” සිංදුමී අක්කා වෙනස් උනේ මොකක් නිසා කියලද අයියා හිතන්නේ ?”
සියල්ල හදවතට දැනෙමින් තිබුණද නොදන්නා අහුමුළු වල ඇති කිසිවක් මඟ හැර ගත නොහැකි වූ මිහිදුමී නැවතත් හසරංගගෙන් විමසා සිටියේය.
” සාම්ප්‍රදායික කතාවම තමා. කැම්පස් යන කෙල්ලෙක් ඉන්න ගමේ කොල්ලෙක්ට මූණ දෙන්න වෙන සාම්ප්‍රදායිකම සිද්ධිය. සිංදුමී මට හොරෙන් කැම්පස් එකේ කොල්ලෙක් එක්ක යාළු වෙලා තිබුණා නංගි. “
හෘදස්පන්දනය වඩා වේගවත් වූ අතර හසරංග මුහුණට මුහුණ නොමැතිව ඇමතුමක් හරහා සම්බන්ධ වීම මිහිදුමීගේ සිතට යම්කිසි සැනසුමක් ගෙන ආවේය.
” කවදාවත් කෙල්ලෙක්ට අතෑර ගන්න නොහිතෙන ජාතියේ කොල්ලෙක් ඒ. පෙනුමත් නිකන් නළුවෙක් වගේ. උස මහතත් එහෙමයි. සෑහෙන්න සල්ලි එහෙමත් තිබ්බා. සිංදුමීට සෑහෙන්න වියදම් කරලා තිබ්බා. ඒ කොල්ලා එක්ක බැලුවම මාව පහතට වැටිච්ච එක පුදුම වෙන්න දෙයක් නෑ. “
” අ.. අයියා.. ඔහොම කියන්නේ අයියා ඒ පිරිමි ළමයාව දැකලා තිබ්බද ?”
” නෑ නංගි. මං දැකලා තිබුණේ නෑ. දැකලා තියා මං ඔය කිසි දෙයක් ගැන හාංකවිසියක් දැනන් හිටියෙත් නෑ. “
” එ.. එතකොට..?”
” මට වැඩිය ඉක්මන් වෙච්ච ඒ කොල්ලාම දවසක් මාව හොයාගෙන නිවිතිගල ආවා. “
” මොකක් ?”
පමණට වඩා උස් වූ ස්වරය හෙයින් මිහිදුමී වහා අතකින් මුව වසා ගත්තද හසරංගගේ වදන් හමුවේ ඈ තුළ වූ කැලඹිල්ල මඳක් හෝ අඩු නොවී තිබුණි.
” මො.. මොකද්ද කිව්වේ ? එ..එයා හොයන් ආවා ?”
” ඔව් නංගි. ඒ කොල්ලා මාව හොයන් ආවා. ඇවිල්ලා කෙලින්ම කතා කළා. මුලින් මුලින් මං විශ්වාස කළේ නෑ. ඒත්.. පස්සේ ඒ වගේ කොල්ලෙක් මං වගේ එකෙක් හොයන් ඇවිල්ලා බොරුවක් කියන්න තරම් දෙයක් නෑනේ කියන එක මට තේරුණා. මං හිමීට සිංදුමීගෙන් අයින් උනා නංගි. අයින් උනා කිව්වේ කතා බහ කරලා වෙන් වුණා නෙමෙයි. අර පිරිමි ළමයා මාව මුණ ගැහුනට පස්සේ තවත් අහලා තේරුම් කරගන්න දේවල් තිබ්බේ නෑ. මං ඒ කොල්ලට උනත් කිව්වේ මේ දේවල් නොදන්න ගාණට ඉන්න. සිංදුමීට කියන්න එපා කියලා. එහෙම කියලා මං සිංදුමීව අතෑරියා නංගි. ගෙවල් වල අය උනත් ඇහුවට මං ලොකුවට විස්තර කියන්න ගියේ නෑ. කොහොමත් සිංදුමී හිටියේ කොළඹ. මං සතියකට සැරයක් එයාව බලන්න කොළඹ එන එක විතරයි උනේ. ඒ නිසා වැඩිය අපේ ගෙවල් වල අයට ඒක වැඩිය තේරුණෙත් නෑ. ඒ ඉද්දි තමයි සිංදුමීට අර කරදරේ උනේ. පොලීසියෙන් මාවත් අරන් ගිහින් ප්‍රශ්න කළා. “
” ඉ.. ඉතිං අයියා පො.. පොලීසියෙදි කිව්වද අර අක්කා එෆෙයාර් එක තිබ්බ පිරිමි ළමයා ගැනත් ? ”
” නෑ නංගි.. පොලීසියෙන් මගෙන් ප්‍රශ්න කළේ සිංදුමීව මං කසාද බඳින්න ඉන්නවා කියන හේතුව උඩ. ඒක අපේ මුළු ගමම වගේ දැනගෙන හිටපු දෙයක්. ඔය අස්සේ මං වෙන කොල්ලෙක් ගැන කිව්වම සිංදුමී නිකන්ම වැරදි කෙල්ලෙක් වෙනවා. අනික ඒ කොල්ලා සෑහෙන්න වැදගත් කොල්ලෙක්. නැති උනු කෙනා නැති උනා. එයාගේවත් අර පිරිමි ළමයගෙවත් නම කැත කරන්න අවශ්‍ය නෑනේ. ඒ නිසා මං ඒ ගැන මුකුත් කිව්වේ නෑ. “
අඩ හෝරාවකට ආසන්න කාලයක් මෝටර් රථයේ අසුනට හිස තබා ගෙන කඳුළු පිරුණු දෑස පියා සිටි තරුණිය සෙමින් දෑස විවර කළාය.
හසරංග එකල අස්නක ඔහුව මුණ ගැසීමට පැමිණි වගක් තමා හට පැවසූ බැව් සිතා මතාම ඈ අස්නකගෙන් වසන් කළාය. හසරංග පිළිබඳව දෙඩවූ මොහොතේම ඔහු විසින්ම එය තමන්ට පවසනු ඇතැයි ඈ බලාපොරොත්තු වූවාය. නමුදු ඔහු ඒ කිසිවක් පිළිබඳව වචනයක් හෝ මුවින් පිට නොකළේය. ඉදින් ඇගේ හදවත පමණට වඩා බිඳී ගොස් තිබුණි.
” ඔ.. ඔයා මට ඒක කිව්වේ නෑනේ ලොකූ.. ඇයි ඒ ? හැමදේම කිව්වා කියලා කිව්වට ඇයි හසරංග අයියා ගැන නොකිව්වේ. ? ඇයි එයාව ඔයා මීට් උනු බවක් නොකිව්වේ ? අනේ.. මට බයයි දෙයියනේ.. තව මොනවද ලොකූ ඔයා මට නොකියපු දේවල් තියෙන්නේ. ? මට.. මට ආයේ පාරක් ඔයාව නැති කරගන්න බෑ. මට බයයි දෙයියනේ.. ඇත්තටම මට බයයි. ඔයාලා නොකියන දේවල් මමම හොයාගන්නව ඇරෙන්න මට වෙන විසඳුමක් නෑනෙ..?”
සුක්කානම මත දෑතම තද කරගත් ඈ තව දුරටත් ඉකි ගසමින් හඬා වැළපුණාය.
*******************************************
තද සීතලකින් පිටත පරිසරය වෙළා ගනිමින් තිබියදී හදවතින් දැවුණු තරුණ දෑස ක්‍රම ක්‍රමයෙන් රත් පැහැයෙන් මිදෙමින් පැවතුණේය. වේගයෙන් ඉහළ පහල ගිය උරපතු සෙමින් සෙමින් නිවැරදි ස්වරයට අවතීර්ණ වෙමින් තිබුණේය. මිට මොළවා උස් වීදුරු තීරයට තද කර තිබූ අත ලිහිල් වී ගිය අතර ඔහු අවසන් තීරණයට එළැඹ සිටියේය. ඊළඟ මිනිත්තුවේදී ඔහු ජංගම දුරකතනයේ තීරය එහා මෙහා කර යළිත් මෙරටට ඇමතුමක් ලබා ගත්තේය.
” දුමී හසරංගට කතා කරලා “
පෙර පැවති රෞද්‍ර ස්වරය පසෙක දමා තිබූ ඔහුගේ හඬ තීව්ර බවක් ඉසිළුවේය.
” මොකක් ?”
අනෙක් පසින් නැඟුණේ පුදුම සහගත ස්වරයකි.
” දුමී ..? කො.. කොහොමද ?”
පිළිතුරක් වෙනුවට ඔහු මුව මත පළමුව සමච්චල් සිනහවක් පැතිරුණේය.
” අපි කොච්චර කන්ට්‍රෝල් කරන්න හැදුවත් අපේ පාලනෙන් ගිලිහෙන දේවලුත් තියනවා. That must be destiny.”
” දැන්.. දැන්.. දුමී මොකක්ද කියන්නේ ?”
අනෙක් පස තැනැත්තා මඳක් කලබල වී තිබුණේය.
” මුකුත් නෑ. එයා පැහැදිලිව මට කිව්වා හසරංගට කතා කළා කියලා. ඒත්.. එයා මට කිව්වේ නෑ මං හසරංගව මීට් උනු කතාව එයා දන්න බව. හැබැයි මම දන්නවා ඒ කතාව අනිවාර්යයෙන්ම හසරංග දුමීට කියන්න ඇති. “
” ඉතිං.. ඉතිං ඒක වෙනස් කරන්න තිබ්බනේ. ? නෑ.. වෙනස් කරන්න නෙමෙයි මං මේ කියන්නේ ඔයාට තිබුණා ඒ වෙලේ දුමී ඒක අහනකන් නොඉඳ ඔයා හසරංගව දන්නවා කියන එක කියන්න. එයාව මීට් උනු කතාව කියන්න. කලින් කිව්වේ නැත්තේ ඇයි කියලා ඇහුවොත් සිංදුමී ගැන තවත් වැරදි කියන්න ඔයාට උවමනාවක් තිබ්බේ නෑ කියලා කියන්න පුලුවන් නේ ? මොනවද කියන්න බැරි ඔය තරමටම. ..?”
නැවත වතාවක් තරුණ උවන මත සිහින් සිනහවක් ඇඳී ගියේය.
” කවදා වෙනකන් බොරු කියන්නද ?”
” අස්නක..! ඔයා මේ කරන්නේ බොරුවක් නෙමෙයි. “
” ඔව්. ඒත් මං ඇත්ත හංගනවා. ඇත්ත හංගන එකයි , බොරු කීමයි කියන්නේ දෙකම එකයි. “
” අස්නක..! අස්නක ..! මේ අහන්න.. ! දුමීට ඔයා නැතුව බෑ. ඒ කෙල්ල ඔයාට පුදුම තරම් ආදරෙයි. “
” ඉතිං ? මං නෑ කියලා හිතනවද ? මගෙ හිතෙත් ඒ තරමටම ආදරයක් තියනවා. දුමී නැති ජීවිතයක් මට නෑ. ඒත්.. මගෙන් එක වැරැද්දක් උනා. මං හිතුවේ දුමී මේ හැමදේම අමතක කරලා ඇති කියලා. ඒත් .. එහෙම නෑ. ඒක වැරදියි. ශිට්.. මං දැනන් හිටියානං දුමී තව දුරටත් සිංදුමීගේ මරණේ ගැන හොයනවා කියලා. මං දුමී එක්ක මෙච්චර දුරක් එන්නෑ. අඩු තරමේ මං දුමීගේ අපාර්ට්මන්ට් එකටවත් යන්නෑ. “
” අස්නක.. ! මේ අහන්න..! ඉක්මනට ඇවිල්ලා දුමීව මැරි කරලා මෙහෙ ඉන්න බැරි නම් ආපහු දෙන්නා එක්කම චයිනා යන්න. එතකොට මේ හැමදේම නිදහස්. “
” කොයි ලෝකෙට දුමීව එක්කන් ගියත් එයා මේ දේවල් වලින් ගැලවෙන්නෑ . මං ඒක දන්නවා. “
” අස්නක…?”
” කතාව ඉවරයි. හැමදේම ප්ලෑන් කරපු විදිහට වෙයි. මං ඉක්මනට එනවා. “
” අස්නක ..! මේ අහන්න..! ඔයා මේ කරගහන්න යන්නේ අනුන්ගේ පවක්.. “
අනෙක් පස කටහඬ පෙරට වඩා කලබල වී තිබුණේය.
” අපි හැමෝම කරන්නේ අනුන්ගේ පව් කරගහන එක තමා. ඔයා කළෙත් ඒක. මං කරන්නෙත් ඒක. මැරිච්ච මිනී වළවල් ගොඩ දාන්න හද හද දුමී කරන්නෙත් ඒක. “
” අස්නක.. ! අපි මේක…”
” තේරුමක් නෑ.. “
ඔහු වහා අනෙක් කටහඬට බාධා කළේය.
” කවදාහරි දවසක දුමී ඇත්ත හොයාගන්නවා. එදාට එයා ඉස්සරහා ඉන්න ඕනේ මම විතරයි. එයාගේ ප්‍රශ්න හැමදේකටම උත්තර අරගෙන එයාගේ ඉස්සරහා ඉන්න ඕනේ මම විතරයි. මං ඒ දවසට රෙඩි වෙන්න ඕනේ. තව දුරටත් දුමීව මේ පව් ගොඩේ රස්තියාදු කරන්න බෑ. දැන් ඇති. හොඳටම ඇති. මේ දේවල් දැනගත්තම දුමී කොහොම හැසිරෙයිද කියන්න මං දන්නෑ. හැබැයි ඒ මොනා උනත් එයාගේ රියැක්ට් එක එන්න ඕනේ මට විතරයි. ඔයාගේ වැඩේ ලෑස්ති වෙන ගමන් තියෙන්නේ. මං එන්නේ ඔයාගේ ටිකට් එක අරන්. එතකොට ඔය නරා වළෙන් සඳහටම පිට වෙන්න ඔයා ලෑස්ති වෙලා ඉන්න ඕනේ. “
” අස්නක..?”

