ශරදාකාසේ -21

ආකාස වරකා ගෙඩියක් සොයා ගත්තේ හන්දියේ ලෑලි තට්ටුවක කොස් කපනා මිනිසෙකු ලවා වැඩි මුදලක් ගෙවීමෙනි. හදවතින් බිඳී ගොස් සිටින නිශාමනී ගේ හිත සුවපත් කරනු පිණිස මේ වෙලාවේ දී කළ හැකි ඕනෑම දෙයක් කරන්නට ඔහු සූදානම් ය. 

හවස සිය රියෙන් ආකාස වරකා ගෙඩිය ගනිත්දී නිශාමනී ගේ හද හඬා වැටුණේ ය. එහෙම සංවේගයක් ලොව කිසිදු ගැහැනියක අත් නො විඳිය යුතු යයි ඇය ට සිතිණ. දෙතොල් තද කර ගෙන වේදනාව සිත තුළ හිර කර ගත්ත ද ඇගේ වත අඳුරු වී දෑස් බොර පැහැ වූයේ ය. කොස් ගෙඩිය ඇඳුමේ නො ගෑවෙන සේ අමාරුවෙන් ඔසවා ගෙන කුස්සිය දෙසට යත්දී ආකාස නිශාමනී ගේ මුහුණෙන් ඒ වේදනා කැටිය දුටුවේ ය. හැඳින්නේ ය.

“මොකද්ද වෙලා තියෙන්නෙ…”

වරකා ගෙඩිය කුස්සියට පිටින් වන කුඩා ඉස්තෝප්පුවෙහි තැබූ හෙතෙම ඍජුව ප්‍රශ්න කළේ ය. කඳුළු හිර කර ගත් කළ ඇස් බොර පාට වෙන බවත්, හැඟීම් හිර කර ගත් කළ මුහුණ අවපැහැ වන බවත් නිශාමනී කියා දෙමින් සිටියා ය.

“මුකුත් නෑ මල්ලි”

ඒ වචන තුන යට විලාපයකින් පිට කළ නො හැකි ආත්ම වේදනාවක් විය. නමුත් ඇය හිස කෙළින් කර ගත්තා ය. ඒ වූ කලී පරම්පරා ගණනක් තිස්සේ ගැහැනු කම විසින් පුරුදු පුහුණු කර ගෙන ආ අභිමානය ගැන හැඟීමකිනි. ඇය තවමත් විවාහක බිරිඳ ය!

“මුකුත් නැති වෙන්න බෑ. මොනාහරි තියනව කියල මං දන්නව. කාටද මේ වරකා…”

ආකාස ගේ ගැඹුරු හඬ, යටපත් කර ගන්නට හදන නිශාමනී ගේ අසරණ කම වැඩි කොට දැනවී ය. නමුත් මේ ගැන ආකාස ට කිව යුතු දැයි ඇය ට වැටහුණේ නැත.

“ප්‍රෙග්නන්ට් කෙනෙකුට”

“හරි ඉතිං..මං අහන්නෙ ඒ කෙනා කවුද කියල”

“මට දවස් දෙකක් දෙන්න. මං කියන්නං”

ඇය ඉක්මනින් අනිත් පස හැරුණා ය. ආකාස සමගින් මේ ගැන කතා කරන්නට ගිය හොත් ඇය ට හැඬෙනු නිසැක ය. නමුත් සැමියා වෙනත් සම්බන්ධයක් ඇති කර ගත්තා වූ හෝ එම සබඳතාව තුළ ද ඔහු පියෙකු වෙන්නට යන බව දැන ගත් කල බොහොමයක් පතිණියන් පත් වන තැනට පත් නොවී සිටින්නට ඇය ධෛර්යයෙන් සිතුවා ය. නිශාමනී ශාරද ව ප්‍රතික්ශේප කළේ මේ අලුත් ආරංචිය දැන ගන්නට පෙර ය. ඇයට ඔහු ගෙන් නීත්‍යානුකූල ව වෙන් වන්නට ඕනෑ වූයේ ඈ පරාජිත බව තේරුම් ගත්තා ට පස්සේ ය. ඔහු ඇය ව ද ඇගේ ප්‍රේමය ද පාවා දුන් බව තේරුම් ගත්තා ට පස්සේ ය. ඉතින් පංචලී වෙනුවෙන් වෛර කිරීමේ ඇති අරුතක් නො වන්නේ ය. මේ වෙලාවේ ඇයත් සමග දබර කොට පරාජය ප්‍රත්‍යක්ෂ කර ගත යුතු නැත. ජයග්‍රාහී හැඟීමකින් නික්ම යාමට මාර්ගය තනා ගත යුතු ය.

නිශාමනී මන්නා පිහියක් ගෙන වරකා ගෙඩිය දෙකට පැලීමට උත්සාහ කළා ය. නමුත් ඇය කෙතරම් අසාර්ථක වූයේ ද යත් එහි තැන් තැන් වලට පිහි පාර වැදී ගියා පමණකි. සැබවින් නිශාමනී ට මේ වගේ වැඩ නුහුරු ය. ගෙදර දී සුරඟනක් සේ සැපවත් දිවියක් ගෙවූ ඇය ‘ශරදාකාසය’ට පැමිණි පසු ගෙදර වැඩ කරන්නට යුහුසුළුව ඉගෙන ගත්තා ය. නමුත් පොල් ගෙඩියක් ලෙලි ගසා ගැනීම, වහලේ මකුළු දැල් කැඩීම, ගෑස් සිලින්ඩරයට රෙගියුලේටරය සවි කිරීම වගේ වැඩ කර දුන්නේ ශාරද ය. ඔහු ඒවා කළේ කිසිදු කං කෙඳිරියකින් තොර ව ඈ කෙරේ ආදරය පෙරදැරිව ය. ඒ සියල්ල සිනමා පටයක රූප රාමු සේ සිතේ දර්ශනය වෙත්දී නිශාමනී ගේ ඇස් දෙකෙන් කඳුළු ගලා ගෙන යන්නට පටන් ගත්තේ ය. ඇය වෙර යොදා වරකා ගෙඩියට කෙටූවද එය බොල් හඬක් නගමින් යන්තම් සෙලවුණා පමණකි.

ආකාස සිටියේ මේ සියල්ල දෙස බලා ගෙන ය. ඔහු ගේ සිතට පිවිසියේ දැඩි නො සන්සුන් බවකි. නමුත් ඊට වග උත්තරකරු කවුද කියනා එක ගැන නිශ්චිත අදහසක් ඔහු ට වූයේ නැත. නිශාමනී වෙතට ආ ආකාස ඇගේ අතින් බලයෙන් ම වාගේ මන්නා පිහිය අර ගත්තේ ය.

“මට පුළුවන්”

එක පාරින් දෙබෑ වී ගිය වරකා ගෙඩියෙන් නැගුණ හඬ තුළ නිශාමනී ගේ හඬ දියාරු වී වට ගියේ ය. ආකාස එය කැබලි කොට මන්නා පිහිය බිමින් තබා නැගී සිටියේ ය. නිශාමනී ගේ ලොකු රවුම් ඇස් වල සන්ත්‍රාස හැඟීමක් විය. ඇගේ කොපුල් තලා වල නො වියළුණ කඳුළු පැල්ලම් තිබුණේ ය. නිශාමනී ගවුම් උරහිසින් කඳුළු කැළැල් පිස ගත්තා ය. 

“මන් දන්නෑ මට හිතෙන දේද වෙලා තියෙන්නෙ කියල…මොනා වුණත් ඔයා තවත් මෙහෙම දුක් විඳින්න එපා”

නිශාමනී ගේ උගුරෙහි ඉකියක් හිර විය. ඇය හ්ම් කීවේ හෝ නැත. දැන් ඉතින් අඬන්නට බැරි ය. හිත හයිය කර ගත්තාට පස්සේ අඬන්නට වුව අවසර නැත්තේ ය. නැතහොත් අඬා දොඩා ආපසු හැරිය නො හැක්කේ ය.

“එසඳිත් අරං ගෙදර ගිහිං ඩිවෝස් එක ඉල්ලන්න. කියන තරං දේවල් අපේ මිනිහට කරන්න බෑනෙ. උසාවියෙන් ළමය ගැන තීන්දුවක් දෙයි”

‘අනේ ආකාස’ කියා ආකාස ගේ පපුවට බර වෙන්නට දැනුණ ගැහැනු උවමනාව ඇය යටපත් කර ගත්තා ය. 

ඉනික්බිති වරකා මදුළු ගලවා හොඳ ම මදුළු ටික වෙන් කොට භාජනයක දමා ශීතකරණයෙහි බහා ලූවා ය. අඅය තේ හදන විට ශාරද ද ගෙදර පැමිණ තිබිණ. 

නිශාමනී සිය හිත වඩාත් ශක්තිමත් කර ගත්තා ය. මේ වගේ තීරණාත්මක මොහොතක බිරිඳක වශයෙන් ඉවසිය හැකි සීමාව ඉක්මවමින් ඇය ඉවසා තිබේ. තව තවත් ඉවසන්නට යතොත් හදවත පුපුරා මිය යනු නිසැක ය. නමුත් හෙට වන තුරු ඉවසා නො ගත හොත් මෙතෙක් කළ සියල්ල ගඟට කැපූ ඉණි සේ අපතේ යන බව ඇය දනී. 

පසු දා පංචලී ට ගෙන යාම සඳහා නිශාමනී කෑම පිසුවේ හැඬූ කඳුළෙනි. කඳුළු නතර කර ගත නො හැකි වූ ඇතැම් මොහොතවල් තිබිණි. ඇස් දිය වී ගියත් හිත දිය වී නො යනු වස් ඕ වග බලා ගත්තා ය. 

ත්‍රීරෝද රියක් ඇනවුම් කළ ඕ එසඳි ද සමගින් දියත උයන පරිශ්‍රයට යත්දී පංචලී ද ආවා විතර ය. ආහාර බඳුන් ටික කොංක්‍රීට් මේසයක් මත අත් හළ නිශාමනී හඬා ගෙන පංචලී ගේ උරහිසට වාරු වූවා ය. ඒ හැඬුම පංචලීට ද බෝ වෙන්නට ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඔවුන් දෙදෙනා ම උනුන් වැළඳ හඬමින් සිටියහ. ඒ කඳුළු වල තේරුම කුමක්ද කියා දෙදෙනා ම සිතන්නට ගියේ නැත. 

“කන්න. මං වරකාත් හොයා ගත්තා මල්ලිට කියල”

නො දන්නා තරම් වෙලාවක් හඬා කඳුළු බර ඉවර කර ගත්තා ට පස්සේ නිශාමනී අතකින් කම්මුල් හා ඇස් පිස දමමින් සිනහ වෙන උත්සාහයක් ගත්තා ය.

“මට හරි අමාරුයි තමයි පංචලී. තමන්ගෙ හස්බන් අතින් ප්‍රෙග්නන්ට් වුණ කෙනෙක් ඉස්සරහට කොහොමද එන්න ඕන කියල ඇත්තටම මං දැනං හිටියෙ නෑ. එක අතකට මේව අරුම පුදුම අලුත් දේවලුත් නෙවෙයි. අපේ සීයගෙ තාත්ත හොඳට සල්ලි තිබුණ ගමේ මුල් පෙළේ කෙනෙක්ලු. එයාට වටේම ගෑනු හිටියලු. සීයගෙ අම්මත් ඒ ගැන දැනගෙනලු ඉඳල තියෙන්නෙ. අර දුප්පත් තැන් වල ගෑනු එනවලු වලව්වට දරුවො ඔක්කෙ ගහගෙන…කන්න දෙයක් ඉල්ලගන්න. එතකොට සීයගෙ අම්ම ගෙදර අටුවෙන් හාලුයි වෙන සිල්ලර පහේයි මල්ලකට දාල අර ගෑනුන්ට ගෙනියන්න දෙනවලු. ඒ ආච්චිල තමන්ගෙ මනුස්සයන්ගෙ වැරදි කොච්චර තිබුණත් ඒ දේවල් වහගෙන කරගෙන පවුල් රැකගෙන තියෙනව. ඒත් මට එහෙම කරන්න බෑ. හැබැයි මටත් පුළුවන් ඔයාගෙ පැත්තෙනුත් ටිකක් හිතන්න. අපි දෙන්නම ගෑනු නිසා. අපි දෙන්නම ආදරේ කළේ එකම පිරිමියෙක්ට නිසා. හැබැයි තව දුරටත් මං ළඟ ඒ ආදරේ නෑ. ඒක අතීතයක් විතරයි”

නිශාමනී පංචලී ට අඩු වැඩිය බෙදුවා ය. ඇය ට හොරෙන් ඇදෙස බලා සිටියා ය. සිය ප්‍රතිවාදිනිය ය යන හැඟීම ඇයට දැනුණේ නැත. ඔවුන් දෙදෙනා ම පරාජිතයන් ය යන කුරිරු සතුට එක් මොහොතක ඇගේ හිස එසවී ය. නමුත් නිශාමනී හිතා මතා සිත පාලනය කර ගත්තා ය.

පංචලී කතා කළේ ඉතා අඩුවෙනි. ඇගේ හදවතෙහි දරුණු පසුතැවීමක් ඇය ට වද දෙමින් තිබිණ. මේ ගැහැනිය මෙසේ නො සලකා ඇය ට කම්මුල් පහර කිහිපයක් දුන්නේ වී නම් ඇය ට ඒ පසුතැවීම නො දැනෙන්නට තිබිණ. 

නිශාමනී යළි පැමිණියේ ආයේ පංචලී ව හමු නොවන්නෙමැයි හිත හදා ගෙන ය. ඇය සිතිවිලි වලින් බර වී ගෙන සිටියා ය. තව තවත් මේ රාමුව තුළ දවස් ගත කළ යුතු නැති බව ඇය ට දැනිණ. තුවාලයක් වුණත් සුව වන්නේ එය නිසොල්මනේ පවතිත්දී ය. ගින්නක් වුව නිවී යන්නේ යළි අවුළන්නේ නැති ව පවතිත්දී ය. තුවාල වූ ලේ ගලන සිතත් කැටිව මෙතැනින් නික්ම නො ගියොත් සිදු වන්නේ තව තවත් තුවාල පෑරෙන එක පමණකි. ඇතැම් විට ඒවා මරණීය තුවාල වන්නට පුළුවන. නමුත් හදවතින් පිටමං කළ මිනිසෙකු නිසා මරණය වැළඳ ගන්නට ඇය ට ඕනෑ නැත.

ආකාස ගෙදර ආවේ නිශාමනී ට කියන්නට කතාවක් වන බවට බලාපොරොත්තුවෙනි. ඇය වරකා ගෙන්වා ගත්තේ පංචලී වෙනුවෙන් ද යන පැනය පෙර දා සැඳෑවේ සිට ම ඔහු ගේ හිතට වද දුනි. නමුත් පංචලී සිය සොයුරා නිසාවෙන් ගැබ් ගෙන ඇතැයි සිතන්නට තරම් ඔහු ඉක්මන් වූයේ නැත.

ආකාස ට කලින් ශාරද පැමිණ තිබුණේ ය. නිශාමනී වඩාත් හිත සවිමත් කර ගෙන අයියා මලෝවරුනට තේ පිළියෙල කොට දුන්නා ය.

“මට ශාරදත් එක්ක කතා කරන්න ඕනෙ. පුතා බාප්ප එක්ක ඉන්න හොඳේ”

කියමින් නිශාමනී ඔවුන් දෙදෙනා කලින් පාවිච්චි කළ නිදන කාමරය වෙත ගියා ය. ආකාස හා ශාරද උනුන් ගේ මුහුණු දෙස බලා ගත්හ. දෙදෙනා ගේ ම මුහුණු වල වූයේ ප්‍රශ්නාර්ථයකි. තේ කෝප්පය අතැතිව ම ශාරද කාමරය වෙත ඇදී ගියේ දෙපා වල පණ සිඳී ගිය කලෙක මෙනි. ඊළඟට පත්තු වෙන්නට යන බෝම්බය කොයි විදිහේ එකක් වනු ඇත්ද යන බිය මුසු ගැස්ම ඔහු වෙත විය. නමුත් බාහිරයෙන් එවැන්නක් නො පෙන්වා හිඳින්නට ඔහු වග බලා ගත්තේ ය.

“ඇයි අද මොකද…මාව තවත් ගෑනියෙක්ට ජෝඩු කරන්නද යන්නෙ…”

ඔහු සමච්චලයක් මුහුණේ ඇඳ ගත්තේ ය. නිශාමනී දැඩි බැල්මක් හෙළුවා ය. 

“සමහර පිරිමි හිතං ඉන්නව තමුං ශක්‍ර දේවේන්ද්‍රය වගේ කියල. හැබැයි එහෙම නෑ ශාරද. හරි හමං ගෑනියෙක් ඉස්සරහ ඒ වෙස් මූණු ගලවන්න වෙනව. මටනං ඔයා හැඟීම් පාලනය කර ගන්න බැරි වුණ නිකංම නිකං පිරිමියෙක් විතරයි. හැබැයි ඔයාගෙ කසාද ජීවිතේ ගැන අනුකම්පා කරපු ගෑනු තාමත් ඔයාට ආදරෙයිනෙ. මොකද එයාලගෙ හීන මාළිගා තාම කඩං වැටිල නෑනෙ. ගෑනු කෙසේ වෙතත් තම තමංගෙ උවමනාවල් නිසා මේ ලෝකෙට ගෙන්න ගත්ත දරුවන්ට තාත්ත කෙනෙක් නෑ කියල උප්පැන්නෙ ලියවෙන්න අරින එක මහ පාපයක් ශාරද”

ඔහු ගේ ඇස් ක්ෂණික ව කුඩා වූයේ ය. ඊළඟට නළල රැලි නැගුණේ ය. නමුත් නිශාමනී කියන්නට යන්නේ හරියට ම කුමක් දැයි, කලබලකාරී බව නිසා ම ඔහු ට පැහැදිලි වූයේ නැත.

“මොකද්ද කියන්න යන්නෙ…”

ඔහු ඒ ප්‍රශ්නය ඇසුවේ මඳක් සැර කොට ය. නො එසේ ව එය අසන්නට තරම් ආත්ම ශක්තියක් ඔහු වෙත නොවන්නට තිබිණ.

නිශාමනී කට කොනකට සිනහවක් නගා ගත්තා ය.

“පංචලීට ලැබෙන්න ඉන්න දරුවට තාත්ත කෙනෙක්ගෙ අයිතියක් නමට හරි තියෙන්න ඕන කියලයි මං කියන්නෙ”

එවර ඇය කතා කළේ තදිනි. හරියට ඔහු ගේ ඇඟට කඩා ගෙන පනින්නාක් මෙනි. තේ කෝප්පය රැගත් ශාරද ගේ අත වෙව්ලමින් තිබිණ. ඔහු කෝප්පය යාබද බෙඩ් සයිඩ් කබඩ් එක මත තැබුවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...

සිරුරේ බර අඩු කරන සාර්ථක උපක්‍රම 8 ක්

ඕනම කාන්තාවක් කැමතියි තමන්ගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න. විශේෂයෙන්ම කාර්යබහුල ජීවිත ගත කරන කාන්තාවන්ට තියන ලොකුම ගැටලුව ව්‍යායාම කරන්න කාලයක් නැති...