ජනිඳු දඬුවම් ලැබිය යුතු මිනිසෙකු බව ඇත්තක් වුව ද ඔහුට විරුද්ධ නඩු මඟට ගොස් මේඝා සාක්කි කූඩුවල අපහසුවට පත් වෙනවාට බිනරගේ කැමැත්තක් නොතිබිණ.දිනිඳුගේ යටි සිත මේඝා යළි ජනිඳු හමුවනවාට කැමැත්තක් දැක්වූයේම නැත. අරමුණු වෙනස් වුව ද අවසානයේ ඔවුහු එක් තීරණයකට පැමිණියහ. ඒ මේඝා ගැන තොරතුරු නිමාෂාට සඟවන්නට ය.
බිනරගේ තීරණයට තාරුකා එකඟ වූයේ ඉතා කැමැත්තෙනි.තරිඳු මේ සිදුවීමට පැටලීම ගැන ඇයට තිබුණේ ම අමුත්තකි.
“ජනිඳුවගෙ වැඩ වලට උගෙ අයියලා දෙන්නම අකමැති කියලා මං හොයා ගත්ත. තරිඳු මේඝා වෙනුවෙන් ඇත්තටම හරි දෙයක් කරන්න හිතනව ඇති තාරු.. ඒත් මේඝා ආයෙ ආයේ ඕක මතක් කරගෙන දුක් විඳින්න ඕන නෑ.. අයියල හිතන්නෙත් එහෙම..”
බිනර තාරුකා අමතා පැවසුවේ ය. “අයියලා” යනුවෙන් හැඳින්වූයේ ජනිඳුගේ වැඩිමහල් සොහොයුරා බව නොකියන්නට බිනර ප්‍රවේසම් විය.තවම ඒ රහස මේඝා පවා දැනගත යුතු නැත.දිනිඳුට ජනිඳු සම්බන්ධයෙන් ඇති නෑකම දැන ගතහොත් මේඝා රජරට අතැර පලා යනු ඇතැයි පැහැදිලි බියක් බිනරට තිබිණ. ඔහු ඒ නිසා මේ රහස සඟවා ගන්නට නිතරම කල්පනාකාරී විය.
“ඒත් ඔයා හිතනවද බිනර සහෝදරයෙක් එහෙම තමන්ගෙ මල්ලිට එරෙහි වෙයි කියලා. මට හිතෙන්නෙම මේක ඩ්‍රාමා එකක්..”
තරිඳු ගැන දිනිඳුගෙන් බොහෝ යහපත් දේ අසා තිබූ බිනරට තාරුකා නිවැරදි කරන්නට ඕනෑ විය.කෙදිනක හෝ තරිඳු හමු වී තම දියණිය පෙන්වන ආසාවක් දිනිඳුට ඇතිබව බිනර දැන සිටියේ ය.තරිඳු යහපත් තරුණයෙකු නොවූවා නම් දිනිඳු එවැනි බලාපොරොත්තුවක නිමග්න වන්නේ නැති බවද බිනර දැන සිටියේ ය.
“මං හිතන්නෙ නෑ තාරු..මං හොයල බැලුවා. තරිඳු එයාගෙ තාත්තටයි ජනිඳුටයි විරුද්ධ කොල්ලෙක්.ජනිඳු අතින් වෙච්ච අවලං වැඩේට ඒ කොල්ලා ඇත්තටම වොරි වෙනවා ඇති..”
බිනරත් තමාත් ගත් තීරණය නිවැරදි බව තාරුකා සිතුවා ය. මේඝා රජරට අරඹා ඇති නව ජීවිතය නිස්කාංසුවේ ගෙවී යන්නට ඇයට ඉඩ දිය යුතු බවත් ජනිඳු සම්බන්ධ නඩුවක් පටලාගෙන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එයට අත්තටු ලැබුණු පසු මේඝාගේ රජරට ජීවිතය ට ද බාධා විය හැකි බවත් තාරුකා කල්පනා කළා ය. ඉතින් ඈ ඒ තීරණය ගැන හුන්නේ සතුටිනි.පසුදා දහවල වෙනතුරුම හුන්නේ සතුටිනි.
“තමුසෙලා අර ලෝයර් උඩැක්කිය අල්ලන් නටන්න යන නාඩගම මොකක්ද?” නොසිතූ මොහොතක දී තමන්ගේ මාර්ගය හරස් කළ ජනිඳු දුටු තාරුකා භීතියෙන් ගල් ගැසී ගියා ය.ඇයට කෑගසන්නටත් පලා යන්නටත් ඕනෑ විය.එහෙත් ජනිඳුගේ දඬු අඬුවක් වැනි අතකින් ඈ තද කර අල්ලා ගත්තේ මහා මාර්ගයේ දී ම ය. උදව්වක් ගන්නට කෙනෙක් සොයමින් තාරුකා වටපිට බැලුවා ය. අනෙක් අයගේ ගැටළු තමන්ගේ කර නොගන්නා මිනිසුන් සිදුවීම නොදුටුවා සේ ගමනේ ය. අනෙක් අතට කොලු කෙලි ප්‍රශ්න තමන්ගේ කරගන්නට මිනිසුන් කැමති වන්නේ ද නැත.
“අර නිමාෂා සල්වතුර ගෑනි තමුසෙ මීට් වෙන්න ආවේ ඇයි…”
තාරුකා ජනිඳුගේ ගිනි පුපුරු වැනි දෑස් දෙස ගල් ගැසී බලා හුන්නා ය. විනාඩි කිහිපයක් ගත වෙද්දී අහිංසක බොරුවක් ගොතා ගන්නට ඇයට හැකි විණි.
“නර්සරි එකේ බබෙක්ගෙ ප්‍රශ්නයක් ජනිඳු අයියේ.මට වෝන් කරන්න එයා ආවේ.”
තාරුකාගේ අත අතහැරි ජනිඳු වියරු සිනාවක් නැඟී ය. මේ මිනිසාගේ කඩවසම් බවටත් තත්ත්වයටත් රැවටී මේඝාට ඔහු හා සම්බන්ධතාවයක් ඇරඹීමට උපදෙස් දීම ගැන තාරුකාට තමන් ගැනම හට ගත්තේ ලැජ්ජාවකි.
“එතකොට අර මගෙ අයියා කියන මිනිහා ඇයි තමුසෙ මුණ ගැහෙන්න ආවෙ.. ඌගෙ ළමයද නර්සරි එකේ ළමයා?”
තාරුකා ඉවසීමෙන් තවත් කතාන්දරයක් ගෙතුවා ය.
“මම ඔයාගෙ අයියල අඳුනන් නෑ ජනිඳු අයියෙ.. සල්වතුර මැඩම් එක්ක කා එකේ හිටියේ මැඩම්ගෙ හස්බන්ඩ් හරි බෝයි ෆ්‍රෙන්ඩ් හරි කියල විතරමයි මං හිතුවේ..”
ජනිඳු තාරුකා දෙස බැලුවේ අවඥා සහගත මුහුණකින් ය. මේ නරුම මිනිසාගේ දබර ඇඟිල්ල දිගු වූයේ අනතුරු හැඟවීමකට බව තාරුකා තේරුම් ගත්තා ය.
“තමුසෙගෙ යාලුවා කියන එකීගේ වීඩියෝ තව තියනව මං ගාව. ඕන තරම් ෆොටෝසුත් තියනවා. ඒවත් ලීක් කරගන්නෙ නැතුව සද්ද වහලා අර ගිය ආරාමෙකට වෙලා ඉන්න කියපං.. නැත්තං මං ඕකිට ඉන්න තියන්නෙ නෑ.. ලෝයර් ගෑනුන්ට දුක කියලා මගෙන් වන්දි ගන්න හිතනව නම් ඒවා හඳේ..”
තාරුකා වහා ත්‍රීරෝද රථයකට අත දමා එහි ගොඩ වූයේ දෙපා පණ නැතිව යද්දී ය. ඒ අවාසනාවන්ත සිදුවීමෙන් මේඝා ගොඩ එද්දීම ජනිඳු නැවත අවි අමෝරා ගැනීම ඇයට දරා ගන්නට නොහැකි විය.තාරුකා ඉකිය වාවා ගනිමින් නිමාෂා මහත්මියගේ කාඩ්පත සොයා බෑගය පීරුවා ය.
මේඝා මේ කුණාටුව ගැන කිසිත් නොදැන සන්තෝසයෙන් ඉපිලෙමින් ඇගේ පෙර පාසල් ගොඩනැගිල්ලේ චිත්‍ර අඳිමින් සිටියා ය.ඇයට උදව් පිණිස සඳලි පැමිණීම ගැන ද මේඝාට දැනුණේ සතුටකි.සඳලි සිතුවමටත් නැටුමටත් හපනියකි. ඇයව තමන්ගේ සහයට පෙර පාසල් ගෙන්වා ගන්නට ද මේඝාට ඕනෑ විය.එවිට බිනරගේ ආදර කතාවට උදව් දීම ඇයට පහසු ය.ඒ කාරණාව පසෙකින් තබා බැලූව ද සඳලි ඉතා හොඳ මිතුරියක ද නැගණියක ද වීම ඇයට සහනයක් රැගෙන ආ හේතුවක් විණි. නොදන්නා පරිසරයක පෙරපාසල් ගුරුතුමියක වන්නට ශිල්පය දැන සිටීම ප්‍රමාණවත් වන්නේ නැත.මේඝා දරුවන්ට ඉගැන්වීමට සුදුසුකම් ඇතිව සිටියා ය.නමුත් ඈ පළාතේ දරුවන්ගේ ගති ස්වභාවය ගැන තවම දැනුවත් නොවූ නිසා මේ පළාතේ ම යුවතියක වූ සඳලිගේ උදව් බොහෝ වටිනා බව මේඝා දැන සිටියා ය.
“බිනර, ඇත්තටම අපිට මෙතන ඔයාගෙ උදව් ඕන නෑ.. ඔයා ඇයි මෙතන ඉඳගෙන අපේ වැඩත් පාඩු කරන්නේ..මාත් එක්ක කියෝනවයි සඳූ එක්ක කොමල කරනවයි මිසක ඔයා පින්සලක් වත් අල්ලල බැලුවද?”
සඳලි අසල දැවටෙමින් හුන් බිනරගෙන් මේඝා ඇසුවේ සරදමට ය. නමුත් මෙතෙක් වෙලාවක් ඇගේ ඇස ද නතරව තිබුණේ සිතුවමේ නොවේ. පෙරපාසල් ගොඩනැගිල්ලට පෙනෙන නොපෙනෙන දුරකින් ඇති වෛද්‍යවරයාගේ නිවස වෙත ය.මිදුලේ නවතා ඇති කාරය නිසා ඔහු නිවසේ ඇති වග මේඝාට විශ්වාස ය.ඉතින් ඔහු ද මෙතැන හුන්නා නම් හොඳ බවක් ඈ සිතුවා ය.
“මේ ඉරිසියාකාර කෙල්ලො එක්ක ඉන්න මම ආස නෑනෙ සඳූ.. ඔයා ඔය බටකොළ ආච්චි එක්ක ඕන එකක් කර ගන්න. මං දිනිඳු අයියලගෙ දිහා යනවා…”
බිනර නැගී සිටියේ එසේ කියමිනි. අතකින් මුව වසාගෙන සඳලි හිනැහෙද්දී මේඝා බිනර අසලට ගියා ය.
“ලොක් එක ඇරලා ඔයාගෙ ෆෝන් එකත් ඕන.මගෙ වැඩ තාරුට යවන්න.. අනේ ඉතිං බිනර මං ඔයාට දැන් කීපපාරක් කිව්වා මට සිම් එකක් ගෙනල්ලා ඕන කියලා.කොහෙද ඔයාට සිහියක් නෑනෙ.මට ෆේස්බුක් අනන්මනන් නම් ඕන නෑ..ඒත් නර්සරි පටන් ගත්තම ෆෝන් එකක් එපැයි…”
මේඝා කියවද්දී බිනර ඈ අත දුරකථනය තැබුවේ ය.
“ඔහොම ඉන්නවා ඉතිං. මං ෆොටෝ අරන් ඒවා තාරුට යවලා ඔයාට ෆෝන් එක දෙන්නං.. ඊට පස්සෙම දිනිඳු අයියලගෙ ගෙදර ගිහිං අපිට තේ අරන් එන්න…”
මේඝා කියද්දී බිනර සරදම් මුහුණකින් හිනැහුණේ ය.
“මට බෑ.. තේ ඕන නම් ඇවිල්ලා හදා ගනිල්ලා. ෆෝන් එක තියාගන ඒක කාලා තේ ඕන නම් එහෙ එනවලා..”
මේඝා හිනැහෙමින් සිතුවම් ඡයාරූපයට ගත්තා ය.ඇය සිටියේ උතුරා යන සතුටකිනි. ඒ සතුටට ඉඩ දෙන්නට දෛවය තීරණය කළා නම් බිනර එතැනම රඳවන්නට තිබිණ.එහෙත් එසේ වූයේ නැත.මේඝා ඇගේ “වැඩ” තාරුකාට යවන්නට සිතා තාරුකාගේ වට්සැප් අංකය වෙත ගියා ය.තාරුකා බිනරට පණිවිඩයක් එව්වේ ද ඒ මොහොතේ ම ය.
හිස අතින් තද කරගනිමින් මහ හඬින් වැළපෙන මේඝා දුටු සඳලිට කළ හැකි දෙයක් වැටහුණේ නැත.මොහොතකට පෙර හිනැහෙමින් කියවමින් සිටි මේඝා අක්කාට හදිසියේ සිදු වූ දෙය සිතා ගත නොහැකිව සඳලි ඈ සනසන්නට යත්න දැරුවා ය.නමුත් ඇය සාර්ථක වූයේ නැත.මේඝාගේ හැඬුම වේගවත් ය.සඳලි වහා නැගිට බිනරත් දිනිඳුත් වෙත දිව ගියේ කළ යුතු කිසිවක් නොවැටහෙද්දී ය.
සඳලි හති හලමින් කී දෙය බිනරටවත් දිනිඳුටවත් පැහැදිලි වූයේ ද නැත.නමුත් ඔවුන් වේගයෙන් මේඝා වෙත ආවේ අනතුරක සේයාවක් දැනෙද්දී ය.
දූවිලි ඉහිර ගිය ගොඩනැගිල්ලේ බිම වැතිරී මේඝා හඬන අන්දම දුටු හදවත සත් කඩකට පැලී ගියේ ඇයිදැයි දිනිඳුට වැටහුණේ නැත.නමුත් ඔහු බිනරට පළමුවෙන් ඈ වෙත ළං වී මේඝාව හිඳ වූවේ ය.සඳලි වහා මේඝා වාරු කරගත් අතර බිනර දුරකථනය පරීක්ෂා කළේ ය. ඔහු කිසිත් නොකියා මිටි පහරක් බිත්තියට ගසා දුරකථනය දිනිඳු අත තැබුවේ ය. ඈත දවසක සමාධිගේ වෛද්‍ය වාර්තා ගන්නට නොහැකිව අත හිරී වැටී ගිය අන්දමට සමාන හැඟීමක් දිනිඳු වෙළා ගත්තේ ය.
“අර ජරා යකා ආයෙත් මාව නැති කරලා දාලා..”
මේඝාගේ හැඬුම විලාපයක් බවට පත් විණි.දිනිඳු වහා දුරකථනය අතට ගත්තේ ය.