වත්සලා ගේ ලොකු වී තිබූ ඇස් වල වූ විශ්මය දැක පළිඟු ට සිනා පහළ විය. විවර වූ ඇගේ මුවට යුවතිය අමු මිරිස් කරලක් එබුවා ය.
“මොකද්ද කියන්න තියෙනව කිව්වෙ…”
එහෙම අහනකොටත් වත්සලා ගේ පපුවේ ගැස්මක් විය. පළිඟු විසින් කියන්නට යන කාරණය අසා ඉන්නට බෑ වගේ දෙයක් දැනුණත්, එය දැන ගත යුතුමයි කියන සිතිවිල්ලත් හිතේ කැරළි ගසන්නට විය.
“මොකද ඔය බය වෙලා…හරියට මේ මං ප්‍රෙග්නන්ට් වෙලයි කියල කියන්න ගියා වගේනෙ”
“ඇත්තටම උඹ කියන්න ගියේ එහෙම නෙවෙයිද…”
පළිඟු මොහොතක් වත්සලා ට රවා ගෙන සිටියා ය.
“පිස්සුද අනේ…ෂී අප්ප මෙයා මං ගැන හිතං ඉන්න විදිහ”
“ඇයි අප්ප ඉතිං…ඔය වයසෙ කෙල්ලෙක් ඔය තරං තෙපරබාන්නෙ එහෙම එකක් කියාගන්න තමයි. ඒ අස්සෙ මේ ඔක්කාරෙ කතාවකුත් කියලනෙ තිබුණෙ. හම්මේ….මගෙ පපුවෙ බිත්තර සීයක් තම්බගන්න පුළුවන් වෙන්නැති ඒ වෙලාවෙ”
“හරි නරකයි පුංචා”
“හරි හරි ඉතිං…එහෙනං මොකද්ද කියන්න ගියේ කියපංකො”
පළිඟු ටික වෙලාවක් නිහඬව පොල් ගෑවා ය. වත්සලා ඇස් කොනෙන් බලනු ඕ නුදුටුවා නොවේ. ‘මූඩ් එකත් අවුට් ගියා’ යි පළිඟු සිතින් සිතුවා ය.
ඔහොම මූණ එල්ලා ගෙන සිටියා ට කියන්න ගිය කතාව පළිඟු දැන් නො කියා සිටින්නේ නැතැයි වත්සලා දැන සිටියා ය. විටින් විට ඇගේ මුව සිනහවකින් ඇද වෙන්නට ගියේ සිදු වූ දේ සිහි වීමෙනි. සිනා වුණොත් නං පළිඟු කිසිත් කියනු නොව ගස්සාගෙන කාමරයට යන බව අත්දැකීමෙන් ම දන්නා වත්සලා සිනහව ගිල ගත්තා ය.
“මට කියන්න ඕන වුණේ…ඔයා ආයෙ බඳින්නයි තිබුණෙ පුංචා”
තත්පර කිහිපයකට වත්සලා ගේ හා පළිඟු ගේ ඇස් එකට මුණ ගැසී තිබිණ. හෙමිහිට ඇස් මුදා ගත්තේ වත්සලා ය.
ඇය හෙමිහිට කෙල බිඳක් ගිල්ලා ය. නමුත් මුළු උගුර ම වියළී ගිහින් තිබුණා බඳු රිදුමක් ඇයට දැනිණි. කවදා හෝ කවුරුන් හෝ මෙහෙම ප්‍රකාශයක් කරාවියි වත්සලා නිකමට හෝ හිතුවේ නැත. සමහර කතන්දර හදවත ඇතුළේ හිර වී ම තියෙන එක හොඳ ය. සමාජය කිසි දාක මිනිස් හදවතක් දෙස මානව දයාවකින් බලන්නේ නැති බව ඇය ජීවත් වීමෙන් අවබෝධ කර ගෙන සිටියා ය.
“මං නිසයි ඔයා මෙහෙම තනි වුණේ කියන එක හැමදාම මගෙ හිතට කරදර කරයි”
“එහෙම නෑ”
වත්සලා ඒ වචන දෙක වුව කියා ගත්තේ අසීරුවෙන්, උගුර යටිනි.
“පුංචා”
“ම්…”
“ඇත්තටම ඔයාට හිතිල නැද්ද ආයෙ මැරි කළානං හොඳයි කියල…”
“ම්හු”
ඒ අකුරු දෙක පිටවූයේ හදවතින් ම නො වන බව වත්සලා නො දත්තා නොවේ.
“ඔයාගෙ හිතේ කවුරුවත්ම ගැන ආදරයක් ඇති වෙලත් නැද්ද…මං කියන්නෙ බාප්ප නැති වුණාට පස්සෙ…”
උත්තර දෙන්නට මේ තරම් අමාරු ප්‍රශ්නයක් මීට පෙර කිසිවෙකු ඇගෙන් විමසා නැතිවාට සැක නැත. වත්සලා ඇයට ම හොරෙන් වාගේ පපුව පිරෙන්නට හුස්මක් ගත්තා ය. නමුත් එක්වනම ඒ හුස්ම පිට කොට හරින්නට ඕ පැකිළුණා ය. මන්ද යත් පළිඟු වූ කලී රහස් පොලිස් ඉව ඇති කෙල්ලක බව ඇය දැන සිටි බැවිනි.
“නෑ”
“ඔයා ඒක කිව්වෙ ලේසියෙන් නෙවෙයි නිසා…මට හිතාගන්න පුළුවන් ඒක ඇත්තකුත් නෙවෙයි කියල”
“මොකද බං මේ…ඇයි අද මෙහෙම ප්‍රශ්න අහන්නෙ…”
පළිඟු නැගිට ගොස් වත්සලා පසුපසින් ඇය ව වැළඳ ගත්තා ය. දෙදෙනා ගේ ම හදවත් වල වූයේ එක ම විදිහේ බරකි. ඒ බර, අවට වායු ගෝලය පවා දරා ඉන්නා බවක් පළිඟු ට දැනිණ.
“ආදරේ කියන්නෙ දුකක් විතරයිමද පුංචා…”
“ඒයි…මොකද මේ…ආදරේ දුකක් වෙන්නෙ කොහොමද…හුඟක් මිනිස්සු ආදරේ දුකක් කියල කියන්නෙ ඒක ලබා ගන්න අයිති කර ගන්න බැරි නිසා…ආදරේ කියන්නෙ ජීවත් වෙන්න තියන ලොකුම හේතුව පළිඟු. ජීවත් වෙන්න…”
පළිඟු ඇස් දෙක තද කොට පියා ගත්තා ය. ඇස් වලිනුත් මේ හැඟුම් රළ පෙළ පිටතට පනිතැයි බියෙන් මෙන් ඇස් පියාන, වත්සලා වැළඳ ටික වෙලාවක් නොසෙල්වී සිටියා ය.
“බාප්ප මැරුණට පස්සෙ මං හිතං හිටියෙ ආයෙ මට පිරිමිනං ඕන නෑ කියලමයි. මොනා වුණත් අපි දෙන්න ආදරෙං හිටියනෙ. ඇත්තටම කවදාවත් මට වෙන පිරිමියෙක් ඕන කළේ නෑ. ඒත්…”
කියන්න ගිය කතාව අතිශයින් බර වැඩි බවක් දැනී දෝ වත්සලා මඳකට නතර වූවා ය. පළිඟු ගේ ග්‍රහණය හෙමිහිට ලිහිල් විය. ඇය වත්සලා ගේ මූණ ට එබී බැලුවා ය.
“ඒත්…”
“ඒත් මං දන්නෙවත් නැතුව වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටං අරං හිටිය පළිඟු”
වත්සලා සීතලෙන් සීත වී හිටියා ය. දෙතොල් පවා සිය පාලනයකින් තොර ව සැලී යනු ඇයට දැනිණ. මරණයේ සීතල ඈ වෙලා ගන්නා තෙක් මේ ගැන කිසිවෙකු දැන ගනු ඇතැයි ඕ මින් පෙර සිතා තිබුණේ නැත. කෙසේ වෙතත් දැන් හදවත නිදහස් ය.
“දෙයියනේ…ඉතිං කෝ එයා…ඇයි ඔයා එයාව බැන්දෙ නැත්තෙ…”
හැම හදවතක ම කතාවක් තියෙන්නේ ය. ඇතැම් විට කතා කිහිපයක් වුව තියෙන්නේ ය. නමුත් ඒ කතා ගැන අල්ප මාත්‍රයකුදු ලෝකයා දන්නේ නැත. එක වහල යට ජීවිතය බෙදා ගන්නා, ඇතැම් විට එක යහන බෙදා ගන්නා අය පවා දන්නේ නැත.
“බඳින්න ඕනමයි කියල නෑනෙ පළිඟු. ආදරේ කියන්නෙ බඳිනවටම නෙවෙයි”
පළිඟු ට තව අහන්නට දෙයක් තිබුණේ නැත. කියන්නට දෙයක් තිබුණේ ද නැත. මුණිවතින් පොල් ටික ගා හමාර කළ ඕ බරැති දෙපා අද්ද අද්දා කාමරයට ගියා ය.
ඇගේ ජීවිතයේ පරමාදර්ශී චරිතය වත්සලා ය. අනුන්ගේ දියණියක තමන්ගේ වගේ හදා වඩා ගත්, තරුණ වියේදී ම සැමියා මිය ගියත් වෙනත් පුරුෂයෙකු නො පැතූ වත්සලා වීරවරියක සේ පළිඟු ගේ සිතේ මුල සිට ම ජීවත් වූවා ය. නමුත් වෙනත් පුරුෂයෙකු හා සරණ නොගියා ය යන්නෙන් අදහස් වන්නේ වෙනත් පුරුෂයෙකුට පෙම් නොකිරීම නොවේ යි පළිඟු දැන් මොහොතකට පෙර තේරුම් ගත්තා ය. පුංචා බාප්පා ට බෙහෙවින් ආලය කළා ය. නමුත් ඉන් පසු ඇගේ සිතේ ප්‍රේමයක් ජනිත කරන්නට වෙනත් පුරුෂයෙකු ද සමත් වී තියේ.
මේ අවබෝධය පළිඟු ව තිගස්සවන්නට සමත් විය. ආදරය කියන්නේ එක හිතක එක් අයෙක් වෙනුවෙන් එක් අවස්ථාවක දී පමණක් ම පිළිසිඳගන්නා දෙයකැයි මෙතෙක් ඈ ඇදහුවා ය. යොවුන් වියට එළඹීමෙන් පසු කියවූ නවකතා බොහොමයක් හා නැරඹූ ප්‍රේමය තේමා කර ගත් චිත්‍රපට ද ඇය ව එහෙම හිතන්නට පොළඹවනු ලැබී ය. නමුත් වත්සලා ගේ සිතේත් දෙවෙනි අවස්ථාවක ප්‍රේමයක් ගැබ් ගත්තා නම් එය අභව්‍ය දෙයක් කියා කෙසේ නම් සිතන්න ද?
ජංගම දුරකතනය නාද වූයේ පළිඟු ව පියවි ලොවට ඇද දමමිනි. නමුත් වෙනත් අද්භූත ලෝකයක් මීට මොහොතකට පෙර ගවේෂණය කිරීමෙන් ලත් ගැස්ම තවමත් ඈ වෙත විය.
“හෙලෝ”
යුවතිය එහා ඉම හා සම්බන්ධ වූයේ ඉතාමත් මෘදු, නමුත් සසැළුණු හඬකිනි.
“දැං කොහොමද…”
කිසල්! මේ ජීවිතයේ සුවිශේෂ දින කිහිපයක් සේ පළිඟු ට දැනිණ. අහඹු සුළි සුළඟකට ආත්මය උන් හිටි ගමන් මැදි වූවා සේ ය. තීරණාත්මක මොහොතක හදවතක් අත්විඳිනා වූ දෙගිඩියාව කිසිදු අඩුවකින් තොර ව පළිඟු ට දැනෙමින් තිබේ. ඉරණම යමක් කරන තෙක් බලා හිඳිනු වෙනුවට ඉරණම හඹා යාම වෙනුවෙන් යමක් කරන්නැයි යටි හිත කොඳුරා කියයි. කෙසේ වෙතත් පළිඟු සිටියේ අවිනිශ්චිත හා අතීරණාත්මක තත්වයක පා වෙවී ය.
“හො…ඳයි”
“හොර ලෙඩද කොහෙද”
“කිසල්”
ඒ දේ අසන්නට ඇයට ඕනෑ විය. එතකොට හිත නිදහස් ය. නමුත් තව දින කිහිපයකට හෝ ඒ බවක් නො අසා, ඒ ගැන නොදැන ඉන්නා ලෝභී සිතිවිල්ලක් ද දලු ලා වැඩෙමින් තිබේ. දැන ගත්තා ට පස්සේ ආශ්චර්යයක් නො වන්නේ ය. කුතුහලයක් නො වන්නේ ය. බලාපොරොත්තුවක් ද නො වන්නේ ය.
“හෙලෝ”
පළිඟු ගේ නිහැඬියාව තුළ කිසල් තුළ මඳ නො සන්සුන්කමක් ඇති විය. ඔහු එය නො රිස්සුමක් බවට පෙරලා ගන්නට සමත් වූයේ ය.
“කිසල්…මට හිතෙන දෙයක් කියන්නද…ඔයා කේන්ති ගන්නැතුව අහනවද…”
“ඒ ගමන මොකද්ද”
මේ මනුස්සයා ආදරයෙන් එක වචනයක් කතා කරන්නට දන්නේ නැතැයි ඇයට සිතිණ.
“ඕන්නෑ. දැං ඒක ඕනම නෑ”
ඇයත් කැත්තට පොල්ල සේ හිටියා ය. කිසල් තවත් බල කරන්නට නො ගියේ, ඔහු ගේ අහංකාරව ඊට ඉඩ නොදුන් බැවිනි.
ප්‍රශ්නයක් තිබුණා නම් දැන් එය මුළුමනින් විසඳී තියේ. අක්ෂි හා අශේන් අතර ඇති වූ සම්බන්ධය කෙටි කලකින් ම බිඳ වැටී තියේ. කිසල් විසින් පළිඟු ව බොරුවට ලං කර ගත්තේ අක්ෂි තුළ ඊර්ෂ්‍යාව වපුරා ඇය යළි ඔහු වෙත ගෙන්වා ගන්නට නම් දැන් ඊට කිසිදු බාධාවක් නැත. නමුත් ඒ දේවල් එහෙම වෙත්දී තමන් මොන තරම් අසරණ තත්වයකට ඇද වැටෙනවා දැයි පළිඟු සිතුවා ය. මේ සෙල්ලමට කැමති වූයේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ලැබෙන ශිෂ්‍යත්වය ගැන පමණක් සිතීමෙනි. නමුත් හදවත දැන් පහසුවෙන් ඔහු අතැර යන සූදානමක නැත.
පළිඟු ගේ ආත්මයේ ඈතක අකුණක් පුපුරනවා වන් කම්පනයක් ඇති විය. මීට ටිකකට කලන් ඇය ලැබූ අවබෝධයක් තිබේ. හිමි නො වෙනවා කියන්නේ ආදරය නො පවතිනවා කියන එකට නොවේ!
ඒ අවබෝධය හදවතේ ස්ථාවර කර ගැනීමෙන් පස්සේ ඇය සන්තාපී සැනසුම් තත්වයකට පත් වූවා ය. එය බෙහෙවින් සාමකාමී මානසිකත්වයකි. රිදුම් තිබුණේ සාමයට යටිනි. කොහොමත්, දියක වුව ගැඹුරු ම තැන් හරි නිසල ය!
අක්ෂි කියන්නේත් ලෙහෙසියෙන් යමක් අත්හරින කෙල්ලක නොවේ. කිසල් එක හෙළා ඈ නො පිළිගත්තේ පළිඟු නිසා නම්, මේ කතාවෙන් ඉවත් කර දැමිය යුත්තේ පළිඟු යන්න ඇගේ අදහසයි. ඊළඟ උදයේ ම ඈ අවන්හල වෙත ආවේ සිය අරමුණ කරා යන්නට පාරක් කපා ගනු පිණිසයි.
පුංචි රවුම් මේස කොනක අසුන් ගත් ඕ පළිඟු ට මුව පුරා හිනැහුණා ය. ඇයට වෛර කරන්නට හේතුවක් නැති බව පළිඟු සිහි කළා ය. කොහොමත් පළිඟු සිටින්නේ රාජකාරියකයි. එකඟතා ගිවිසුමකයි. එහිදී සිය පෞද්ගලික අභිමතාර්ථ හෝ හැඟීම් වෙනුවෙන් කිසිවකට මැදිහත් වීමේ අයිතියක් ඇයට නැත.
“පළිඟු”
අක්ෂි දෑසින්, ඈ වෙත එන්නයි පළිඟු ට යෝජනා කළා ය. නොගොහින් බැරි ය. අක්ෂි හා කිසල් අතර වන සම්බන්ධයක් ගැන කිසි සේත් වත්සලා දැන ගත යුතු නැත. පළිඟු නිහඬ ව අක්ෂි වෙත ගියා ය.
“සොරි”
පළිඟු මඳහසක් පෑවා විතර ය. නමුත් හදවත පහුරු ගානවා බඳු සංවේදනයක් ඇය පාරවන්නේ ඇයි දැයි ඕ සිතන්නට වූවා ය.
“පිස්සුවෙං වගේ මං හැසිරිච්ච විදිහට ඔයා මට සමාව දෙයි කියල මං හිතනව”
පළිඟු ඇස් කුඩා කොට බැලුවා ය. සමහරු මිනිස්සු සිය කාරිය කර ගැනීම වෙනුවෙං ආත්මය පාවා දෙන්නට දෙවරක් සිතන්නේ නැත.
“අපි යන ගමං කතා කරමු”
ඇය ඉක්මනින් බර්ගර් එක මුවෙහි ඔබා ගත්තා ය. අක්ෂි විසින් කියන්නට යනු ලබන දේ අසන්නට තරම් සූදානමක් තමන් වෙත ඇත්දැයි පළිඟු ඇගේ ම හදවතින් ප්‍රශ්න කළා ය.