සුළං සීනු – 1

මා තවමත් ගල් ගැසී හිඳින බව මට දැනේ. දැනෙන්නේ ලැජ්ජාවක් දැයි කෝපයක් දැයි වටහා ගත නොහැකිව ගල් ගැසී ගිය මා හදිසියේ පියවි ලෝකයට ආවේ ලෝචනා නෙත් දල්වා මා දෙස බලා හිඳින බව වැටහීමෙනි.

“පවී, දැන් ඕක හිතන එක නවත්තන්න. අනිත් එක රටේ ලෝකේ දරුවන්ට වෙන දේවල් වල හැටියට මේ වුණේ මහ දෙයක් යැ..”

ඈ මා සන්සුන් කරන්නට යත්න දැරී ය.නමුත් සිදු වූයේ මා වඩාත් ඇවිලී යාම ය.

“වෙන්න තියන නරකම දේවල් වෙන්නේ ඔහොම පොඩි දේකින් පටන් අරන් තමා ලෝචි. ඔයාට ඒක තේරෙන්නේ නැද්ද? තාත්තට තමන්ගේ දරුවා අමතක වෙනවට වඩා තව නරක වැඩක් තියනවද?”

ලෝචනා මගේ අත සියුම් ව පිරි මැද්දා ය. කියන්නට වචන සොයා ගන්නට අපහසු වී ගොළු ගැසී ගිය මුහුණකින් ඈ මා දෙස බලා සිටියා ය.

“මං ඔයාගේ වැඩ ටික බලන්නං.. ඔයා හසරැලිත් එක්ක ගෙදර යන්නකෝ. “

ඈ අනතුරුව වඩා ළතෙත් ව කියන්නට වූවා ය. මා හාත්පස බැලුවේ මගේ කුඩා සීනු සොයන්නට ය. අද ඇගේ පෙර පාසලෙන් ආ ඇමතුම මා ඇද දැමුවේ කෝපයකටද ශෝකයකට ද යන්න මට තවම පැහැදිලි නැත.කිසිසේත්ම නැත.

“මිසිස් එදිරිමාන්න. හසරැලිව ස්කූල් එකෙන් ගන්න කවුරුත් ඇවිත් නැනේ..” මගේ කුඩා දියණියගේ ගුරුතුමිය පැවසූවේ එවැන්නකි. මට උන්හිටි තැන් අමතක වන්නට ඒ වචන ප්‍රමාණවත් ය. හැල්මේ පෙර පාසලට දුවන්නට ගිය මගේ පසුපසින් ලෝචනා නාවා නම් මම වාහනයක හැපී අනතුරක් කර ගන්නා මට්ටමට පැටලවී ගොස් හුන්නෙමි.

අද බොහෝ රාජකාරි සහිත සඳුදාවකි.මට සෙලවෙන්නටවත් ඉඩක් නැති බව දන්නා නිසා ම සංකල්පට දුව ගෙදරට හැරලවන්නට මා සිහි ගැන්වූයේ වරක් දෙවරක් නොවේ.බොහෝ වාරයකි.

“සංක.. අද සීනුගේ ස්කූල් වෑන් එක නෑ. ඒ මිනිස්සුත් ඒක ඉන්ෆෝම් කරේ ඊයේ රෑ. හවස ඔයා අනිවාර්යයෙන් එයාව ගෙදරට දාන්න..”

සංකල්ප පුරුදු ලෙස හිස වැනුවේ ය.නමුත් කුටුම්භයක් ගැන වගක් නැති මේ මිනිසා අද අමතක කළේ ඔහුගේ එකම දරුවා ය.මට ඉවසුම් නොදෙන්නේ ඒ කාරණාව ය.

“බබාව බලා ගන්න නීතා ඉන්නවනෙ පවනි. ඒ නිසා ඔයා නීතාට පුරුදු කරන්න ටැක්සියකින්වත් මොන්ටිසෝරියට ගිහින් බබාව ගන්න.නැත්නම් බබාට ඩේ කෙයා එකේම ඉන්න අරින්න. සංකල්පට කොහොමත් වැඩ.ඔයත් මෙතන හිර වුණාම කන්න බොන්නවත් මතක නෑ.ඉතිං හිටිගමන් නිවාඩු ගන්න ස්කූල් වෑන් වල කොහොමත් ආයේ බබාව යවන්න එපා..”

භාග්‍යා මවෙත ආවේ එසේ කියමිනි. මගේ දියණියගේ වයසේම පසුවන ඇගේ පුතු දවස ගෙවන්නේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ය. එහි මනා ආරක්ෂාවක් සහ පරිපාලනයක් ඇති බව ඇත්තකි.නමුත් මගේ කුඩා සීනු පෙර පාසල් අවසන් ව නිවසට යන්නට ප්‍රිය කරන්නී ය.සය මස් බිළිඳියක කාලයේ සිට ඈ තමන්ගේ ම මිණිබිරියක ලෙස සලකමින් ඇයව රැක බලා ගන්නට අපේ සේවිකාව වූ නීතා ක්‍රියා කළා ය. ඉතින් මා හවස් යාමයේ නිවසට යද්දී මගේ කුඩා දියණිය හොඳ නින්දකටත් වැටී අහවර ය.

“ඕක දැන් සංකල්ප එක්ක රණ්ඩු කරන්න රීසන් එකක් කර ගන්න එපා අනේ.ඔහොම වැරදිද පිරිමි කරන්නේ..”

මගේ හොඳම මිතුරිය, ලෝචනා නැවත මුමුණන්නට වූවා ය.

“ලෝචි, උඹ මාව දැන් අවුරුදු හය හතක් තිස්සේ දන්නේ.ඔහොම කියන්න කලින් සංක මාව මිස් කර ගත්ත තැන් ගැන හිතන්න.මට ඕනම වෙලාවට එයා නෑ. සීනු හම්බ වෙන්න හිටිය කාලෙත් එයාට වඩා ඩොක්ට විසිට් යන්න ආවේ උඹ කියලා අමතකද?”

ලෝචනා කිසිත් නොකියා දුරකථනයට දෑස් යොමා ගත්තා ය. මට සීනු දකින්නට ඕනෑ විය. ලෝචනා ඇගේ පරිගණකය අසලින් සීනුව හිඳුවා මා සන්සුන් කරන්නට පටන් ගෙන දැන් අඩහෝරාවකට වඩා ගෙවී ගොස් ය.මා කෝප කරවන නරකම කාරණාව දියණිය පෙර පාසලෙන් ගන්නට පොරොන්දු වූ තාත්තාට ඇයව අමතකව යාම පමණක් නොවේ. ඔහු මා නොනවත්වා ගත් එකම ඇමතුමකටවත් පිළිවදන් දුන්නේ නැත. ඒ සිතුවිල්ල ගැන අලුත් කෝපයකින් හදවත පුරවාගෙන සීනුට අමතන්නට ලෝචනාගේ අසුන දෙස බැලුව ද ඈ එහි වූයේ නැත.

“සීනු නිසල් එක්ක බර කතාවක්..”

ලෝචනා අත දිගු කර සිනා සෙන්නී ය. නිසල් අපේ කාර්යාලයට පැමිණ වැඩි දවසක් ඉක්ම ගොස් නැත.කාර්යාල චාරිකාවකදී හෝ සාදයකදී ඔහු හමු වී නොතිබුණද සීනු ඔහු හා දැඩි මිතුරුදමකින් බැඳී ඇති හැඩකි. ඈ හිස නටවමින් පවසන සියල්ල නිසල් අසා හිඳින්නේ ලොකු උවමනාවකිනි.සිනාවකිනි. ඈ මවෙත දිව ආවේ අප ඈ දෙස බලා හිඳින බව දුටු නිසා ය.

“අම්මියි බබයි ගෙදර යං තව ටිකකින්..”

සීනු කිසිත් නොකියා මගේ මේසය මත වූ පරිගණක යතුරු පුවරුවට අනිමින් මට වාරු වූවා ය. අනතුරුව ඇගේ විසල් දෑස තව විසල් කරමින් මගේ නෙතු වලට එබිකම් කළා ය.

“මම හිතුවා අම්මියි තාත්තියි ආයේ මාව බලන්න කවදාවත් එන එකක් නෑ කියලා.”

මට හඬන්නට ඕනෑ විය.දෑස් අගින් තෙරපී පනින කඳුළු වාවා ගනිමින් මම සීනුගේ කුඩා කම්මුලක් සිප ගතිමි.

“තාත්ති අද බිසී වෙලානෙ මගේ මැණික. අම්මිත් බිසී. එහෙම වෙලාවටත් මගේ පුංචි සීනු අඬන්නේ නැතුව ඉන්න වීර පැංචියෙක් වෙනවට අම්මි ආසයි”

අපේ කාර්යබහුලත්වය හෝ අමතක වීමට මේ කුඩා ප්‍රාණියා දඬුවම් විඳිය යුතු නැත. ඈ බලහත්කාරයෙන් අපේ ලෝකයට පැමිණියේ නැත.ඇය කැඳවා ගත්තේ අප ය. දරුවෙකු ඕනෑ බව අපේ තීරණයකි. දැන් ඇය ඇතිදැඩි විය යුත්තේ ආදරය පිරුණු ලෝකයක ය.බොහෝ සැපසම්පත් ලබා දුන්න ද මගේ සිඟිත්තියට මඟ හැරෙන්නේ ද දෙමාපිය සෙනෙහස ය. ඈ නමට ගැළපෙන සේම හසරැලි විහිදුවමින් ඒ සියල්ල දරා ගන්නී ය. ඉතා කුඩා බටිත්තියක කාලයේ සිටම සුළං සීනු හඬ වඩාත් ප්‍රිය කළ ඇයට මා අමතන නම සීනු ය. එහෙත් ඈ සුළං සීනුවක් තරමටවත් හඬ නොනඟන අහිංසක ළඳැරියකි. අද ඇගේ කුඩා හදවත මොනතරම් භීතියකට පත් වෙන්නට ඇත්දැයි සිතද්දී සංකල්පට පහර දෙන තරමේ තරහක් මට හට ගනී.

“අද නම් සංකල්ප මගෙන් අහගන්න තියන සේරම අහගන්නවා ලෝචි.”

නිවාඩු ඉල්ලා ඊ මේල් පණිවිඩයක් මානව සම්පත් අංශයට යැවූ මම ටැක්සියක් ඇණවුම් කරමින් ලෝචනාට පැවසුවේ කෝපයෙනි.ඈ සීනුගේ හිස් මුදුන සිප සමු දුන්නේ නිහඬව ය. ඉක්මනින් කෝප ගන්නා මා සන්සුන් කර ගන්නට නොහැකි තැනකදී ඈ කරන්නේ නිහඬව සිටීම ය. දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම ය.අද ද ඈ ඒ නිහඬ වෘතය පුරමින් සිටියා ය.නමුත් අද මා හුන්නේ සන්සුන් වන මානසිකත්වයක නොවේ.අප පිට වන්නට සැරසෙද්දී සීනු හැරී බලමින් නිසල්ට අත වැනුවා ය.

“පවී, මං ඔය කතාවේ අගක් මුලක් නම් දන් නෑ.. ඒත් ගෙදර ගිහිං රණ්ඩු කරන්න එපා..දූ තව කලබල වෙයි.”

ඔහු අප වෙත ළංවී පැවසුවේ ඉතා සිහින් හඬකිනි. මම දෑස් උස්සා ඔහු දෙස බැලීමි.පැය ගණනාවක් පුරා ගිනිගත් හිත නිවන බැල්මක් නෙතු මත තවරා ගත් ඔහු මා සමඟ හිනැහුණේ ය.මහා මිත්‍රත්වයක් නොතිබූ නිසල් ගැන පහන් හැඟීමකින් හිත පුරවා ගත් මම සීනු ඔසවාගෙන පහත මාලයට පැමිණියේ සන්සුන් වන්නට තැත් දරමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles