මල් තුහින 17

උත්පලා සියල්ල අත් හරින්නට තීරණය කර තිබුණේ ද නැත. එහෙත් ඇයට තුහිනට බරපතල පාඩමක් උගන්වන්නට ඕනෑ විය.

“කෙනෙක් එක එක විදියෙ ඩ්‍රග්ස් වලට ඇඩ්ක්ට් වෙන එක අන්තිමම නරකයි.ඒත් ඒවයින් එයාලව ගලවගන්න පුලුවන් කියල අමතක කරන එක ඊට නරකයි.”

උත්පලා ලිහිණි දෙස බැලුවේ සමච්චලයෙනි.

“ඔයාට අයියට ලැජ්ජ වුණාට දුකයි නේද?”

ඇය අසන්නේ ඒ සමච්චල් හඬ ඇතිව ය. ලිහිණි වඩා සන්සුන් බැල්මකින් බලා සිටියා ය.

“අක්කා, මට දුක අයියට ලැජ්ජ වුණු එකට නෙවේ. ඔයා ඔයාගේ දුවගෙ තාත්තට ලැජ්ජා කරාට.ඔයා මොනවද හිතන්නේ අක්කා. ශේන්‍යා හැමදාම ඔය ගාණට ඉන්නවද?ඒ දරුවට දවසක මේ කතාව දැන ගන්න ලැබෙයි.”

එය එසේ විය යුතුම ය. මත්පැන් හෝ දුම්වැටි කෙසේ හෝ ඉවසා ගන්නට තිබිණ.නමුත් විවිධාකාර තහනම් මත්ද්‍රව්‍ය ගන්නා මිනිසෙක් දුවෙකුගේ තාත්තා කෙනෙකු විය යුතු නොවේ. උත්පලා එය තීරණය කර හමාර ය.

“ඔයා ඩිවෝස් කේස් එකක් දානවද අක්කා?”

ලිහිණි ඇසුවේ වේදනාවෙනි. උත්පලා හිස වැනුවා ය.

“දූ?”

ඊළඟ ප්‍රශ්නය නාසා ඉන්නට නොහැකි ය.

“ඔයයි අම්මයි ඉන්නවනෙ. මට තුහින වගේ මිනිස්සු ගැන ගෑනු අය දැනුවත් කරන්න ඕන.මං ඒ ගැන වැඩ කරන්න ප්ලෑන් කරා. ඒ නිසා මට දුව ගැන බලන්න වෙලාවක් නැති වෙයි.”

ඒ කතාව දරන්නට අපහසු ගතියක් ලිහිණිට දැනිණ.ඒ අම්මා කෙනෙකුට කියන්නට හැකි කතාවක්දැයි ඇය සිතුවා ය. නමුත් උත්පලාට නිවස තිත්ත වී ඇතිනම් දියණිය ගැනද අමුතු ආදරයක් දැනෙන්නට ඉඩක් නොවේ.

“අර පෝස්ට් එක් දැන්වත් මකන්න අක්කා!”

ලිහිණි එසේ ඉල්ලා සිටියේ වේදනාවෙනි.කියන්නට නොතේරෙන වේදනාවකිනි. පවුලේ නම්බුව යකාට යෑම ගැන ඇයට වගක් නැත. එහෙත් මෙය අයියාට දැඩි මානසික පීඩාවකි.

“මං තුහින නිසා සෑහෙන මානසික වේදනා වින්දා ලිහිණි. මං දැන් නැගිටින්නෙ ඒ වේදනා වලින්. තුහින මට දීපු වේදනා ගැන කියල ලියලා මං ජනප්‍රිය වෙනවා.”

ප්‍රේමය එපමණට සිල්ලරදැයි අසන්නට ලිහිණිට උවමනා වූයේ නැත. නොනවත්වාම ඥාතීන්ගේ ඇමතුම් ගලා එයි. උත්පලාට වෙනත් සම්බන්ධතාවයක් ඇති බවට සහතික කරමින් අම්මා ඒ සෑම ඇමතුමකටම පරල වේ.

“ඒකිට එක හොර මිනිහෙක් නෙවෙයි මිනිස්සු දහයක් පහළොවක් හිටියත් කමක් නෑ. ඒ උනාට මගෙ කොල්ලා කුඩ්ඩෙක් කිව්වට නම් ඕකිව හතරට ඉරන්නෝන.”

හෙරොයින්, අයිස්, ගංජා ආදිය එකිනෙකට වෙනස් දේ බව අම්මාට වටහා දෙනවාට වඩා ඇයව නිවන්නට උත්සාහ කිරීම ලිහිණිට පහසුය. නමුත් දැන් සියල්ල අවුල් ජාලයකි.

“අම්මා ඔය කෝල්ස්වලට උත්තර නොදී ෆෝන් එක ඔෆ් කරන්න.”

ඇය අම්මාට එසේ පැවසුවා ය.නමුත් කියනා තරමට ඔය කිසිවක්ම පහසු නැත.

තුහින මතු මහලින් පහළට නොඑන්නේ වේදනාවට ද ලැජ්ජාවට ද කියන්නට නොදන්නා ලිහිණි වරින් වර අයියාට නොදැනෙන්නට ඔහු ගැන විපරම් කලා ය. අතිශය නරක දේ වන්නට තත්පර කිහිපයක් ප්‍රමාණවත් ය.නමුත් සිගරට් දුම් අතර ඔහු හිඳිනු පෙනේ.සඳැල්ලෙන් සෙලවීමක්වත් නොවේ.

නිල් පැහැ ගවොම හැඳ සිටින යුවතිය අතීතයේ තරම් හුරතල් නැත. යසෝමා මිස්ගේ පන්තියේ සිටි කාලයේ මෙන්ම කෙස් වැටිය එක අහුරට බඳින්නට ඇයට සිතුණු කාරණාව පැහැදිලි නැතත් තුහිනට අද ඇය ලස්සනට පෙනෙන්නට පටන් ගත්තේ ය. වීදුරු බිත්ති අතර ලෝකය පැහැදිලි නැත. ඇය රාජකාරිවල විය යුතු ය. යැවූ කිසිම පණිවිඩයක් ඇය කියවන්නේ ද නැත.

කිසිම දවසක ආදරයක් නොලද ගැහැනියක ලෙස නික්ම යන්නෙමි!!

ඇය එසේ ලියූ හේතුව ගැන දැනගන්නට ඔහුට ඕනෑ විය.

“කවුරුත් ඉන්නේ සන්තෝසෙන් නෙවෙයි තුහින. උත්පලාට වගේ රඟපාන එක එපා වෙන ගොඩක් අය ඉන්නව.ඒත් ඒක එළිපිට කියන්න බයයි.”

උත්පලාගේ රඟපෑම් නිසා ඇයට ආර්ථික ප්‍රතිලාභ තිබිණ. නමුත් එසේ රඟපෑමක් මලිතිට ගෙන ආවේ මොනවාදැයි අසන්නට තුහිනට ඕනෑ විය.

“කසාදයක් කරගත්ත දා ඉඳන් මං හොඳින් කියල පෙන්නන් නැතුව ජීවත් වෙන්න ගෑනුන්ට අමාරුයි තුහින. ජයන්ත චන්ද්‍රසිරි කියනව වගේ යක්කු රිංගනවා ආදරෙන් හිත් හිස් වුණාම.”

ජයන්ත චන්ද්‍රසිරි මොනවා ලියා තැබුවත් තුහිනට පලක් නැත. ඔහුට වැඩක් ඇත්තේ එක් දෙයකි. මලිති ද සිටින්නේ හිස්කමකිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles