සැරිසරන්නී – 46

නිමාලි නැන්දා හා සජිනි අතරේ සම්ප්‍රදායික නැන්දම්මා ලේලි අරගලය ඇති වූයේ ඇරඹුමේ සිටම ය. සජිනි සිය පුත්‍රයා ගේ කරේ එල්ලුණා ය කියමින් නැන්දා නිතර නිතර ඇය එක්ක පැටළෙන්නට ගත්තා ය. ටික දවසක් බලා උන් සජිනි කැත්තට පොල්ල සේ වන්නට වූවා ය. ඒ ගෙදර හැමදාම කෑ කෝ ගසා ගන්නා රණ්ඩු පවා නැන්දම්මා හා ලේලි අතරේ හට ගන්නට වූයේ ය.

“උඹත් ලේලි කෙනෙක් නේද නිමාලියො…මමනෙ උඹලගෙ නැන්දම්ම. යකෝ මට ලේලිල හතර දෙනෙක්නෙ. කවදාවත් මං උඹලත් එක්ක ඔහොම රණ්ඩු සරුවල් කරගෙන තියෙනවද බලහංකො”

ආච්චා මුලින් ම උපදෙස් දුන්නේ නිමාලි නැන්දාට ය.

“අපි වගේද බලන්නකො අම්මෙ මේකි. කට ගහගෙන එන්නෙ නිකං මේ ගෙදරට පාවාඩ පිට පෙරහැරෙන් ආව වගේනෙ”

“නිමාලි. පාවාඩ පිට පෙරහැරෙන් ඇවිත් හරි එහෙම නැතුව හරි ඒකි දාන් උඹගෙ ලේලිනෙ. ඒක නිසා රට්ටු හිනස්සන්නෙ නැතුව කෑ කෝ ගහ ගැනිලි නවත්තල ඉඳහල්ල”

“ඒකි හිතං ඉන්නෙ දිලුම් ඒකිගෙ බූදලයක් කියල. බලෙං කොල්ලගෙ ඇඟේ එල්ලිල මෙතන…ඒකාගෙ අම්ම මම. මේ ඊයෙ පෙරේද බලෙං ගෙට රිංගපු බැල්ලියො…”

“නිමාලි. ඔන්න ඕක තමයි හුඟක් නැන්දම්මල වරද්දගන්න තැන. මගේ බඩෙං වදාපු කොල්ලො හතර දෙනෙක් පිට ගෑනුන්ට දීල මං මේ පැත්තකට වෙලා ඉන්නෙ බං. අපි පුතාල හැදුව තමයි. ඒත් දවසක උං අයිති වෙන්නෙ කසාද බඳින ගෑනිට. අපිට වඩා ලං වෙන්නෙ ඒ ගෑනිට. එහෙම තමා වෙන්න ඕනෙ. අම්මා කෙනෙක් වුණාම කරන්න ඕනෙ තමංගෙ පුතා කසාද බඳින ගෑනිත් එක්ක සතුටෙන් ඉන්නව බලල පැත්තක ඉඳල සතුටු වෙන එක මිසක් ඒකට අකුල් හෙලන එක නෙවෙයි”

ආච්චා උපදෙස් දුන්නා ට නිමාලි නැන්දා හෝ සජිනි යන දෙදෙනා ම ඒ පිළිපදින බවක් හෝ දෙදෙනා ගෙන් කෙනෙකු දෙවැනි වන්නට සූදානම් බවක් පෙනුණේ නැත. දරුවා කුස දරා ගෙන ම සජිනි කෑ ගසමින් රණ්ඩු වෙත්දී මා නම් හිතුවේ කුස ඔත් ඒ දරුවා ගැන ය. කුස තුළදී කළලයක් නිරාවරණය වන පරිසරය, ඒ දරුවා ගේ අනාගතය නිර්ණය කරන්නට බලපාන හේතු සාධකය බවට පත් වන්නට පුළුවන. අම්මා කෙනෙකු විය යුත්තේ කුසයෙහි දරුවෙකු හොවා හිඳීමෙන් පමණක් නොවේ. මාතෘත්වය කියන අරුතෙහි සැබෑ හරය අවබෝධ කර ගෙන කටයුතු කිරීමෙනි. දරුවෙකු ට හොඳ ම දේවල් සමීප කරවීම අම්මා කෙනෙකු ගේ මෙහෙය බව හදවතේ ධාරණය කර ගෙන ඒ මත සිය ජීවිතය වෙනස් කර ගැනීමෙනි.

රවීන් ගේ මා පියන් හා විවාහක වැඩිමහල් සොයුරිය යොදා ගත් දිනයක අපේ ගෙදර පැමිණියහ. මට සාරියක් අන්දවන්නට අපේ අම්මා ට උවමනා විණි ද මම ඊට නොකැමති වීමි.

“අනේ අම්මෙ මං ඉතිං සාමාන්‍යයෙන් සාරි අඳින කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය ජීවිතේ මං ඉන්න විදිහනෙ රවීන් ගෙ පේරන්ට්ස්ල දකින්න ඕන. ඒ පෙනුමටනෙ ඒගොල්ලො කැමති වෙන්න ඕනෙ. ඒක නිසා මං කැෂුවල් ඇඳුමක් අඳිනව. ගවුමක් හොඳයි. අනික මේක ප්‍රපෝසල් එකකුත් නෙවෙයිනෙ”

රවීන් මට පහසු ඕනෑ ම ඇඳුමක් අඳිනවාට කැමති වූවා ට අම්මා ගේ මූණ හොඳ වූයේ නැත.

“ඉතිං ඕක සාරියක් ඇන්දයි කියල කෑල්ලක් අඩු වෙනවද බං…සුදු නැන්දගෙ හිත හරියන්න එක්ක ඕන්න ඕක ඇඳපං”

ලොකු අයියා කීවේ ය. අන්තිමට මම ඔහු ගේ අදහසට එකඟ වීමි.

රවීන් ලා එන විට මා හිටියේ ඔසරියක් හැඳ කොණ්ඩය ගෙල මතින් බැඳ අගස්ති මාලයක් ගෙල පැළඳ ය.

“මට මගෙ තරුණ කාලෙ අවතාරයක් වගේ දැන් සනූව පේනව”

ආච්චා ඇස් පිය නො සලා මදෙස බලා හිඳ කීවා ය. ගමනක දී  ආච්චා අඳින්නේත් ඔසරිය ය. දැන් ඈ තරබාරු වී ද සිය තුරුණු සමයේ දී හිඳ තිබෙන්නේ මා සේ ම කෙට්ටුවට ය.

රවීන් මා දැක පුදුම වූ බවක් ඔහු ගේ ඇස් වලින් ම පෙනිණ. 

“මෙච්චර ලස්සනයි කියල මං හිතං හිටියෙ නෑනෙ”

ඔහු මගේ කනට කර කීවේ ය. අම්මා ට එකඟ වී සාරියක් ඇන්ද එක හොඳ යයි අන්තිමට මට සිතිණ. අපේ ජීවිත වලට ඉඳ හිට වත් එහෙම වෙනස් වීම් අවශ්‍ය ය. ජීවිත මත්තේ ප්‍රාතිහාර්ය පාන්නට වෙනස් වීම් වලට පුළුවන. හැමදාම එක ම ස්වරූපයකින් දලිත්දී කණ්ණාඩිය පවා අප දෙස ඇල්මැරුණ ඇසකින් බලන්නට ගනී.

රවීන් ගේ නෑසියන් එක හෙලා මට කැමති වූහ. ඔවුන් මගේ හඳහන ද ඉල්ලා ගත්තේ ඉක්මනින් ම උදා වන සුබ නැකතක දී මඟුල් තුලා කටයුතු යොදා ගනිමුයි අම්මා සමග කතිකා කර ගැනීමෙන් පස්සේ ය.

හඳහන් නො ගැලපෙතැයි යන පණිබවිඩය ලැබෙන්නේ ඉන් දෙතුන් දිනකට පස්සේ ය.

“මේක කළත් වැඩි කල් තියෙන එකක් නෑ කියලයි ගුරුන්නාන්සෙ කියන්නෙ. එයා කියනව හඳහන් බලන්න දන්න ඕන කෙනෙක්ට දීල බලන්නලු. ඕක තමයිලු කියන්නෙ”

රවීන් ගේ අම්මා එසේ කියා තිබෙන්නේ අම්මා ට ඕන නම් වෙන තැනකින් බැලවූවත් කම් නැතිවා වන් අදහසකිනි. ඒ අනුව අම්මා ද ආච්චා සමගින් ගොස් ඈ දන්නා තැනකින් අපේ හඳහන් බලවා තිබේ. එනින් කියා තිබෙන්නේත් විවාහයක් පවත්වා ගැනීමට අවශ්‍ය තරම් දෙදෙනා ගේ හඳහන් නො ගැලපෙන බවයි.

“බොරු වැඩ අනේ ඕව..මන්නං ඔය හඳහන් වගේ දේවල් කොහොමත් විශ්වාස කරන්නෑ”

මම ඒ පුවතින් සසල නොවී කීවෙමි. 

“ඕවනං කිසි විද්‍යාත්මක පදනමක් ඇති දේවල් නෙවෙයි තමයි. බුදු හාමුදුරුවො ඔය වගේ ශාස්ත්‍ර අඳුන්නල දුන්නෙ තිරස්චීන විද්‍යා විදිහට. උසස් මනසක් තියෙන මිනිස්සුන්ට නොගැලපෙන තිරිසන් විද්‍යා හැටියට. ඕවගෙ එල්බගෙන ඉන්න ගියොත් මිනිස්සුන්ට කවදාවත් පොසිටිව් විදිහට ජීවිතේ දකින්න වෙන්නෑ”

තාත්තා කීවේ ය. මට හයියකට තිබුණේ ජ්‍යොතිෂ්‍යය ගැන තාත්තා දැරූ ඒ මතය පමණකි. අම්මා නැවතත් මේ අල්ලා ගෙන ජෝගියක් නටාවී කියන බිය මවෙත විය. 

“හඳහන් ගැලපෙන්නෙ නැති නිසා මේ කටයුත්ත කරන්න රවීන් පුතාගෙ අම්ම කැමති නෑ වගේ. කලින් වතාවෙත් රවීන් ඕව ගැන සැලකිල්ලක් නැතුව ඔය දේවල් කර ගත්ත නිසා මෙහෙම වුණා කියලයි එයා හිතන්නෙ”

මා කීරි ගැසී ගියේ අම්මා ගේ ඒ ආරංචියත් එක්කය. 

“මොන මගුලක් ද බං මේක…අවුරුදු තුනකුත් කට්ට කෑවට පස්සෙ මෙහෙම මරිමොංගල් කතාවක් කියන එක හරිද…ඒ තරං ගැලපෙන්නෙ නැත්තං උඹලට උඹල වෙනුවෙන් ඔච්චර කාලයක් බලං ඉන්න පුළුවන් වෙයිද…”

ලොකු අයියා මේ මතයට එක හෙළා විරුද්ධ වූයේ ය. නමුත් මට නම් කට හොලවා එක වචනයක් කියා ගත හැකි වූයේ නැත. ඒ, එහෙම කියන්නේ රවීන් ගේ අම්මා වන නිසාවෙනි. මගේ අම්මා දුටු නො ගැලපීම නිසාවෙන් වසර තුනක් දුක් විඳින්නට අපට සිදු විය. දැන් රවීන් ගේ අම්මා දකිනා නො ගැලපීම නිසා ජීවිත කාලයක් දුක් විඳින්නට නියමිත ව ඇතිවා වත් ද?

“මොන බොරු කතාද සනූ ඔය…ඔයා ඕව විශ්වාස කරනවද…”

මා හමු වී රවීන් විචාළේ ය. හිතේ ගින්දරක් තිබුණත්, මඳහස් පිනි පොදකින් මම ගින්දර වසා සිටියෙමි.

“විශ්වාස කරන්න හරි නැති වෙන්න හරි තරමට මං ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නෙ නෑ. හැබැයි අපේ ජීවිත ගැන ස්ක්‍රිප්ට් එක කලින් ම ලියවිලා තියෙනව කියන එකයි ඉරණම කියන්නෙ ඒකට කියන එකයි මං විශ්වාස කරනව. ලොකු ඕන කමක් තියෙනවනං චුට්ටක් විතර ඒ ස්ක්‍රිප්ට් එක වෙනස් කර ගන්න අපිට බැරිකමක් නෑ කියලත් මං හිතනව. ප්‍රශ්නෙ ඒක නෙවෙයි රවීන්”

“මොකද්ද එහෙනං ප්‍රශ්නෙ..”

“ඕගොල්ලංගෙ අම්ම ගොඩක් ඒක විශ්වාස කරන එක..අපි කොහොමද එතනදි එයාව ඉක්මවල යන්නෙ..එහෙම වුනොත් අපිට හිතුවක්කාර වෙන්න වෙනව. එක සැරයක් මං අපේ අම්මගෙ හිත රිද්දුව. ඊළඟ සැරේ ඔයාගෙ අම්මගෙ හිත රිද්දන්නද රවීන්..මට තේරෙන්නෑ දෙයියනේ..මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි”

සතුට විඳින්නට මට හිමිකමක් නැත්ද කියා සිතීම ගැන සැබවින් මට පුදුමයක් නැත. දුක සතුට දෙක යනු එක ම කාසියක දෙපැත්ත ය කියා කතාවක් තිබේ. වෙනස් වන්නා එය පෙරළෙනා පැත්ත ය. සතුට ඇති පැත්ත යන්තම් පෙරළුණ ගමන් යළි දුක ම යළි පැමිණීම ඉවසා ගන්නට බැරි තරම් දුකකි.

“රවීන් කියයි අම්ම කියන දේ ගණන් ගන්න එපා කියල. අනේ පුතේ ඒත් ඔයාල දෙන්නගෙම ජීවිත ආයෙත් නාස්ති කර ගන්න එපා”

මට දුරකතනයෙන් කතා කළ රවීන් ගේ අම්මා ඉල්ලා සිටියා ය. ඇය ට කෙසේ පිළිවදන් දෙන්නද කියා මා දැන සිටියේ නැත.

“එක සැරයක් බැඳල ඩිවෝස් වුණා. අම්මා කෙනෙක් විදිහට මං කොහොමද පුතේ ආයෙත් මේ ළමයගෙ ජීවිතේ අවුල් වෙන හැටි බලං ඉන්නෙ…”

ජ්‍යොතිෂය ගැන අදහස පැත්තකින් ම තැබුවොත්, ඇය කියන්නේ පරම සත්‍යයක් බව මම දනිමි. දරුවෙකු ගේ ජීවිතයක් අවුල් විය හැකි බව කවුරුන් විසින් හෝ කියනු ලැබුවේ වී නම්, එය නෑසුණා සේ අම්මා කෙනෙකුට ඒ දේ කරන්නට ඉඩ දිය නො හැකි ය.

“මං රවීන්ට එහෙම හිතුවක්කාර වෙන්න දෙන්නෙ නෑ අම්මෙ”

ඈ සනසනු වස් එසේ කියන්නට මට සිදු විය. නමුත් අප කළ යුත්තේ කුමක් දැයි ස්ථිර සාර විසඳුමක් මවෙත වූයේ නැත.

“මෝඩයෙක් වගේ ඒ අම්මට එහෙම කිව්වෙ ඇයි…එතකොට දැං තමුසෙට පුළුවන් ද රවීන්ව ආයෙත් අත් අරින්න…”

නංගී මගේ ඇඟට කඩන් පැන්නා ය. 

“අපේ ජීවිත ගැන තීරණ ගන්න ඕන අපි. ඒක වෙන කාගෙවත් අතට දීල හරියනවද..”

“ඔයා ඔය කරන්නෙ තර්ක නංගි..තර්ක වලින් දිනන්න පුළුවන්. ඒකනෙ උසාවියෙදි වැරදි කාරයො නිදහස් වෙලා නිවැරදිකාරයො හිරේටත් නියම වෙන්නෙ. හැඟීම් කියල කියන්නෙ තර්ක වලින් දිනන්න පුළුවන් දෙයක් නෙවෙයි”

මම මගේ හදවතට දැනුණා වූ ඇත්ත කතා කළෙමි. රවීන් කියන්නේ අතැර දැමිය හැකි කෙනෙකු නොවන බව පහුගිය තෙවසරක කාලය මට මැනවින් පසක් කොට දෙන ලදී. නමුත් මේ මොහොතේ මම කුමක් නම් කරම් ද?

“එහෙනං ඉතිං  නැන්දම්මගෙ වචනෙට පිටුපාන්න බෑ කියල ආයෙ සැරයක් රවීන් අයියව නැති කර ගන්නව..හැබැයි මෙතන පස්සෙ ඥම්පචං ගාන්න හදන්නෙපා හරිද…අම්මටයි තාත්තටයි තව ගින්දර නොදී එහෙනං ඔයා ඉක්මනටම වෙන කෙනෙක්ව බඳින්නත් ඕනෙ. එච්චරයි මටනං කියන්න තියෙන්නෙ”

කරදර එනකොට එන්නේ තනිව නොවේ. පෝලිමට ය. මගේ හිතටතු සැනසීමක් නොවන තරමට මේ සා කරදර පැමිණෙන්නට හේතුව සසර පවක් ගෙවා නිමා වන්නට වීම යයි ආච්චා කීවා ය. 

“අනේ මං මොකද්ද ආච්චා දැං කරන්නෙ…නංගි කියන්නෙත් ලොකු අයිය කියන්නෙත් රවීන් කියන්නෙත් එක ම කතාව. වෙන දෙයක් වෙන්න මැරි කරන්නයි කියල. ඒත් රවීන් ගෙ ගෙදරින් විරුද්ද වෙලා එහෙම කරන්නෙ කොහොමද ආච්චා..”

මැදිහත් ව මේ ප්‍රශ්නය දෙස බලතැයි මට සිතුණේ ආච්චා පමණකි. ඇය වූ කලී දශක ගණනක ජීවන ගමනක් ගෙවා ආ කෙනෙකි..ඒ කාලය තුළ අත්දැකීම් සම්භාරයක් එක් රැස් කර ගත් කෙනෙකි..

“මමත් මේ දස අතේ කල්පනා කරන්නෙ ඒ ගැන තමයි සනුවො”

ඇගේ පෙනුමේ බැරෑරුම් බවක් විය. මා වඩාත් තැති ගත්තේ එබැවිනි. ආච්චා ට හෝ ඍජු පිළිතුරක් ලබා දිය නො හැකි ප්‍රශ්නයක මම සිර වී හිඳිමි.

“මොනා වුණත් කේන්දරේ එහෙම තියෙනවයි කිව්වම ඒ අම්මලවත් මේ අම්මලවත් හිත හදාගෙන කසාදයක් වගේ දේකට අවසර දෙන්නෙ කොහොමද කියල සනූට තේරෙනව ඇතිනෙ” 

“තේරෙනව ආච්චා. ඒ කියන්නෙ ආයෙත් අපි හිත් හදා ගෙන දෙපැත්තකට වෙන්න ඕන කියන එකද…”

“එහෙම කරන්නයි කියල හිත හදාගෙන මං කොහොම කියන්නද දරුවො…”

එසේ නම් තීරණය ගත යුත්තේ අප දෙදෙනා කතා බහ කොට ය. ඒ තීරණාත්මක කතා බහ සඳහා අපි දෙන්නා මුහුදුබඩ අවන් හලක දී මුණ ගැසුණෙමි.

“පිස්සු කෙල්ල.මෙච්චර ලෝකෙ දියුණු කාලෙක ඔන්න ඔය වගේ විකාර වලට ඉඩ නොදී ඉමු”

රවීන් සැහැල්ලු සිනහවක් දෙතොල් මත්තේ තියා ගෙන කීවේ ය. මම ඒ කාන්දම් ඇස් දෙස ඇස් පිය නො හෙලා බලා සිටියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles