සැරිසරන්නී 27

මගේ ජීවිතයේ දී මට හමු වී ඇති පිරිමින්ගෙන් වැඩි දෙනෙකු හොඳ අය ය. තාත්තා, ලොකු අයියා, සුනෙත්, රවීන්! ඒ අය මගේ හදවත මත බර අඩි තබා ගියේ, එක් එක් ආකාර වලින් මා මත ආදරණීය මතකයන් ඉතිරි කොට ය. ඔවුහු මා කෙරේ දයාර්ද්‍ර වූහ. නමුත් හැම පිරිමියා ම එසේ නො වන බව මා දැන ගත්තේ ළමා වියෙහි දී ම ය. පාසල් දැරියක සේ නිල ඇඳුමෙන් ම උපකාරක පන්ති ගොස් හැන්දෑ වී පොදු බස් රථ වල හිර වී එත්දී, පිරිමින්ගේ අප්‍රසන්න අමානුශීය ගති පැවතුම් මම වටහා ගෙන ඇත්තෙමි. ඒ වගේ හිංසාකාරී සිදුවීම් නිසා, නව යොවුන් දැරියක ව උන් මම බස් රියෙහි දී ම හඬා ඇත්තෙමි. ගෙදර ඇවිත් හඬා ඇත්තෙමි. එවන් හිංසනයන් ට එරෙහි ව නැගී සිටිය හැකි හෝ කතා කළ හැකි වයසක් නො විණි එය. විශේෂයෙන් ම බියත් ලැජ්ජාවත් නිසා කර බා ගැනීම ගැහැනු ළමයෙකු ගෙන් සිදු වේ. එවන් අතවරයකින් බේරෙනු වස් ඒ මේ අත ඇඹරෙමින් ද සරණක් නැතිව ද ගෙවුණු ළමා හා නව යොවුන් වියක් ගෙවා ඒමෙන් අනතුරුව, දවසක් මම බසයේදී එවන් අසහනකාරයෙකුට වැලමිටෙන් දැඩි පහරක් එල්ල කළෙමි. ඒ මිනිහා බඩ අල්ලා ගෙන මූණ ඇඹුල් කර ගෙන ඉස්සරහාට ගියේ ය. එදා සිට මම මගේ ආරක්ෂාව වෙනුවෙන් බස් වල දී නැගී සිටින්නට බිය නොවුණෙමි. ගහන්නට ඕනෑ නැත. එවන් බොහෝ පාපී මිනිසුන් ට අපේ එක බැල්මක් ප්‍රමාණවත් බව තවත් ඉදිරියේ දී මට වැටහිණ. හැරී කෙළින් ම එවන් මිනිසෙකු ගේ මූණ දෙස බැලූ විට හෙතෙම ඉතා වේගයෙන් වෙතකට  යයි. හැම කෙනෙකු ම එසේ වන්නේ ද නැත. එවන් කෙනෙකුට දවසක් මම කුඩයෙන් ඇන්නෙමි. අවශ්‍ය වුණොත් කම්මුල සිසාරා පහරක් එල්ල කරන්නට වුව මම බලා සිටියෙමි.

පෙම් කරන්නට පිරිමියෙකු තෝරා ගන්නට මා පසු බෑ හේතු අතරේ, රැකියාවට යන්නට ගැනීමත් සමග දුටු පිරිමි චර්යාවන්ගේ අශෝභනත්වය බෙහෙවින් ඉවහල් වූයේ ය. මගේ හිතේ නිතර ම හිටියේ තාත්තා වන් ගෞරවනීය මිනිසෙකි. එවන් පිරිමියෙකු හඳුනා ගන්නා තුරු මා පිරිමින් සමග කටයුතු කළේ පරිස්සමෙනි. මුලින් ම මා තනා ගත් ආරක්ෂිත කටුව වූයේ, ඔවුන් කෙරේ මගේ වන අතිශය සාමාන්‍ය සහෝදරත්වය ප්‍රකාශ කෙරෙන සේ කතා බහ කිරීම ය. ගනු දෙනු කිරීම ය. ඒ නිසා ඇසුරු කරන්නට සිදු වූ පිරිමින් අතරින් ඉතා වැඩි පිරිසක් මට සමීප වූයේ මා ඔවුන් ට ලබා දුන් අවකාශය තුළ පමණකි. ඒ අවකාශය අතික්‍රමණය කරමින් මට ලං වෙන්නට හැදූ අය ව මම හොඳින් හෝ නරකින් ඈත් කොට දැමුවෙමි.

දිලුම් මගේ පාදයකින් අල්ලා ගත් වෙලාවේ මට දැනුණ හැඟීමත්, බසයකදී සිරුරට බොරු හේතු පෙන්වා බර වූ මිනිසෙකු කෙරේ දැනුණ අප්‍රසන්න හැඟීමත් අතරේ ලොකු වෙනසක් නැත. මගේ ප්‍රතිපත්ති නිසා ඇතැම් අය මා පිරිමින් ආසාත්මික කෙල්ලක සේ හඳුන්වා සිනහ වූවාට මට එහෙව් කිසිදු අසනීපයක් වූයේ නම් නැත. ලොකු අයියා හා මා අතරේ වූ සමීබ බව ඊට කදිම සාක්ෂියකි. ඔහු වැඩිපුර මා හා කතා කළේ කරට අත දා ගෙන ය. සිය සිරුරට මා ලං කර ගෙන ය. නමුත් මට ඔහු ගෙන් දැනී ඇත්තේ සහෝදරත්වයේ දයාබර බව පමණකි. දිලුම් ගේ ස්පර්ශයෙහි වූයේ ඒ හැඟීම නොවේ!

මේ ගැන ගෙදරදී කතා කිරීම අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන්න ට පුළුවන් යයි මම සිතුවෙමි. අප සියලු දෙනා ඥාතීන් වන නිසා ඇතැම් ප්‍රශ්න වලදීත් කතා නොකර කර බා ගන්නට සිදු වේ. ඒ, නො හොඳ නෝක්කාඩු ඇති විය හැකි නිසා ය.

මහා පවුලේ කුඩා පවුල් අතරේ නිතර නො හොඳ නෝක්කාඩු හා අමනාප කම් ඇති වේ. බොහෝ විට ඒවා ඇති වන්නේත් වර්ධනය වන්නේත් කල් පවතින්නේත් කාන්තා පාර්ශවය නිසා ය. මේ කාන්තාවන් සිය ස්වාමි පුරුෂයන් ගේ ඔළු වලට දමවා කාරණා මත ඇතැම් විට සහෝදරයන් අතරේ ද අමනාපකම් ඇති වේ. මේ හිත් නොහොඳ වීම් කෙතරම් කාලයක් පවතිනවාද යන්න තීරණය වන්නේ ප්‍රශ්නය ඇති වෙන පුද්ගලයන් ගේ ස්වභාවය මත ය. සමහරු දීර්ඝ කාලයක් සිත් හි පැසවමින් මේ කෝන්තර තබා ගනිති. සමහරුන් ට එය මතක කෙටි කාලයකට පමණි.

“අම්මෝ…මන්නං ඔය කාත් එක්කවත් තරහ වෙන්න කැමති නෑ”

අම්මා කියන්නේ එහෙම ය. නැන්දලා ට සාසාපේක්ෂව බලත්දී අම්මා වූ කලී අවිහිංසක ගැහැනියකි. ඇය මැහුමක් මසා ගෙන ගෙට වී සිටී. නමුත් නැන්දලා කියන්නේ නොයෙක් ආකාරයේ බෝම්බ ය.

“මන්නං බය නෑ. කියන්න තියෙන දෙයක් කාට වුණත් කියනව”

පුංචා එහෙම ය. අම්මා ට සිටින එක ම සහෝදරිය නිසා ඇය හා අම්මා අතරේ වන සබැඳියාව වැඩි ය. නමුත් ඇය විවාහ වී සිටිනා බාප්පා රටේ වෙදෙකැයි ආච්චා කියයි.

නංගී ට පමණක් මම රහසින් දිලුම් සම්බන්ධ සිදුවීම කීවෙමි. ඇය කෝපයෙන් රතු ව යමින් සිටියා ය.

“නැගිට්ට ගමන් දෙන්නනෙ කිබුණෙ අත දික් කරල කමුබුලට එකක්”

“එහෙම කරන්න බෑනෙ මේ කෙහෙල්මල් නෑ කං නිසා”

“නෑයො විදිහටද ඉතිං උනුත් හැසිරෙන්නෙ…නෑයො වේයො කාවො ඔක්කොම එකයි කියල කියන කතාවනං ඇත්තම ඇත්ත”

“දැන්නං මං දිලුම් ගැන කල්පනාවෙං ඉන්නෙ. මිනිහා එන පොට හොඳ නෑ කියල මට එක දවසෙන්ම තේරුණා”

“යකෝ මුන්ට ලැජ්ජාවක් නෑනෙ නෑදෑයන්ට මූණ දෙන එක ගැනත්. නොසණ්ඩාලයට කවුරුත් එකයි බලාගෙන යනකොට. මහ අම්මණ්ඩි කයිවාරු ගහනව හරියට. දැන් මේකාව අලි බඳින දංවැලකින් බැඳල තියා ගන්න තමයි වෙන්නෙ”

රවීන් ට වුව දිලුම් ගේ වරදක් කියන්නට මම ඉක්මන් නොවුණෙමි. පෙම් කරනා හෝ විවාහක පිරිමියාට ගැහැනියක විසින් කිව යුතු හා නො කියා සිටිය යුතු ය වශයෙන් දේවල් වෙන් කර ගත යුතු ය කියා ආච්චා නිතර කියනු මම අසා ඇත්තෙමි.

“අපිනං ඉස්සර අපේ මනුස්සයට දෙයක් කිව්වෙ දහ දොළොස් වතාවක් පෙරල අරං ඕනමනං විතරයි. ඒකට දැං ඉන්න ගෑනු. මිනිහ ගෙට ගොඩ වෙනකොටම කේලං ටික ඔක්කෝම කනේ තියල. ගෑනියෙක් සූර වෙන්න ඕන තමුන්ගෙ මනුස්සයට කියන නොකියන දේවල් වෙන් කර ගන්න. හංගනව නෙවෙයි. පිරිමි කියන්නෙ කේන්තිකාරයොනෙ. ඉතිං දෙයක් ඔළුවට දාන්න ඕන පරිස්සමෙං”

දිලුම් සීමාව පනිමින් සිටිනවා යි මා රවීන් ට නො කියා සිටියේ ඔහු ගේ සිතේ අනවශ්‍ය සැකයක් හෝ කේන්තියක් දිලුම් අරබයා ඇති නො කරනු වස් ය. නමුත් රවීන් සිටිනා තැන් වලත් දිලුම් නොයෙකුත් කතා කීවේ ය. ඔහු හැසිරුණේ දිනෙක ඔහු විවා පත් වන්නේ මා සමගින් යයි හැඟවෙනා ආකාරයට ය.

“දිලුම් ඔයා ගැන හෝප්ස් තියන්ද ඉන්නෙ…”

දිනක් රවීන් මගෙන් එසේ විමසූයේ, කෙලින් ම මදෙස නො බලා ඉවත බලා ගෙන ය. ඒත් මම තත්පර කිහිපයක් ගෙවෙන තෙක් ඔහු දෙස බලා ගෙන ම සිටියෙමි.

“මන්දා. හැබැයි මන්නං එහෙම දේකට අනුබල දීල නෑ කවදාවත්”

මට කියන්නට තිබුණ පරම සත්‍යය ඒ ය.

“ඒ මනුස්සය එක ගෑනු ළමයෙක්ගෙං සෑහීමට පත් වෙන කෙනෙක් නෙවෙයි. ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මං දන්නවනෙ. හැම ගර්ල්ස්කූල් එහෙකම වගේ කෙල්ලෙක් හිටිය. මේකා ලස්සනයිනෙ”

“මිනිහ හැම තිස්සෙම මාත් එක්ක ගේම ඉල්ලන්නමයි වගේ එන්නෙ”

“ගණං ගන්නැතුව ඉන්න අයියෙ. අනේ ප්ලීස්. මට තව ටික කාලයක් ඔයා එක්ක මෙහෙම සතුටෙන් ඉන්න ඕන. ගෙදරට ආරංචි වෙලා ප්‍රශ්න ඇති වෙන්නෙ නැතුව”

රවීන්, රිය පදවන ගමන් ම මගේ උකුල මත වූ සුරත අල්ලා ගත්තේ ය. ඊළඟට ඒ අත ගෙන සිය පපුව මත තද කොට ගත්තේ ය.

“මං ඔයාව නැති කර ගන්නෙනං නෑ සනූ. කවුරු නිසාවත්”

ඒ මුහුණේ සිනා බිඳක් වූයේ නැත. මම මඳක් ඔහු වෙතට නැඹුරු වී ඒ උරහිස පිරිමැද්දෙමි.

“තාත්තා කිව්වොත් කෙල්ලව දෙන්නෙ නෑමයි කියල…”

රවීන් ගේ දෙතොල් පෙති ලිහී සිනාවක් විකසිත වූයේ ය. ඔහු ඒ දෙතොල් පෙති මගේ පිටි අත්ල මත තබා සිප ගත්තේ ය.

“මොනා හරි කරන්න වෙනව ඉතිං…දැන දැන එයාගෙ වත්තෙ පිපිච්ච මලක් කඩා ගත්තෙ…දාල දුවන් නෙවෙයිනෙ”

“එහෙනං හොරකං කරන්න වෙනව”

“ඔයා දන්නවනෙ හොරෙංවත් බලෙංවත් ළඟ තියාගන්න කැමති කෙනෙක් නෙවෙයි කියල මං…”

ඔහු ඒ කීවේ සිය හිටපු බිරිඳ සිහි කොට ය. මගෙන් සුසුමක් ගිලිහිණි.

“වෙස්සන්තර වෙලා මාවත් දන් දෙන්න හිතයිද දවසක…”

“මට වෙස්සන්තර වෙන්න ඕන නෑ ඔයාට මාව ඕන කියල හිතන තාක් කල්…”

“මට ඔයා ඕන නෑ කියල හිතෙයිද කවදාවත්…”

මම පහත් වී ඒ උර මඬල යන්තම් සිප ගතිමි. රවීන් මගේ අත අතැර ඒ අතින් හිස පිරිමදින්නට වූයේ ය.

මේ කතාවේ මැද හා පසු භාගය මේ තරම් සුමට එකක් නොවිය හැකි බව මා නො දැන සිටියා නොවේ. නමුත් සමහර මිනිසුන් හදවතට දැනෙන්නේ දේවතා එළි වාගේ ය. ඒ එළි පසෙකින් අනාගතය කරා ඇවිද යාමේ චමත්කාරය අත්විඳිනු විනා ඉන් පලා යාම පහසු වන්නේ නැත. ඒ ආලෝකය තුළ වන විශ්මයෙන් අපි මෝහනයට පත් වන්නෙමු. ඒ මිනිසුන් ගේ සාමකාමී ආත්මයන් ගෙන් විහිදෙන ප්‍රභාෂ්වරය තුළ අපි අවතැන් වන්නෙමු. බොහෝ අය සිය ප්‍රේම කතා වලට එක හෙලා ලෝකයේ එකඟතාව නො ලැබෙන බව පසක් ව තිබියදී ත් ප්‍රේමය ම තෝරා ගන්නේ ඒ නිසා යයි සිතමි.

දරුවා ද කැටිව ගෙදර පැමිණි ලොකු අක්කා යළි සැමියා ගේ ගෙදර නොයා දිගට ම මහ ගෙදර රැඳීම ගැන ප්‍රසිද්ධ කසු කුසුවක් පවුල තුළ ඇති ව තිබිණ. නයනා නැන්දා අපේ ගෙදර ඇවිත් ආච්චා හා අම්මා සමගින් තත්වය පැහැදිලි කළේ එවන් වාතාවරණයක් යටතේ ය.

“අපිත් හරි කරදරේකට මූණ දීල ඉන්නෙ අම්මෙ”

ඇය කතාව ඇරඹුවේ එසේ ය. අම්මා මහන මැෂිම වහා නතර කළා ය.

“ලොක්කිගෙ මනුස්සය ඩිවෝස් එක ඉල්ලනවලු”

ඒ ප්‍රශ්නය ගැන යම් තාක් දුරකට ලොකු අයියා ගෙන් දැනුවත් වී තිබිණි ද හදවත් පටක දෙදරා ගියේ ය. ලොකු අක්කා ගේ විවාහය ස්ථිර වශයෙන් ම නීත්‍යාකූල ව නිමාවට පත් වන බව ඇසීම හිතට ලොකු කම්පනයක් විය.

“අනේ දෙයියනේ”

අම්මා ට කියවිණ.

“ඒ මොන අපරාදයක්ද බං…උන් දෙන්න මේ යසට හිටියනෙ”

“හිටියා නේන්නං අම්මෙ…ඇස් වහ වැදුනද කොහෙද මගෙ කෙල්ලට”

කාගේවත් ජීවිතේකට එහෙම ඇස් වහ වදින්නට පුළුවන් ද කියා මා දන්නේ නැත. ලොකු අයියා කී ලෙසට නම් සිදු ව ඇති ලොකු ම බලපෑම, නයනා නැන්දා අනවශ්‍ය ලෙස ඔවුන් ගේ පවුල් ජීවිතයට අත පොවන්නට යාම නිසා මතු වූ ප්‍රශ්නයි. කෙසේ වෙතත් මේ වෙන් වීම නිල වශයෙන් පවුලේ අයට දැනුම් දීමක් වශයෙන් නයනා නැන්දා අපේ ගෙදර පැමිණි වෙලාවේ ඒ බවක් කියන්නට මට කොහෙත්ම ඕනා වූයේ නැත.

“ඉතිං උඹල අහන්න එපැයි දික්කසාද කරන්න අපේ එකීගෙ තියෙන වැරැද්ද මොකද්ද කියල. එහෙම ඕන වෙලාවට කසාද බඳින්නයි එපා වෙලාවට දික්කසාද කරන්නයි පුළුවන්යැයි ඕන ඕන විදිහට”

“අපි කතා කරල මේක ගොඩින් විසඳ ගන්න බැලුවා අම්මෙ. ඒත් වැඩක් වෙන්නෙ නෑ. ඒ මිනිහ කියන්නෙ ඒ දෙන්නා ගැලපෙන්නෙ නෑ කියල. තවත් කාලයක් එකට ඉන්න එකේ තේරුමක් නෑ කියල..ඉතින් දැන්ම වෙන් වෙන එක හොඳයිලු. එයාට දරුවව හදා ගන්නත් පුළුවන්ලු. ලොකූට ඕනනං දරුවව ගත්තත් කමක් නෑලු. දරුව වෙනුවෙන් කරන්න ඕන හැම දේම එයා කරනවලු”

“හත් දෙයියනේ…අපේ අම්ම මුත්තා කාලෙවත් අහන්න වුණ දේවල්ද බං මේ…දැං කෙල්ල මොකද කියන්නෙ…”

“අරයට එපා කියනවනං කොහොමද බලෙං එතන ඉන්නෙ අහන්නෙ…ළමයව දෙන්නං බෑලු. රස්සාවක් කරල කොහොම හරි ළමයව හදා ගන්නවයි කියන්නෙ”

“මොන අම්මද බං දරුවෙක් දන් දුන්නෙ…අපේ පවුලෙ ළමයින්ටත් මොනා වෙන්න යනවද කියල තේරුං ගන්න බෑ. අරහෙං ශෙහාරා..මෙහෙං දැං ලොකූ…අර පෝරිසාදය…දිලුම් ඉස්සරහට මොන මොනා ඩෙඟා නටයිද කියලත් කියන්න බෑ. එක අතකට මේ ඔක්කොම නර නාටක තියෙන්නෙ ජීවිතේ ඇතුළෙනෙ බං”

ආච්චා සුසුමක් හෙළුවා ය. එතැනට මගේ නම ද ඇතුළත් විය යුතු ව තිබේ. මම ඇස් දෙක පියා ගෙන, හඬ නො නැගෙන සේ ලොකු හුස්මක් ගෙන පෙනහලු පුරවා ගතිමි.

දුක් දෙන ජීවිත සංසාරයේ දුක තව තවත් වැඩි වෙන සේ මිනිස්සු දුක ම වපුරති. අස්වැන්න ලෙස ශෝකය හා අපේක්ෂා භංගත්වය නෙලා ගනිති. එයින් තව තවත් කම්පිත වෙති. දුකෙහි කරවටක් ගිලී යති. නමුත් ජීවිතය වූ කලී එය ලෙස පිළි ගත යුතු ද? සන්සුන් වූ පහන් සිතකින් ජීවත් වන්නට ඇති කෙටි කාලය ජීවත් වනු වස් බැඳීම් තෝරා ගැනීමට හැකි ලෙස මිනිසුන් නිදහස් මනසින් යුතු නම් එය මිනිසත් වගට කෙතරම් නම් සහනයක් වනු ඇත් ද?

මා පමා වී අපේක්ෂා කළ සිදුවීම වූයේ මේ ආසන්න දිනක ය. මගේ උපන් දිනය ලං ව තිබුණෙන් එදාට ළමා නිවාසයකට දානයක් දීම සඳහා මම සැලසුම් කර ගෙන සිටියෙමි. ඒ සඳහා අවශ්‍ය කලමනා ටිකක් ගන්නට රවීන් සමග හැන්දෑවක සාප්පුවකට ගොස්, ඉන් පිට වෙත්දී දිලුම් අප ඉදිරියෙහි වූයේ ය. ඒ මොහොතේ මා සිටියේ රවීන් ගේ අතක එල්ලී ගෙන ඔහු ගේ මුහුණ බලා යමක් කියා සිනහ වෙමිනි. කිසි සේත් ඒ ඉරියව්ව සාමාන්‍ය හිතවත් කමක් පිළිබිඹු නො කරන නිසාවෙන් මම තිගැස්සී ගියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content