” බබාට දෙන්න කිරි මදි ඔයාට ” ඒ තමයි අලුත්ම අම්මෙක් අහන්න බියජනකම දේ.

මං හිටියේ බය වෙලා.මොනයම් හෝ මොහොතක මට ඒ ප්‍රශ්නය එන බව දැනගෙන තවම දවසක්වත් නැතත් ඒ ප්‍රශ්නය නෑවිත් ඉන්නේ නෑ කියලා මම දැනගෙන හිටියා.

“රාධා.. ඔයාට කිරි මදි නේද? දුව අඬන්නේ ඒකයි..”

මුලින්ම එහෙම හිතුණේ මගේ අක්කාට.මම වැටෙන්න නොදී පුංචි කාලේ පරිස්සමින් අල්ලාගෙන හිටිය,හැම පාඩම් වැඩකටම උදව් දුන්නු,මං කැමතිම ඇඳුම තෝරා ගන්නකම් පැය ගාණක් ෂොපිං ආව, රාජ් ගැන මුලින්ම දැනගෙන අම්මාගෙන් රහස් රැක්ක, මාව ලස්සන මනමාලියෙක් කරන්න මටත් වඩා මහන්සි වුණු මගේම අක්කා මට උවමනාම මොහොතේ හැමෝටම ඇහෙන්න මට චෝදනා කරන්න අරන්.

“දුවට කිරි නෑ.. රාධා ඔයාට කිරි මදි.බබා ඉන්නේ බඩගින්නේ. කේන්තියෙන්..”

අක්කා ආයෙම කියනවා..ඇයට පීහු ලැබුණු දවස්වල තිබුණු හැම දුකක් වේදනාවක්ම අමතක කරලා ඇය මට චෝදනාත්මක ස්වරයකින් පැමිණිලි කරනවා.

“කිරි නැති වෙන්න පුලුවන්.ඔව් ඒක ප්‍රශ්නයක් තමයි.ඒත් අපිට විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නිසා ඔයාලා කලබල නොවී එළියට යන්න..”

වෛද්‍යතුමියගේ කටහඬ බොහොම පැහැදිලි වුණත් හරි තද බව මට වඩා අක්කාට හිතෙන්න ඇති.ඇය, මගේ අම්මා,රාජ්ගේ අම්මා හැමෝම එළියට දාලා රෝහල් කාමරේ මමත් රාජුත් අපේ පුංචි දූත් විතරක් ඉතුරු වෙනකොට මට මොකක්දෝ සැනසිල්ලක් දැනෙන්න ගත්තා.

කියවන්න :  ඇගේ ජීවිතයම වෙනස් කළ අම්මාගේ ආදරණීය ඔවදන.

“රාධා, ඔන්න ඔයාට කිරි මදි වෙන්න පළමුවෙනිම ප්‍රශ්නෙ සමහරවිට දැන් විසඳුනා වෙන්න ඇති..”

වෛද්‍යවරිය කියන්නේ සිනාමුසුව.

“ඔයා අම්මා කෙනෙක් වෙලා තාම පැය කීයද? කිරි එරෙන්න ඔයා සන්සුන් වෙන්න ඕන.. කිරි බොන්න බබා සන්සුන් වෙන්නත් ඕන..ඔය දෙන්නට ඔය දෙන්නාව දැනෙන්න ඕන..”

ඇය බොහොම පරිස්සමට මගේ පුංචි දුව මගේ අතින් තියන ගමන් කිව්වා.

මාස නවයක් බොහෝ ශාරීරික අපහසුතා, මානසික වෙනස්කම් එක්ක එයාව දරා ගත්තු, අන්තිමට උදරයේ කැපුමක් කරලා එයාට මේ ලෝකෙට එන්න ඉඩ දුන්නු, ඒ තුවාලයේ වේදනාව දරා ගනිමින් ඉන්න මටත් අලුත් ලෝකයට හෙමින් හුරුවෙමින් ඉන්න මගේ දූටත් මොනතරම් ඉගෙන ගන්න දේවල් තියනවද?

එයා ලෝකයට අලුත්.මම අම්මාකමට අලුත්. අපි දෙන්නම අලුතින් ඉපදුණා විතරයි.

“රාධා.. අපි ගෑනු. අපේ පියයුරු තියෙන්නේ සරාගික පෙනුමට විතරක් නෙවෙයි. බබෙක්ට ෆීඩ් කරන්න. හැමෝටම දරුවා ලැබුණම කිරි තියෙනවා.ගෑනු කෙනෙකුගේ ඇඟ හැදිලා තියෙන්නේ එහෙම. වැරදි ඉරියව්වක්, බබා තාම කිරි බොන්න නොදන්නකම, ඔයා නොසන්සුන් නිසා එයා නොසන්සුන්කම තමයි මේකට හේතුව කියලා අපි දැනට හිතමු.ඔයාට අසනීපෙකුත් නෑනෙ. දිගටම ඔහොම වුණොත් හෝමොන ගැටලුවක්ද කියලා අපිට චෙක් කරන්න බැරිකමක් නෑ…දැන් සන්සුන් වෙලා උත්සාහ කරන්න…”

වෛද්‍යවරිය කියන්නේ කාරුණිකව. මං බොහොම ඉක්මනින් ඇයව විශ්වාස කරන්න පටන් ගත්තා.

කියවන්න :  කොරෝනා කාලයේ මානසික සෞඛ්‍ය යහපත් වෙන්න නම්...

“බය වෙන්න එපා රාධා. කිරි නැති වුණොත් ෆෝමියුලා එකකට යන්න පුලුවන්. ලෝකේ දියුණුයි. ඕනෑ තරම් උත්තර තියනවා…අනික කිරි නෑ කියලා ඔයා නරක අම්මා කෙනෙක් වෙන්නේ නෑ.. ඔයා මෙයාව මේ ලෝකෙට ගේන්න තීරණය කළා. ගබ්සා නොකර එයාව හදා ගත්තා.අපහසුකම් එක්ක හරි හරියට කෑම ගත්තු නිසා විටමින් ගත්තු නිසා නීරෝගී දරුවෙක් විදියට එයා ලෝකෙට ආවා. ඉතිං දැන් තියෙන්නේ පුංචි සටනක්.. බය වෙන්න එපා. රිලැක්ස් වෙලා සතුටින් එයාව අතට ගන්න. උණු වතුර ටිකක් නාලා කිරි එකක් බීලා හොඳ නින්දක් දාලා ඔයා එනකම් එයාව රාජ් බලා ගනී..”

වෛද්‍යවරිය කාමරයෙන් යන්න ගියේ මට මාව විශ්වාස කරන්න ඉඩ හැරලා.මං රාජ් අපේ පුංචි දූ අරන් එහෙමෙහෙ ඇවිදින හැටි බලාගෙන හිටියා.

අලුත් අම්මා කෙනෙකුට ප්‍රශ්න මොනතරම් එනවද..”අයියෝ ඔයාට බෑ ඔයා ෆේල්” නොකියා එයාව ධෛර්යමත් කරනවා නම් ඒ හැම ගැටලුවකටම උත්තර හොයන්න යන්නේ මොනතරම් පොඩි වෙලාවක් ද?

“මං අලුත් අම්මා කෙනෙක්. හැබැයි මම ෆේල් නෑ. බබාට ආදරේ නැත්තෙත් නෑ.මං ඉක්මනින් හැමදේම ඉගෙන ගන්නවා..”

හොඳ හුස්මක් ගන්න අතර මම එහෙම හිතුවා.

3.7 3 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments