පසළොස්වක මල් – 77

0
887

 ප්‍රාර්ථනාගේ මරණේ වෙලා තිබ්බේ හොස්ටල් එක ඇතුළෙදිමයි. සිංදුමීව ඊට පස්සෙවත් මට හොයාගන්න බැරි උනා. පහුවදා මං දැනගත්තා එයා ගමේ ගිහින් කියන එක. ඊට පස්සේ මං ඔයාලගේ ගෙදරත් ආවා. ඒත්.. මං ඔයාවවත් , සිංදුමීවවත් දැක්කේ නෑ. ඔයාලගේ අම්මා කිව්වා සිංදුමී තවත් කොහෙද දුර නෑ ගෙදරක ගියා කියලා. ඒත්.. මං ඒ කතාව පිළිගත්තේ නෑ. පිළිගන්න හේතුවක් තිබ්බෙත් නෑ. වෙච්ච දේවල් මං දන්නවා කියලා සිංදුමී දන්න බව මං දැනන් හිටියා. එයා හිතාමතාම මාව මඟාරිනවා කියලා මට තේරුණා. තවත් ඔයාලගේ ගෙදර ඉඳලා තේරුමක් නැති නිසා මං එදා එන්න ආවා. “

” අක්..අක්කා කැම්පස් එකේ ඉඳන් ගෙදර ආපු හැටි මට මතකයි. එයා හිටියේ බය වෙලා. කාමරේ මුල්ලක ඉඳගෙන එයා සෑහෙන්න ඇඬුවා. අම්මා සැරින් සැරේට එයාට බැන බැන හිටියා. ඒත්.. ඔය ගෑනු ළමයි මැරෙන සිද්ධිය හින්දා අම්මා පස්සේ කිව්වා අක්කා ඒවට බය වෙලා වෙන්නැති කියලා. මට මතකයි මොකක්ද නූලකුත් මතුරලා අක්කට දැම්මා. එ.. එදා අම්මා ගෙදර හිටියේ නෑ. පොළේ ගියා. මට කියලා ගියේ අක්කව බලන්න කියලා. මට ඕන උනේ අක්කා අඬන එක නතර කරන්න “

දෙනෙතින් රූරා වැටෙන කඳුළු බිඳු දෑතින්ම පිසළමින් ඈ ප්‍රථම වතාවට අතීතයේ අඳුරුම දවස පිළිබඳව ඔහු ඉදිරියේ තතු දිග හරිමින් සිටියාය. 

” මං ජම්බු වගේකුත් කඩාගෙන ගෙදර ආවා. මට ඕන උනේ අක්කා එක්ක කතා කරන්න. ජම්බු ටික දීලා යාළු කරගන්න. ඒත්.. ඒ වෙලේ අක්කගේ කාමරේ තිබ්බේ ලේ විලක් වෙලා. අක්කා එතනම බිම වැටිලා හිටියා. එ.. එයා ළඟ.. එයා ළඟ තනි කළු කලිසමකුයි , අත් දිග ෂර්ට් එකකුයි ඇඳ ගත්ත , ඇස් දෙක විතරක් පේන්න තිබ්බ මනුස්සයෙක් හිටගෙන හිටියා. එයාගේ අතේ දිග කඩුවක් තිබ්බා. මට හොඳට මතකයි ඒ කඩුවෙන් එකින් එක ලේ බිංදු බිමට වැටිච්ච හැටි. “

” මොකක් ?” 

වහා ඉදිරියට ආ ඔහු ඇගේ දෙවුරින් අල්ලා ගත්තේය. 

” ඒ.. ඒ කියන්නේ ඔයා ඒක දැක්කද ?” 

” ඔව් ලොකූ.. මං ඒක දැක්කා. “

නැවත වතාවක් ඔහුගේ ළැම මත හිස හොවා ගත් ඈ එක දිගට බොහෝ වේලාවක් ඉකි ගසමින් හඬා වැටුණාය. 

” දුමී…! “

දීර්ඝ මිනිත්තු කිහිපයකට පසුව එක දිගට ඇගේ හිස පිරිමදිමින් සිටි ඔහු සෙමින් ඈ ඇමතුවේය.

” මං දන්නවා මේක හරි අමාරුයි. ඒත්.. ඔයා කිව්වා වගේ අපි දෙන්නා මේක කතා කරලා ඉවරයක් කරගන්න ඕනේ දුමී. “

සුරුස් හඬින් නාසය ඉහළට ඇද , කොපුල් පුරා ගලා ගිය කඳුළැලි පිස දැමූ ඈ නැවත හිස ඔසවා ඔහු දෙස බැලුවාය.

” මං දන්නෑ ඊට පස්සේ මොකද උනේ කියලා. කොහොමහරි පහුවදා එළි වෙද්දි අපේ අම්මාත් ගේ පිටි පස්සේ කොස් ගහේ එල්ලිලා හිටියා. මගෙ තියන මොන කරුමෙකටද කියන්න මං දන්නෑ ලොකූ.. අම්මා එල්ලිලා ඉන්නවා මුලින්ම ඇහැට දැක්කෙත් මං. ඊට පස්සේ මාස ගාණක් යනකන් වෙච්ච දේවල් මං දන්නෑ. අක්කගෙයි , අම්මගෙයි අවසන් කටයුතු උනේ කොහොමද කියලවත් මං දන්නෑ. මට යන්තං මතක තියෙන්නේ හොස්පිට්ල් එකේදි මාමා වගේම අම්මත් මාත් එක්ක කතා කරපු තැන් විතරයි. ඊට පස්සේ මාව එහෙ ගෙදර එක්කන් ගිය තැන් වල ඉඳලා විතරයි. “

” අඬන්න එපා ඉතිං..”

ඔහු සෙමින් සෙමින් ඇගේ කොපුල් පුරා ගලා යන කඳුළු බිඳු පිස දැමුවේය. 

” ලොකූ.. ! ඇත්තටම ඒක සිද්ධ වෙලා තියෙන්නෙ එහෙමද ?” 

” මොකද්ද ..?” 

” ඒ පස් දෙනා මැරුණේ මින්දුලා අක්කට කරපු දේවල් නිසාද ?” 

” මං ඒ ගැන දන්නෑ දුමී. මින්දුලාගේ ෆියුනරල් එකට මං ගියේ අම්මා එක්ක. එතන තිබ්බ එකම හේතුව ඒ අම්මාගේ යාලුවෙක්ගේ දුවෙක් වෙච්ච එක විතරයි. අපේ අම්මලා උනත් ට්‍රාන්සර් වෙලා තැන් තැන් වලට මාරු වෙද්දි තිබ්බ කනෙක්ශන් නැති වෙලා හිටියේ. සෑහෙන්න කාලෙකින් මීට් වෙලා කතා නොකෙරුවත් එයාලා ෆෝන් කෝල්ස් වලින් ඉඳලා හිටලා කතා කළා. අපේ අම්මාගෙයි , ආන්ටි විශාඛාගෙයි යාළුකම කොච්චර පරණ එකක් උනත් අපි දරුවො විදිහට දැන ඇඳුනන් නොතිබ්බේ අන්න  ඒ නිසා.  හැබැයි මට එක දෙයක් ශුවර්. කාලෙකට කලින් එකට වැඩ කරලා , ඉඳලා හිටලා කතා බහ කරලා හිටියත් අපේ අම්මයි , ආන්ටි විශාඛායි ගොඩක්ම හිතවත් උනේ ඔය මින්දුලාගේ සිද්ධියෙන් පස්සේ. අපේ අම්මා මින්දුලාගේ මරණින් පස්සේ සෑහෙන්න ආන්ටි විශාඛා ගැන දුක් වුනා. මට ඒවා ඔක්කොම ඔලුවට ආවේ ඊටත් කාලෙකට පස්සේ. 

මං කිව්වනේ මගේ හිතේ සිංදුමීගේ මරණෙටත් වඩා වැඩිපුරම ශොක් එකක් තිබ්බේ මින්දුලාගේ මරණේ ගැන. ඒ කෙල්ලගේ මරණෙට මාත් හේතුවක්ද කියන ප්‍රශ්නේ මට තිබ්බා. ඒ නිසා මං අනිත් දේවල් ගැන හොයන්න ගියේ නෑ. සිංදුමීගේ මරණෙන් පස්සේ වෙන කිසිම මරණයක් උනෙත් නෑ. කාලයක් යද්දි හැමෝටම ඒක අමතක වෙලා ගියා. ඒත්.. මං හිටියේ මගේ හිතට දැනිච්ච ප්‍රශ්නෙන් ගැලවෙන්න බැරුව. මින්දුලාගේ මරණෙට මාත් වග කියන්න ඕන කියන එක ලොකුවටම මගේ හිතට වැදුණා දුමී. අර ඔයා කියනවා වගේ , අපේ අම්මා , තේජ් කියනවා වගේ මගේ තිබ්බ ego එක නිසා මං කැම්පස් එකේ බහුතරයක් උන්ව ගණන් ගත්තේ නෑ. ඒක එහෙම නොවුණානම් මට මින්දුලා ගැන දැනෙන්න හරි අඩුම එහෙම කෙල්ලෙක් ඉන්නවා කියලා හරි තේරෙන්න තිබ්බා. මං සිංදුමී එක්ක එෆෙයාර් එකක් පටන් ගත්තේ ඇත්තටම එයා ගැන මගේ හිතේ හැඟීමක් තිබ්බ නිසා. ඒත් .. කාලෙත් එක්ක මගේ හිතෙන් ඒ තිබ්බ හැමදේම නැති වෙන්න පටන් ගත්තෙත් එයාගෙම හැසිරීම නිසා. “

” මං.. සිංදුමී අක්කා මැරි කළේ ඔයා කියලා හොයා ගත්තු දවසේ මාමට මේ හැමදේම කිව්වට පස්සේ එයා මට සෑහෙන්න දොස් කිව්වා. සිංදුමීව ඔලුවේ තියාගෙන , පරණ පවුල ගැන ඔලුවේ තියාගෙන ආයේ ඒ ගෙදරට එන්න එපා කිව්වා. එයයි , අම්මායි මට කොච්චර ආදරේ කළත් මං එයාලට සලකන්නේ පිට මිනිස්සු වගේ කියලා එයා මගේ ඉස්සරහා ඇඬුවා ලොකූ.. මං අද ජීවත් වෙලා ඉන්නේ පවා ඒ මිනිස්සු දෙන්නා නිසා. ඉතිං මට මං නිසා මාමා අඬනවා බලන් ඉන්න බැරි උනා. මට මෙච්චර දේවල් කරපු ඒ දෙන්නා වෙනුවෙන්වත් මං මේ හැමදේම අමතක කරලා දාන්න ඕන කියන එක මං තේරුම් ගත්ත නිසයි මං ආපහු සිංදුමී අක්කා ගැන හොයන්න ගියේ නැත්තේ. ඊට පස්සේ දවසේ තමයි ඔයාලා එහෙ ගෙදර ආවේ. ඔයාට නොකියා ගෙදර ගියා කියලා ඔයා මාත් එක්ක තරහින් හිටියේ. මං හිතුවෙවත් නැති විදිහට ඔයා ඇවිල්ලා මාමාටයි , අම්මටයි මං ගැන ප්‍රපෝසල් එකක් ගෙනාවා. හැමදේම හොඳින් සිද්ධ වෙද්දි ආයේ ආයේම පරණ දේවල් අවුස්සන්න ඕනෙ නෑ කියන එක මං කල්පනා කළා. ඒ වගේම එදා මට මාමත් කිව්වා ඔයාටත් ඉස්සර අහුකුණු එපා නිසා තමා ඔයා සිංදුමීගේ මරණේ ගැන හොයන්නැතුව ඉන්නැත්තේ කියලා. මං දැනගෙන හිටියා ඒ වෙද්දිත් සිංදුමී අක්කා ඔයා එක්ක හැසිරිලා තියෙන්නේ හරි ටොක්සික් විදිහට කියලා. ඔයා උනත් ඒ ගැන අමතක කරලා ඉන්නේ ඒ නිසා කියලා මං හිතුවේ. ඉතිං මං ඒක ගැන ඔයා එක්ක කතා කරන එක අමතක කරලා දැම්මෙත් ඒ නිසා. “

නිහඬවම ඈ පවසන දේ අසා සිටි ඔහු නැවත වතාවක් ඈ තමා වෙතට තදින් තුරුළු කර ගත්තේය. 

” දෙයක් අහන්නද ?  මට හරි උත්තරයක් දෙන්න..!” 

හිස ඔසවා ඔහු දෙස බැලූ ඈ දෑසින් ප්‍රශ්නාර්ථ බැල්මක් හෙළුවාය. 

” අහන්න.. මොකද්ද ?” 

” ඇයි මට ආදරේ කළේ ?” 

සෙමින් තොල්පට සපා ගත් ඈ වහා උවන බර කර ගත්තාය. 

” මං දන්නෑ. ඒක කවදා උනාද කියලා දන්නෑ. සමහරවිට මුලින්ම දැක්ක දවසේ ඉඳන් වෙන්නැති. කතා නොකළත් , හිනා නොවුණත් ඔයා ගෙදර ඉන්නව කියන එකම හිතට සතුටු කාරණයක් උනා. එච්චරයි. ඇයි එහෙම ඇහුවේ ?” 

ඈ නැවතත් හිස ඔසවා ඔහු දෙස බැලුවාය. 

” ඔයාට සතුටක් උනාට මං ඔයාව දැක්ක වෙලේ ඉඳන් කොච්චර බය උනාද කියලා දන්නවද ?  ලොකුම හේතුව ඔයා මහවලතැන්න කෙනෙක් වෙච්ච එක. මොකද ඒ වෙන කොටත් මින්දුලාගේ මරණේ ගැන මගේ හිතේ ගිල්ටි ෆීලින්ග් එකක් තිබ්බේ. ඒක එහෙම තියෙද්දිම එයාගේ පවුලේ කෙනෙක්  අපේ ගෙදරම නවතිනවා කියන එක මට විශ්වාස කරගන්න බැරි උනා. ඊට පස්සේ ඔයා දවසක් ඔයා එයාලගේ ෆැමිලි එකේ නෙමෙයි කියපු කතාවයි , ඔයා නිසා භරණයි , ආන්ටි විශාඛායි මින්දුලා ගැන තිබ්බ පරණ මතක වලින් ගැලවිලා ආයේ ජීවත් වෙන්න පටන් ගත්තා කියන එකයි අපේ අම්මා කිව්වමයි මගේ හිතට පොඩි හරි සැනසිල්ලක් දැනුණේ. හැබැයි කතා නොකළට , හිනා නොවුණට ඔයා අපේ ගෙදරට ආපු එකට මං හිත යටින් කැමති වෙලා හිටියේ. ඔයා රූම් එකට වෙලා සිංදු කියනවා මං ඕන තරම් බැල්කනි එකට වෙලා අහන් ඉඳලා තියනවා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here