කිසල් වූ කලී උතුම් ලා වාගේ සාමාන්‍ය කොල්ලෙකු නොව තරමක් වෙනස් ඉලන්දාරියෙකු බව වත්සලා ට දැනී තිබිණි. ඔහු වැඩි කතා බහක් නැති නිහඬ චරිතයක් වන අතර ම මඳ ආඩම්බරයක් ද ඒ පෞරුෂයේ තැවරී තිබිණි. වත්සලා එක්ක වුව අවශ්‍ය ම දේකට මිස හෙතෙම කතාවට ආවේ නැත. පළිඟු අවන්හලේ නොවන බව දැන ගත්තා ට පස්සේත් ඔහු හී ගසක් සේ යළි එහි එන්නට කාරණා වත්සලා ට සිතා ගත නො හැකි වූයේ එබැවිනි.
“මං ගිහිං පළිඟු ට බෙහෙත් අරං දෙන්නං”
එය ප්‍රශ්නයක් නොවේ. අවසර පැතීමක් නොවේ. ඉල්ලා සිටීමකුදු නොවේ. එය නිකං ම නිකං ප්‍රකාශයකි. නමුත් ඒ ප්‍රකාශය තුළ වත්සලා ට ගිනිය නොහැකි තරම් වන දේවල් බොහොමයක් මුහු වී තිබිණි. වත්සලා තව දුරටත් ප්‍රතිමාවක් සේ ගල් ගැසී බලා සිටියේ ඒක ය.
“හරි පුතා. එහෙනං එහෙම කරන්න. මං මේක වහල ගෙදර යනකොට හවස් වෙයිත්නෙ”
දඬුමොණරය ඉගිළුණේ ය. වත්සලා අවන්හල දොරකඩටත් ඇවිත් ඔහු යන වේගය දෙස බලා උන්නේ සසල සිතිනි.
“මේ කොල්ලව තේරුං ගන්න බෑ වෙලාවකට”
පළිඟු සිටියේ කුඩා ආලින්දයේ වන තේක්ක කවිච්චියේ වැතිර හඬමිනි. මේ කවිච්චිය බෝ පැරණි එකකි. වත්සලා ගේ මහ ගෙදර තිබුණ එකකි. මුලින් මව ද ඊට ඉතා ආසන්න කාලයකදී පියා ද මිය යාමෙන් පසු මහ ගේ වත්සලා ගේ මලයා අයිති කර ගත්තේ ය. එහි වූ බඩු මුට්ටු වලින් වැඩි කොටසක් වසන්තා ඩැහැ ගත් අතර, වත්සලා ඉල්ලා සිටියේ මේ කවිච්චිය පමණකි. ඒ, කුඩා කල සිට මහ ගෙදර ඈ වැඩි පුර ම ඇසුරු කළේ එය වන බැවිනි. වැඩි පුර ම ගුලි ගැහී නවකතා කියවූයේ එහි වන බැවිනි. ඇගේ යෞවනයේ සුඛ දුක්ඛ දෝමනස්සයන් බොහොමයක් මේ කවිච්චිය හා බැඳී ඇති බැවිනි.
පළිඟු ට ඕන කර තිබුණේ හිත දිය වී යන තුරු ම හඬන්නට ය. නමුත් හඬා කිසල් ව සිතින් ඈත් කර දමන සූදානමක ඈ නො සිටියා ය. මේ ආදරය කිසි දා සිය හදවත හැර යනු දකින්නට හෝ ඇයට අවැසි නොවිණි. නමුත් අද හෙට ම ඔහු නික්ම යනු ඇති බව හදවත ට කියා දෙන්නට යුවතිය ට ඕනෑ විය. අක්ෂි යළි පැමිණ තියේ. කිසල් පළිඟු ව භාවිතා කළේ අක්ෂි ව ගෙන්වා ගන්නා උගුලක් වශයෙනි. මී කතුරු වලට චීස් කැබැලි අවැසි වන්නේ මීයන් ව කොටු කර ගන්නට ය!
ගේට්ටුව අඩවන් කොට තිබිණි. ගෙදොර හැර දමා තිබිණි. දැන් මේ වෙලාවට ගෙදරට කිසිවෙකු නො පැමිණෙන බව පළිඟු සහතිකව ම දැන සිටියා ය. ලොකු හබරල කොළයක් ඇප්ලික් කර තිබූ කුෂන් එකට මූණ ඔබා ගෙන ඕ හඬ නැගෙන සේ ඉකි බිඳිමින් සිටියා ය. කිසල් එහි පැමිණි බවක් සැබවින් පළිඟු දුටුවේ ම නැත.
“ගොඩක් අමාරුද…”
යුවතිය තිගැස්සී හිස නගා බැලුවා ය. මේ වෙලාවේ මෙතැන ඔහු දකින පැතුමක් හෝ ඇය වෙත වූවා නොවේ. මෙවන් අහඹු ආශ්චර්යයන් සිදු වීම ජීවිතයේ හැටියක් ද?
“කිසල්”
ඇය දනිපනි ගා නැගිට ගත්තා ය. ඉකි බිඳුම කෙඳිරියක් හෝ නොනගන්නට ක්ෂණික ව නතර වී තිබිණි.
“අ…ඔයා…ඇයි…”
හරි වචනය තෝරා බේරා ගත නො හැකි ව ඕ ගොත ගැසුවා ය. කිසල් ගේ මූණේ සිනා පොදක් හෝ ඇඳුණේ නැත.
“ලෑස්ති වෙලා එන්න”
ඔහු අණ දුන්නේ ය.
“ඒත්…ඇයි…”
“ප්‍රශ්න ඕන්නෑ. ලෑස්ති වෙලා එන්න”
ඈ සියල්ල ප්‍රශ්න කරන බව මේ ටික දවසට ඔහු තේරුම් ගෙන සිටියේ ය.
පළිඟු ට ඕන වුණේ කොහේවත් යන්නට නොවේ. එක නිමේශයකට කිසල් ගේ පපුතුර හිස හොවා ඉකිලන්නට ය. ආදරය සුළි සුළඟක් සේ අනවසරයෙන් ම ඇගේ හද වෙත හමා විත් සියල්ල විසුනු කරන්නට යන බව කියන්නට ය. දැන් ඉතින් ජීවත් වුණත් එසේ කරන්නට වෙන්නේ මිය ගිය එකියක බඳුව යයි පවසන්නට ය. ඒ මොනවා නැතත් ඈ ඔහු ට පෙම් කරන්නට පටන් ගෙන ඇති බවක් කියන්නට ය. නමුත් අසරණී ඒ කිසිත් නො කළා ය. උඩු හුළඟට හසු වී ගසාගෙන යන පරඬල් පතක් සේ කාමරය වෙත පිය ඔසවා ගත් ඕ, පාට වියැකුණු ඩෙනිම් කලිසමක් හා ටී බැනියමක් හැඳ ආවා ය.
“ඩොක්ට කෙනෙක් ළඟට යං. බෙහෙත් ටිකක් ගත්තහම ඕක හරියයි”
කිසල් හේතු පාඨ කීවේ හෙල්මට් එකක් පළිඟු අත තබත්දී ය. ඇය ට බෙහෙත් බොන අමාරුවක් නො විණි. මේ ලෙඩ වී ඇත්තේ හිත වන බව ද ඕ ඉඳුරා දැන උන්නා ය. ගෙදර පැමිණි විට කුස කලම්බා ඔක්කාරය පැමිණියේ ය. ඒත් හිතේ වන අප්රමාණිත සන්තාපය නිසා විය හැක. නමුත් කිසල් එක්ක යන්නට ඇගේ හිත කැමති වූයේ ය.
මේ ජීවිත ගමන පුරා ඔහු සමගින් එක් ව යන්නට, ඔහු පසෙකින් සංසාරය පුරා ම ඉන්නට දැන් ඈ වෙත වන්නේ නො සන්සිඳෙන ආශාවකි. සසර හා ඈ සම්බන්ධ වන්නා වූ පෙකණි වැල ඒ ආශාව බව ඕ දැන සිටියා ය. සංසාරයට අප බැඳ තබන්නේ තෘෂ්ණාව බව බුදුන් වහන්සේ ද පැහැදිලි ව දේශනා කොට තියේ!
හැකි තාක් ඔහු ගේ සිරුරේ ස්පර්ශ නොවී යතුරු පැදියේ පිටුපස අසුනෙහි හිඳ ගන්නට පළිඟු උත්සාහ කළා ය. නමුත් ඇය ට ඇත්තට ම ඕන වී තිබුණේ ඔහු ගේ බඳ වටා දෑතම යවා ලං වී, රිදුම් දෙන හිස ඔහු ගේ උරහිස මත සතපවා ගන්නයි. ජීවිතය එහෙම ය. අපට ඇත්තට ම උවමනා දේවල් හොඳට ම දැන ගෙනත් බොහෝ අවස්ථා වල අපි ඒ කිසි සේත් අවශ්‍ය නො වන සෙයින් හැසිරෙමු. ජීවිතය වූ කලී රඟ මඬලකි!
“මේ…හස්බන්ද…”
තරුණ වෛද්‍යවරිය එහෙම ඇහුවේ ඔක්කාර ගතිය ගැන පළිඟු සඳහන් කළ විටයි. යුවතිය වහා යෞවනයා දෙස බැලුවා ය.
“න්…නෑ ඩොක්ට”
“මේ…මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඩොක්ට…ඇයි…මෙයාට මුකුත්…”
“නෑ නෑ අවුලක් පේන්නනං නෑ. අපි මේ බේත් ටික බීල බලමුකො”
ඩිස්පෙන්සරියෙන් පිටතට එන විට පළිඟු ගේ වත රතු වී තිබිණි.
“මොකටද අර බොරුව කිව්වෙ…”
ඇය කිසල් ගේ ඇඟට කඩන් පැන්නේ ය.
“මං ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කිව්වෙ…”
“ඒක ඉතිං බොරුවක් නෙවෙයි නෙ. අපි අතරෙ එහෙම ඇග්රිමන්ට් එකක් තියෙනවනෙ”
ඔහු ඇය වෙත හෙළුවේ මෘදු බැල්මකි.
“ඒක ඇග්රිමන්ට් එකක් විතරයි.අනික ඒක කැම්පස් එකට විතරක් වැලිඩ් ඇග්රිමන්ට් එකක්”
“වමනෙ වගේ කිව්වම ඩොක්ට මගෙ දිහා බලල මැරි කරලද ඇහුවෙ…මේ දවස් වල අර උතුම් එක්ක එහෙම මොනාත් වෙලාද දන්නෙත් නෑ. ඔන්න මන්නං ඕවට නෑ හරිද…”
හදවතේ ගැඹුරු පත්ලකින් පැන නැගුණු සිනහවක් පළිඟු ගේ දෑස් හා මුවින් පමණකුදු නොව මුළු පංචස්කන්ධයෙන් ම බැහැර වෙන්නට පටන් ගත්තේ ය. ඈ කෙතරම් සැහැල්ලුවකට පත් වෙමින් සිටියා ද යත් ඒ නිමේෂයේ ඕ කිසිදු දුකක්, වේදනාවක්, රිදුමක් නැති උච්ච මනෝ තලයකට පිවිසියා සේ දැනිණි. එය දිව්‍යමය තත්වයකි. දෙවියන් සමග හෝ විශ්වය සමග හෝ කොන්දේසි විරහිත ව ඒකාත්මික වූ නිමේෂයකි.
“ඔයාට මං….”
සුරතෙහි වූ, බෙහෙත් පැකට් දැමූ සිලි සිලි බෑගයෙන් ඕ යෞවනයා ගේ අතට දමා ගැසුවා ය. ඔහු සිනහ වෙමින් හෙල්මට් එක හිස පළඳිමින් සිටියේ ය. ඒ මොහොතට යන්න නොදී ජීවිතය මත නතර කර ගන්නට පළිඟු ට ඕන වුණත්, කිසිත් නතර වන්නේ නැත. ජීවිතය කියා කිසිවකුත් නැත්ද? බයිසිකලය ගැස්සී ඉදිරියට විසි වෙත්දී ඕ සිතුවා ය.
ජීවිතය කියන්නේ විශ්වයේ ආත්මයට ම අයිති දෙයකි. හැම ජීව අංශුවක ම ඒ විශ්වීය ආත්මයේ අංශුවක් ද අන්තර්ගත ය. සියල්ල විශ්වය ට අයිති වෙන්නේ ඒක ය. සියල්ල විශ්වයේ නිමැවුම් වෙන්නේ ඒක ය. හිත හා විශ්වය අතර වන අඛණ්ඩ සම්බන්ධය ගැන පළිඟු නිතර සිතුවා ය. හිත වඩාත් ම සතුටු වන මොහොතක දී අපි නො දැනුවත්ව ම විශ්වයේ ආත්මයට වඩාත් සමීප වන්නෙමු. ඒ, විශ්වය වැඩිපුර ම කැමති අප සතුටින් ම හිඳිනා නිසාවෙනි. වගකීම්, අයිතිවාසිකම් හා යුතුකම් ද, ජීවිතයේ වෙනත් දුක්ඛ දෝමනස්සයන් ද අමතක වී යන ප්‍රීතියේ අසීමිත නිමේශයේ දී අපට අපරිමිත සැනසුමක් දැනෙන්නේ ය. ඒ විශ්වීය සැහැල්ලුවයි. මීට මොහොතකට පෙර තමන් අත් වින්දේ එබඳු දිගු තත්පරයක් බව පළිඟු වටහා ගත්තා ය.
ගේ ළඟ දී බයිසිකලයෙන් බැස ගන්නා විට කිසිදු රෝග ලක්ෂණයක් පළිඟු කෙරේ නො වී ය. පෙම්වතියක වෙතින් පමණක් දැකිය හැකි දීප්තිමක් දෑසකින් ඕ හෙබියා ය. කියන්නට කතාවක් ඇගේ මුවග නලිය නලියා තිබිණ. ඒ අක්ෂි ගේ පුනරාගමනය ගැන ය. නමුත් ඒ ගැන කියා සිය හදවත අත්විඳින මේ ශාන්තිය හා සමාදානය විනාශ කර ගන්නට ඈ රිසි වූයේ නැත. කිසල් ගැන දැනෙමින් පවත්නා මේ මහා ස්නේහ හැඟුමන් කදම්බය බිඳ වැටෙනවා දකින්නට ඈ රිසි වූයේ නැත. වෙන දෙයක් වුණාවේ! මේ සතුටත් එක්න ජීවත් විය හැකි අන්තිම තත්පරය තෙක් එය අපතේ නො හැරිය යුතු ය!
“ඈ බං…මේ උඹ හොඳට ඉන්නෙ…”
වේලාසන අවන් හල වසා ගෙදර ආ වත්සලා පළිඟු දැක දෑත් ඉණෙහි ගසා ගත්තා ය.
“ඉතිං…ඇයි…”
“අරූ දඬුමොණරෙ දක්කගෙන පිඹං ආවෙ නිකං උඹ මැරෙන්න ඔන්න මෙන්න වගේනෙ. මාත් මේ බේකරියට රිටර්න් අයිටම්ස් දීපු ගමං කඩේ වහල දාල දුවං ආව”
“දුවංද ඔයා ආවෙ…කෝ බලන්න කකුල් දෙක…”
“උඹට කියන්නෑ මං ඉතිං”
පළිඟු හඬ නගා හිනැහුණා ය. ඈ අතිශය සජීවී තත්වයෙන්, මළානික කමක් කියා බිඳකුදු නැති මලක් මෙන් පිබිදී සිටියා ය. පළිඟු ව තේරුම් ගන්නට බැරි කමක් වත්සලා ට නැත. ඇය ඒ වයස පසු කරගෙන ආ කෙනෙකි. ආදරයේ පිනි දියෙන් සව්මිය වන්නට පටන් ගත් කල ජීවිතය තරම් ප්‍රභාෂ්වර කුසුමක් ලොව වෙන කිසිදු තැනෙකින් සෙවිය නො හැකි බව වත්සලා දනී.
“ඔක්කාරෙට ආව කිව්වහම ඩොක්ට ඇහුව මැරි කරලද කියල..”
“තරුණ ගෑනු ළමයෙක්ට ඒ රෝග ලක්ෂණ තියනව කිව්වහම ඕන කෙනෙක් මුලිංම හිතන්නෙ එහෙම දෙයක්නෙ”
“ඒක මාර වැඩක්නෙ. ප්‍රෙග්නන්ට් වුණොත් විතරද වමනෙ යන්නෙ…මට ලැජ්ජාවෙ බෑ කිසල් ඉස්සරහ”
“අපෝ උඹල දෙන්නම බබාලනෙ. මොනාට කියනවද ඒ ගැන…”
සයුරු රළ සේ හදවත ඇතුළේ සරැළි නගන මේ ආගන්තුක සිතිවිලි සමුදාය විහඟ සේනාවක් සේ හාත්පස ඉහිර යාවිද යන දෙගිඩියාව පළිඟු තුළ විය. ඒ නිසා ම ඕ ප්‍රවේසම් සහගත වූවා ය. නමුත් වචන වලට නො පෙරලෙන පළිඟු ගේ සිත කියවා ගන්නට වත්සලා අපොහොසත් නො වූවා නොවේ.
“ආදරේ හරියට දැළි පිහියක් වගේ”
පුංචි කුස්සියට වී දෙන්නා එක්ක රෑ කෑම පිලියෙල කරන ගමන් වත්සලා කීවා ය. ජීවිතයේ ආර්ථික කාරණා හා ඔට්ටු වෙමින් සිටියදී මඳක් යටපත් වී ගියාට වත්සලාගේ මතක ගබඩාව සතු ව පළිඟු ට කියන්නට කාරණා බොහොමයක් නිදන් ගත වී තියේ.
“මගෙ හිතේ හැමදාම එහෙ මෙහෙ වෙවී තිබුණ දෙයක් තියෙනව. පුංචාට කියාගන්න බැරුව”
“ඒ මොකද්ද පළිඟුවො…”
වත්සලා ගේ ගැහැනු හදවත ගැස්සී ගියේ අවිනිශ්චිත ව ය. ඇයටත් නො දැනී ඇගේ ඇස් ලොකු වී තිබිණ. තරුණ දුවෙක් ඉන්නා අම්මා කෙනෙකු ගේ පපුවේ නිරන්තර පත්තු වෙන ගින්දරක රස්නය ඇය ට දැනිණ.