වායු සමීකරණ තත්ව යටතේ රිය තුළ වූයේ සිසිලකි. ඉන් පිටත ඈතින් පෙනෙන පරිසරය හරිත වර්ණයෙන් බැබළීම ත්, ඈතට ඈතට විහිදී යන නිල් කඳු යායත් නිසා මා මනසින් මවා ගෙන හිටියේ කඳුකරය බඳු තත්වයකි. මම සිතින්, සීතල කඳුකරයෙහි හුදෙකලා වූ හදවතින් දැවෙන ආත්මයක් වූයෙමි.
කුසල් නික්ම ගියේ අතිශය කේන්තියෙනි. නමුත් කිසි සේත් පරාජය භාර ගැනීමෙන් ය කියා සිතිය හැකි ද? සම්බන්ධතා කියන්නේ වදයක් වූ විට එපා වී යා හැකි දෙයකි. දැන් දැන් මා සිටින්නේ ත් එබඳු තත්වයක ය. නමුත් එසේ එපා වී ගිය කල තනි කැමැත්තට අත් හළ හැකි දෙයක් නොවේ එය. සම්බන්ධතා ඇති කර ගැනීමේ දී අප වඩාත් කල්පනාකාරී හා ප්‍රවේසම් සහගත විය යුත්තේ එබැවිනි.
“අර ඈතින් පේනව නේද ගලක්…පහලට ඉරි ඉරි වගේ පේන්නෙ”
යුගාන්ත ගේ හඬ මට ඇහුණේ හීනයෙන් සේ ය.
“ඔව්”
තුෂී ඔහු හා හරි හරියට කතාවේ ය.
“ගයාගෙ අත්තම්මලගෙ ගෙදරටත් ඔය ගල පේනව නේද…මට යන්තං මතකයි”
“ඔව් ඕක සෑහෙන දුරකට පේනව. සීතාවක උසම තැන ඔය ගලලු. ඕකට කියන්නෙ යකහටුවාගල කියල. ඕකට වටේ තිබුණ කෝට්ටේ රයිගම සීතාවක වගේ රාජධානි ඔක්කොම පෙනුනලු. ඒ නිසා රජ කාලෙ ඔත්තු බලන තැනක් විදිහටත් පාවිච්චි කරල තියෙනව. බැලුම් ගල කියන්නෙත් ඕකටම තමයි”
මට පැහැදිලි ව ඇසිණි. නමුත් මා සිටියේ ඒ කිසිත් විඳිත හැකි නිදහස් මනසකින් නම් නොවේ.
“අපරාදෙ අකවුන්ටිං වගේ දෙයක් කළේ. ඔයාට තිබුණෙ ටුවර් ගයිඩ් කෙනෙක් වෙන්න”
තුෂී එහෙම කියනවා ත් ඔවුන් දෙදෙනා එක් ව හිනැහෙනවා ත් මට ඇසිණ. කුසල් කියන්නේ මට ගැළපෙන කෙනෙක් නොවේ කියා දැනෙත්දී අප ට ඒ ගැන කතා කොට වෙන් වෙන්නට බැරි ඇයි දැයි මම සිතුවෙමි. ප්‍රේමය කියන්නේ කොහොල්ලෑ ගුලියක් නොවේ. මිදෙන්නට දඟලත්දී සිරුර පුරා ඇලෙමින් අප ව පීඩාවට ලක් කරන්නට තරම් ප්‍රේමය දරුණු වන්නේ ද?
“දවසක මං එක්කං යන්නංකො. ඔය පොඩි දිය ඇල්ලකිං නාල එහෙම එන්න පුළුවන් දෙන්නට”
යුගාන්ත රියෙහි ඉදිරි පස කැඩපතින් මදෙස බලනු දැනුණේ ය. නමුත් මා සිටියේ ඔහු ගැන පූර්ණ අවධානය සහිත නිරවුල් මනසකින් නොවේ.
“ඇත්තට මේක හරි පුදුම රටක්”
හිටි හැටියේ තුෂී කීවා ය.
“අපේ පැත්තට වතුර කියන්නෙ රත්තරං වලටත් වඩා වටින දෙයක්. අවුරුද්දෙ වැඩි කාලයක් වතුර නැති නිසා මිනිස්සු කොච්චර දුක් විඳිනවද…හැතැප්ම ගණං යන්නෙ බොන්න වතුර ටිකක් හොයාගන්න පවා”
“මේ චූටි රටේ භූ විෂමතාව කියන්නෙ ලොකුවට තියන දෙයක් තමයි”
“භූ විෂමතා විතරක් නෙවෙයි යුගාන්ත අයියෙ. කොයි දේත් විෂම විදිහට තමයි බෙදිල තියෙන්නෙ. තියෙන මිනිස්සුන්ට තියෙනව…නැති අයට නෑ. අපේ වගේ දුෂ්කර පැති වල ගෑනු මිනිස්සු විතරක් නෙවෙයි ළමයි පවා ජීවත් වෙන්න විඳින දුක ඇස් දෙකෙං දැකල හරියට තේරුං ගන්න උත්සාහ කරනකොට පවු කියල හිතෙනව”
“දවසක යමු ඒ පැත්තෙත්. කතරගම එහෙමත් ගිහිං එන්න”
ඔවුන් දෙදෙන ඒ ටික වෙලාවට උනුන් බිළිබඳ බොහෝ තොරතුරු හුවමාරු කර ගෙන ඇති සෙයක් මට දැනිණ. මා හරියට කල්පනා ලෝකයෙන් මිදුණේ, නත්තසූරිය වැට දකිත්දී ය. පරණ වී ගිය ග්‍රිල් ගේට්ටුව ඉදිරියේ යුගාන්ත රිය නතර කළේ ය.
“එහෙනං තෑන්ක්ස් අපිවත් අරං ආවාට. දවසක අර කුමාරි ඇල්ල බලන්න අපිව එක්කං යන්න හොඳේ”
තුෂී රියෙන් බැස්සේ එහෙම කියමිනි. ඔවුන් කුමාරි ඇල්ලක් ගැන කතා කරනවා මට ඇසුණේ වත් නැත.
“තෑන්ක් යූ අයිය”
මම හෙමිහිට කොඳුළෙමි. ඔහු ඇස් වලින් සිනාසුණේ ය. නත්තසූරිය මල් වැට ළඟ ට ගිය මම මලක් අතින් අල්ලා ගෙන ඊට එබී බැලුවෙමි. මලක් උපද්දන්නට ගහක් මොන තරම් දුකක් විඳ ගන්නවා ඇත් ද? ඒත් බමරුන් ට ඒ ගැන වගක් හෝ තිබෙනවා ද?
හදවතට දැනෙමින් තිබුණේ ඉකි බිඳ හඬන්නට තරම් සන්තාපයකි. නමුත් මම ඒ දුක අතරින් සිනාසුණෙමි.
“දෙන්නා මාර යාළුවො වෙලානෙ. එක්කෙනෙක් ට මාව අමතක වෙලා යයිද දන්නෙත් නෑ. එයා එක්ක කතරගම යන්නත් ලෑස්තිය ආ”
“මේකි වෙන ලෝකෙක හිටියට මීටරේ දාං ඉඳල තියෙන්නෙ”
අඬනකල් කඳුළු බලා ගෙන හිටියත්, මම තුෂී එක්ක බොරුවටත් එක්ක සිනහ වෙවී ගෙදරට යන පඩි පෙළ නැංගෙමි.
“මං මේ මග බල බල හිටියෙ. පාර හොයා ගන්න බැරුව වෙන කොහෙවත් යයිද දන්නෙත් නෑ කියල බයෙං”
අත්තම්මා ඉස්තෝප්පුවේ සක්මන් කරමින් මග බලා හිඳ, අප දැකීමේ හදිසි සතුටෙන් කීවා ය.
“පාර හොයාගන්න හදනකොටම එක්කෙනෙක් ආව අත්තම්මා පාර පෙන්නන්නද කියල අහගෙන”
තුෂී කට දැම්මා ය. ඇය මොනවා කියවාවි දැයි මම බිය වීමි.
“ඒ කවුදෑ ඒ…”
“අර හමිං බර්ඩ්”
“කවුරු…”
“එහා පැත්තෙ ගේ හදන අයිය අත්තම්මෙ. අපි පාර පනිනකොටම කා එක නවත්තල කතා කළා. එයා මෙහෙ එමිං ගමං කියල. අපි ආවෙ ඒ අයියත් එක්ක”
“ඒක හොඳයි. ඔන්න ශාන්ති උයල ඇති. දෙන්නත් එක්ක කෑම කන්න ලෑස්ති වෙන්නකො”
මේ ජීවිතය මොන තරම් ක්‍රමවත් ද? ගෙදර දී ඉව්වත් මා වෙලාවකට කෑවේ නැත. බොහෝ දින වල දිවා ආහාර වේල නම් ගත්තේ ම නැත. තනි පුද්ගලයෙකු ට උයනවා කියන්නේ ත් තනිව ම කනවා කියන්නේ ත් මොන තරම් අසීරු දෙයක් දැයි ඒ තත්වයට මූණ දුන් කෙනෙකුට මිස වෙනත් අයෙකු ට සිතා ගත නො හැකි ය. සොහොන් පිටියක් වගේ පාළු වී ගිය හදවතකට, යකෙක් වුණත් දැනෙන්නේ පෙම්බර කුමාරයෙක් වාගේ ය. නැත්නම් මා ඒ තරම් අන්ධ ලෙස කුසල් සමගින් බැඳේවි ද?
කෑම ටික මේසයට අරින ගමන් අත්තම්මා සීයා ට මතක් කළේ යුගාන්ත ටත් කෑම කන්නට ඇරයුම් කරන්නට ය. නමුත් සීයා ඉස්තෝප්පුවට යන්නට පෙර මෝටර් රථයක් මිදුලේ නැවතිණි. අත්තම්මා හා සීයා බලා සිටියේ හදිසියේ ආ අමුත්තා කවුදැයි දැක ගන්නා තෙක් නො ඉවසිල්ලේ ය. අම්මා සහ ඔහු ගේ අලුත් සැමියා වන අසංක රියෙන් බැස ගත්හ. ඔවුන් දුටු අත්තම්මා ගේ මූණ නො හොඳ වන හැටි මම වඩාත් හොඳින් දුටුවෙමි.
“ගයා…ඔයා හොඳින් නේද පැටියො…”
අම්මා ඉක්මනට මවෙත ඇවිත් මා වැළඳ ගත්තා ය.
“ඒ දරුව හොඳින් තමයි. මොකද සීයගෙ ගෙදර ඒ දරුවට නරකක් වෙන්න හේතුවක් නෑනෙ”
අත්තම්මා ඇනුම් පදයක් කීවා ය.
“අසංක…යං ඇතුළට…එන්න…”
අමුත්තන් දෙපෙළක් ආවා වැනි ප්‍රීතිමත් උනන්දුවක් සීයා හා අත්තම්මා වෙත නො විණි. නමුත් දැන් සිදු වූ දේ වී හමාර ය. අසංක ව සිය බෑණා ලෙස පිළි ගන්න ට ඔවුන් ට සිදු වන්නේ ම ය. යම් සිත් බිඳීමක් තිබෙනවා නම් ඒ පිළිසකර කළ යුතු යයි මට සිතිණ.
“අම්මල ආවෙ හොඳ වෙලාවට නේද අත්තම්ම…අපි මේ කෑම කන්න හැදුව විතරයි”
“අපිටත් එක්ක උයල නැතුව ඇතිනෙ”
“අපි ඉතිං කිරල මැනල ගානට මිම්මට උයන මිනිස්සු නෙවෙයිනෙ. එහෙම ඉතුරු කළානං ඉතිං…”
අත්තම්මා ගෙන් එල්ල වන්නේ ම ඇනුම් පද ය. ඒ බව හොඳට ම වැටහී ත් අම්මා කිසිත් නොතේරෙන ගාණට උන්නා ය. ඒ ඇගේ ගුණ යහපත් කමක් නොව කපටි කම බව මම දනිමි. නමුත්, මොනවා කළත් ඈ මගේ අම්මා ය.
“අමමල අද එයි කියල මං හිතුවෙ නෑ. තව දවස් දෙක තුනක්වත්…”
“අපෝ එච්චර දවස් සැලොන් එක වහල තියන්න බෑ”
“මේ පැත්ත හොඳයිනෙ…නේද…”
අසංක, කතා බහට එකතු වෙන්නට තැනක් හෙව්වේ ය.
“කෝසලා මේ පැත්තෙං සැලෝන් එකක් දාගෙන මෙහෙ ඉන්නයි තිබුණෙ”
“අපෝ මෙහෙ බෑ. අපි එයාට දෑවැද්දට උඩහමුල්ලෙං ඕන කියපු නිසා එහෙං ගෙයක් අරං දීලයි බන්දල දුන්නෙ”
අත්තම්මා ගත් කටට ම කීවා ය. ඔවුන් ගේ විවාහය අනුමත නොකරන්නට හේතු අත්තම්මලා සතු වුණත්, මේ විදිහට අසංක ව අපහසුතාවයට පත් කිරීම යුතු නැතැයි මට සිතිණ.
“සැලෝන් වලට එහෙ වගේ බිස්නස් තියන එකක් නෑ මෙහෙ. නිදහසේ ඉන්නනං මෙහෙ හොඳයි ඉතිං”
මා එහෙම කීවේ එබැවිනි.
“දැං ඉතිං නිදහසේ හිටිය මදැයි. ගයා එහෙනං ලෑස්ති වෙන්නකො අපිත් එක්කම ගෙදර යන්න”
අම්මා ඇඟ ට පත ට නො දැනී කීවා ය.
“නෑ නෑ. ගයා යන්නෙ නෑ. ඒ කෙල්ල ඔහෙ හිටපුදෙං”
අත්තම්මා තදින් කියමින් එක හෙළා විරුද්ධ වූවා ය. මමත් තුෂී ත් මූණෙන් මූණ බලා ගතිමු.
“එහෙම කියල කොහොමද අම්මෙ..ගයා මගෙ දුවනෙ”
“මං ගයා ගෙ අත්තම්ම. අම්ම වැඩ කරන්නෙ මෙලෝ විචාරයක් ඇතුව නෙවෙයිනං…අත්තම්මා විදිහට මට අයිතිය තියෙනව ගයා ගෙ ආරක්ෂාව වෙනුවෙං මැදිහත් වෙන්න. ආයෙ කතාවක් නෑ. ගයා එහෙ යන්නෙ නෑ”
“ගයා නැතුව මගෙ අත කැඩුණා වගෙයි අම්ම”
“උඹ දැං අලුත් අතක් දාගෙනනෙ තියෙන්නෙ”
“නන්දා…මේක කෑම මේසෙනෙ. කෑම මේසෙට අනවශ්‍ය කතා ගේන එක අපේ සිරිත නෙවෙයිනෙ”
සීයා ප්‍රබල මැදිහත් වීමක් කළේ ය. නො එසේ වී නම් අසංක ඉදිරියේ ම අත්තම්මා ට මොනවා කියවෙන්නට තිබිණි ද කියා මම නො දනිමි.
“උඹ වැඩ කළේ අපිට ඕන හැටියට නෙවෙයිනෙ. හැබැයි මේ කෙල්ලගෙ ජීවිතේ නාස්ති වෙලා යන්න ඉඩ දෙන්නෑ මං”
අත්තම්මා කුටු කුටු ගාමින් බැන්නා ය.
“මං ඇවිත් තියෙන්නෙ වැරදි වෙලාවක වගෙයි”
එ හඬින් අප සියලු දෙනා ගේ ම ඇස් ඔහු වෙත යොමු වෙන්නට ඇත. යුගාන්ත ආලින්දයත් කෑම කාමරය ත් අතර වෘත්තාකාර ආරුක්කුව ළඟ සිටියේ ය. මට වහා පුටුවෙන් නැගිටිණ.
“අයිය එන්න. ඉඳගන්න”
“අනේ ඔව් පුතා. මේ කළබලේ නිසා මට පුතාට කතා කරන්න බැරි වුණානෙ”
අත්තම්මා පශ්චත්තාප වූවා ය. යුගාන්ත මවෙත ඇවිත් සිලි සිලි බෑගයක් මා අත තැබුවේ ය. ඒ අයිස් ක්‍රීම් පෙට්ටියක් බව මට සිතා ගත හැකි විය.
“නෑ නෑ ඕගොල්ලො කන්න. මං එන්නංකො හවසට”
“අමුත්තො නෙවෙයි මේ ගයාගෙ අම්මල. පුතා එන්න කෑම කන්න”
“කමක් නෑ කමක් නෑ. අත්තම්මල කන්නකො”
කියමින්, තවත් පෙරැත්තයකට ඉඩ නො තියා ඔහු නික්මිණි.
“කෑම එකක් බෙදල ගිහිං දුන්නනං හරිනෙ”
තුෂී කීවා ය.
“අනේ ඔව්. නැත්තං කඩෙං කයි.
“මං බෙදන්නං එහෙනං”
මම අත සෝදන්නට සූදානම් වීමි.
“අනේ මේ ගයා කන්න. කවුද ඒ…අපිටත් නැති සැලකිලිනෙ ඒ පිට මිනිහට”
අම්මා මා තිගස්සවමින් මැද්දෙන් පැන්නා ය. මම අම්මා දෙසත් අත්තම්මා දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට වීමි.