහිපත් කළාය.

ශෙනෝලි හට අවශ්‍ය වී තිබුණේද එයමය. ඒ සිතුවිල්ලෙන් පසුව ඇගේ සිතටද දැනුනේ මද සැහැල්ලුවකි.

ඒ අතරතුර ඉශිනි රිහාන් සමඟ කතා කිරීමට සිතා ඔහු වෙත හැරුණාය.

” අපි මේ songs ටික select කර ගත්තට පස්සේ ප්‍රැක්ටිස් වලට වෙනම ඩේට් එකක් දාගන්න ඕනේ නේද?”

“ඔව්. ඒක ශෙනෝලි schedule කරයි “

රිහාන් සාමාන්‍ය ස්වරයෙන් පිළිතුරු දුන් අතර ඔවුන් දෙදෙනා අතර සිදුවන කතාබහ දෙස ශෙනෝලි නොබලා සිටීමට උත්සාහ කළත්, ඔවුන්ගේ හඬ ඇයට පැහැදිලිව ඇසෙමින් තිබිණි. එය තමන්ට අදාළ නොවන දෙයක් බව සිතමින් ඇය නැවතත් ලැප්ටොප් තිරය දෙස අවධානය යොමු කළාය.

එහෙත් අශේන් උන්නේ ඒ දෙස බලාගෙනය.

රිහාන් සහ ඉශිනි අතර තිබූ සංවාදය ඔහුට අමුත්තක් නොවුනත් ඔහුගේ අවධානය තිබුණේ ඔවුන් දෙදෙනා වෙතට වඩා, ඔවුන් දෙස නොබලා සිටීමට උත්සාහ කරන ශෙනෝලි වෙතය.

“මේ දෙන්නාට නම් දැන් අපිව ඕනෙත් නෑ වගේ”

අශේන් සියල්ල දෙස බලා හිඳ පැවසුවේ හදිසියේය. ඉශිනි වහාම ඔහු දෙස හැරී බැලුවාය.

” ආ “

“නෑ ඉතින්, charity එකේ වැඩේ අපිට කියලා දෙන්නත් කලින් ඔයාලා දෙන්නා details ටික ඔක්කොම discuss කරලා ඉවරයිනේ “

අශේන් විහිළුවක ස්වරයෙන් පැවසූ අතර ඉශිනි සිනහවෙමින් හිස සෙලවූවාය.

” අනේ මේ, ඔයාටත් ඉතින් “

ඉශිනි සිනාසුනත් සියල්ල දෙස බැරෑරුම්ව සහ මධ්‍යස්ථව බලන රිහාන් තරමක් නොරිස්සුමට පත් වී ඉන්නා බවක් පෙනෙන්නට තිබුණි.

” Enough අශේන්. ඔයාටත් වෙන වැඩක් නැද්ද ඇත්තටම “

” තියෙනවා තියෙනවා. මම මේ බලන්නේ මගේ job security එක “

අශේන් නැවතත් සිනහවෙමින් පිළිතුරු දුන්නේ සැහැල්ලුවෙනි. එය අසා සිටි සියල්ලන්ම සිනහ වූ අතර, ශෙනෝලිගේ මුවටද සිනහවක් පැමිණියේ නිරායාසයෙනි. එය හිතාමතා පෙන්වූ සිනහවක් නොවුනු අතර අශේන් වෙනදා මෙන්ම හැසිරෙන බව දැකීමද ඇය තුළ නැති වී තිබූ සැහැල්ලුවට හේතුවක් වී තිබිණි.

එහෙත් ඒ සිනහව අතරින් මොහොතකට ඇගේ දෑස් අශේන් වෙත යොමු වූ අතර ඒ මොහොතේම ඔහුද ශෙනෝලි දෙස බැලුවේය.නමුත් ඔවුන්ගේ දෑස් එකිනෙක හමුවී තිබුණ තත්පරයකටත් අඩු කාලයකටය.

අශේන් පළමුවෙන්ම බැල්ම ඉවතට ගත් අතර ශෙනෝලිද කිසිවක් නොවූ ආකාරයට නැවතත් තමන්ගේ ලැප්ටොප් තිරය දෙස බැලුවාය.

එහෙත්,

පෙර දිනයේ ඇති වූ කතාබහ එතනින් නිමා වී ඇතැයි සිතුනද, එවැන්නක් අශේන් තුළින් පෙනෙන්නටද තිබුණද සැබැවින්ම එවැන්නක් සිදුවී තිබුණේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here