පළිඟු මන්දිර – 11

“මං එකක් කියන්නං. ඔයා මගෙ පර්සනල් ලයිෆ් එකට ඉන්වෝල්ව් වෙන්නනං හදන්නෙපා හරිද…”

ඒ රළු වදන් නිසා, අහසින් පොළොවට වැටුණා සේ පළිඟු තිගැස්සී ගියා ය. 

“මං මොකද්ද කිව්වෙ..”

“ඔය අක්ෂි ගැන අනං මනං. මං එයාව අමතක කරනවද නැද්ද කියන එක මගෙ වැඩක්. ඔයාට තියෙන්නෙ අපේ ඇග්‍රිමන්ට් එකේ හැටියට ඇක්ට් කරන්න විතරයි”

ඔහු කොයි තරම් නපුරු දැයි ඒ මූණ දෙස බලා ගෙන ම පළිඟු කල්පනා කළා ය. සල්ලි තියෙන කොල්ලන් ට හිතක් පපුවක් නැත්ද කියා ඇය ට සිතිණ. එහෙම වන්නටත් විදිහක් නැත.

“හරි හරි මං මගෙ වැඩක් බලාගෙන මගෙ පාඩුවෙ ඉන්නං”

කේන්තියෙන් එහෙම කිවූ යුවතිය බත් පත දෙස බලා ගෙන මුමුණන්නට වූවා ය.

“දාල ගිහිං වෙන කොල්ලෙක් එක්ක යාළු වෙච්ච කෙල්ලෙක් ගැන හූල්ල හූල්ල තැවෙනව. ඒකට මොකද මේ අපිටනං හරියට සද්ද දානව”

පළිඟු මිමිණු දේ පැහැදිලිව නෑසුණත්, ඈ කුමක් හෝ කීවේ ඔහු ට බව කිසල් දැන සිටියේ ය.

“මොකද්ද කිව්වෙ…”

“නෑ මුකුත් නෑ”

පළිඟු බත් පතින් අත ගෙන පුටුවේ කෙළින් වූයේ කෑමත් එපා වී ගිය සෙයකිනි.

හිත තෝන්තු වී ඇතුවා මෙන් ඇයට දැනේ. මේ සංකා සිතිවිලි වලින් ඈත් ම වී ඉන්නා එක යෙහෙකැයි ඈ තීරණය කළා ය. ඒ සඳහා වැඩි වැඩියෙන් අධ්‍යාපන කටයුතු කෙරේ හිත යොමු කරන එක හොඳ ය. කොහොමත් කිසල් කියන්නේ පෙම්වතෙකු නොව මිතුරෙකු ලෙසවත් බැඳීමක් ඇති කර ගත හැකි පුද්ගලයෙකු නොවේ.

නමුත් උතුම් ගැන විශේෂ හිතවත් කමක් පළිඟු තුළ ඇති වෙමින් තිබුණේ ය. ඈ ඔහු ගේ සමාගමය ප්‍රිය කළා ය. පළිඟු ගේ හිතට කරදරයක් දැනෙන ඕනෑම වෙලාවක හොඳ මිතුරෙකු සේ උතුම් ඈ ළඟ සිටියේ ය.

“කැම්පස් එකේ තැං තැං වලට වෙලා උතුම් එක්ක මුකුළු කර කර ඉන්නෙ…ලැජ්ජ නැද්ද…”

ඒ හිතවත් කමක් කිසල් නුහුරට දුටුවේ ය. පළිඟු ඔහු දෙස රවා බැලුවා ය.

“ඉතිං ඒකෙං ඔයාට ඇති වැඩක් නෑනෙ. ඔවු අපි කතා කරනව. ඉතිං මොකද…”

“මමයි ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්. උතුම් නෙවෙයි. අන්න ඒකයි මට තියෙන ප්‍රශ්නෙ”

කිසල් ගේ කෝපය පුපුරා පිටාර ගලමින් තිබිණි. ඔහු ගේ ඒ ප්‍රකාශයෙන් පළිඟු මොහොතකට පාෂාණිභූත වූවා ය. නමුත් ඇය ඇසිල්ලකින් සිහි එළවා ගත්තා ය.

“ඔයා මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නෙවෙයි. අපි එහෙම ඇක්ට් කරනව විතරයි. ඉතිං මට බැරිද මං කැමති කෙනෙක්ව ආශ්‍රය කරන්න”

“බැහැ කිව්වහම බෑ”

කිසල් කෝපාවිෂ්ඨ ව කෑ ගැසුවේ ය. ඒ වෙලාවේ නම් පළිඟු ට ඇත්තට ම බියක් දැනිණ.

“මොකද එතකොට අනිත් අය මට හිනාවෙන්න පුළුවන් නිසා. මේ ඇග්‍රිමන්ට් එක කෑන්සල් කළාට පස්සෙ තමුන්ට පුළුවන් එක කොල්ලෙක් නෙවෙයි දහයක් එක්ක හරි මුකුළු කර කර ඉන්න. හැබැයි එතකන් බෑ”

කිසල් නික්ම ගියේ හැබෑ කේන්තියකිනි.

“ඊරිසියාකාරය”

ඔහු පිටුපා යත්දී පළිඟු තනි ව මිමිණුවා ය.

එදා අවසාන දේශනයට හෝ නවතින්නේ නැතිව කිසල් ගෙදර ගියේ ය. මේ තරම් කෝපයක් හා ඊරිසියාවක් තමන් ව දවන්නේ මන්දැයි ඔහු ට සිතා ගත නො හැකි විණි. අක්ෂි සමග සබඳකමක් පැවති කාලයේ උතුම් ඈ සමග ද විහිළු තහළු කළේ ය. සමීප ව ඇසුරු කළේ ය. නමුත් මෙහෙම ඊර්ෂ්‍යාවක් කිසල් ට දැනී නැත. ඉතින් අද ඇයි? පළිඟු ඔහු ගේ සැබෑ පෙම්වතිය නොවේ. සමහර විට ඇගේ සිතේ උතුම් ගැන හෝ වෙනත් තරුණයෙකු ගැන කැමැත්තක් ඇති වෙන්නට පුළුවන. ඇය ඇත්තට ම වෙනකෙකු ගේ පෙම්වතිය වන්නට පුළුවන. ඊට එරෙහි ව වැටකඩොලු බඳින්නේ කෙසේද? සැබවින් ම එසේ කළ යුතු ද? ඇයට ය කියා ද පුද්ගලික වූ ජීවිතයක් තිබේ. උසස් අධ්‍යාපනය කෙරේ ඇගේ වූ දැඩි අවශ්‍යතාව හින්දා ම පැටළුණ මේ එකඟතා ගිවිසුම නිසා ඇයට ඇගේ සියලු අයිතිවාසිකම් අහිමි විය යුතු ද? කිසල් දිගින් දිගට ම සිතුවේ ය. ඒ සියලු කාරණා ගැන පුළුල් හා සාධාරණ ලෙස සිතිය හැකි මානසිකත්වයක් ඔහු ට තිබුණත්, පළිඟු යන විෂයේ දී තමන් මේ තරම් ආත්මාර්ථකාමී මන්දැයි කිසල් ට වටහා ගත හැකි වූයේ නැත.

“එයාට ඕන්නං උතුම් එක්ක යාළු වෙන්න කියනව”

කිසල් තීරණයකට ආවේ ය.

“ඒත් එතකොට මුළු කැම්පස් එකම මාව ජෝක් එකට ගනී. අක්ෂි අශේන් එක්ක යාළු වුණා…පළිඟු දැං උතුම් එක්ක සෙට් කියල. මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල මගෙ ළඟිංම ඉන්න යාළුවොත් එක්ක සෙට් වෙනව කියල. මං කොහොමද කැම්පස් එකට මූණ දෙන්නෙ…”

දස අතේ හිතුවත් මේ ප්‍රශ්නය ට සාධාරණ පිළිතුරකට එළඹිය නො හැකි වූයේ ය. කිසල් ගේ හිතට මහත් කෙඩෙත්තු ගතියක් දැනෙන්නට විය.ඔහු සඳැල්ලට වී අඳුරු අහස දෙස බලා සිටින්නට වූයේ ය. සම වයස් තරුණයන් මෙන් සෙල්ලක්කාරයෙකු නොවූ කිසල්, කුඩා සන්දියේ පටන් ම ඕනෑවට වඩා දේවල් ගැන හිතුවේ ය. ඒ නිසා ම නිතර ඔහු ගේ සිත්හි කරදර විය. ඒ කරදර ගැන ඔය අහස තරම් දන්නා වෙන කෙනෙක් ඇත්තේ නැත. කිසල් අනන්ත අහස වෙත සුසුමක් මුදා හළේ ය. නමුත් එවැනි සුසුමකින් ඔහු ගේ හදවත මත පැටවී ඇති බර අඩු වී යන්නේ නැත. 

කෙල්ලන් කියන්නේ හිතක් පපුවක් නැති ජාතියක් ය කියා හිතන්නට ඔහු ට ඕන විය. අක්ෂි නම් ඒ බව ඔප්පු කොට ගියා ය. පළිඟු හැසිරෙන්නේ ම කිසිදු තෙතමනයකින් තොරව ය. 

“අයියා…කෑම කන්නෙ නැද්ද…”

වර්ෂා ගේ හඬ පිටුපසින් ඇසිණ. කිසල් සෙලවුණේ හෝ නැත.

“නෑ”

“ඇයි…”

“කන්න බෑ නංගි. බඩගිනි නෑ”

“මුකුත් ප්‍රශ්නයක් ද අයිය…”

“නෑ. බඩගිනි වුණොත් මං රෑ වෙලා කන්නං. ඔයාල නිදියන්න”

කිසල් හිඳින්නේ කතා කරන සූදානමක නොවන බව වටහා ගත් වර්ෂා, තවත් ටික වෙලාවක් ඔහු දෙස බලා හිඳ නිහැඬියාවෙන් අනුබල නො ලැබ නික්ම ගියා ය.

රෑ මැදියමක් වන තුරු ම කිසල් හුදෙකලා කල්පනාවේ නිමග්න ව සඳැල්ලට වී නිදි වැරුවේ ය. කුස ගින්නක් කියා දෙයක් ඔහු ට දැනුණේ ම නැත. මහත් අසරණ පාළු සාංකා ගතියක් ඔහු පෙළන ලදී. පළිඟු ට දුරකතන ඇමතුමක් දී කතා කරන්නට කිහිප වර සිතුණත් ඔහු ඒ සිතිවිල්ල උපන් ගෙයි ම මරා දැමුවේ ය.

උදේට කිසිත් නොකෑ ඔහු දහවල පළිඟු ගේ බත් පත ද ප්‍රතික්ෂේප කළේ ය.

“මොකද බං උඹගෙ මූඩ් එක අවුල්…උඹල දෙන්නගෙ මොකක් හරි ප්‍රොබ්ලම් එකක්ද..”

භෝජනාගාරයේ දී උතුම් කිසල් හා පළිඟු දෙස මාරුවෙන් මාරුවට බලමින් ප්‍රශ්න කළේ ය. කිසල් උත්තරයක් දුන්නේ නැත. පළිඟු අසරණ වූවා ය. කොහොම ඇත්ත කියන්නද? ඇය බිම බලා ගෙන නිහඬ වූවා ය.

“අනේ මන්දා බං. ලව් කරනව කියන්නෙ රණ්ඩු වෙන එකයි තරහ වෙන එකයිද…මොන මගුලටද බං එහෙනං පාඩුවෙ තනියම ඉන්නෙ නැතුව ලව් කරන්න එකෙක් හොයාගන්නෙ…සතුටෙං ඉඳපල්ලකො. ජීවිතේ කියන්නෙ කොච්චර ලස්සන දෙයක් ද බං…මට කෙල්ලෙක් ඉඳල නැති වුණාට ආදරේ කියන්නෙත් හෙණ ලස්සන දෙයක්නෙ බං”

හිතුවක්කාර ලෙස නැගිට ගොස් බීම බෝතලයක් කඩා ගත් කිසල් එය බීගෙන බීගෙන ගියේ ය. පළිඟු ඉවත බලා ගත්තා ය. ඕවා බොන්න එපා කියා කොතෙක් කීවත් ඔහු කනකට ගන්නේ නැත. දැන් දැන් ඔවුන් දෙදෙනා අතර වචන හරඹයක් ඇති වී අමනාප කමක් වර්ධනය වූ විට කිසල් පළිඟු ට පේන්නට ම බෝතල් බීම බීවේ ය.

ඒ බීම බෝතලය හිස් කොට විනාඩි දහයකට වඩා ගත වූයේ නැත. කිසල් උතුම් සමගින් දේශන ශාලාවට ඇතුල් වෙන්නට ගියා පමණි. මුළු ලෝකය ම තමා වටා භ්‍රමණය වන්නට ගන්නවා කිසල් ට දැනිණ. ඔහු ගේ සිරුර පණ නැති වී ගෙන ආයේ ය. උදරය කළඹවාගෙන ආ ඔක්කාරයක්, කුස තුළ වූ සියල්ල වමනය ලෙස පිටතට දැම්මේ ය. කිසල් උදරය අල්ලා ගෙන වේදනාව දරා ගත්තේ ය.

“මට හරි අමාරුයි උතුම්”

එසැනෙන් සියල්ල ක්‍රියාත්මක විය. කිසල් ව පෞද්ගලික රෝහලකට යොමු කෙරිණි. 

“ගෑස්ට්‍රයිටිස් හොඳට ම වැඩි වෙලා”

වෛද්‍ය නිගමනය වූයේ එයයි. ප්‍රතිකාර සඳහා කිසල් ව රෝහලේ නේවාසික කෙරිණි. උතුම් ගෙන් පණිවිඩය එත්දී පළිඟු හිටියේ හොඳට ම තැති ගෙන ය. කිසල් හදිසියේ අසනීප වීම ගැන කට කතා පැතිරෙමින් තිබිණ. පළිඟු ඔහු ට දුරකතන ඇමතුමක් දෙන්නට එඩිතර නොවූයේ මොරීන් අත දුරකතනය වෙතැයි අනුමාන කළ නිසාවෙනි.

“දැං කිසල් හොස්පිට්ල් එකේ ඉන්නෙ තනියම. ඔයාට ඕනනං මං එක්ක යන්නං”

රෑ බෝ වී එත්දී උතුම් ආරංචියක් දුන්නේ ය. වත්සලා ඒ තරම් කැමැත්තකින් නො වුණත් වෙන කළ හැකි දෙයක් නැති නිසාවෙන් පළිඟු ට යන්න අවසර දුන්නා ය.රෝහල් යහන මත වැතිර උන් කිසල් ගේ මැළවුණ මූණ දුටු පළිඟු තුළ දුකත් එක්ක ම කේන්තියත් හිස ඔසවාගෙන ආවේ ය.

“මං කී දවසක් කිව්වද…කොච්චර කිව්වද ඔය බොට්ල් ඩ්‍රිංක්ස් ඔය තරං බොන්න එපා කියල. ජන්ක් ෆුඩ් ගිලින නිසා පාන්දර නැගිටල බත් උයාගෙන ආව. ඒත් අද හිතුවක්කාර කමට බත් කෑවෙත් නෑ. කාව මට්ටු කරන්නද එහෙම කළේ…අන්තිමට මොකද්ද වුණේ…හිතුවක්කාර කමයි පණ්ඩිත කමයි එකතු වුණාම මුකුත් කරන්න බෑ කියන්නෙ ඕකනෙ”

පළිඟු කියවාගෙන ගියේ හුස්ම ගන්නේවත් නැතිව ය. කිසල් ඉවත බලා ගත්තේ ය. උතුම් මුව අයා බලා උන්නේ ය.

“ලෙඩෙක් බලන්න ඇවිත් ලෙඩාට ඔහොම බණිනවද බං…”

ඔහු පළිඟු ගේ කනට ලං කොට රහසින් අසා ගිලන් කාමරයෙන් පිටතට ගියේ, පෙම්වතුන් ට තනිව කතා කරන්නට ඉඩක් ලබා දෙන අදහසිනි. කිසල් සේ ම පළිඟු ද ටික වෙලාවක් ඉවත බලා ගෙන සිටියහ.

“දැං කොහොමද…”

ඊළඟට පළිඟු හඬ බාල කොට මන්ද්‍ර ස්වරයෙන් ඇසුවා ය. කිසල් ඇදෙස හැරී බැලුවේ එවිටයි.

“බැනල ඉවරද…”

පළිඟු ට සිනා නැගිණි. සිනාසෙන විට ඈ වඩාත් සුන්දර යයි ඔහු ට සිතුණේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles