මම වහා දෑස් ඔසවා බැලුවේ කවුරු හෝ වාහනය නැවැත්වීමේ ගැටලුවකට මැදිව ඇතැයි සිතමිනි. නමුත් සිටියේ පුරුදු දෑසකි. මම වහා වීදුරුව පහත හෙළීමි. ඔහු මුලින්ම බැලුවේ ටිමී දෙස ය.
“ෂා..සීනුට යාලුවෙක් හම්බෙලා වගේ..”
මම පුළුල් සිනාවක් නැගිමී. මොහොතකට පෙර හඬමින් හුන් දෑසේ කඳුළු වියළී ද නැත.
“අද එයාට තාත්ති ගිෆ්ට් කරේ නිසල්. අපි මේ වෙට් ගාවට ගිහිං යන ගමන්. සීනුයි ලෝචියි ගියා අයිස්ක්‍රීම් කන්න..”
නිසල් ටිමීගේ හිස පිරි මදින්නට ගත්තේ ය. මව් උණුහුම මඟ හැරුණු අලුත බැවින් කුඩා බලු පැටවා ආදරය දැනෙන ඕනෑම තැනකට වඩා ඉක්මනින් බැඳෙන්නෙකි. ඌ කෙඳිරිලි නගමින් නිසල්ගේ අත ලෙව කන්නට පටන් ගත්තේ ය.
“මං දැක්කා ලෝචනාගේ වාහනේ.නිකමට බලද්දී ඔයාව දැක්කෙ..අද මොකෝ නිවාඩු දැම්මෙ.ඊයේ බබා සෑහෙන්න අවුල් වුණාද?”
ඔහු ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළේ ය.
“අද එයා එක්ක හිටියොත් හොඳයි හිතුණා නිසල්..”
මම කෙටි පිළිතුරක් දුන්නෙමි. ලෝචනා සීනු වඩාගෙන අප වෙත පැමිණියා ය.සීනු නිසල් ට හුරුපුරුදු ආදර සිනාවක් නැඟී ය. අනතුරුව ටිමී ගැන සියළු විස්තර කියන්නට පටන් ගත්තා ය.නිසල්ට ටිමී වඩා ගන්නට දෙන්නටත් ඈට ඕනෑ විය.
“මේ පාරනේ දූ. අංකල් වෙලාවක එන්නංකො ඔයාගේ ටිමී බලන්න..”
නිසල් කියද්දී මම ඔහුට ආරාධනාවක් කරන්නට සිතුවෙමි.
“ඇත්තටම නිසල් වෙලාවක ලෝචි එක්ක එන්න. භාතියලනම් ඇවිත් තියනවා.ඔයා තාම අපේ ඔෆිස් ආව අලුතනෙ..”
ඔහු හිස නවා සිනා සී ඒ ආරාධනාව පිළි ගත්තේ ය. නිසල්ට ඇත්තේ හෘදයාංගම සිනාවකි.ඉතා ඉක්මනින් මිතුරන් ඇති කරගැනීමේ හැකියාවක් ඔහුට ඇතැයි මාත් ලෝචනාත් දැන ගත්තේ ඔහු අපේ කාර්යාලයට පැමිණි මුල්ම දිනවල ය. ඔහු හෙල්මටය පැලඳ යතුරු පැදියට නැග පිටව යද්දී සීනුට ඒ වර්ගයේ සෙල්ලම් බඩුවක් ඕනෑ විය. ඒ සෙල්ලම් කරන දෙයක් නොව වාහනයක් බව ඈට පහදා දෙන්නට මම සැලකිය යුතු කාලයක් වැය කළෙමි.
“මේ කොළඹ ට්‍රැෆික් අස්සෙ බයික්වල යනවා තරම් ඩේන්ජර් වැඩක් තවත් නෑ. නිසල්ට පොඩියට වාහනයක් ගන්න තියෙන්නේ..”
මම ලෝචනාට පැවසුවේ සිතුවිල්ලේ ය.
“තව එච්චර හයියක් නැතුව ඇති. කැම්පස් අවුට් වුණු ගමන්නෙ තාම. කොල්ලගෙ සෙකන්ඩ් ජොබ් එක මේ..කලින් හිටිය තැන සැලරි අන්තිමයි කිව්වා.”
ලෝචනා හේතු දැක්වූවා ය.ඕනෑම කෙනෙකු සමඟ ඉක්මනින් හිතවත් වන්නියක වූ ඈ නිසල් ගැන බොහෝ කාරණා දන්නා හැඩකි. නමුත් මා කිසිවක් දැන සිටියේ නැත.
“ඔෆිස් කන්සෙප්ට් නිසා නම කියලා කතා කරාට නිසල් අපිට වඩා අවුරුදු තුනක් විතර බාල පොඩි එකෙක්..”
ලෝචනා ඕපාදූපය තවත් දිගු කරා ය. අනතුරුව ට්‍රැෆික් පෝලිමක වාහනය නවතන අතර සිනාවක් නගා ගත්තා ය.
“තාම ලව් කරන කාලෙනෙ බං.. කෙල්ලත් ආස ඇති බයික් එකේ නැගලා කොල්ලව බදාගෙන යන්න.මැරි කරාට පස්සෙ තමා කා එකක් ඕන වෙන්නේ. “
මට පැනයක් විය.
“නිසල්ට කෙල්ලක් ඉන්නවද..”.
“මැරි කරලා නෑනෙ. ඇති.නැති වෙන්න බෑනෙ. ඌ හැන්ඩි කොල්ලා..”
නිසල් කාර්යාලයට පැමිණි දා පටන් සඟවා ගත් රහසක් ලෝචනාට සිහි කරන්නට මට ඕනෑ විය. ඇය එය බාර ගන්නේ කෙසේදැයි මට ගැටලුවක් වූයේ නැත. නමුත් එය ඇය සමඟ බෙදා ගන්නට මට සිත් විය.
“නිසල්ගෙ හැඩහුරුකම සෑහෙන දුරට දේවක වගේ. නිසල් මාතලේනෙ. දේවකලට එහෙ නෑයෝ හිටියෙ නෑ.කොහොමත් ඒ දවස්වල දේවකලගෙ ගෙදර ආව හැම නෑදෑ ළමයෙක් එක්කම මමත් සෙල්ලං කරලා තියන හින්දා මේ දේවකගෙ නෑයෙක් නෙවේ කියල මටත් විස්වාසයි..”
ලෝචනා වැඩකට නැති බැල්මකින් මදෙස බැලුවා ය.
“එක වගේ හතක් ලෝකෙ ඉන්නවනෙ.අනික ඔයාගෙ ඔලුවෙ පිරිලා තියෙන්නෙ දේවක ගැන මතක හින්ද එහෙම පේනව ඇති…මට නම් එහෙම පෙනිලා නෑ කවදාවත්.”
මම ඉවත බලා ගතිමි. ලෝචනා සෑමවිටම උත්සාහ දරන්නේ මා මැවී ඇත්තේ සංකල්පගේ බිරිඳ වන්නට බව මට හඟවන්නට ය.මගේ හැඟීම් සහ වේදනාව තේරුම් ගන්නා මිතුරියකගේ අවශ්‍යතාවය මට වඩා තදින් දැනෙමින් තිබිණ.
එදින රාත්‍රියේ සංකල්ප ලැප්ටොප් තිරයට මුහුණ ඔබාගෙන හිඳිද්දී මා ඔහුට කෝපි කෝප්පයක් රැගෙන ගියෙමි.ලෝචනා බණ දේශනා කරන අන්දමට යහපත් පවුල් ජීවිතයක් වෙනුවෙන් කැප වන්නට මට නුවුවමනා ය.නමුත් හදවතට දැනෙන පාළුව නිසා සංකල්ප සමඟ කතාබහක යෙදෙන්නට මට ඕනෑ විය.
“ඔයාගෙ එක්සෑම් කවද්ද ඉවර වෙන්නේ සංක?”
ඔහු උපැස් යුවල ගලවා තබා විඩාබර සිනාවක් නැගී ය.
“තව මාස කීපයක්ම තියනවනෙ පවී. ඇයි ට්‍රිප් එකක්වත් යන්න හිතුණද.. අපි යං..”
“නෑ.. එහෙම දෙයක් නෙවෙයි ඉතිං. ඔයා ඔච්චර මහන්සි වෙවී කොලිෆිකේෂන් වැඩි කරගන්නෙ ඇයි හිතෙනවා. “
“අපිට පුලුවං කාලේ මහන්සි වෙලා අනාගතේ හදා ගන්න ඕන පවී.ඔයාටයි සීනුටයි කරදරයක් නැතුව ඉන්න තරමට අපි ස්ථාවර වෙන්න ඕන..”
ඔහු සමඟ ඒ ගැන තර්ක කරන්නට බොහෝ දේ තිබුණ ද මා කිසිත් නොකියා කාමරයෙන් පිටතට පැමිණියෙමි.තවදුරටත් සංවාදයක පැටළී පලක් නැත.ආදරය නැති වියළි ලෝකයක තනි වූ මට සැපසම්පත් වලට වඩා ආදරය අවශ්‍ය බව සංකල්පට පැවසීමේ තේරුමක් ද නැත. ඔහු මගේ දියණියගේ පියා වුව ද ඔහුගෙන් ආදරය ඇයද සිටීමට මගේ ආඩම්බරකම මට ඉඩ නොදේ. අනිත් කාරණාව ආදරය කරන්නට ඔහු නොදන්නේ නම් එය ඉල්ලා සිටීම ද නිශ්ඵල ය.සිතුවිලිවල පැටලී තනිව සිටි මා කල්පනාවෙන් මිදුණේ දුරකථනයට පණිවිඩයක් පැමිණි නිසා ය.
“පවී, අද හවස මොකක්හරි ප්‍රශ්නෙක නේද හිටියේ?”