කෑම මේසය රසවත් කරන කොළ නැති මැල්ලුම් වර්ග 5 ක්.

හැමදාම හදන විදියට මැල්ලුම් නොහදා පලා වර්ග නැතුව මැල්ලුම් හදන විදියක් ගැනයි අද ඔබට මේ ලිපියෙන් කියන්නේ.
සාමාන්‍යයෙන් ගොඩක් දවස් වලට අපි අපේ කෑම වේලකට මැල්ලුමක් එකතු කරගන්න පුරුදු වෙලා ඉන්නවා. කුමක් හෝ පලා වර්ගයකින් එහෙම නැත්තම් පලා වර්ග කීපයකින් හදන මැල්ලුමකට වඩා ඔබේ කෑම වේලකට වෙනසක් එකතු කරගන්න ඔබ කැමතිද? එහෙනම් මේ ලිපිය ඔබට වැදගත් වෙයි.

දඹල මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • දඹල ග්‍රෑම් 200
  • කොච්චි ස්වල්පයක්
  • ලියාගත් රතුළූණු ගෙඩි 4
  • ලියාගත් සුදුළූණු බික් 2
  • කරපිංචා
  • ගාගත් පොල් කෝප්ප 1
  • කහකුඩු තේ හැඳි 1/2
  • අමු තුනපහකුඩු තේ හැඳි 1/2
  • ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  • ලුණු අවශ්‍ය පමණට

සකසා ගන්නා ආකාරය

  • මුලින්ම දඹල හීනියට ලියාගන්න
  • එයට කහකුඩු සහ ලුණු එකතු කර වතුර කෝප්පය දමා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියන්න.
  • රතුළූණු, සුදුළූණු, කොච්චි ,කරපිංචා සහ ගම්මිරිස්කුඩු ටික අඹරාගෙන එයටම පොල්, කහ සහ අමු තුනපහකුඩු ටිකද දමා අඹරගන්න
  • දඹල වල වතුර ගතිය අඩු වූ පසු පොල් මැල්ලුම කලවම් කර රස අනුව ලුණු ද එකතු කර ලිපෙන් ඉවතට ගන්න

බෝංචි මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • බෝංචි ග්‍රෑම් 250
  • ගාගත් පොල් කෝප්ප 1
  • කපාගත් අමුමිරිස් කරල් 2
  • කූණිස්සො ග්‍රෑම් 50
  • කහ තේ හැඳි 1
  • කුඩාවට කපාගත් රතුළූණු ගෙඩි හතරක් හෝ පහක්
  • ලුණු අවශ්‍ය පමණට

සකසා ගන්නා ආකාරය

  • මුලින්ම බෝංචි ටික පොඩියට ලියාගෙන පිරිසිදු භාජනයකට දමාගන්න
  • එයට ලියාගත් රතුළූණු, කහකුඩු සහ රස අනුව ලුණු දාලා හොඳින් මිශ්‍ර කරගන්න.
  • භාජනයක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා එයට කූණිස්සො ටික දාගන්න
  • කූණිස්සන් ටික බැදීගෙන එනවිට එයට ලුණු සහ කහ මිශ්‍ර කල බෝංචි එකතු කර විනාඩි 2ක් පමණ කලවම් කරගන්න
  • බෝංචි ටික මැලවීගෙන එන විට පොල් ටික මිශ්‍ර කරගන්න
  • විනාඩි 2කින් පමණ වතුර මේස හැඳි දෙක තුනක් එකතු කර විනාඩි 2ක් පමණ වසා තබන්න
  • බෝංචි වල කොළපාට නැති නොවෙන සේ අවශ්‍ය පමණට තැම්බුනාට ලිපෙන් ඉවත් කරගන්න

ගෝවා මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොඩි ගෝවා ගෙඩි 1
  • ලියාගත් රතුළූණු ගෙඩි 4 ක් හෝ 5
  • ලියාගත් සුදුළූණු බික් 3
  • රම්පේ හා කරපිංචා
  • කුරුඳුපොතු කෑල්ලක්
  • කහකුඩු තේ හැඳි 1
  • ගම්මිරිස් ඇට ස්වල්පයක්
  • අබ ස්වල්පයක්
  • රස අනුව ලුණු
  • ගාගත් පොල් කෝප්ප 1

සකසා ගන්නා ආකාරය

  • ගෝවා ටික හීනියට කපාගෙන ලුණු මිශ්‍ර වතුරෙ මද වේලාවක් තියාගන්න
  • ඉන්පසු ගෝවා වල වතුර මිරිකා හැර භාජනයකට දමා ලිප තබන්න
  • රතුළූණු, සුදුළූණු, කහකුඩු, ගම්මිරිස් ඇට, කුරුඳුපොතු සහ පොල් එකතු එකතු කරලා අඹරාගන්න
  • ගෝවා වල වතුර ගතිය අයින්වූ පසු පොල් මැල්ලුම කලවම් කරන්න.
  • තවත් භාජනක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු අබ, රම්පේ හා කරපිංචා දමාගන්න
  • අවසානයට ගෝවා එකතු කර රස අන්ව අනුව ලුණු දමා ලිපෙන් ඉවතට ගන්න

පොලොස් මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලියාගත් පොලොස් ගෙඩියක්
  • කහ තේ හැඳි 1
  • අවශ්‍ය පමණට ලුණු
  • කුරුඳු කැබැල්ලක්
  • සූදුරු ඇට තේ හැඳි 1/4
  • කරපිංචා
  • අමුමිරිස් කරලක්
  • පොල්තෙල් ස්වල්පයක්
  • පොල් කෝප්ප 1
  • සුදුළූණු බික් 3
  • රතුළූණු ගෙඩි දෙකක් හෝ තුනක්
  • වියලි මිරිස් කරල් 4
  • අබ තේ හැඳි 1/4

සකසා ගන්නා ආකාරය

  • ලියාගත් පොලොස් වලට කහ සහ වතුර කෝප්පය කලවම් කරගන්න
  • දැන් එය ලිප තබා පොලොස් ටික තැම්බෙන තුරු වසා තබන්න
  • මද වේලාවකින් රස අනුව ලුණු එකතු කරන්න
  • වතුර හිඳුනු පසු ලිපෙන් ඉවතට ගන්න
  • කරපිංචා, සූදුරු, රතුළූණු, සුදුළූණු, අමුමිරිස් සහ කුරුඳු ටික වංගෙඩියට දමා කොටාගන්න. නැතිනම් ගලේ අඹරාගන්න
  • එයටම පොල් ටිකත් දමා මිශ්‍ර කර කොටාගන්න
  • භාජනයක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා එය රත්වීගෙන එන විට අබ ටික දමන්න
  • ඉන්පසු කපාගත් වියළි මිරිස් කරල් ටික එකතු කරන්න
  • මෙයට අඹරාගත් පොල් සහ අනෙක් ද්‍රව්‍ය මිශ්‍රණය එකතු කර ඒ සමඟම පොලොස් ටිකත් එකතු කරගන්න
  • පොල් ටික මැලවුනු පසු ලිපෙන් ඉවතට ගන්න

තිබ්බටු මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • තිබ්බටු ග්‍රෑම් 200
  • බැදගත් හාල්මැස්සන් ටිකක්
  • ගාගත් පොල් කෝප්ප 1
  • ලියාගත් ළූණු ගෙඩි 1
  • කොච්චි කරල් කිහිපයක්
  • ලියාගත් සුදුළූණු බික් 2
  • කහකුඩු තේ හැඳි 1
  • දෙහි යුෂ ස්වල්පයක්
  • ලුණු අවශ්‍ය පමණට

සකසා ගන්නා ආකාරය

  • තිබ්බටු ටික වංගෙඩියකට දමා ටිකක් තලාගන්න
  • එයට කපාගත් ළූණු, සුදුළූණු සහ වතුර කෝප්පය එකතු කර ලිප තබන්න
  • පොල් වලට කහ, කොච්චි සහ ලුණු දමා අඹරා ගන්න
  • තිබ්බටු තැම්බුනු පසු අඹරාගත් පොල් ටික එකතු කරගන්න හොඳින් කලවම් කරගන්න.
  • වතුර ගතිය හිඳුනු පසු දෙහි යුෂ හා බැදගත් හාල්මැස්සන් එකතු කර ලිපෙන් ඉවතට ගන්න

Related Articles

Don't Miss


Latest Articles