හිමගිරි අරණ -18

“මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා.”

රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත් විය.පාරමීට ඒ ප්‍රතික්ෂේප කිරීම දරා ගන්නට අපහසු බව ඇය දනියි.ඇයට වේදනාවක් දැනෙන්නේ ඒ නිසා ය.නමුත් රවිඳුට බලපෑම් කරන්නට තමන්ට ඇති හැකියාව කුමක්දැයි ඇය නැවත නැවතත් සිතන්නට ගත්තා ය.

“එයා අවුල් වෙයි හැබැයි.”

ඇය එපමණක් පවසා මිතුරා දෙස බලා හුන්නා ය.නමුත් රවිඳු සිටියේ දරදඬු කරගත් සිතකිනි.ඔහු නොගැළපෙන තැනක් හන්දා බොහෝ විඳවූයේ ය.දැන් තවත් තැනකට අකමැත්තෙන් ළං වී වේදනා විඳින්නට ඔහුට නොහැකි ය.

“සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න ඇහුවම සමහර ගෑනු ළමයි ඒක රිජෙක්ට් කරනවා.සහමුලින්ම අකමැති වෙනවා.එතකොට කොල්ලො කරන්නේ ඒක අත් අරින එක.ඒත් කෙල්ලෙක් කොල්ලෙකුට කැමැත්තෙන් ඉන්නකොට සෑහෙන දෙනෙක් ලෑස්ති වෙනවා ඒක කොහොමහරි කරලා දෙන්න.ඒක හරි අවුලක් හිමා.”

රවිඳුගේ වචන සත්‍යයක් බව හිමාෂාට සිතිණ.ඇය කිසිවක්ම නොකියා ඉන්නට ප්‍රවේසම් වූවා ය.රවිඳු නිසා පාරමී සහ තමන් අතර ඝට්ටනයක් ඇති වන්නට ඉඩ ඇති බව චරිතා අනාවැකි කී අන්දම ඇයට සිහි වේ.ඒ සියල්ලම හිමාෂාට ගෙන ආවේ අපහසු හැඟීමකි.

“ඔයාම ඒක පාරමීට කියන එක හොඳයි.මට තියන ප්‍රශ්න එක්ක ඒ ප්‍රශ්නෙටත් මැදි වෙන්න හිතක් නෑ රවිඳු.”

හිමාෂා එසේ කියද්දී රවිඳුට දැනුණේ අපහසු හැඟීමකි.ඇයට ඇති ගැටළුව සමඟ බලද්දී මේ ගැටළුව ඉතා සුළු දෙයකි.එසේ තිබියදී හිමාෂා සමඟ කමකට නැති කතාවක් ගෙන යාම ගැන ඔහු ශෝක වූයේ ය.

“ඕනම දෙයක් නියපොත්තෙන් කඩන මට්ටමේ තියනකොට විසඳා ගන්න.නැත්නම් ඇත්තටම ප්‍රශ්න විසඳා ගන්න අමාරුයි.”

හිමාෂා එසේ කීවේ හිනැහෙමිනි.රවිඳු එයට පිළිතුරක් නොදී ප්‍රශ්නයක් නැඟුවේ ය.

“ඔයාගේ හස්බන්ඩ් ආවද බබා බලන්න.”

ඒ තමන්ගේ සැමියා නොව දික්කසාද සැමියා බව හිමාෂා කීවේ අමනාප ස්වරයකිනි.රවිඳු සමාව යදින බැල්මකින් බැලී ය.

“අපේ අයියගෙ පොඩි එකා වැඩිපුර ඉන්නේ අයියගෙ ඇඟේ.මට එතකොට ඔයාගේ දූ මතක් වෙනවා.ඒ වයසෙ දරුවෙකුට තාත්තා ඕනනම් තමා.”

නමුත් දිනාරාට මේ ජීවිතය තුළ පිය සෙනෙහසක් නොලැබෙන බව විශ්වාස කරන්නට හිමාෂා කැමති වූවා ය.සහන් ඉඳහිටක හෝ ඇය බලන්නට පැමිණිමත් තාත්තා කොහේ හෝ ජීවත් වන බව ඇයට දැනෙන්නට දීමත් හිමාෂාට සහනයක් වන්නේ එනිසා ය.

“සහන් ආයේ මැරි කළාට,එයාගේ වයිෆ්ට දරුවෙක් ලැබෙන්න හිටියට මට මගේ දූගේ අයිතිය නැති කරන්න නොහිතෙන්නේ ඒකයි රවිඳු.”

හිමාෂාගේ කටහඬ ශෝකයකට හැරිණ.වෙනුරිගේ නික්මීම ගැන තැවෙන තමන් ඊට වඩා බොහෝ ගැටළු අන් අයට ඇති බව නොසිතුවේ ඇයිදැයි රවිඳු සිතී ය.

“ඔයාට තියෙන්නේ ආයේ මැරි කරන්න.”

හිමාෂා උස් හඬින් හිනැහුණා ය.තමන්ට සමීප වෙන ඕනෑම කෙනෙකු නැවත විවාහයක් ගැන පවසන්නේ ඇයිදැයි ඇයට ශෝකයක් උපදී.ඇය ඒ ශෝකය සිනාව තුළ සැඟවූවා ය.

“දරුවෙකුට තාත්තා කෙනෙක් හොයන්න එහෙම ලේසි නැහැ රවිඳු.අනික මට දැන් තිහක්.මම නාකියි.”

තිස් හැවිරිදි වියේ පසුවන බොහෝ තරුණියන්ට තවම පෙම්වතෙකුවත් නැති බව රවිඳු පැවසුවේ සැහැල්ලුවෙනි.නමුත් හිමාෂා පැවසූ ඒ කතාවට ඔහුගේ හදවතේ මහා බරක් ඉතිරි විය.ඔහු ඒ බර වචනවල තැවරී ය.

“ඒ කියන්නේ ඔයා මට වඩා අවුරුද්දක්ම වැඩිමල්.”

ඒ ආරංචියට ඔහු එතරම් ප්‍රිය නොකළේ ය.එය මේ තරමට රිදුමක් ඇති කළ ආරංචියක් වන්නට හේතුව රවිඳු යළි යළිත් කල්පනා කරන්නට විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles