පළිඟු මන්දිර – 8

කිසල් කතා කළේ නැත. පිටතට පෙන්නුවේ නැතිවාට ඔහු ගේ සිත් හි ද්වේශ සහගත සතුටක් නළියමින් තිබුණේ ය. ඔහු ගේ අරමුණ ඉටු වී තියේ. අක්ෂි ට රිදී තියේ. ඇය ඔය විදිහට ඔහු වෙත ඇවිත් කතා කළේ ඒක ය.

පළිඟු නිහඬව ම බත් පත ලෙහුවා ය. මීට ටික වෙලාවකට පෙර දැනෙමින් තිබුණ ලොකු බඩගින්න කොහේ පැන ගියා ද කියා ඇයට හිතා ගන්නටවත් නුපුළුවන. කෑම රුචිය කියා දෙයක් මේ මොහොතේ දැනෙන්නේ ම නැත. 

“මං ටිකක් ලේට් වුණා”

කියමින් දිව ආ උතුම් ද බත් පතට සම්මාදම් වූයේ ය. පළිඟු කළේ කෑම නොව අත පත ගෑම පමණකි. 

“මොකද බං…”

උතුම් පළිඟු ව ප්‍රශ්න කළේ ය. ඇය මළානික මඳහසක් නගා ගත්තා පමණකි.

“කන්න බෑ වගේ”

කියමින් නැගිට ගත් යුවතිය ගොස් අත සෝදා ගත්තා ය.

ඔවුන් අතර සිදු වන දේ ඉව කරමින් එදෙසට ම දැල් වී ගත් දෙනෙතක් තිබිණි. ඒ අක්ෂි ගේ ය. තමන් ව දුටු මොහොතේ ම මැළවෙන්නට ගත් පළිඟු ගේ මුහුණ, කිසල් නො දුටුවාට ඈ දුටුවා ය. පළිඟු ඔය අත සෝදා ගන්නේ කුස පිරෙන්නට කෑම කා නොවන බව ඇය බලා උන්නා ය. අක්ෂි ට දැනුණේ සතුටකි. මේ පුංචි ගිනි දැල්ල මහ ගින්නක් ව ඇවිලිය හැකි බව ඇගේ ගැහැනු ඉවට දැනේ. ඕනේත් ඒ දේ වෙන්නටයි. ඇය කැමති කිසල් ඈ අහිමි වූ සොවින් ටික කලක් හෝ වැළපෙමින් සිටිනු දැකීමටයි.

“අක්ෂි ඇවිත් කතා කළානෙ මට”

කිසල් උතුම් ට ඒ ප්‍රීතිමත් ආරංචිය දැනුම් දුන්නේ ය.

“දැං…”

“හ්ම්. පළිඟු ආවෙ අක්ෂි කතා කර කර ඉන්නකොට”

එහෙනම් පළිඟු වෙතින් දැන් දැකිය හැකි වූ මළානික බවට හේතුව ඒ බව උතුම් වහා නිගමනය කළේ ය.

“මොකද කියන්නෙ…”

“පළිඟු මට මැච් වෙන්නෙ නෑලු. ලැජ්ජ නැද්ද අහනව. අම්මවත් උසිගන්නල තියෙන්නෙ ගාණට”

“හ්ම්…”

උතුම් දිගු සුසුමක් අත්හළේ ය. ඔහු ට දුක හිතෙන්නේ පළිඟු ගැන ය. මේ කතාවේ කොයියම්ම හෝ තැනක දී ඇය අන්තයට අසරණ විය හැකි බව ඔහු ට ඉවකින් වාගේ දැනේ.

“දෙයක් අහන්නද…”

“මගෙන්ද…”

“උඹ විතරනෙ කිසල් මෙතන ඉන්නෙ”

“අහපංකො”

“අක්ෂි ආයෙ ආවොත්…”

“ඒ කියන්නෙ…”

“ඒ කියන්නෙ අශේනයව අත්ඇරල ආයෙ උඹ ළඟට ආවොත්…මොකද කරන්නෙ…පළිඟු ව අත්ඇරල අක්ෂිව බාර ගන්නවද…”

කිසල් ට දැනුණේ හිසට පොලු පහරක් වැදුණා සේ ය. පළිඟු එක්ක ඔහු ගේ තියෙන්නේ එකඟතා ගිවිසුමක් පමණකි. නමුත් අක්ෂි නැවත ඔහු වෙත ඒවිද කියා කිසල් සිතා තිබුණේ ම නැත. ඇයට රිදවන්නට, ඇගෙන් පළි ගන්නට ඔහු ට ඕනෑ වූවා ඇත්ත ය. නමුත් ඇය යළි එයි කියා හෝ පැමිණිය යුතුයි කියා ඔහු සිතුවේ ම නැත.

පළිඟු අත් සෝදාගෙන යළි ඔවුන් වෙත පැමිණියෙන්, ඒ ප්‍රශ්නයට පිළිතුරක් වෙනුවෙන් කිසල් ව හාරා පාරා බලන්නට උතුම් ට අවස්ථාව ලැබුණේ නැත.

හිතට දැනෙන මූසල හුදෙකලාව කුමක් දැයි පළිඟු දේශන අතරේත් සිතුවා ය. ඒ ප්‍රශ්නයෙහි ගැඹුරට කිමිදෙන්නට ඈ තුළ වූයේ බියකි. ජීවිතයේ සමහර ප්‍රශ්න වලට උත්තර නො දැන ඉන්නා තරමට පහසු ය. දැන ගත්තත්, නො දන්නා නො තේරෙනා ගාණට ඉන්න එක ලෙහෙසි ය.

පළිඟු වූ කලී රෝස මල් මාවතක මෙතෙක් දුර පැමිණි කෙල්ලක නොවේ. පුංචි සන්දියේ පටන් වයසට තරම් නො වන හිත් රිදුම් විඳ ගන්නට ඇය ට සිදු විය. පවුලේ වැඩිමල් දැරිය ව උපන් ඇයට වඩා වසන්තා අනිත් ළමයින්ට ආදරය කළා ය. පළිඟු ට එය දැනුණේ වසන්තා ගේ හැසිරීම් නිසා ම ය. පුංචි කෙල්ලකට කළ නො හැකි තරම් ගෙදර වැඩ, වසන්තා පළිඟු ලවා කරවා ගත්තා ය. 

‘මන්නං දවසක මගෙ දරුවෙක්ට එහෙම කරන්නෑ. ආදරේ නොකර ඉන්නෑ’  

යමක් කමක් තේරෙන්නට ගත්තා ට පස්සේ, අතීතය සිහි කරමින් පළිඟු එහෙම සිතු වාර ගණන අනන්ත ය.

රාත්‍රිය වන තුරුත් හිතේ මූසල ගතිය පහ ව ගොස් තිබුණේ නැත. එහෙම ඉන්නට පළිඟු ගේ වන්නේ බලවත් අකමැත්තකි. ජීවිතය ඉදිරියේ කවර අභියෝගය හෝ ඛේදවාචකය තිබුණත්, ඈ නිරන්තර මලක් සේ පිපී සිටියා ය. ප්‍රබෝධවත් ව සිටියා ය. අද කුමක් වී ද කියා ඇය තමන් ව ම නො රිස්සුවා ය.

කිසල් යළි අක්ෂි හා පෙමින් බැඳුණත් පාඨමාලාව නිම වන තෙක් ශිෂ්‍යත්වය අවලංගු වන්නේ නැත. එසේ නම් කුමට කම්පිත වනවා දැයි ඇය ඇගෙන් ම ප්‍රශ්න කළා ය. පාඨමාලාව අවසානයේ හොඳ රැකියාවක් ලද හැක. හොඳ වැටුපක් සහිත ව පුංචා ව ද බලා ගෙන හොඳ ජීවිතයක් ගත කරන්නට පුළුවන. ඇය මෙතුවක් පතා සිටියේ එපමණකි. දැන් ඒ ඉටු වන පාරේ ඈ ඇවිද යන්නී ය. නමුත් හිතට දැනෙන මේ අඩුව කුමක් ද? මේ බර හා අනියත අසහනය කුමක් ද? ඒ කිසිදු හැඟීමකට මතු වන්නට ඉඩ නොදී පයට පාගා චප්ප කර දමන්නට ඈ තදින් හිතට ගත්තා ය.

පසු දා කිසල් ගේ උපන් දිනය වග පළිඟු දැන ගත්තේ ෆේස් බුක් මතක් කිරීමකිනි. කොන්දේසියේ හැටියට කිසල් වෙනුවෙන් ඉටු කරන්නට කිසිදු යුතුකමක් ඇය ට නැත. අනිත් හැම කෙනෙක් සේ ම උදේ ම සුබ උපන් දිනයක් පතන්නට පුළුවන. ඕනෑ නම් කිසි ම හැඟීමක් නැති වියළි හාදුවක් කම්මුල් මත තියන්නටත් පුළුවන. නමුත් උදේ ම නැගිට කිරිබත් ටිකක් උයා ගෙන යන්නට ඇගේ සිත ඇය ට වද කළේ ය. කිරිබත් ටිකක් උයා දුන්නා කියා කිසිත් වන්නේ නැත. හිතවත් කමක් වෙනුවෙන් එහෙම කරන්නට බැරි වන්නේ ඇයි? ඕනෑ නම් කිරිබත් ගෙනාවේ නිකමට සේ ඉන්නට පුළුවන. කිසල් ගේ උපන් දිනය ගැන කිසිත් නො දන්නා ගානට ඉන්නට පුළුවන. කොහොමත් කරන්නේ රඟපෑමකි. ජීවිතය කියන්නේ රඟමඬලකි.

කිරිබත් පිසින්නට අවදි වූ අළුයම ඇය ඔහු ට උපන් දින සුබ පැතුම් පණිවිඩයක් වට්ස් ඇප් කළා ය. ඊයේ රෑ වන තුරුත් හදවත වෙළා ගෙන පැවති මූසල ගතිය දිය වී සේදී ගියේ කොයි වෙලාවේ දැයි පළිඟු දැන උන්නේ නැත.

කිසල් කියන්නේ තේරෙන සන්දියේ පටන් උපන් දින සාද ප්‍රතික්ෂේප කළ කෙනෙකි. නමුත් අක්ෂි එක්ක ඇසුර පටන් ගත් දා සිට ඒ දවස ඔහු ට නිකං ම ගෙවී යන්නට දිය නො හැකි වූයේ ය. ඈ වදෙන් පොරෙන් හෝ ඔහු ගෙන් ‘සාදයක්’ ලබා ගත්තා ය. සාද කීවාට ඒවා ඇයත් ඔහු ත් පමණක් පිටතට ගොස් විශේෂ අවන් හලක දී ලබා ගත් භෝජන සංග්‍රහයන් විය.

“අද කිසල් ගෙ බර්ත් ඩේ එකට කිරිබත් උයල වගේ”

උදේ භෝජනාගාරයේ දී කිරිබත් මුල ලෙහූ ගමන් උතුම් කීවේ ය. එක තත්පරයකට කිසල් ගේ ඇස් පළිඟු ගේ ඇස් වල හැපිණි. මුලින් ම ඉවත බැලුවේ ඔහු යි. උතුම් කී කතාව නෑසුණා සේ පළිඟු මුණිවත රැක්කා ය.

“කෙල්ලෝ නැති අපට උපන් දින එන්න එපා තමයි ඉතිං”

ඒ කතාවට නම් පළිඟු ට සිනා ගියේ ය. කිසල් හැසිරුණේ කිසිත් නෑසෙන නො පෙනෙන ගානට ය.

“එතකොට මූ ඔයාට ට්‍රීට් එකක් දෙන්නැද්ද පළිඟු…ඉස්සර අක්ෂානං…”

කියන්නට ගිය දේ උතුම් අතර මග ගිල ගත්තේ එවැනි කතාවක් මේ මොහොතට නොහොබිනා බව හදිසියේ මතක් වීමෙනි. පළිඟු හිස බිමට හරවා ගෙන හිටියා ය. කිසල් අඩැසින් ඇදෙසත් උතුම් දෙසත් බැලුවේ ය. 

“ට්‍රීට් එකක් දෙනව තමයි”

“පළිඟුට විතරනෙ ඉතිං…”

“උඹත් ඕනනං වරෙං ඉතිං”

මේ සියල්ල මොන තරම් විහිළුවක්ද කියා පළිඟු ට සිතිණ. සල්ලි මත පිනුම් ගැසිය හැකි හැම මිනිසෙකු ගේ ම ජීවිත මෙබඳු ද? ඇත්තට ම ජීවත් වන්නේ ඔවුන් අතරින් කීයෙන් කී දෙනෙක් ද? 

කිසල් ට සුබ පතන්නට ඔහු වෙත ආ අක්ෂි, ඕනවට වැඩි වෙලාවක් ඔහු වැළඳ සිටියායි පළිඟු ට සිතිණ. ඊළඟට අක්ෂි කිරිබත් පාර්සලය දෙස බැලුවේ අවඥාවෙනි.

“කිසල් දැං බර්ත් ඩේ එකට කිරිබත් වගේ කන්නෙ”

පළිඟු යටිතොල සපා ගෙන බිම බලා ගනු කිසල් දුටුවේ ය.

“ඔව්. මෙච්චරකල් අපේ අම්මවත් මගෙ උපන් දිනේකට කිරිබත් උයල නෑනෙ. මං කන්න ආසම නැති කේක් ගෙනාව මිසක්”

හදවත ඇතුළේ රිදී සීනු පෙළක් හැඬවෙනවා වාගේ පළිඟු ට දැනිණ. නමුත් රහසින් හෝ අක්ෂි එක්ක මෙවන් තරඟයකට නො වැටිය යුතු බව ඇගේ ම හිත ඇය ට අවධාරණය කළේ ය.

දේශන නිම වීමෙන් පසු පළිඟු එක්ක ම කිසල් හා උතුම් වත්සලා ගේ අවන්හල වෙත පැමිණියහ. ඒ, හැන්දෑවට පළිඟු ව පිටතට කැටිව යන්නට වත්සලා ගෙන් අවසර ගනු වස් ය.

“ඕන්නෑ. පුංචා මේ කිසි දෙයක් නොදැන ඕන්නැති බලාපොරොත්තු තියා ගන්න එකට මං කැමති නෑ”

උතුම් ට රහසේ පළිඟු කිසල් ට මිමිණුවා ය. යෞවනයා මඳක් කල්පනා කළේ ය.

“ඒත් උතුම් සැක හිතයි”

පළිඟු කර බා ගත්තා ය. රංගනය තාත්වික වන්නට අවශ්‍ය සියල්ල කිරීම කිසල් ගේ අරමුණයි. එරෙහි වන්නට නුපුළුවන. ඔහු පොරොන්දු ප්‍රකාර ව ශිෂ්‍යත්වය ලබා දුන්නේ ය. හිලව්වට ඇය රංගනයෙන් දායක විය යුතු ය.

“මං මේ කෝල් එකක් දෙන්නයි හැදුවෙ”

වත්සලා සිනා කටකින් කීවා ය.

“ඇයි පුංචා…”

“කිසල් පුතාගෙ බර්ත් ඩේ එකට නිකංම ඉන්න බෑනෙ ඉතිං. මං රෑට කෑම හදනව. ඔන්න අපේ ගෙදර එන්න ඕන රෑ කෑමට”

කර කියා ගත හැකි කිසිත් නැති ව පළිඟු අසරණ දෑසින් කිසල් දෙස බැලුවා ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles