“ඉගිලිලා ගියේ සමුගෙන අපේ කුඩුවෙන්
ඔබත් කුඩුවක් තනන්නනේ
ඉගිලිලා ගොසින් තනපු කුඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ //
නැවත එන්න පියඹලා දුවේ
නැවත එන්න පියඹලා දුවේ
ඉගිලිලා ගොසින් තනපු කුඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ
හනික එන්න පියඹලා දුවේ
ඈවිත් යන්න එන්න සුදු දුවේ”
සුදු ඔසරියෙන් සැරසී, ලා රෝස පැහැ මල් කළඹක් අතේ දරා නෙත්මලී උන්නේ නලින්ද්රගේ එක අතක එල්ලී දෙනෙත්වල කඳුලු පුරවාගෙන අම්මාගේ උරහිස මත හිස හොවාගෙන ඉකි බිඳිමිනි. උත්සව ශාලාව පුරා හෙමින් වැයෙමින් තිබු ගීතය සියලු දෙනාගේම දෙනෙත් අස්සේ කඳුලු බිඳු පුරවන්නට හේතු වී තිබුණ බව ඇත්තකි.
චන්ද්රා දුවගේ හිස අතගාමින් ඇයව තුරුලු කරගෙන සිටියේ තවත් මොහොතකට හෝ අත නොහැර සිටින්නට සිතෙන අම්මා කෙනෙකුගේ ලෝබකමෙනි. උදේ සිටම ඇය සිනාසෙමින් දුවගේ මංගල දිනයේ සතුට බෙදාගත්තාය. පෝරුවේ චාරිත්රවලදී ආශීර්වාද කළාය. නෙත්මලී නලින්ද්රගේ අත අල්ලාගෙන සිටිනු දැක සතුටු වූවාය. එහෙත් දැන් ඒ දෙදෙනා පිටත්ව යාමට සූදානම්ව සිටින මොහොතේ, මෙතෙක් වේලා හිතේ හිරකරගෙන සිටි දුක ඇයට තවදුරටත් දුවෙක් හිඳිනා අම්මා කෙනෙකු ලෙස වසන් කරගන්නට පුළුවන් උනේ නැත.
දුවගේ හිසට ඉහළින් පෙනෙන මල් සැරසිල්ලත්, සුදු ඔසරියත් අතරින් ඇයට පෙනුණේ තමන්ගේ ජීවිතයේ අවුරුදු ගණනාවකි. පුංචි කාලේ අම්මාගේ අතේ එල්ලීගෙන ගිය දරුවා, පාසල් යන්නට පටන් ගත් දවසේ ඇඬූ දරුවා අද තවත් කෙනෙකුගේ අත අල්ලාගෙන තමන්ගේම ජීවිතයක් පටන් ගන්නට යනවාය. ඒ ගැන ඇයට සතුටුය. ඒත් ඒ සතුටටම මිශ්ර වී තිබූ වෙන්වීමේ වේදනාවෙන් චන්ද්රාගේ පපුව තිබුණේ බර වීය. මෙතකින් පසුව දුවරුන්ට බිරින්දෑවරුට උරුම දුක් කන්දක් උහුලන්නට වේය යන බිය ඒ දුක අස්සේ යාන්තමට හෝ තැවරී නොතැබුණා යැඉ කියන්නටද නොහැක.වචනවලින් නොකියූ හැඟුම් දහස් ගණනක් කඳුළු අස්සේ දියවී අම්මාගෙත් දුවගෙත් නෙත් අස්සෙන් මිදී කම්මුල් දිගේ බිමට වැක්කුරුණාය.
නෙත්මලී අම්මාගෙන් ඈත් වී මදක් එහායින් උන් තාත්තා වෙත යන්නට උත්සාහ කළත් චන්ද්රා ඇගේ අත මොහොතකට අල්ලාගෙන සිටියාය. කිසිවක් නොකියා දුවගේ මුහුණ දෙස බලා සිටි චන්ද්රා කඳුළු අතරින් සිනාසෙමින් ඒ අත අනතුරුව අතහැරියාය. නෙත්මලීත් ආපසු හැරී අම්මා දෙස බැලුවාය. ඔවුන් දෙදෙනා අතර හුවමාරු වූ ඒ බැල්මේ කියාගන්නට නොහැකි තරම් හැඟීම් ගැබ් වී තිබුණ බව දෙදෙනාම දැන උන් බව ඇත්තකි. තවත් වචනයක් කීවොත් නැවතත් තමුන් දෙදෙනාම හඬා වැටෙනු ඇතැයි සිතෙන තරමට ඒ මොහොත සංවේදී විය.
මඳක් ඈතින් සිටගෙන මේ සියල්ල බලා සිටි අතුල දෑස් පිස දැමුවේ කිසිවෙකුට නොපෙනෙන ලෙසය. එහෙත් කඳුළු සඟවාගන්නට තාත්තා කෙනෙකු ලෙස අතුලට පුළුවන් වූයේ නැත. නෙත්මලීගේ මුහුණේ තිබූ සතුටත්, අම්මාගෙන් සමුගන්නට බැරිව ඇය නැවත නැවතත් හැරී බැලූ ආකාරයත් දකිද්දී ඔහුගේ සිතට ආවේ තමන්ගේ දුවට මෙවැනි මොහොතක තාත්තා කෙනෙකු ලෙස ළඟින් සිටින්නට ලැබීම ගැන සතුටකි. ඒ සමඟම ඇගේ ජීවිතයේ වැදගත්ම කාලයකදී තමන් නොසිටි බව මතක් වීමෙන් ඇති වූ වේදනාවකි.
නලින්ද්ර උන්නේ අතුල අසල හිටගෙනය.
“පුතා” කියා අතුල වියපත් හඬින් තම දෑත අල්ලා ගනිද්දී නලින්ද්ර තම දුඹූරු පැහැ දෙනෙත් අතුල දෙසට හීන් සීරුවේ හැරෙව්වේය
“ඔනම තාත්තා කෙනෙක් ඉතින් තමන්ගෙ දූව කසාද බන්දලා දෙන දවසෙ ඒ පිරිමි ළමයගෙන් ඉල්ලන දේම තමයි පුතේ මට ඔයාගෙන් ඉල්ලන්නත් තියෙන්නෙ.මගෙ දරුවව ඇහැක් වගේ බලාගන්න කියලා. අපි බලගත්තට වඩා හොඳට එයාව බලාගන්න කියලා. මං එයාගේ තාත්තා වුණාට, හැම වෙලාවෙම එයාට ඕන වෙච්ච තාත්තා වෙන්න මට බැරි වුණා. මං කරපු මෝඩකං හන්දා මගෙ දරුවන්ට විශේෂෙන්ම් නෙත්මලීට දුක්විඳින්න වෙන්න ඇති. ඒ දේවල් ගැන හිතද්දි අදත් මට හිත හදාගන්න අමාරුයි. ඒත් මට දැන් කරන්න පුළුවන් දේ තමයි එයා සතුටින් මං ඔයාට කියන්නෙ එයාට කවදාවත් දුකක් දෙන්න එපා කියලා නෙවෙයි පුතේ. ජීවිතේ එහෙම කරන්න බෑනේ. ඔය දෙන්නටත් ප්රශ්න එයි. සමහර දේවල්වලදී එකිනෙකාව තේරුම් ගන්න බැරි වෙයි. ඒත් එහෙම වෙලාවට කතා කරලා විසඳගන්න. තරහ ගියා කියලා අනික් කෙනාගෙන් ඈත් වෙන්න එපා. මං වගේ ප්රශ්නවලින් පැනලා යන්නත් එපා” කියා අතුල කඳුළු පිරි දෑසින් කියද්දී නලින්ද්ර නිහඬව අසා සිටියේය. අතුල කියන වචනවලට වඩා ඒවා කියද්දී ඔහුගේ මුහුණේ ඇඳී තිබූ පසුතැවීම නලින්ද්රට නොදැනුණා නොවේ.
“මං එයාව ආදරෙන් බලාගන්නම් තාත්තේ. තාත්තා බයවෙන්නෙපා” නලින්ද්ර කීවේය.
කණ්ඩලම හෝටලයට කාරය පදවාගෙන එන්නට මහන්සි වුණ නිසාවෙන්ම රැ කෑම වෙලාව එනතෙක්ම නලින්ද්රත් නෙත්මලිත් කෙටි නින්දකට වැටුණී. යලි දෙදෙනාම ඇහැරුණේ හවස හතත් පසු වීය. නෙත්මලී ඇඳෙන් නැගිට රෑ කැමට යන්නට සූදානම් උනත් එහා පැත්තේ අඩ නින්දේ උන් නලින්ද්රගේ අතක් පැමිණ නෙත්මලීගේ සිහින් බඳ වටා එතී නෙත්මලීව තමන් වෙත ඇඳ ගත්තේය.
“කොහෙද යන්නෙ?” කියා නලින්ද්ර ඇසුවේ නිදි බර හඬකිනි.
“මං හිතුවෙ ඔයා තාම නිදි කියලා. මං වොශ් එකක් දාන්න යන්න හැදුවෙ. බඩගිනි අනේ. දවාලෙත් හරියට කන්න උනේ නෑනෙ”
“තව චුට්ටක් ඉඳලා යන්” කියා නලින්ද්ර නෙත්මලීව ඇඳ මත පෙරලාගෙන තමන් අඩි හයක් උස කිලෝ හැටක් පමණ බරැති සිරුර නෙත්මලීගේ සිහින් සිරුරට බර දී ඒ මත අතුරා ඇඟේ සුමුදු බෙල්ල අස්සෙ රුවා ගත්තේය.
“කිති අනේ රැවුල වැදෙද්දි බෙල්ලෙ”
“තව කිති වෙයි රෑට වෙන තැන්වල වැදෙද්දි” කියා නලින්ද්ර කියන්නේ මනමාල හිනාවක් පාමිනි.
“ඊයා අනේ මොනාද ඔය කියන්නෙ?”
“අනේ මේ ඊයා මියා ගාන්න එන්න එපා නංගි. අපි මේ අවුරුදු හතලිස් ගණන්වලට කිට්ටු පිරිමි. හොඳට කාලා බීලා ඇඳල කරල ඉන්නෝන කොල්ලො. ඔය බොරු සිල් රැකිලි නෑ හොඳේ”
“අනේ මේ මං රෑට නිදාගන්න කලින් භාවනා කරනවා අඳ ඉඳලා”
“හා හා භාවනා කරවන්නංකො මං අද ඉඳලා ඔයාට” කියා බෙල්ල අස්සේ මූණ රුවාගෙන ඉද්දීම නලින්ද්ර බඳ වටා ඇඟිලි යවමින් කිති කවද්දී නෙත්මලී එහෙට මෙහෙට ඇඹරෙමින් “අනේ එපා නලින්ද්ර කිති අනේ” කියමින් හුරතල් වෙන්නීය.
“කොහෙද ඔය අත පය දාන්නේ? වෙන වෙන ඒවා ඇහරවගන්නද හදන්නේ?” කියා නලින්ද්ර ආයේ නගන්නේ මනමාල සිනාවකි.
“අනේ මේ ඔයා එක්ක බෑ අනේ. මං යනවා වොශ් එකක් දාගෙන රෙඩි වෙන්න. කෝ එහාට වෙන්න” කියා නෙත්මලී නලින්ද්රව එහාට කර ඇඳෙන් බ්සින්නට සූදානම් වෙද්දී නලින්ද්ර ආයේ වරක් නෙත්මලී අතෙන් ඇද තමන්ගේ පපුවට බර කරගත්තේය.
“ආදරේද?”
“හ්ම්ම්ම්ම්”
“ගොඩක් ආදරේද?”
“හ්ම්ම්ම්ම්”
“දාලා යන්නෙ නෑනේද?”
“ම්හ්”
“වයසට ගිහින් නාකි වෙලා ලොම් හැලිලා නාකි මිනිහෙක් උනත් දාලා යන්නෙ නෑනේද?”
“අනේ නලින්ද්ර, ඕකනෙ ඉති….” ඒ වදන් වලට දිගටම කියවෙන්නට ඉතින් ඉඩක් ලැබුණේ නැත.නෙත්මලීගේ නාදළු දෙතොල් තිබුණේ නලින්ද්රගේ පිරිමි දෙතොල් අස්සේ හිර වී යමින් ආදරයේ සුමුදු මුදු පහසක රස විඳිමිනි.
ඉතින් වසන්තය තව දුර නැත!
————————————————————————————————————————-
දිගටම කතාව කියෙව්වට බොහොම ස්තුතියි.
මට ඔය ලව් සීන් නම් අනේ එහෙම ලියන්න බෑ. දන්නවනෙ මේ වගේ ප්රශ්නකාරී හෑලි තමයි මට ලියන්න පුළුවන්. සුපුරුදු පරිදි කියෙව්ව ඔයාලට වගේම, කතා ලියන්න ඉඩ හදලා දෙන ආදර කෞමදී අක්කාට බොහොම ස්තුතී.
දිගටම මං ලියනේව කියවන ඔයාලට අනේ බොහොම ස්තුතියි!


