මල් තුහින -39

“මට ටිකක් කතා කරන්න පුලුවන්ද?”

මලිති නවීන්ගෙන් එසේ අසා කෙටි පණිවිඩයක් යැවූයේ නවාතැනක් සොයාගෙන පැමිණි දින රාත්‍රියේ ය. එකම නිවසේ ජීවත් වෙන ස්වාමිපුරුෂයා ට කතා කරන්නට අවශ්‍ය බව පවසා චි පණිවිඩයක් යැවීම දෛවය තමන්ට කළ විශාල සරදමක් නොවේදැයි ඇය සිතුවා ය. නමුත් කරන්නට කිසිවක් ම නොවේ. සමහර අවස්ථාවලදී ඉරණම අපට තිළිණ කරන දෑ නොපිළිගෙන ඉන්නට නොහැකි ය.

“ඇයි?”

නවීන් කම්මැලි සුළඟක් වී පැමිණියේ ය.

“හීතල පාට මිනිහෙක් ඕයි. තමුසෙ ග්ලැසියර් එකක් වෙනව ඔය මිනිහත් එක්ක ගිහිල්ලා.”

ඒ කාලයේ මිතුරියන් මිමිණූ අන්දම මලිති සිහි කළා ය. ඒ සීතල හිම කන්ද අසල ජීවිතයේ නිවීම ඇතැයි තිබූ යෞවනිය ගැන මලිතිට ඇත්තේ අනුකම්පාව මුසු වේදනාවකි.යෞවන කාලයේ දී  ප්‍රේමය ගැන කියවා ගැනීම  මොනතරම් වැරදි දැයි සිතන දවසක් පවා පැමිණිය හැකි බව ඇයට වැටහෙන්නේ දැන් ය. ඒ ගැන මහත් වේදනාවකින් කල්පනා කරන්නට දැන් කාලය නොවේ. කළ යුතු වන්නේ වේදනාවෙන් විනිර්මුක්ත වී ජීවිතය දිග ඇවිද යාම බව දැන් මලිති දන්නී ය.

“අපි ටික කාලෙකට බ්‍රේක් එකක් ගමු. මෙහෙම එක ගෙයක් අස්සෙ ලෝක දෙකක ජීවත් වෙන්න ඕනේ නෑ නේද? අපි දෙන්නට අපි දෙන්න නොරුස්සන තරමට අපි ඇත්තටම අපිට අපි ඕනද කියලා කල්පනා කරන්න කාලයක් ගමු.”

නවීන් හැඟීම් විරහිත දෑසින් බලා සිටියේ ය. “You’re still my person, even if I’m not yours.”  යැයි වාක්‍ය ඛණ්ඩයක් තැනකදි කියවූ අන්දම මලිතිට සිහි වේ. මිදෙන්නට හදන මොහොතක දී පවා එවැනි සංවේදී දෑ සිහි වීමම වේදනාවකි. නමුත් හැඟීම්බර වීම ප්‍රශ්න විසඳන්නේ නැති බව දැන් ඇය තේරුම් ගනිමින් හිඳී. 

“මං වෙනම තැනකට යනවා.”

මලිති එසේ කියද්දී නවීන් කට කොනකට සිනාවක් නඟා ගත්තේ ය.

“අපි ටිකක් ඈතට වෙලා කල්පනා කර අපිට අපිව ඇත්තටම ඕනද කියල.”

නමුත් නවීන් උරහිස් ගැස්සුවේ අඩමාන තාලයකිනි.

“කොහොමහරි දරාගෙන ඉන්න බැරුව පිටවෙලා යන්න හදන ඔයා ඊටපස්සෙ ආපහු එයි කියලා මං විශ්වාස කරන්නෙ කොහොමද?”

එහෙත් ඒ ප්‍රශ්නයෙන් නැවතෙන්නට මලිතිට නුවුමනා ය. ඇය හිත එකඟ කර ගත්තා ය.

“මං ටික කාලෙකට යනව නවීන්.”

වැළඳගෙන සමුගන්නට දැඩිව ඕනෑකමක් දැනෙද්දී පවා ඇය සෙල් පිළිමයක් වී හිඳින්නට වූවා ය.

“වයිෆ් මෙටීරියල් එකක් තෝරාගත්තා මිසක ඔයා කවදාවත් මට ආදරේ කලේ නැද්ද?”

එසේ අසා බිම වැතිර හඬන්නට  සිතෙන හැඟීම ඇය වළක්වා ගත්තා ය. කාමරයට ගොස් දොර වසාගත් ඈ ඔහේ කාලයට ගත වන්නට ඉඩ හැරියා ය.

කාලයක් නැති තාලයක් නැති

විජිතයේ කටු ඔටුනු හැර යමි

කාලයක් අපි ආදරෙන් සිටි

සොඳුරු මතකය අරන් යන්නෙමි

මලිතිට ඒ ගී පද සිහි වේ. කොහේවත්ම යන්නට නුවුවමනා බවත් ප්‍රශ්න ඇත්තේ විසඳා ගන්නට බවත් සෑම දෙයක්ම පිලිසකර කර ගන්නට තවමත් කාලය ඇති බවත් නවීන් පැවසුවානම් මලිති හැම තීරණයක්ම වෙනස් කර ගන්නට කැමති ය.ඇයට එසේ වූයේනම් ශේන්යාගේ අම්මා නොවී ඇයට ආදරය කරන්නට හැකි ය.ලසිකාගේ නවාතැනට වෙන කෙනෙකු සොයා දී ඇගේ අත්තිකාරම් මුදල් යළි ඉල්ලා ගන්නට හැකි ය. මේ සති අන්තයේ ගමට ගොස් දික්කසාද වන්නට අවශ්‍ය බව කියනවා වෙනුවට  නවීන් සමඟ දරුවෙකු ගැන දැකීම ආරම්භ කළ බව සුදු අම්මාට කියන්නට හැකි ය.

එහෙත් නවීන් ඇයට රැඳෙන්නට යැයි පැවසුවේ නැත.

“මං තාමත් නවීන්ට ආදරෙයි. ගෙදරින් පිටවෙන්න හදන මේ මොහොතේ පවා මං එයාට ආදරෙයි. ඇත්තටම ඔයා උත්පලාට ආදරේ නැද්ද තුහින.”

ඇය ඒ කෙටි පණිවිඩය ලියා වට්ස් ඇප් කරන්නට සිතුවේ ආවේගයෙනි. නමුත් තුහින එයට බොහෝ නිස්කලංක පිළිතුරක් එවා තිබිණි. 

“මම හිතන්නේ ගෑනු අය හැමදේටම වගේ ආදරේටත් ඇලෙනවා වැඩී. ගෙදරින් ගිහිල්ලා මට බැන බැන ෆේස්බුක් එකේ ලිය ලියා ඉන්න උත්පලා පවා මට තාම ආදරේ ඇති. එහෙම එකේ ඇත්තටම නවීන්ගේ වැරැද්ද මොකක්ද කියලා තාම රුවිනි එක්කවත් හරියට කතා නොකරන ඔයා ගැන මට තේරුම් ගන්න පුළුවං. ඒත් ආදරේ කියන්නේ පපුව පැලෙන තරම් විඳවන එක නෙමෙයි මලී. ටිකක් තනියම ඉන්න  ගත්තාම ඔයාම ඒක තේරුම් ගනියි කියලා මං හිතනවා. අන්න ඒ නිසා ඉවරයක් නැතුව අඬන්නෙ නැතුව හො

ගන්න තීරණයක් ගන්න. අඬලා හැපිලා විඳවලා විනාස වෙලා යන්න තරම් අපිට ජීවිතෙන් කාලයක් ඉතුරු නෑ.”

මොනතරම් ශක්තිමත් කර ගත්ත ද එය ඇසිල්ලකින් බිඳ වැටෙන බව මලිති දන්නී ය. එවැනි මොහොතක මෙවැනි වචන ජීවත් වෙන්නට ධෛර්යය දෙන බව ඇය තේරුම් ගනිමින් සිටියා ය. එය ප්‍රේමය ද මිත්‍රත්වය දැයි ඇයට නම් කරන්නට අවශ්‍ය වූයේ නැත. වඩා වටින්නේ ඔහුගේ වචන ය.

(මල් තුහින ගැන ඔබේ අදහස් කමෙන්ට් එකකින් තබා යන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles