මීදුම් මාරුත -12

“කාව්‍යා අකමැති නම් දැන්ම එයාට මැරි කරන්නයි අරවටයි මේවටයි බල කරන එකෙන් වෙන්නෙ එයා තව අවුල් වෙන එක..”

සකුණ මිතුරෙකු වූ කලන සමඟ පැවසුවේ භාවනා ගෙන ආ මංගල යෝජනාවක් නිසා කාව්‍යා හිඳින්නේ වේදනාවෙන් බව මාලිකාගෙන් දැන ගත් පසුව ය.

“අනිත් එක කාව්‍යා හොඳ රස්සාවක් තියන කෙල්ලෙක්නෙ.ජීවිත කාලෙම තනියම ඉන්නවනම් ඒකත් බැරි නෑ.”

කලන එය ස්ථිර කළේ එසේ ය.කාව්‍යා සිතන්නේ තනිකම ඇගේ සගයා කරගන්නටනම් ඇයව බලහත්කාරයෙන් විවාහ කරවීම තරම් නොවන බව කලන සිතුවේ මැදහත් සිතකිනි.

“මට තියෙන ප්‍රශ්නෙ කාව්‍යාගෙ මැරේජ් එක නෙවෙයි..”

කලන එසේ කීවේ සකුණ දෙස තියුණු බැල්මක් හෙළමිනි.කතා කළ යුතු ගැටළු කතා නොකර හිඳීමෙන් බොහෝ ප්‍රශ්න නිර්මාණය වන බව කලන විශ්වාස කරයි.එනිසාම මේ ගැන සකුණ හා කතා කරන්නට ඔහුට අවශ්‍ය විණ.

“උඹ බඳින්නෙ කැමැත්තෙන්ද?”

කලනගේ පැනය හදවතට එල්ල කළ වෙඩි උණ්ඩයක් සේ සකුණට දැනිණ.සැබෑවටම මේ විවාහයට ආ හදිසි ඉක්මන්කම ඔහුව කම්පනයට ලක් කරන්නට සමත්ව තිබිණ.

“ඔය රිලේෂන්ශිප් එක උඹ පටන් ගත්තේ ඇත්තටම ආදරේ හිතිලාද කියලත් මට විශ්වාස නෑ.”

කලන එසේ කියද්දී සකුණට දැනුණේ අපහසුවකි.අතීතයේ කාව්‍යාගේ නිවසට ආගිය දවස්වල භාවනා පෙනුණේ කුඩා දැරියක ලෙස බව ඔහු සිහි කළේ ය.කාව්‍යාගේ විවාහය දා ඇගේ දෙවැනි මනමාලිය වී ඈ අසලින් සිටි භාවනාව කාව්‍යාගේ අනුරුවක් ලෙස තමන්ට පෙනුණු වග සකුණ කලනට පැවසුවේ නැත.නමුත් සිදු වූයේ එය බව ඔහු දනියි.කාව්‍යා නිසා හදවතේ හිස්තැනක් පවතින වගත් එය පුරවා ගන්නට ඇගේ රූපය හිමි ඇගේ නැගණියට ආදරය කළ වගත් ළඟම මිතුරෙකුට හෝ පවසන්නට ඔහුට සිත් නොදේ.

“සකුණ,සින්දුවක් කියන්නකො..”

ගුරුවරයෙකු පන්තියට නොපැමිණෙන බොහෝ අවස්ථාවන්හිදී සකුණට ගී ගයන්නට සිදු වූ අතීතයක් විය.ගීත ඉල්ලීම් ගලා එද්දී පවා ඔහු ගයන්නේ ඔහුට ඕනෑ ගීතය ය.

ඔබ පිපුණා මගෙ නෙත් රිදෙන මානේ

ඔබ සැළුනා මගෙ සුසුම් වැල් ගානේ

ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ

ඔබ රැඳුනා මගෙ සොඳුරු සිහිනයේ

ඒ ගීය සකුණ ගයන්නේ හැඟීම් පිරී ගිය හඬකින් වග හඳුනා ගත්තේ සෙනුර ය.ඒ කාටදැයි අසන්නට සෙනුරට වූයේ ද මහත් ඕනෑකමකි.

“කසුන් ඕක සින්ග් කරන්නේ කාවවත් ටාගට් කරලද නෑනෙ?”

එවැනි මොහොතක ලිස්සා යන්නට එසේ පැවසීම සකුණගේ පුරුද්දක් විය.තමන් ගයන හැම ගීතයක්ම කාව්‍යා වෙනුවෙන් වග කියන්නට ඔහුට සිත් දුන්නේම නැත.කාව්‍යාගේ ඇස් දිලිහෙන්නේ සෙනුරගේ කවටකම් සහ මිත්‍රත්වය ඉදිරිපිට වග සකුණ අවබෝධ කරගනිමින් සිටියේ ය.කාව්‍යාගේ දීප්තිමත් දෑස පවසන කතාන්දරය සෙනුර වටහා ගත් දවසේ පටන් හදවතෙහි කටුවක් ඇනෙමින් රිදුම් දෙන බව කිසිවෙකුටත් පවසන්නට සකුණට නොහැකි ය.එය මිත්‍රද්‍රෝහි ක්‍රියාවක් බවට ලෝකය තීරණය කරන බව ඔහු දනියි. එනිසාම ඒ හැඟීම මියැදෙන්නට ඉඩ හැර දැන් වසර ගණනාවක්ම සකුණ ගෙවා අහවර ය.

“ඇත්තටම උඹ කවදාවත් කාටවත් හරියකට ආදරේ කරල නැද්ද?”

කලන එසේ ඇසුවේ නොඅසා බැරි හන්දා ය.භාවනා කියන්නේ සකුණට සැබෑ ප්‍රේමයක් බව ඔහු විශ්වාස නොකරයි.යෝජිත විවාහයකට අකමැත්තෙන් සැරසෙන මනමාලයෙකු සිහි කරවන මිතුරාගේ වත කලනට ගෙන එන්නේ අනියත බියකි.

“කාව්‍යාගෙ හස්බන්ඩ් නැති වුණා.උඹ භාවනාව බැඳල අතරමඟ ඩිවෝස් උනයි කියමු.ඒක ඒ අම්මට මහ වේදනාවක් වෙයි.ඒ හින්දා කරන දෙයක් දහ දොලොස් වතාවක් හිතපං..”

කලන පවසද්දී සකුණ හිනැහුණේ වළාකුළු පුරවා ගත් අහසට ය.

“ඩිවෝස් වුණත් ඒක භාවනාටනම් ලොකුවට දැනෙන්නෙ නෑ..”

විවාහයට ප්‍රථම දික්කසාදය ගැන සැහැල්ලුවෙන් සිතන මිතුරා දෙස කලන කම්පිත ඇසකින් බලා සිටියේ ය.සකුණ විවෘත වනවා නම් මේ ප්‍රශ්නයට ව්සඳුම් ඇති බව කලන සිතී ය.නමුත් සකුණ හිඳින්නේ හදවතේ යම් රහසක් සඟවාගෙන ය.

“ඇත්තටම අපි ඇයි මෙච්චර ඉක්මනින් බඳින්නෙ?”

කලන හදවතේ ඇති කළ කම්පනය හන්දාම භාවනාගෙන් එසේ අසන්නට සකුණ තීරණය කළේ ය.ඇය උස් හඬින් හිනැහුණා ය.

“මට නම් බැඳල බලන්න හිතුණා..”

ඇය කියන්නේ ඉතා සරල හඬකිනි.

“ඔයාට පුලුවන්ද දැන්ම ෆැමිලි එකක වගකීම් ගන්න?”

විවාහයට පසු හෝ ජීවිතය ගැන අලුතින් සිතන්නටත් මල් නොපිපී මිය ගිය සිහින අමතක කරන්නටත් සිතමින් සකුණ විමසුවේ ය.

“ඇයි ගෑනියෙක් බැන්ද කියල වගකීම් ගන්නෙ.මෙහෙමයි ඉතිං මං නම් ඔය අපේ අම්මා වගේ කුස්සියට රිංගන් උයන් නෑ හොඳේ.ගෙවල් තියෙන්නෙ අස් කරන්නම නෙවෙයි.අනික බැන්දා කියල මට ඔයා බලා ගන්න නම් බෑ..”

භාවනා කියවාගෙන ගියා ය.විවාහය කියන්නේ ගැහැනියක මුළුතැන්ගෙයි සිරකාරියක් බවට පත් කරන්නක් නොවන බව සකුණ දනියි.ඒ හන්දාම ඔහු ඒ කතාවට එකඟ වූයේ ය.

“උයන පිහින අස්පස් කරන වැඩනම් අපි දෙන්නම එපැයි කරන්න.මං අහන්නෙ ඒවා නෙවේ ඉතිං..බබාලා එහෙම හම්බ වුණාම.ඔයා ලෑස්තිද ඒ වගකීම් වලට? ඔයා කොහොමත් වැඩිය ගෙදර ඉන්න කැමති කෙනෙක් නෙවෙයිනෙ?”

භාවනා මොහොතක් සකුණ දෙස බලා සිටියා ය.අනතුරුව වඩා බැරෑරුම් හඬකින් ඔහු ඇමතුවා ය.

“මං ළමයින්ට ආස නෑ.ඒ නිසා අපිට ළමයි හදන්න නම් වෙන් නෑ.

අනික ඉතිං මං වැඩිය ගෙදර ඉන්නෙත් නෑනෙ.අපිට කියල ගෙවල් ගන්න ඕන වෙන එකකුත් නෑ ඒ නිසා..”

ඇය ඇගේ සිහිනවලට ඉගිල යාම ගැන සකුණගේ අකමැත්තක් තිබුණේ නැත.නමුත් ඈ ඒ සිහින අතරට විවාහයක් පටලවා ගන්නේ ඇයිදැයි ඔහු කුතුහලයෙන් සිතුවේ ය.

නමුත් එයට පිළිතුරක් සෙවීම අසීරු බව ද ඔහු දැන සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles