පළිඟු මන්දිර -25

3
1119

ලෙඩුන් බලන හෝරාවේත් වත්සලා ව සැත්කම සඳහා ගෙන නො තිබිණ. වේදනාව තිබුණත් ඇය හිටියේ කිසියම් සැනසීමකිනි. ඒ වූ කලී රෝගයත්, ඊට හේතුවත්, එය නැති කර දැමීමේ මාර්ගයත් යන සියල්ල දැන ගැනීම නිසා ඇති වූ සැනසීමක් විය යුතු ය.

“තනියම ඉන්නෙ කොහොමද පළිඟු රෑට…”

වත්සලාට වූ ලොකු ම ප්‍රශ්නය එයයි. 

“මොන තනියක්ද අනේ…මං බය නෑ”

“එහා ගෙදර යසෝ ඇන්ටිවත් කතා කර ගන්නවද නිදියනකොට…”

“හා හා”

පළිඟු එකඟ වූයේ ඒ වෙලාවේ වත්සලා ගේ හිත සනසනුවස් මිස එහෙම කරන අදහසක් ඇති ව නොවේ. ඇය ව ගෙදර බස්වන්නට පැමිණි වෙලේ ත් කිසල් ගේ හිතේ යමක් කැකෑරෙමින් තිබිණි. ඒ, පළිඟු ව මේ රැයේ තනි කොට දමා යන්නේ කෙසේද කියන එකයි.

“ඕන්නං මං උතුම් එක්ක මෙහෙ ඉන්නං රෑට”

අමාරුවෙන් මුත් ඔහු එය කියා ගත්තේ ය. නමුත් පළිඟු එකඟ වූයේ නැත.

“නෑ නෑ එපා. මං තනියමයි ඉන්නෙ කියල කවුරුත් දන්නෑනෙ”

“ඒ වුණත් පළිඟු…රෑට හදිස්සියක්වත් වුණොත්…”

උතුම් ද ඈ එහි තනිව දමා යාම ගැන වද වූයේ ය.

“මට මොනා වෙන්නද අනේ. ඕන වුණොත් මං කෝල් කරන්නං. රෑ වෙනවනෙ. දැං ඕගොල්ලො යන්න”

පළිඟු ගේ ජංගම දුරකතනය හැඬවෙන්නට ගත්තේ ය. තිරය මත සනිටුහන් ව තිබුණේ වර්ෂා ගේ නමයි. ඒ පිටින් තබා පළිඟු ගෙදර ප්‍රධාන දොර වසා දැමුවා ය. තරුණයන් දෙදෙනා උනුන් ගේ මූණු දෙස බලමින් ම යතුරුපැදි වෙත ඇවිද ගියහ.

“ඉතිං…කොහොමද…මං හවසත් කතා කරන්න හිටියෙ…බැරි වුණා”

මේ ඇසුර මේ මෑත ඇති වූ එකක් නොව ඈත සසර තෙක් විහිද යන හිතමිතුරු කමක් සේ පළිඟු ට දැනිණ.

“ලොකු කරදරයක් වුණා වර්ෂා. අපේ පුංචාව හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න වුණා. මං මේ දැං හොස්පිට්ල් ගිහිං ගෙදර ආව විතරයි”

සියලු විස්තර අසා දැනගත් වර්ෂා පළිඟු ට රාත්‍රිය සුරක්ෂිත ව ගත කිරීම සඳහා සිය නිවසට පැමිණෙන ලෙස ඇරයුම් කළා ය. නමුත් පළිඟු ඒ පිළිගත්තේ නැත.

“මට ඉන්න පුළුවන්. මගෙ අර අනුන්ට අයිති ආඩම්බරකාරයත් අද දවසම මාත් එක්ක කට්ට කාල එයාගෙ යාළුවත් එක්ක අද රෑ මෙහෙ නවතින්න හැදුව”

“ආ…”

“හ්ම්. තනි රකින්න. ඒත් මං යන්න කිව්ව. මට ඉන්න පුළුවන් වර්ෂා”

නමුත් ඇයට එහෙම ඉන්න අරින්න වර්ෂා ට සිත් දුන්නේ නැත. පළිඟු කියන්නේ සිය මිතුරිය බව කිසල් ට දැනෙන්න අරින උවමනාවක් ද වර්ෂා තුළ ඇති වෙමින් තිබිණි. මේ ඊට කදිම අවස්ථාවකි. යුවතිය මොරින් සොයා ගෙන කාමරයට ගියා ය.

“අම්මි…මගෙ යාළුව ඉන්නෙ එයාගෙ පුංචි අම්ම එක්ක. ඒ ආන්ටිව හොස්පිට්ල් ඇඩ්මිට් කරල. යාළුව රෑට තනියම නිසා මං එහෙ යන්නද…නැත්තං එයාව එක්කං එන්නද අපේ දිහා..”

මොරින් එක්වර ම ඊට එකඟ වූයේ නැත. නමුත් සනත් ගේ මැදිහත් වීම මත පසු බාන්නට මොරින් ට සිදු විය.

“යාළුවෙක් කියන්නෙ එහෙම කෙනෙක්ට තමයි දුව. අ ෆ්‍රෙන්ඩ් ඉන් අ නීඩ්, ඉස් අ ෆ්‍රෙන්ඩ් ඉන්ඩීඩ් කියල ඉංග්‍රීසි කියමනකුත් තියෙනව. එයාට අපිව ඕන වෙලාවෙදි තමයි අපි එයා ළඟ ඉන්න ඕනෙ”

ඒ අවසරයෙන් ටැක්සි රියක් ගෙන්වා ගත් වර්ෂා, පළිඟු කී මං සලකුණු ඔස්සේ එහි ගියා ය. පළිඟු ගේ ලොකු එකඟතාවයකින් තොර ව මුත් බලයෙන් ම වාගේ ඈ රියෙහි නංවා ගෙන සිය ගෙදරට කැටිව ගියා ය. වර්ෂා පළිඟු ව ගෙන ගියේ කෙළින් ම සිය උඩු මහලේ කාමරයටයි. ඇය ව පහසුවට පත් කොට කිසල් සොයා ඔහු ගේ කාමරයට ගියා ය.

“ඩිනර් ගත්තද අයිය…”

“නෑ”

“මගෙ යාළුවෙකුත් ඉන්නව. කමුද…”

කියවන්න :  පළිඟු මන්දිර -15

කිසල් වර්ෂා දෙස බැලුවේ ඇස් කුඩා කොට ය.

“මං මොකටද ඔයාගෙ යාළුවොත් එක්ක කෑම කන්නෙ…”

“නිකං ඉතිං. කම්මැළි නිසා. මං උඩට කෑම ගේන්න කියන්නං”

කිසල් ගේ අවසරයකින් තොරව ම වර්ෂා එතැනින් නික්මුණා ය. ඈ හිතා මතා ම කෑම වෙලාව ප්‍රමාද කළේ මොරින් කාමරයට යන තුරු ය. සේවිකාව මතු මහලේ ටෙරස් එකෙහි, කෑම මේසය සූදානම් කළා ය. ලා අඳුර තැවරුණ, මුදු සීතලක් දැවටුණ ඒ එළිමහන් පරිසරයේ කෑම වේලක් ගැනීම අමුතු අත්දැකීමකැයි පළිඟු සිතුවා ය. හැම තැනක ම වූයේ ඔවුන් ගේ ජීවිත වල සුඛිත මුදිත භාවය පිළිබඳ සලකුණු ය. එහෙවු තැනක දියණියක වුණත් වර්ෂා මොන තරම් නිරහංකාර හා නිහතමානී යුවතියක් දැයි නො සිතා ඉන්නට පළිඟු ට නො හැකි වූ තරම ය.

“අයියා…එන්න කෑම කන්න”

වර්ෂා එහි සිට ම හඬ ගෑවේ එතකොට කිසල් අහංකාරකමට ප්‍රතික්ෂේප නො කරන බව දන්නා නිසා ම ය. පළිඟු ගේ ඇස් විශ්මයෙන් විසල් විය. 

“අපේ මෝඩ අයිය. මාත් මේ බල බල ඉන්නෙ කවුරු ඒ පිස්සව හදල ගනීද කියලයි”

කිසල් ටෙරසයට ආවේ ය. ලා අඳුරක් ඇති කහ පාට එළිය අතරින් ඈ ඔහු ව දුටුවේත් ඔහු ඇය ව දුටුවේත් එක ම නිමේෂයකදී ය. පළිඟු ගේ හුස්ම මොහොතකට නතර විය. කිසල් සිටියේ කිසිත් තේරුම් ගත නො හැකි තත්වයක ය. මේ වෙලාවේ මෙහි පළිඟු ව දකින්නට ඔහු හීනයකින් හෝ සිතා සිටියේ නැත.

“මං ඔයාට එදා කිව්වෙ…මගෙ වොලට් එක අහුලල දුන්න කියල ඔයාගෙ කැම්පස් එකේ ගර්ල් කෙනෙක්. මේ තමයි එයා. පළිඟු “

පළිඟු ක්ෂණික සිනහවක් පෑවේ කිසල් ට නොව වර්ෂා ට ය. ඒ සිනහවෙන් ම ඕ බිම බලා ගත්තා ය. මේ කොහොම ඉරණමක් ද? සිනමා පිටපතක් සේ සියල්ල මේ තරමින් එකට සම්බන්ධ වූයේ කොහොමද? 

වර්ෂා ගේ දෙතොල් මත නළියන මඳහසක් විය. මේ පුදුම විඳ ගන්නටත් බෙදා ගන්නටත් ඔවුන් ට මොහොතක් දෙන්නට  ක්ෂණික ව තීරණය කළ ඕ මේසයෙන් නැගිට්ටා ය.

“මං ටක් ගාල පහළට ගිහිං ඩ්‍රිංක් බොට්ල් එකක් අරං එන්නං”

වර්ෂා ගේ රුව නො පෙනී ගිය ගමන් කිසල් පළිඟු ගේ ඇඟට කඩන් පැන්නේ ය.

“මොනාද මේ කරන්නෙ…ඇයි මෙහෙ ආවෙ…”

“මං දන්නෙ කොහොමද ඔයා වර්ෂාගෙ අයිය කියල…දන්නවනං එන්න තියා හිතන්නෙවත් නෑ”

“මං කිව්වනෙ තනියිනං උතුම් එක්ක එහෙ ඉන්නං කියල”

“මට එන්න ඕන වුන්නෑ. වර්ෂා බලෙංම එක්කං ආව. ඔයා කියන්නෙ මට දැං යන්න කියලද…”

“අම්ම ඔයාව දන්නවනෙ අප්ප”

“දෙයියනේ…මං දැං මොකද කරන්නෙ…”

“උදේ පාන්දරිංම යන්න. කොහොමත් ආන්ටිව බලන්න යන්න ඕනනෙ”

“හ්ම්”

වර්ෂා යළි පැමිණෙන විට ඔවුන් ඒ එකඟතාවයට පැමිණ සිටියහ. පළිඟු අපහසුවට පත් ව සිටියේ කිසල් පිළිබඳ සිය ඇත්ත ම හැඟීම ඈ වර්ෂා ට පවසා තිබුණ එක ගැන ය.

ටෙරසය පිස හැමු පවන බෙහෙවින් මනමාල වූයේ ය. සිය ගෙමිදුල සිට අඹ ගහේ අතුපතරින් දකින අහසට වඩා මේ අහස වඩාත් පැහැදිලි ය කියා පළිඟු ට සිතිණ. ඔරායන් තාරකා රාශිය පෙරදිග අහස අරා සිටියේ ය. අසාමාන්‍ය ලෙස වේගවත් වී ඇති සිය හදවත ගැස්ම සාමාන්‍ය තත්වයට පත් කරන්නැයි පළිඟු අඳුර ට මිමිණුවා ය. ඈ දෑසින් විතරක් කිසල් ගෙන් සමු ගෙන වර්ෂා ගේ කාමරයට ගියේ තිගැස්මෙනි.

“ආදරේ කරන කොල්ලගෙ කාමරේට අල්ලපු කාමරේ නිදියනකොට කෙල්ලෙක්ගෙ හාට් බීට් එක කොහොමද දන්නෑ නේද…”

මනමාල සිනහවකින් වර්ෂා එසේ කීවේ කාමරයේ දොර වහන ගමන් රහසිනි. පළිඟු අහසින් පොලොවට වැටුණා සේ කම්පිත වූවා ය.

කියවන්න :  පළිඟු මන්දිර - 31

“මං හැමදේම දැනගෙනයි හිටියෙ. ඔයාගෙ වන් සයිඩ් ලව් එක අපේ අයිය කියල මං දැනගත්තෙ ඔයා අක්ෂි ගැන කියපු වෙලාවෙ. අක්ෂිට වැඩිය මං ඔයාට කැමතියි හරිද…”

යුවතිය කොට්ටයක් උකුල මතට ගනිමින් යහනෙහි හිඳ ගත්තා ය. පළිඟු සිටියේ කතා කරන්නට එක වචනයක් හෝ ගලපා ගත නොහැකි දෙගිඩියාවක ය. නිදහසට කියන්නට එකදු කරුණක් හෝ ඈ සන්තක නොවේ!

මැදියම් රැයක් වන තුරු ම නොයෙක් දේ ගැන කතා කරමින් සිටි යුවතියෝ, පාන්දර යාමයේ අවදි වූයේ එලාම් එකේ හඬට ය. පළිඟු වහා නැගිට සූදානම් වන්නට වූවා ය. වර්ෂා කැබ් රියක් ගෙන්වන්නට වූ සූදානමට පළිඟු කිසි සේත් ඉඩ දුන්නේ නැත.

“මං ඔතනිං බස් එක ගන්නං. තවත් මං නිසා කරදර වෙන්න එපා”

නමුත් ඇය ට වැඩි දුරක් පයින් ඇවිද යන්නට ලැබුණේ නැත. කිසල් ගේ යතුරු පැදිය ඈ ළඟ ඇවිත් නැවතින.

“ඇයි ඔයා ආවෙ…වර්ෂා දැක්කද දන්නෑ”

කිසල් අවදි වී සිටින බව වර්ෂා ට දැනිණි. ඈ කාමරයේ දොර වසා යළි යහනේ වැතිරෙන විට යතුරු පැදිය නික්ම යන හඬ ද ඇසුණේ ය. වර්ෂා ගේ කට කොනක් සිනහවකට ඇද විය.

වර්ෂා ඔවුන් අතර වන එකඟතා ගිවිසුම ගැන තබා දැන හැඳුනුම්කම ගැන හෝ දනිතැයි කිසල් සිතුවේ නැත. ගිවිසුමක් මත පමණක් ජීවිතයට සමීප වී සිටින මේ කෙල්ල ගැන තමන් මේ තරම් වද වෙන්නේ ඇයි දැයි යතුරු පැදිය පැද යන ගමන් කිසල් ප්‍රථම වතාවට සිතුවේ ය. සීතල සුළඟ ගත දැවටුණේ මිහිරැති නැවුම් බවක් ආත්මයෙහි තවරමිනි. තවමත් හරි හැටි පහව නොගිය අඳුර අතරින් උදා හිරු එළිය මිහිකත සිඹින්නට වූයේ ය. මිලි මීටර කිහිපයක් දුරින් ලං ලං ව හිඳින පළිඟු වෙතින් මල් සුවඳක් විහිදෙනු දැනිණ. මීට පෙර ඈ ළඟදී එහෙව් සුවඳක් ඔහු ට දැනී නොතිබුණ ද, පළිඟු අදත් ගල්වා සිටියේ ඈ හැම දා ගැල්වූ විලවුන් සුවඳ ම ය!

රෝහල ළඟ දී බයිසිකලයෙන් බැස හෙල්මට් එක ගලවා ඔහු ට දෙත්දී ඇගේ ඇස් එක මොහොතකට කිසල් ගේ ඇස් මත නතර විය. ඈත ඈත හදවත් අහසේ අකුණු පෙළක් පුපුරා යනු ඇය අත්වින්දා ය.

“මං වගේ කෙනෙක්ව ඒ ඇග්‍රිමන්ට් එකට සම්බන්ද කර ගත්ත එකෙං ඔයා කරදර ගොඩක පැටළුණා කියල හිතෙනව ඇති. සොරි…”

ඇය මිමිණුවා ය.

“ආන්ටිව බලල ඉමු”

ඔහු ඉස්සර වූයේ ය. ඇයි දෝ මන්දා මහත් සුරක්ෂිත හැඟීමක් පළිඟු ට දැනෙමින් තිබිණ. මඳ වේදනාවක හිටියත් වත්සලා සැනසුම් සහගත මඳහසක් නගා ගනිමින් යුවතියගේ අතක් අල්ලා ගත්තා ය.

“කොහොමද පුංචා දැං…”

“ටික ටික රිදෙනව වගේ දැනෙනව. හිරි ගතිය තියෙනකල් රිදුන්නෑ…අඩු වෙලා යයි”

“මදැයි ඔයිං ගියා”

පළිඟු වත්සලා ගේ හිස අත ගාන්නට වූවා ය. වත්සලා නෙතු ඔසවා කිසල් දෙස බැලුවා ය.

“ඊයෙ මෙයා අපේ ගෙදර එහෙම නෙවෙයිනෙ හිටියෙ…”

කිසල් ට සිනහ ගියේ ය. 

“මෙයා තමයි අපේ ගෙදර හිටියෙ” කියා කියන්නට සිතුණත් ඔහු එය නො කියා සිටියේ ය. සත්තකට ඒ කවුරුවත් නො දන්නා රහසක් ව හදවතේ තියා ගන්නට තරම් තිගැස්ම තැවරි මිහිරක් කිසල් ගේ හදෙහි දනවමින් තිබිණ.

“යසෝ නැන්දා ආවද රෑ…”

“මං එන්න කිව්වෙ නෑ”

“පැහිල වැඩීනෙ උඹ”

කිසල් ගේ ගෙදර නතර වූ පුවත වත්සලා ට කොහොම කියන්නද? ඒ අතිශය අහඹුවකි. නමුත් කිසිවෙකු එසේ සිතනු ඇත්ද? ජීවිතයත් එක්ක ඉරණම විසින් සිදු කරනු ලබන සෙල්ලම මොන වගේ එකක්ද කියා සියුම් ව ඉසියුම් ව විඳ ගන්නට පළිඟු තුළ ඇති ව තිබුණේ ඉමහත් කුතුහලයකි.

4.2 6 votes
Article Rating
Subscribe
Notify of
guest
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika Vitharana
Madhushika Vitharana
1 month ago

ලස්සනයි.. ❤️

Diyamanthi
Diyamanthi
1 month ago

දෙවරක් එක දිගටම මුල සිට අගටත් අග සිට මුලටත් කියෙව්වා.හිත බැදගන්නා අයුරු ලස්සනයි
වඩා කාව්‍යම අකුනු කොටනකොටද.නැතිනම් මල්සරා උක් දඩු දුන්න ඇද හී සැරයක් යවන කොටද නොදනිමි.

Hi ru Mandakini🌤️
Hi ru Mandakini🌤️
1 month ago

👍👌❤️❤️❤️