පසළොස්වක මල් – 82

0
42

” එ.. එතකොට අයියා කියන්නේ මේ..?” 

මිනිත්තු ගණනාවක් පුරාවට හසරංග සමඟ ආ ගිය තොරතුරු හා බොහෝ දෑ සාකච්ජා කරමින් සිටි මිහිදුමී ඔහු මුවින් පිටවුණු සිංදුමී හා බැඳුණු මාතෘකාව පිළිබඳව තව දුරටත් විශ්වාස කරගත නොහැකිව සිටියාය. 

” අපි දෙන්නා ඉස්කෝලේ ගිය එකටනේ නංගි. ඒලෙවල් කරලා එළියට ආවෙත් එකට. මං කොහොම උනත් සිංදුමී අනිවාර්යයෙන්ම කැම්පස් යයි කියලා අපි බලාපොරොත්තුවෙන් හිටියේ. ඔයා ඉතිං එතකොට හරි චූටියිනේ. අපේ අම්මලත් ලොකුවටම සිංදුමී කැම්පස් තේරිච්ච එක ගැන සෑහෙන්න උඩින් හිටියේ. සිංදුමී කැම්පස් යන මුල් කාලේ එයාගේ ඔක්කොම වියදම් පවා දැරුවේ මම. අපේ ගෙදරින් උනත් කවදාවත් ඒවට මුකුත්ම කියලා නෑ. මං සතියකට වතාවක් සිංදුමීව බලන්න කොළඹ පවා ආවා. “

” කැම්පස් එකට. ?” 

” නෑ නංගි. කැම්පස් එකට නෙමෙයි කැම්පස් එක ළඟට. සමහර වෙලාවට බෝඩිම ළඟට. මං කවදාවත් බෝඩිම ඇතුළට ගිහිල්ලා නෑ. මොකද සිංදුමී කියලා තිබ්බා එතන ඉන්නේ ගෑනු ළමයි විතරයි , පිරිමි අයට යන්න දෙන්නෑ කියලා. කැම්පස් එකට උනත් පිට අයට එන්න දෙන්නෑ කියලා එයා මට මුලින්ම කියලා තිබ්බෙ. “

” ඒත්… ඒ කතාව බොරු බව මං දන්නවා. සමහරවිට කැම්පස් එක ඇතුළේ එයා ඉන්නේ එෆෙයාර් එකක බව අඟවන එක හරි නැති වෙන්න පුලුවන් , මොකද එයා ආවේ ඉගෙනගන්න , ඒකෙන් එයාගේ නමට නරකක් ගෑවෙන්න පුලුවන් වගේ දේවල් මං හිතන් හිටියේ. හැබැයි මට ගමේ හිටපු මගේ යාළුවො ගොඩක් කිව්වා කොච්චර දිව ගාගෙන හිටියත් කෙල්ලෝ කැම්පස් ගියාම වෙනස් වෙනවා , ඒ නිසා ඇලර්ට් එකේ හිටහන් කියලා. ඒත් මං ඒවා විශ්වාස කළේ නෑ නංගි. “

” ඊට පස්සේ ..?” 

පැවසීමට කාරණා බොහෝමයක් තිබුණද මිහිදුමී ඒ කිසිවක්ම නොදන්නා ආකාරයට විමසුවාය. 

” මුලින් මුලින් මං සිංදුමීගේ හැම වියදමක්ම බැලුවා. සතියකට සැරයක් යද්දි එයාට ඕන කරන හැමදේම ගිහින් දුන්නා. ඒත්.. කාලයක් යනකොට එයා ඒ දේවල් රිජෙක්ට් කළා. අඩුම මගෙන් සත පහක දෙයක් බලාපොරොත්තු උනේ නෑ. ඒ වගේම මං එයාව බලන්න එන්න හදනකොටත් එක එක ඒවා කියලා මඟ ඇරියා. පාඩම් කරන්න තියනවා , ඉවෙන්ට් එකක ප්‍රැක්ටිස් තියනවා , අමතර ලෙක්චර්ස් තියනවා ඔය වගේ එක එක දේවල් මං එන්න හදන දවස් වලදි කිව්වා. මුලින් මුලින් ඒවා විශ්වාස කළත් පස්සේ පස්සේ මට ඒ මඟ හරින විදිහ ගැන සැක හිතුණා නංගි. ඒ නිසාම මං එයා එක්ක රණ්ඩු කළා. එයා එතනදිත් අඬලා දොඬලා කොහොමහරි මාව ඩවුන් කළා. 

ඊට පස්සෙ අවුරුද්දේ මගේ යාළුවෙක්ගේ නංගි කෙනෙක් සිංදුමීලගේ ෆැකල්ටි එකටම තේරුණා. මං ඒක කියපු දවසෙත් එයා සෑහෙන්න කලබල උනා. මට ඒවා තේරුණේ පස්සේ. “

හසරංග එසේ පවසා මඳ සිනහවක් පෑවේය. එය නෝක්කාඩුවක් පිරි සිනහවක්ද , නැතිනම් තමාගේ අනුවණ කම  පිළිබඳව තමා තුළම ගොඩ නැඟුණු සමච්චලයක්ද යන්න මිහිදුමී හට තෝරා බේරා ගැනීමට නොහැකි වූවාය. 

” එහෙනං ඒකයි ඒ.. “

හසරංගගේ ඇමතුමට සමු දුන් පසුවද නිදි වර්ජිත රාත්‍රියේ හෝරා කිහිපයක්ම ඈ එතෙක් තිබූ ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු එකතු කරමින් උන්නාය. 

*****************************************-

” ලොකූ.. ! අනේ ප්ලීස්.. !” 

වීඩියෝ ඇමතුමේ අනෙක් පස සිටි තරුණයාගේ උවන කෝපයෙන් පිරී ගොස් තිබූ අතර ඔහු ඈ දෙසට බැල්මක් හෝ නොහෙළා දෑස ඉවතට ගෙන සිටියේය. මහා මාර්ගයේ වේගයෙන් එහා මෙහා යන රථ වාහන දෙස බලා මාර්ගයේ පසෙක නවතා උන් මෝටර් රථය තුළ සිටි ඈ නැවතත් ආයාචනාත්මක බැල්මකින් ඔහු දෙස බැලුවාය. 

” ලොකූ.. ! ලොකු.. ! අනේ ප්ලීස් තරහා වෙන්න එපා. මට දිල්හාරා අක්කා මීට් උනේ අහම්බෙන් “

එවර රෞද්‍ර දෑස දුරකතනය හමුවේ ක්ෂණිකව ඈ වෙත විතැන් වූ අතර එකී දෑස දෙස බැලීමට නොහැකි වූ ඈ වහා දෑස බිමට බර කර ගත්තාය. 

” ඒ අක්කව මීට් උනේ අහම්බෙන් උනාට අර ඩුබායි ඉන්න කෙනාට කතා කළේ අහම්බෙන් නෙමෙයිනේ දුමී ? ආ.. ? “

” අනේ.. මේ අහන්නකෝ..! හරි. මං හසරංග අයියා එක්ක කතා කළා. ඒත්.. ලොකූ එතනදිත් මෙච්චරකල් මට තිබ්බ ලොකු ප්‍රශ්නෙකට උත්තරයක් මං හොයාගත්තා. අහන්නකෝ.. ! සිංදුමී අක්කා ඔයා එක්ක හැසිරුණේ හරි ටොක්සික් විදිහට. ඒක ඇත්තනේ. එයා ඔයාට වෙන කිසිම ගර්ල් කෙනෙක් ආශ්‍රය කරන්න දුන්නෑ. ඒකත් ඇත්තනේ. ඒත්.. නිකමට හිතන්න , එයාට ඔයාව සම්පූර්ණම අයිති කරගන්න ඕනෙනං ඔය තරම් නටන්න දෙයක් නෑ. ඔයාගෙයි , එයාගෙයි එෆෙයාර් එක ප්‍රසිද්ධි කරන එක විතරනේ කරන්න තිබ්බේ. ඒත්.. එයා හැමතිස්සෙම ඔයයි , එයයි අතර තිබ්බ එෆෙයාර් එක හැමෝටම හැංගුවා. ඔයා ගැන හිතේ තියන් හිටපු ගර්ල්ස්ලට විතරක් කෑගැහුවා. , කරදර කළා. හසරංග අයියා කියපු කතාවෙන් ඒ ප්‍රශ්නෙට උත්තර ලැබෙනවනේ ලොකූ. එයා එහෙම ඒක හංගලා තියෙන්නේ ඒක ගෙදර අයට , හසරංග අයියට ආරංචි වෙයි කියලා. අනික සිංදුමී අක්කලගේ බැච් එකෙන් පස්සේ හසරංග අයියගේ යාළුවෙක්ගේ නංගි කෙනෙකුත් කැම්පස් එකට ඇවිත්. ඔන්න ඔය හේතු නිසයි එයා ඒ දේවල් හංගලා තියෙන්නේ. එක පාරට ඔයා මැරි කරමු කිව්වම ඒක පිළිගන්නත් බැරුව , රිජෙක්ට් කරන්නත් බැරුව ඉන්නැති. ඒත්.. හසරංග අයියට වඩා ඔයාව වටින නිසා ඔයාව මැරි කළා. මොකද එයාට ඔයාව ඕන නිසා. ඔයාට මං කියන දේ තේරෙනවද ?” 

” නෑ..”

දරදඬු ස්වරය පෙරට වඩා උස් විය. 

” ලොකූ..! තරහා ගන්නෙපා ප්ලීස්.!” 

” මට මේකට උත්තරයක් දෙන්න දුමී. සිංදුමීගේ මැරේජ් සෙටිෆිකේට් එක අතට අරන් ඒ මං කියලා දැනගෙන , ඒක භරණට කිව්වට පස්සේ භරණ ඔයාට මොකද්ද කිව්වේ ?” 

” ලො.. ලොකූ..?” 

” මං අහපු දේට උත්තර දෙන්න දුමී ? මොකද්ද භරණ එදා කිව්වේ ?” 

” ආ.. ආයි සිංදුමී අක්කා ගැන හොයන්න එපා කිව්වා. එ.. එහෙම හොයනවා කියන්නේ අම්මවයි , මාමාවයි පිට අය විදිහට මං සළකනව කියලා එයා හිතාගන්නවා කිව්වා. “

බිඳුණු ස්වරයෙන් දෑස බිමට බර කර ගත් අපහසුවෙන් වචන ඇහිළුවාය. 

” එතකොට .. , එදා මං ඔයාගේ අපාර්ට්මන්ට් එකේදි සිංදුමී ගැන , මින්දුලා ගැන , පරණ වෙච්ච දේවල් ගැන හැමදේම ඔයා එක්ක කතා කරලා අන්තිමට මොකද්ද ඔයාට කිව්වේ ? ” 

” අනේ ලොකූ..!” 

” අහපු දේට උත්තර දෙන්න දුමී.. මං මොකද්ද අන්තිමට ඔයාට කිව්වේ ?” 

” ආ ආයේ මේ ගැන කතා කරන්න එපා කියලා. මේ අන්තිම වතාව කියලා. “

” මූණ දිහා බලනවා.. ! “

බිමට බර කර සිටින ඇගේ උවන දෙස බලා නැඟුණු ඔහුගේ ගෝරනාඩුව හමුවේ ඈ එවර මඳක් තිගැස්සී ගියාය. 

” අනේ .. ලොකූ..!” 

යන්තමින් හිස එසවූ ඈ කඳුළු පිරි දෙනෙතින් දුරකතන තීරයේ පෙනෙන කෝපාවිෂ්ට උවන දෙස බැලුවාය. 

” ඔයා අපි කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නෑ දුමී. අවුරුදු ගාණකට කලින් වෙච්ච දේවල් ආයේ ආයේ උඩට අරන් නැති ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා කියන කිසිම දෙයක් ඔයා අහන්නෑ දුමී. ඒවා උඩට එනවා කියන්නේ දැන් ඒ හැම කරදරේකින්ම ගැළවිලා , ඒ දුක හිතෙන හැමදේම අමතක කරලා , සැනසීමෙන් ඉන්න මිනිස්සුන්ගේ සැනසීම නැති වෙනවා කියලා කියන එකයි කියලා කියපු කිසිම දෙයක් ඔයා අහලා නෑ දුමී. ඔයාට ඕනෙම පරණ කුණු කන්දවල් හෝද හෝද ආයෙ ආයේ මඩේ දදා දැන් සැනසිල්ලේ , සන්තෝෂෙන් ඉන්න මිනිස්සුන්ගේ සැනසීම නැති කරන්න විතරයි. මට ඔය කිසි දෙයක් වැඩක් නෑ දුමී. මං ඔයාට එදත් කිව්වා. සිංදුමීලගේ මරණ වලට වග කියන්න ඕනේ කවුද කියලා හොයන්න මට උවමනාවක් නෑ . ඒක දැනගත්තා කියලා මට ඇති වැඩකුත් නෑ. “

” ලොකූ.. මං.. “

” එපා.. කතා කරන්නෙපා මාත් එක්ක. “

” අනේ.. ලොකූ. “

” ප්ලීස් දුමී.. මං පිරිමියෙක් තමයි. හැබැයි මටත් දරාගන්න පුලුවන් සීමාවක් තියනවා. සිංදුමීගේ මතකෙන් ගැලවෙන්න හදන හැම වෙලාවකම ඔයා ආයේ ආයේ කරන්නේ මට එයාව මතක් කරවන එක. “

” අනේ .. ලොකූ.. මං එහෙම දෙයක් හිතලා නෙමෙයි මේ දේවල් ඔයා එක්ක කිව්වේ. ඔයාගේ හිත රිද්දන්න මට උවමනාවක් නෑ. ඔයා මගේනේ ලොකූ.. මං .. එහෙම අරමුණකින් ඔයා එක්ක මේවා කතා කළා නෙමෙයි. “

” ඇති දුමී. මං තියනවා. “

” අනේ .. ලොකු.. ප්ලීස්..! “

” මං පස්සෙ ගන්නං දුමී. මට තවත් කතා කරන්න බෑ. “

සමුදීමකින් තොරවම ඔහු දුරකතන ඇමතුම විසන්ධි කර දැමුවේය. 

ගලා හැළෙන කඳුළු බිඳු අතරින් රියදුරු අසුනේ පසුපසට බර වී හිස තද කර ගත් මිහිදුමී කඳුළු ඉතිරෙනා දෑස තදින් පියා ගත්තාය. 

” ඔයා උනත් මට හැමදේම කිව්වෙ නෑ කියලා මං දන්නවා ලොකූ.  ඉවරයි ඉවරයි කිව්වට ඔයා උනත් මට නොකියපු කතා තව ගොඩක් තියනවා කියලා මං දන්නවා.  ඉතිං ඒ හැංගිච්ච කාරණා ටිකවත් දැනගන්න මට අයිතියක් නැද්ද ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here